පොලිසියෙන් හොයන කොළ පාට වීල් එක තානායමේ | සිළුමිණ

පොලිසියෙන් හොයන කොළ පාට වීල් එක තානායමේ

 

දහඅට කාමරයෙන් පිටතට පැමිණ කොරිඩෝවේ කුලුනකට හේත්තු වූ විජේසේකර දුම්වැටියක් දල්වා ගත්තේය. පනස් වැනි විය පසු කළ වැවිලි ව්‍යවසායකයකු වූ විජේසේකර මසකට අඩු තරමේ දෙවතාවක්වත් තම ‘හිතවතියන්‘ කිහිප දෙනා අතරින් කවුරුන් හෝ සුරූපිනියක සමඟ තානායමට පැමිණ දිනක් හමාරක් ගත කිරීම ඇරඹුණේ මීට වසරක පමණ පෙර සිටය.

වාහන ඉන්ධන සලාක කිව්. ආර්. කේත කාඩ්පත් හත අටක් හිමි වැවිලි ව්‍යාපාරිකයකු වුවද, විජේසේකර, තමාගේ මෙම තානායම් ගමනට ඔහුගේ කිසිම වාහනයක් යොදා ගන්නේ නැත. දුරකතනයෙන් ඇණවුම් කළ කුලී මෝටර් රථයකින් සුපුරුදු පරිදි අද දිනයේත් උදෑසන නමයට පමණ විජේසේකර තානායමට පැමිණියේ ගිය වතාවේ ඔහු සමඟ පැමිණි හිතවතියට වඩා තරුණ වයසේ පසුවන හැඩකාරියක සමඟය. “බය වෙන්න එපා පැටියෝ... මම ටුක් ගාලා ආපහු එනවා...”

තානායමෙන් උදෑසන ආහාරය ගත් සැණින් විජේසේකර දහඅට කාමරයේ තනිකොට දමා ඇය මේ සැරසෙන්නේ සැබැවින්ම දිසා ලේකම් කාර්යාලයට යාමටද? විජේසේකර කනස්සල්ලෙන් හිස කැසුවේය.

දුම්වැටියේ ලොකු උගුරක් උඩට ඇද සිගරට් කොටය විසි කළ ඔහු කඩිමුඩියේම කොරිඩෝවෙන් කාමරයට ඇතුළු විය. “ඒයි... මං අඳිනවා... දොර වහන්න අනේ... අර වේටර් අපතයා දකියි...”ඇය කණ්ණාඩි මේසය ඉදිරියේ අඩනිරුවතිනි.

පැය බාගයකට ආසන්නයේ නාන කාමර වතුර මලෙන් ෆේස් වොෂ් මුසුව මැනවින් පොඟවා ගත් සිරුරේ ඇය තවත් මොනවාදෝ සුවඳ වගයක් ගත තවරා ගත්තාය. “ඉතින් ඔය කියන කන්තෝරුවේ මහත්තයා හම්බවෙන්නද ඔය හැම අස්සෙ මුල්ලෙම සැන් පවුඩර් උලන්නේ...?” විජේසේකරගේ වචන රූමතිය බැහැර කළේ සිනාමුසුවය.

“ඉරිසියයි නේ?... පිස්සු කොල්ලා... යන තැනක සුවඳ දීගන පොෂ් පිට නොයා අද කාලේ වැඩක් කරගන්න බෑ පැටියෝ... පොඩ්ඩක් හැඩට වැඩට ඇඳලා මුකුළු පාරක් නොදැම්මොත් ඉතින් කන්තෝරු මහත්තුරු නම් ඔළුවක් උස්සලා හැරිලාවත් බලන්නෑ...“ “ඒක නිසා හදාගෙන ආපු ප්‍රොජෙක්ට් රිපෝට් එක කොළඹින් එන මහත්තුරුන්ට පෙන්නලා මම ටාර් ගාලා ආයෙමත් තානායමට එනවා හොඳේ...”

ඇඳගෙන ආ සාය බ්ලවුසය වෙනුවට හිරට හිරේ ඩෙනිමකින් සහ ටී ෂර්ටයකින් සැරසී ඇය මේ යන්නට සැරසෙන්නේ සැබැවින්ම ඇය රැගෙන විත් තිබෙනවා යැයි පවසන අපනයන ව්‍යාපෘති වාර්තාවට අනුමැතිය ලබා ගැනීමටම ද? විජේසේකරගේ සැකය හොඳින් දලු කඩනා තේ අක්කර හයහමාරක හිමිකරුවෙකු වන ඔහුගේ ව්‍යාපාරික ඥානයට අනුව සපුරා සාධාරණය.

