ශ්‍රී ලාංකේය අන්තර්ජාල අවකාශයේ නව පෙරළියක් | Page 2 | සිළුමිණ

ශ්‍රී ලාංකේය අන්තර්ජාල අවකාශයේ නව පෙරළියක්

ශ්‍රී ලාංකේය අන්තර්ජාල ඉතිහාසයේ සුවිශේෂී දිනයක් ලෙස 2022 දෙසැම්බර් 5 වැනිදා සඳුදා දිනය නම් කළ හැකිය. ඒ ස්ව භාෂාවෙන් සියවස­්නාමය පවත්වා ගෙන යෑම මෙන්ම අන්තර්ජාල වසම් නාම පද්ධතියේ (Domain Name System)සම්බන්ධීකරණ කටයුතු කරන අන්තර්ජාතික ආයතනය වන අයිකෑන්(ICANN – Internet Corporation for Assigned Names and Numbers) ආයතනය සමඟ කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත තීක්ෂණ ආයතනය එක්ව අරඹනු ලැබූ විශ්ව සම්මුති ව්‍යාපෘතිය ආරම්භ වීමය. එය ලාංකේය අන්තර්ජාල ඉතිහාසයේ නැවුම් පරිච්ඡේදය ආරම්භය සටහන් කරන්නකි. එමෙන්ම එදින ලේක්හවුස් ආයතනයට සහ සිළුමිණ පුවත්පතට ද අපගේ සෙසු පුවත්පත් කිහිපයකට ද විශේෂ දිනයක් විය. ඒ ශ්‍රී ලංකාවේ පුවත්පත් නාම අතරින් පළමුවන වසම් නාම සමූහය අතරට ‘සිළුමිණ.ලංකා’ වසම් නාමය හා අපගේ සහෝදර පුවත් පත් වසන්නාම අන්තර්ජාලයට මුදා හැරි දිනය එදින වන නිසාය. 

ශ්‍රී ලංකාවේ මෙන්ම බොහෝ රටවල ජනතාවට අන්තර්ජාල සේවා සමඟ සම්බන්ධ වීමේදී සහ ඒ සමඟ කටයුතු කිරීමේදී ඇති ප්‍රධාන ගැටලුවක් වූයේ ස්වභාෂාවෙන් වසම් නාම සහ ඊ-තැපැල් ලිපින ලබා ගන්නට ඇති නොහැකියාවයි. ලොවේ බොහෝ දෙනාට ඉංග්‍රීසි දැනුම නැතිකමෙන් අන්තර්ජාලයට පිවිසීමට නොහැකිව සිටිති. කලක සිට මේ ගැන අවධානය යොමු කළ ලෝකයේ සහ මෙරට අන්තර්ජාල විද්වතුන් සහ එහි පුරෝගමින් යෝධ පිම්මක් තබමින් අන්තර්ජාලයට ජාත්‍යන්තර වසම් නාම (Internationalized Domain Names) ලතින් අක්ෂරවලින් නොවන වසම් නාම නිකුත් කිරීමට අවශ්‍ය තාක්ෂණය නිර්මාණය කළේය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, යුනිකේත (Unicode) හි ඇති ඕනෑම අක්ෂරයකින් වසම් නාම ලබා ගැනීමට ලංකාවට මෙන්ම අන් රටවල අයට ද හැකි විය. 2010 වසරේ මහාචාර්ය ගිහාන් ඩයස්ගේ නායකත්වයෙන් සහ මඟ පෙන්වීම යටතේ ලක් වසම් ලේඛකාධිකාර්ය විසින් ඩොට් ලංකා (.ලංකා), සිංහල අක්ෂර වලින් සහ ඩොට්ඉලංගෙයි දමිල අක්ෂර වලින් ලබා ගත්තේ ලොව පළමු ජාත්‍යන්තර ලතින් නොවන අක්ෂර වසම් සමුහයත් සමඟ ය. නමුත් තාක්ෂණික ලුහුඬුකම් මධ්‍යයේ මෙම අවස්ථාව උදා කර ගත් නිසා මෙය අන්තර්ජාල ප්‍රජාව අතර ප්‍රචලිත නොවුණි. මේ මොහොත වන විට එම තාක්ෂණික ගැටලුව විසඳී ඇති නිසා, වසම් නාම පමණක් නොව එම වසම් නාමයන් වලින් ඊ-මේල් ලිපින ලබා ගැනීමේ හැකියාව ද මෙරට අන්තර්ජාල ප්‍රජාවට තව නොබෝ දිනකින් හිමි වීමට නියමිතය.

