මිතුරු වෙසින් ආ සතුරෝ | සිළුමිණ

මිතුරු වෙසින් ආ සතුරෝ

 

තාක්ෂණයේ පිබිදීමත් සමග විෂ මත්ද්‍රව්‍ය ද අලුත් ක්‍රමවලට 'සමාජගත' වීම පැහැදිලි ගැටලුවක් වී අවසානය. පාසල් අධ්‍යාපනය ලබන සිසුන් සහ තරුණ ප්‍රජාවද වර්තමානය වන විට මෙහි ගොදුරක් වී අවසානය. නීති විරෝධී මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් බහුල වශයෙන් පසුගිය කාලයේදී වාර්තා විය. මේ අතර ඉතා වේගයෙන් තාරුණ්‍යය බිලි ගන්නා මත්ද්‍රව්‍යයක් සමාජගත වීමක් පෙනෙන්නට තිබේ.

ඒ 'අයිස්' මත්ද්‍රව්‍යයයි.

“ක්‍රිස්ටල් මෙත්” නමින් හඳුන්වන මෙම මත්ද්‍රව්‍ය ලොව මිලෙන් වැඩිම මත්ද්‍රව්‍යයක් බව නොරහසකි. 'අයිස්' මීට වසර කීපයකට පමණ පෙර මෙරටට ආගන්තුක වුවත් දැන් නම් මෙය සුලබ වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කෙරේ.

කොළඹ, උණවටුන, හික්කඩුව සහ බේරුවල ප්‍රදේශවල ආරම්භයේ ප්‍රචලිතව පැවතුණ 'අයිස් ' දැන් ගම්වල තරුණ තරුණියන් බිලිගෙන හමාරය.

අයිස් මත්ද්‍රව්‍යට ලොල් වූවන් තම අවශ්‍යතාව සපුරා ගැනීමට නොහැකි අවස්ථාවලදී මුදල් සොයා ගන්නට පෙලඹෙන්නේ අන් අයගේ මුදල් සහ භාණ්ඩ සොරකම් කරමිනි.

මේ ඊට ආසන්නම එක් නිදසුනකි.

පල්ලම පොලිස් වසමට අයත් 'විල්පොත' නි‍ෙවසක නිවැසියන් පැළඳ සිටි රන් ආභරණ සහ නි‍ෙවසේ තිබූ රන් ආභරණ තියුණු ආයුධ එල්ලකර ඔවුන් බියවද්දා කොල්ලකෑ බවට එම නිවැසියන් පල්ලම පොලිසියට පැමිණිලි කරන්නේ ඉකුත් අටවැනි දිනය.

නිවසේ හිමිකරු කොහු ආශ්‍රිත ව්‍යාපාරයක් පවත්වාගෙන යන අයෙකි. ඔහුගේ බිරිය, පුතා සහ දියණිය අදාළ නිවසේ ජීවත් වෙති.

ව්‍යාපාරිකයාගේ පුතාගේ වයස අවුරුදු 23 කි. ඔහු නාත්තන්ඩිය නගරයේ පාසලක අධ්‍යාපනය ලැබීය. පියාගේ ව්‍යාපාරවලට සහය ලබා දෙමින් සිටින ඔහු 'නිහඬ‘ චරිතයකි. අපි ඔහු දිනෙත් යන නමින් හඳුන්වමු. දිනෙත් දිනක් කිසියම් අවශ්‍යතාවයකට තමා ඉගෙනුම ලැබූ පාසලට ගොස් ආපසු එමින් සිටියදී බස් රථයේ දී ඔහු සමඟ කලක් පාසල් ගිය මිතුරෙකු හමු විය. ඔහුගේ පන්තියේ සමීපතම මිතුරෙක් වූ ඔහු රහීම් යැයි හඳුන්වමු.