“එහෙනම්... වීල් එකත් ඇවිත් ගොඩක් වෙලයි අනේ... මම ගිහින් එන්නම් හොඳේ... තවම උදේ දහයයිනේ...වැඩිම උනොත් දවල් දෙක විතර වෙයි... මං ආවම ලන්ච් ගමු හොඳේ....බායී...” නිතඹ ළෙලවා කොලොන් සුවඳ විහිදුවමින් නැවතත් හැරී ‘ටටා බායි‘ කියූ ඇය තානායම් මිදුලේ නතරකොට තිබූ කොළ පැහැති ත්‍රිරෝද රියෙහි නැඟී නොපෙනී ගියාය.

විජේසේකර දහඅට කාමරයේ දොර වසා යතුර අතට ගෙන පියගැට පෙළ බැස තානායම් ආලින්දය හරහා මිදුලට ආවේය. “සර් හරියට සිගරට් බොනවා නේද සර්?...” ඒ හඬ ඔහු ලැගුම්ගෙන සිටිනා දහඅට කාමරයට සේවා සපයන වේටර් ජයසිරිගේය. “සමාවෙන්න සර්... සර්ගෙ කොම්පැනියෙ ජොබ් වේකන්සි එහෙම නැතිව ඇති නේද?...” පෙණහලු ගර්ත පීරා සිගරට් දුමාරයක් අවට පරිසරයට මුදා හරිමින් සිටිනා විජේසේකර අහඹු පැනයෙන් ගල් ගැසුණේය.

“ඒ කියන්නෙ... තමුන් මේ රැකියාවට කැමති නෑ...?” “අපොයි කැමතියි.. නමුත් සර්.. මේ රස්සාව මේ කාලෙ මේ පඩියට කරලා වැඩක් නෑ...”

“පිස්සෙක් වෙන්න එපා ළමයා... මේ අර්බුදය තව ටික කාලයයි... කමක් නෑ... ජොබ්නම් තියෙනවා... නමුත් හැමෝම වැඩ ලෝකයට ගැළපෙන්නෙ නෑ... වැඩ ලෝකයේ අනිවාර්ය අංගය තමයි උනන්දුව කැපවීම... අපි බලමු... කතා කරන්න මට...”

“පපරපෑෑං...” ඒ නළා හඬ මීට පැයකට හමාරකට පෙර විජේසේකර සමඟ පැමිණ සිටි තරුණිය තානායමෙන් දිසා ලේකම් කාර්යාලය වෙත නංවා යැවූ ත්‍රිරෝද රථ‌ෙය්. ගල් බංකුවේ සිටිනා විජේසේකරගෙන් ඈත්වූ වේටර් ජයසිරි, ත්‍රිරෝද රිය වෙත ඇවිද යන්නේ හිතවත් රියැදුරු සගයා සොයාය.

“උඹ මට හයර් එක කතා කළේ ඒ මිස්ට දිසා ලේකම් කාර්යාලෙට යන්න ඕනැය කියලා නේද?... මොන පිස්සුද බං... වීල් එක තානායමේ ගේට්ටුවෙන් පාරට දාපු හැටියෙම මිස් මට කීවා කෙළින්ම ටවුමෙ අහවල් ගෙස්ට් හවුස් එකට එක්ක යන්නය කියලා...”

“ෂ්....ෂ්... කට...කට...” ජයසිරි මුවට ඇඟිල්ල තබා හඬ බාල කරන ලෙස ඉඟි කළේය.

“මොන පිස්සු දිසා ලේකම් කාර්යාලයක්ද බං... ඒ මිස් කියපු ගෙස්ට් එකට යනකොටම ඒ ගේට්ටුව ගාවට ඇවිත් ඉඳපු හයේ හතරෙ හැන්සම් ඩයල් එක මිස්ගෙ අතින් අල්ලගෙනම ගෙස්ට් එක ඇතුළට එක්කගෙන ගියා... ඒ යන ගමනුත් ආපහු හැරිලා මිස් මට කීවා හරියටම දවල් එකට ඇවිත් ආපහු මිස්ව තානායමට එක්ක යන්නය කියලා... හැබැයි ඒ මිස් ලෝස් නෑ බං... හයර් එක දාහක්ම දුන්නා... ඉඳා... මේ තුන්සීය උඹ තියාගනින්...” ත්‍රිරෝද රථ රියැදුරා වේටර් ජයසිරි අත නෝට්ටු තුනක් මිට මෙළෙව්වේය.

ඒ අතරතුර මේ කිසිත් නොදත් තානායම් පල්ලාගේ රාජකාරි මේසය මත වූ ස්ථාවර දුරකතනය හඬ තැළුවේය.