තීක්ෂණ සමාගමේ ප්‍රධාන තාක්ෂණ සහ මෙහෙයුම් නිලධාරී වන හර්ෂ විජයවර්ධන මෙම ව්‍යාපෘතියෙහි නායකත්වය දරනු ලබයි. හෙතෙම ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පුරෝගාමියකු වන අතර ලංකා වසම් ලේඛකාධිකාරයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයකු ද වේ. සිළුමිණ කළ විමසීමේදී හෙතෙම විශ්ව සම්මුති ව්‍යාපෘති අර්ථ දැක්වූයේ තවත් සුවිශේෂ පුද්ගලයකු ද එකතු කරගනිමිනි. හේ නමින් චම්පික විජයතුංග ය. හෙතෙම අයිකෑන් ආයතනයේ ආසියා සහ ශාන්තිකර කලාපීය තාක්ෂණික කටයුතු භාර කළමනාකරු වශයෙන් කටයුතු කරනු ලබයි. ඔහු ප්‍රකාශ ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ “මෙම අන්තර්ජාල සේවාව අදියර කීපයක් යටතේ හඳුන්වා දිය හැකි බවත්; එහිදී අයිකෑන් ආයතනයේ දායකත්වය විශේෂ වන බවයි. අන්තර්ජාල යටිතල පහසුකම් සහ සේවා සැපයීමේදී අයිකෑන් ආයතනය ගෝලීයව සුවිශේෂ කාර්යභාර්යක් ඉටු කරන අතර මෙම ආයතනය මඟින් ජාත්‍යන්තර වසම් නාම පද්ධතිය (DNS - Domain Name System) සම්බන්ධීකරණය සඳහා මූලිකව කටයුතු කරයි. උදාහරණයක් ලෙස ඔබ වෙබ් අඩවියකට පිවිසෙන්නේ නම් හෝ ඊ-මේල් ලිපියක් යවන්නේ නම් හෝ ජංගම දුරකතන යෙදුම් (mobile app)වැනි සේවාවක් භාවිත කරන්නේ නම් හෝ මෙම වසම් නාම පද්ධතිය අත්‍යවශ්‍ය වේ. අයිකෑන් ආයතනය මඟින් ඉහළ මට්ටමේ වසම් නාම වන .com, .lk, .org වැනි වසම් සම්බන්ධීකරණය කිරීම සිදුකරනු ලබයි. නමුත් ශ්‍රී ලංකාව තුළ .lk වසම් නාම සම්බන්ධීකරණය සිදු කරනු ලබන්නේ ලක් වසම් ලේඛකාධිකාරයය (LK Domain Registry) මඟිනි.

