
- සිරුර වළ දැමීමට උදවු කළ දෙදෙනා සහ සේරම්ගේ අනියම් බිරිය නිදහස්
- තීන්දුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලකින්
ඉනෝකාගේ මව සවස වැඩ ඇරී යළි නිවසට පැමිණි අතර නිවෙසේ දොර අගුළ දා තිබිණි. ඇය කීප වතාවක් ඉනෝකාට හඬ නගා කතා කළත් කිසිම ප්‍රතිචාරයක් නොලැබුණි. කිසියම් අවාසනාවන්ත සිද්ධියක් සිදු වී ඇති බව මවට ඉවෙන් මෙන් දැනුණි. කෙසේ වෙතත් දොරේ යතුර පාපිස්ස යට තිබුණු අතර ඇය දොර විවෘත කර බැලූ විට ඉනෝකා නිවසේ නොවීය.
මව වැඩිදුරටත් සොයා බැලීමේදී ඉනෝකා පිළිබඳව කිසිම තොරතුරක් නොලැබීම නිසා ඇය සිය දියණිගේ අතුරුදන් වීම පොලිසියට පැමිණිලි කළාය.
මේ සිද්ධිය පිළිබඳව විමර්ශන ආරම්භ කළ පොලිසිය දින කීපයකට පසු පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගන්නා ලදී. කෙසේ වෙතත් සේරම් ඒ අතර නොවීය. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු පෙදරේරුවකු වූ අතර අනෙකා රියදුරෙකි. ප්‍රශ්න කිරීම්වලදී මේ සැකකරුවන් දෙදෙනා මුලින්ම ප්‍රකාශ කළේ තමන් ඉනෝකා සෙව්වන්දිගේ අතුරුදන් වීම පිළිබඳව තොරතුරු කිසිවක් නොදන්නා බවය. එහෙත් පොලිසිය උපක්‍රමිකව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරද්දී කරුණු එකින්එක අනාවරණය විය. එම තොරතුරු මත පොලිසියේ උකුසු ඇස යොමු වූයේ සේරම් දෙසටය. මේ වන විට සේරම් අතුරුදන් වී සිටි අතර ඔහු දීර්ඝ කාලයක් පොලිස් ඇසට වැලි ගසමින් සැඟවී සිටියේය. ඉනෝකා සෙව්වන්දි අතුරුදන් වී මාස හයකට පසු හරියටම 2000 වසරේ මාර්තු මස 03 වන දින සේරම් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය. සේරම්ගෙන් පොලිසිය දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස ඉනෝකා සෙව්වන්දිගේ අතුරුදන් වීමට අදාළ වැදගත් කරුණු රාශියක් අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි විය.
සේරම් විසින් 1999 වසරේ සැප්තැම්බර් 02 වැනිදා ඉනෝකාගේ නිවසට ගොස් බලහත්කාරයෙන් ඇය රැගෙන ආවේ ගණේමුල්ලේ පිහිටි සිය අනියම් බිරියගේ නිවසටය. එම නිවෙසේ කාමරයක ඉනෝකා සිර කර තැබූ සේරම් ඔහුගේ අවසන් ඉලක්කය සඳහා සැලසුම් සකස් කළේය. සේරම්ගේ අරමුණ වූයේ ඉනෝකා ඝාතනය කිරීමයි. ඒ අනුව රෙදි පටියකින් ඇගේ ගෙල සිර කර මරා දැමූ සේරම් කාමරය වසා බැහැර ගියේ තමා හඳුනන ත්‍රිරෝද රථ රියදුරකු සහ පෙදරේරුවකු හමුවීමටය. සේරම්ගේ අරමුණ වූයේ හැකි ඉක්මනින් ඉනෝකාගේ සිරුර රහසිගතව මිහිදන් කිරීමයි.
ඉනෝකාගේ සිරුර මිහිදන් කිරීමට උදවු කරන ලෙස සේරම් කළ ඉල්ලීම ත්‍රිරෝද රථ රියදුරු මෙන්ම පෙදරේරුවා ද එක හෙළාම ප්‍රතික්ෂේප කළේ නීතිය ඉදිරියේ තමන්ද වරදකරුවන් විය හැකි නිසාය. තම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා කෝපයට පත් වූ සේරම් ඔවුන්ට තර්ජනය කරමින් කියා සිටියේ මෙම කාර්ය සඳහා උදවු නොකළොත් ඔවුන් දෙදෙනාම ඝාතනය කරන බවයි. එයින් බියට පත් වූ එම පුද්ගලයන් දෙදෙනා නොකැමැත්තෙන් වුවත් සේරම්ගේ යෝජනාවට එකඟ වූහ. ඒ අනුව එදින රාත්‍රි අටට පමණ සේරම් වෑන් රියකින් ත්‍රිරෝද රථ රියදුරුගේ නිවසට පැමිණි අතර පෙදරේරුවා ද සමඟ තිදෙනාම ගණේමුල්ල ප්‍රදේශයට ගියේ ඉනෝකාගේ සිරුර මිහිදන් කිරීමටය. සේරම් මුනින් අතට දමා තිබුණු ඉනෝකාගේ දේහය අනිත් දෙදෙනාට පෙන්වූයේය. තිදෙනාම එක් වී මළසිරුර වෑන් රථයට පටවාගත් පසු සේරම් රථය පදවාගෙන ගොස් නතර කළේ නිවාස සංකීර්ණයක් අසල පිට්ටනියකටය. එහිදී සේරම් අනිත් දෙදෙනාට අණ කළේ හැකි ඉක්මනින් වළක් කපන ලෙසයි.