රහීම් සහ දිනෙත් බස් රථයේදී හමු වන්නේ පාසල් දිවිය නිම වී වසර තුනකට පමණ පසුවය. දෙදෙනා ආගිය මුල ගිය තැන් කතා කරමින් සුන්දර අතීතයට දිව යන්නේ ඒ මොහොතේදීය. ඒ ටික කාලය තුළ යළිත් ඔවුන්ගේ මිතුදම අලුත් විය. දෙදගේම සතුට ඉහ වහා යන්නට ඇත. ඒ නිසා පාසල් වියේ තව තවත් සුන්දර අතීතය මෙනෙහි කිරීමට රහීම් ඔහුගේ නි‍ෙවසට යෑමට දිනෙත්ට ආරාධනා කළේය. දිනෙත් එම ආරාධනාව සතුටින් පිළිගත්තේය. රහීම්ගේ නිවස පිහිටියේ මුන්දලම පොලිස් වසමේ කීරියන්කල්ලිය ප්‍රදේශයේය. මෙසේ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සිටින අතරතුර රහීම් සිය ජීවිකාව ලෙස කරන දේ ගැන විමසීමේ දී ඔහු ඇමෙරිකාව බලා යාමට අපේක්ෂාවෙන් සිටින බව පැවසූ අතර පසුව ඔහු සිය කුළුපග මිතුරාට පැකිළීමකින් තොරව තමා කරන දේ කීමට කටයුතු කළේය. තමන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවත් ඊට අමතරව ඒවා විකිණීමට කටයුතු කරන බවත් රහීම් සඳහන් කළේය. ඒ අතරතුර මෙම අනතුරුදායක සමාජ විරෝධී කටයුත්ත පවත්වාගෙන යාමේදී ආරක්ෂාව සඳහා තමන් භාවිත කරන කඩු කිනිසි කීපයක් ද රහීම්, දිනෙත්ට පෙන්වීමට කටයුතු කළේය. ගමේ අන් කිසිවෙකුට බය නැතුව තමාගේ හයි හත්තිය පෙන්වා තමන් ජීවත්වන බව රහීම් දිනෙත්ට පවසන්නේ වීරයකුගේ වෙස් ගෙනය.

රහීම් තමාගේ චර්යාව මෙසේ එකින් එක දිනෙත්ට විස්තර කරද්දී දිනෙත්ට හීන් දාඩිය දැම්මේය. මිතුරාගේ ක්‍රියා කලාපය පිළිබඳ සිතා ගත නොහැකි මෙම කරුණු කාරණා තවදුරටත් පවත්වාගෙන ගියොත් ඉදිරියේදී රහීම්ගේ අනාගතයට සිදුවන දේ ගැන ඔහුට හොඳින් කියා දෙන්නටද දිනෙත් කටයුතු කළේය. යහළුවෙක් වශයෙන් එයින් මිදීමට කටයුතු කරන මෙන් අයැද සිටියේය. ඒ කිසිත් ගණන් නොගෙන රහීම් කට කොනකින් සිනාසී දිනෙත්ගේ පිටට තට්ටුවක් දමා “මචං මේ කාලේ මේව කෙරුවෙ නැත්තං අපි කවද්ද කරන්නේ? මේකෙ 'ආතල්' එක උඹට තේරෙන්නෑ” කියමින් ඔහුට ද මත්ද්‍රව්‍ය හුරු කිරීමට උත්සාහ කළේය. දිනෙත් එය තරයේ ප්‍රතික්ෂේප කළේය. ගොඩනැඟුණ මිතුදමට ඉන් බාධාවක් නොවීය. තමාගේ නි‍ෙවසට පැමිණෙන ලෙසද දිනෙත්, රහීම්ට ආරාධනා කළේය. එම ආරාධනාව සතුටෙන් පිළිගත් රහීම්, දිනෙත්ගේ නි‍ෙවසට යන්නේ ඉන් අනතුරුවය. මෙලෙස මේ දෙදෙනා නිතර හමු වුහ.

දිනක් රෑ දිනෙත් රහීම්ගේ නිවසට ගොස් සිටින අතරතුර රහීම්ගේ යහළුවන් තිදෙනෙක් එම නි‍ෙවසට පැමිණියෝය. රහීම් දිනෙත්ව ඔවුන්ට හඳුන්වා දුන්නේය. ඔවුන්ද තදින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් බව දිනෙත්ට වැටහීමට වැඩි කාලයක් ගත නොවීය. පැමිණ සිටි අයගෙන් එක් අයෙකු විවාහකය. ඔහුට කුඩා දරුවෙක් ද සිටින අතර මේ වන විට කිරිපිටි පවා ගැනීමට මුදල් නොමැතිව සිටින බව ඔහු පැවසුවේය. තවත් අයෙක් ඉස්සන් ගොවිපොළක් පවත්වාගෙන යන අතර මත්ද්‍රව්‍යවලට දැඩිව ඇබ්බැහි වීම හේතුවෙන් මුදල් අග හිඟකම් නිසා ඉස්සන්ට අවශ්‍ය ආහාර ලබා ගැනීමට මුදල් නොමැති බවද කීවේය. අනෙක් යහළුවා එම ප්‍රදේශයේ සාමාන්‍ය ව්‍යාපාරයක් කරන අයෙකි.