“මැනේජර් මහත්තයා... ඔයාගෙ මොබයිල් එක ගොඩක් වෙලා තිස්සෙ බිසී... ඒකයි ලෑන්ඩ් ලයින් එකෙන් ආවේ.. උදේ පාන්දරම මලක්වත් කඩනවද?... සොරි සොරි... මම මේ පොලිසියේ ඕ.අයි.සී. මහත්තයා...” අහඹු ලෙස කඩා වැටුණු ඇමතුමෙන් තානායම්පල්ලා තැති ගත්තේය.

“මේකයි බොස් සීන් එක... කලබල වෙන්න එපා.... ඔහොමම ඉඳන් මොබයිල් ෆෝන් එකේ තානායමේ සී.සී.ටී.වී. කැමරා ඔප්ෂන් එකට යන්න... ගිහින් චෙක් කරලා බලන්න ‘දුක සැප නිති පෙරළේ...‘ කියලා පිටිපස්සෙ ස්ටිකර් එකක් ගහපු කොළ පාට ත්‍රීවීල් එකක් උදේ නමයෙන් පස්සේ තානායමට ඇවිත් තියෙනවද කියලා...” තානායම්පල්ලාගේ හිස ගිනි ගත්තේය.

“මොකක් කීවා... නිති පෙරළේ..? ඇයි.. වීල් එකට නොම්බරයක් නැද්ද?...”

“තියෙනවා... තියෙනවා ලොක්කා දෙන්නම්... ඊට වැඩිය ලේසියිනේ ලියපු වගන්තියක් මතක තියාගන්න එක..”

“හරි.. ඕ.අයි.සී. මහත්තයා... මගේ මොබයිල් ෆෝන් එකෙන් සී.සී.ටී.වී. යන්න බෑ... ඉන්න මම ටාර් ගාලා ලැප්ටොප් එක ඔන් කරගන්නම්..මොකද්ද කේස් එක කියන්නකෝ...”

“සිද්ධිය මේකයි මැනේජර් මහත්තයා... අපි දැන් උසාවි අනුමැතියක් සහිතව ටවුමෙ ගෙස්ට් හවුස් එකක් වැටලුවා... ඒ ගෙස්ට් එක මත්ද්‍රව්‍ය හුවමාරු තිප්පොළක්... ඒකෙ සප්ලයර් කෙනෙක් එක්ක හිටපු ගර්ල් කෙනෙකුත් අපි ඇරෙස්ට් කළා. ඒ කාන්තාවගෙන් ප්‍රශ්න කරනකොට එයා කියනවා එයා උදේ ඇවිත් තානායම ළඟින් බස් එකෙන් බහිනකොටම තානායම ඇතුළෙ ඉඳන් ඇවිල්ලා පාරට හරවන ත්‍රීවීල් එකකයි එයා අත්අඩංගුවට පත් වන මේ වැටලීම කරපු ගෙස්ට් එකට ආවේ කියලා... ඒත් අපි ප්‍රශ්න කළා ඒ කාන්තාවගෙන්... තානායම පැත්තෙ එහෙම නිකමටවත් ගියාද කියලා. ‘අපොයි නැහැ‘ කීවා. ඉතින් අපට ඒ ත්‍රීවීල් එක හඳුනාගන්න අවශ්‍යයි මැනේජර් මහත්තයා... අපිට උදවු කරන්න... ප්ලීස්...”

ලැප්ටොප් පරිගණකය ක්‍රියාත්මක කරමින් ගැඹුරු හුස්මක් උඩට අල්ලා නැවතිල්ලේ මුදාහළ තානායම් පල්ලා ‘පපර පෑං‘ නළා හඬක් ඇසී සිය කාර්යාල කුටියෙන් තානායම් මිදුල දෙස බැලුවේය. විජේසේකර සමඟ පැමිණි තරුණිය කැටිව ගොස් නැවත වේටර් ජයසිරි හමුවීමට මේ දැන් පැමිණි කොළ පැහැති ත්‍රිරෝද රථය ඉබි ගමනින් ඇදී ගොස් තානායම් ගේට්ටුවෙන් ප්‍රධාන පාරට පිවිසුණේය.

“දුක සැප නිති පෙරළේ...”

“අඩේ... අන්න භාණ්ඩේ...” තානායම්පල්ලාට කෑ ගැසුණේය. පිටව යන ත්‍රිරෝද රථයේ පසුපස බඳ දෙස දෑස් පිසදා නැවත බැලූ ඔහු දුටු දසුන යළි යළිත් සාක්‍ෂාත් කර ගත්තේය.

ජංගම දුරකතනය අතට ගන්නට හෝ කාලය වැය නොකළ තානායම් පල්ලා වහා මේසය මත තිබූ ස්ථාවර දුරකතනයෙන් පොලිසියේ අංකය තෙරපුවේය.

Comments