ඒ සඳහා අවශ්‍ය උදලු සහ අලවංගු සේරම් රැගෙන ගොස් තිබුණි. වළ කැපූ පසු තිදෙනාම එක් වී ඉනෝකාගේ සිරුර වළ තුළට දමා ඉක්මනින් පස්වලින් යට කළ අතර මළසිරුරේ එක් අතක් එළියට පැමිණි නිසා නැවත වරක් සිරුර ගොඩට ගැනීමට සිදු විය. කෙසේ වෙතත් අවසානයේදී ඉනෝකාගේ දේහය නිසි පරිදි වළ දැමීමට ඔවුන්ට හැකි විය. සිද්ධිය පිළිබඳව තොරතුරු කිසිවක් අනාවරණය කළහොත් දෙදෙනාම ඝාතනය කරන බවට සේරම් තර්ජනය කළේය.
තමන් කළ අපරාධය ලෝකයාට වසන් කිරීමට සේරම් තවත් උපක්‍රමයක් යොදා ගත්තේය. එම නිවාස සංකීර්ණය සහිත පරිශ්‍රය වල් බිහිවී තිබුණි. ඒ අනුව ඊට අයත් පිට්ටනිය ශුද්ධ කිරීම සඳහා සේරම් ප්‍රදේශවාසීන් සමඟ ශ්‍රමදානයක් සංවිධානය කළේය. නියම කර ගත් දිනයක පැවැත්වූ ශ්‍රමදානය ඉතා සාර්ථකව සිදු කළ අතර උදුරා දැමූ වල් පැළ පුලුස්සා දමන ලදී. මෙම භූමිය යට ඝාතනය කළ තැනැත්තියකගේ සිරුරක් වළ දමා ඇති බව ශ්‍රමදානයට සහභාගි වූ කිසිවෙකුට සිතීමට හේතුවක් නොතිබිණි.
ඉනෝකාගේ මළසිරුර නිවාස සංකීර්ණයේ පිට්ටනියේ වළ දමා ඇති බව පොලිසිය දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම්වලදී සේරම්ට අනාවරණය කිරීමට සිදු විය. අධිකරණ නියෝග මත ඉනෝකාගේ දේහය නැවත ගොඩ ගත් අතර පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලදී. විශේෂඥ වෛද්‍ය ආනන්ද සමරසේකර විසින් කරන ලද එම පරීක්ෂණයේදී අනාවරණය වූයේ පටියකින් ගෙල සිර කර ඝාතනය සිදු කර ඇති බවයි. තවද ගෙල සිර කිරීම නිසා ඉනෝකාගේ හයෝඩ් අස්ථිය බිඳී ඇති බවද සමරසේකර ප්‍රකාශ කළේය.
ඉනෝකා සෙව්වන්දිගේ ඝාතනය සම්බන්ධව නීතිපතිවරයා සැකකරුවන් දෙදෙනකු විත්තිකරුවන් ලෙස නම් කර මහාධිකරණයේදී නඩු පැවරු අතර පළමු වන විත්තිකරු වූයේ සේරම්ය. දෙවන විත්තිකරු ඔහුගේ අනියම් බිරියය. රියදුරු සහ පෙදරේරුවා රජයේ සාක්ෂිකරුවන් ලෙස නම් කරන ලදි. මෙම නඩු විභාගයේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි උදය රොහාන් සිල්වා තර්ක කළේ පෙදරේරුවා සහ රියදුරු අපරාධ සහායකයින් බවත් සාක්ෂි ආඥා පනතේ 114 වගන්තිය ප්‍රකාරව අපරාධ සහායකයින්ගේ සාක්ෂි වෙනත් සාක්ෂි මඟින් සනාථ කළ යුතු බවයි. එහෙත් අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රකාශ කළේ රියදුරු සහ පෙදරේරුවා අපරාධ සහායකයින් නොවන බවත් ඔවුන් රජයේ සාක්ෂිකරුවන් වන බවත් ඒ අනුව ඔවුන් ඉදිරිපත් කළ සාක්ෂි වෙනත් සාක්ෂිවලින් තහවුරු කිරීම අවශ්‍ය නොවන බවයි.
එම තර්කය මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් පිළිගත් අතර ඉනෝකා සෙව්වන්දි ඝාතනයට සේරම් වැරදිකරු ලෙස තීන්දු කර මරණීය දණ්ඩනය නියම කළේය. කෙසේ වෙතත් මහාධිකරණ තීන්දුවට එරෙහිව සේරම් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනාවක් ඉදිරිපත් කළේය. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය ද මහාධිකරණ තීන්දුව ස්ථිර කළේය. තවද සේරම්ගේ අනියම් බිරිය නිදහස් කරන ලදි. කාලයේ වැලි තලාවෙන් වැසී යන්නට ගිය අපරාධයක සුලමුල එසේ හෙළිදරව් විය.
නීතිඥ එස්.එම්. ජයසූරිය