මේ කතාබහ සිදුවන අතර දිනෙත් ගෙල පැළඳ සිටි රන් මාලය ගැන එක් අයෙකුගේ අවධානය යොමු විය.

සුළු වෙලාවක් රැඳී සිටි දිනෙත් තමන් නි‍ෙවසට යන බව කියා පිටව ගියේය. ඔහු ගිය පසු රන් මාලයට දැඩි අවධානය යොමු කළ පුද්ගලයා යෝජනාවක් ගෙන ආවේය. පවතින තත්ත්වයෙන් ගොඩ ඒමට නම් දිනෙත්ගේ මාලය කෙසේ හෝ පැහැර ගැනීම ඔහුගේ යෝජනාව විය. ඔහු රහීම් සහ සෙසු මිතුරන් දෙදෙනාට මේ යෝජනාව ඉදිරිපත් කළේය.

මුලින් රහීම් මේ යෝජනාව ප්‍රතික්ෂේප කළත් අවසානයේ ඔහුගේ ද අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට හොඳම මාර්ගය මෙය බව කල්පනා කළේය. ඒ අනුව සිවුදෙනා මේ සම්බන්ධව සාකච්ඡා කර පසු දින දිනෙත්ගේ මාලය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සැලසුම් කළෝය.

රහීම් තනියම එක් යතුරුපැදියක සහ සෙසු තිදෙනා තවත් එක් යතුරුපැදියක නැගී 'මෙහෙයුමට' යාමට තීරණය කළේය. එදින රාත්‍රියේ 11ට පමණ ඔවුන් පිටත් වූහ. රහීම් දිනෙත්ගේ නි‍ෙවස පෙන්වා නිවැසියන්ට කරදරයක් නොකර 'සැලසුම' ක්‍රියාත්මක කිරීමට මිතුරන්ට උපදෙස් දී එම ස්ථානයෙන් පිටත්ව ආවේය. මේ සඳහා මිතුරන් රැගෙන යන්නේ රහීම් සතු පිහි සහ කඩුය.

මේ පිරිස දිනෙත්ගේ නි‍ෙවස ආසන්නයට යන විට රාත්‍රි 12ට පමණ විය. ඔවුන් හඳුනා ගැනීමට නොහැකි පරිදි ජැකට් පැළඳ 'ෆුල් ෆේස්' හෙල්මට් ද දමා සිටියෝය. දිනෙත් නිදා ගන්නේ නි‍ෙවසේ ඉදිරිපස කාමරයේය. කල්ලිය දිනෙත්ගේ දොරට තට්ටු කළෝය.

“අපි පොලිසියෙන්, කරුණාකරලා දොර අරින්න” පිරිස කීවෝය.

කිසිම කතාබහක් නොමැති නිසා යළිත් තමන් පොලිසියේ බව සඳහන් කර දොර විවෘත කරන ලෙස ඉල්ලා සිටියෝය. දිනෙත් තිගැස්සී දොර ඇරියේය. “අපි පොලිසියෙන්, තමුන්ගේ ගෙදර කුඩු තියෙනවා කියලා අපට තොරතුරක් ලැබුණා. ගේ සර්ච් කරන්න ඕන” ඔවුන් කීවෝය. තමන් ඒ සම්බන්ධව කිසිත් නොදන්නා බව දිනෙත් පැවසුවද දිනෙත්ගේ පියාට කතා කර දොර අරින ලෙස ඔවුන් තදින් කීවෝය. දිනෙත්ගේ පියා දොර විවෘත කරනවාත් සමඟ කල්ලිය නි‍ෙවසට ඇතුළු වූවෝය. පොලිසියෙන් බව පැවසූ ඔවුන් නි‍ෙවසේ සිටි පියාට, මවට සහ දියණියට ආයුධ එල්ල කර දණ ගසා සිටින ලෙස තර්ජනය කර නි‍ෙවස පරික්ෂා කිරීමට අවශ්‍ය බව කීහ. මේ අය අත තිබූ කඩු කිනිසි දුටු දිනෙත්ගේ පියා මොවුන් හොරු කණ්ඩායමක් බව තේරුම් ගත්තේය. දණ ගසා සිටින නිවැසියන් ළඟ දෙදෙනෙක් රැඳී සිටි අතර එක් අයෙක් නි‍ෙවස තුළ අල්මාරි, කබඩ් පරික්ෂා කළේය. නි‍ෙවසේ තිබූ කණ්ණාඩි මේසයේ ලාච්චුවේ තිබූ රන් මාලයක් ගෙන අනතුරුව පියා ළඟට පැමිණ ඔහු පැළඳ සිටි පවුම් හතරහමාරක පමණ රන් මාලය කඩා ගැනීමට කොල්ලකරුවෝ කටයුතු කළෝය. එම අවස්ථාවේ පියා කෑගැසුවද මව සහ දියණිය කෑ ගැසීමට එපා යැයි පැවසූහ. ඒ පියාට අනතුරක් සිදු කරාවි යන අදහසිනි. අනතුරුව දිනෙත්ගේ ගෙලේ තිබූ රන් මාලයද කඩා ගත් කල්ලිය කෑ ගැසුවොත් මරණ බවට තර්ජනය කර ඔවුන් යතුරුපැදියේ නැගී වේගයෙන් පිටත්ව ගියෝය. මෙලෙස කොල්ලකෑ රන් ආභරණවල වටිනාකම ලක්ෂ දොළහක් පමණය.

ඉන් පසුව දිනෙත්ගේ පියා අවට සිටි අයට කතාකොට සිදුවීම කියා නි‍ෙවසේ තිබූ කැබ් රථයෙන් සොරුන් ගිය ඉසව්ව සොයා ගියත් ඔවුන් සොයා ගැනීමට නොහැකි විය. පසුව දිනෙත්ගේ පියා පසු දින පල්ලම පොලිසියට මේ ගැන පැමිණිලි කළේය.

පල්ලම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී සිරිවර්ධන ඇතුළු කණ්ඩායමක් වහාම එම ස්ථානයට පැමිණ අදාළ විමර්ශන කටයුතු සිදු කළේය. එහිදී කොල්ලය සම්බන්ධව හොඳින් විමර්ශනය කළ ස්ථානාධිපතිවරයා වටහා ගත්තේ මෙම කොල්ලය සිදුකර ඇත්තේ නිවැසියන් හොඳින් දන්නා කණ්ඩායමක් බවයි. විමර්ශනවලදී ලද තවත් තොරතුරුවලින් ස්ථානාධිපති ගාමිණී සිරිවර්ධන සැක කළේ දිනෙත්ගේ සම වයසේ පසුවන කණ්ඩායමක් විසින් මෙය සිදුකරන්නට ඇති බවය.

ඒ අනුව දිනෙත් ආශ්‍රය කරන මිතුරන් ගැන විමසීමක් කළේය. එම විමසීමේදී ඔහු කියා සිටියේ තමාට හමු වූ පාසල් මිතුරා ගැන සහ ඔහු මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වී ඇති බවත් ඔහු භාවිත කරන තියුණු ආයුධ තමාට පෙනුණු බවත්ය. සොර කණ්ඩායම රැගෙනවිත් තිබුණේ ඒ හා සමාන අායුධ බව ද ඔහු පොලිසිය හමුවේ කියා සිටියේය.

ඒ අනුව මුලින්ම දිනෙත්ගේ පාසල් මිතුරා වන 'රහීම්' අත්අඩංගුවට ගැනිණි. ඉන් අනතුරුව රහීම් සිද්ධිය මුල සිටම 'වමාරන්නට' විය. පසුව පොලිස් නිලධාරින්ට ලද තොරතුරු මත ප්‍රධාන සැකකරු සහ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලදී.

පුත්තලම දිසා භාර නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. වයි සෙනෙවිරත්නගේ උපදෙස් මත පල්ලම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී සිරිවර්ධන, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක නාලක, උපපොලිස් පරීක්ෂක නිමල්, සැරයන් 24055 අතපත්තු, කොස්තාපල්වරුන් වන 72509 රත්නායක, 75189 සිරි බණ්ඩාර ඇතුළු නිලධාරින් සිද්ධිය සම්බන්ධව විමර්ශන සිදු කරන ලදි.

Comments