සිංහල සහ දෙමළ භාෂාවෙ ජාත්‍යන්තර වසම් නාම (Internationalized Domain Names) ලබාදීමේ කටයුත්තට මඟ පෑදෙන්නේ මසකින් හෝ අවුරුද්දකින් නොවේ. මේ තත්ත්වය ඇති කරගැනීම සඳහා සෑහෙන කාලයක් බුද්ධිමයහා ප්‍රායෝගික ක්‍රියාකාරකම් රාශියක් සිදුකිරීමට තිබුණි. එහිදී අයිකෑන් ආයතනය සහ තීක්ෂණ ආයතනය විශාල කාර්යයභාර්යයක් සිදු කළේය. ඕනෑම භාෂාවකට එම භාෂාවට අනන්‍ය වූ රීති පවතී. එම රීති නිවැරදිව සන්නිවේදනය වෙනවා ද යන්න මෙහිදී විශේෂ සැලකිල්ලක් යොමු කරයි. මේ සඳහා ශ්‍රී ලංකාවේ භාෂා සහ තොරතුරු තාක්ෂණයට සම්බන්ධ විද්වතුන්ගෙන් සමන්විත මඬුල්ලකගේ අදහස් සහ යෝජනා අනුව මෙම රීති පද්ධතිය ඉහළ මට්ටමේ අන්තර්ජාතික වසම් නාම සඳහා යොදා ගැනිණි. මෙහිදී වසම් නාමවල ආරක්ෂාව සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කෙරිණි.

80 දශකයේ වසම් නාම පද්ධතිය ලෝකයට හඳුන්වා දෙන අවස්ථාවේදී මුලින්ම ඉහළ මට්ටමේ වසම් නාම සඳහා යෙදිය හැකි වූයේ අකුරු තුනක් පමණි. එවැනි ප්‍රශස්ථ මට්ටමේ වසම් නාම (ඩොමේන්) තිබුණේ කීපයක් පමණි. .com, .net, .edu, .gov... ඒ අතරින් කිහිපයකි. වෙළෙඳ කටයුතු සඳහා .com ද ජාල සඳහා .net ද අධ්‍යපන කටයුතු සඳහා .eduද ආදී වසම් නාම ලබා දීම සිදු වූයේ ඒ අනුවය. මුලදී අ‍ෙමරිකා එක්සත් ජනපදය තුළ ගොඩනැඟුණ අන්තර්ජාලය පසුකාලයෙදී ඇමරිකාවෙන් එළියට ව්‍යාප්ත වීමේදී රටවල කේත අනුව ඉහළ මට්ටමේ වසන්නාම (country code top-level domains) නිර්මාණයවිය. ඒ අනුව සෑම රටක් සඳහාම අකුරු දෙකකින් තම රටේ කේතය ජාත්‍යන්තර ප්‍රමිතියක් සහිතව දැක්වීමට හැකියාව ලැබුණි. ඒඅනුව 90 දශකයේදී ලංකාවට .lk ලෙස දැක්වීමට අපට හැකියාව සැලසිණි. ඉන්පහසුවෙන් කුමන රටක ඊ-මේල්පණිඩයක්ද වෙබ් අඩවියක්ද යන්න ඕනෑම අයකුට හඳුනා ගැනීමට හැකිවිය. පසුව එය තවදුරටත් වර්ධනය වෙමින් ආයතන සහ නගර නාම අනුව ඉහළ මට්ටමේ වසම් නාම ලබා ගැනීමේ හැකියාව සැලසිණි. අනතුරුව බහු භාෂා අන්තර්ජාලය (multilingual internet) අවකාශය නිර්මාණය විය. ඒ අනුව ඉංග්‍රීසි භාෂාවට අමතරව විවිධ භාෂා අන්තර්ජාලයට එකතුවන්නට පටන්ගත්තේය. ඒ අනුව තම තමන්ගේ භාෂාවලින් කටයුතු කිරීමට ඒ ඒ රටවල ජනතාවට හැකියාව ලැබිණි.

අප කතාකරන මාතෘකාව අදාළ තත්ත්වය වර්ධනය වීම ආරම්භ වන්නේ මෙන්න මේ අවස්ථාවේ සිටිය. ඒ සඳහා මුලින්ම IDNA 2003 (Internationalizing Domain Names in Applications) යන ජාත්‍යන්තර ප්‍රමිතිය හඳුන්වා දුන්නේය. එය තවත් ඉදිරියට යමින් 2008 වසරේදී IDNA 2008 කියන ජාත්‍යන්තර ප්‍රමිතිය හඳුන්වා දුන්නේය. මේ දක්වා බලපැවැත්වෙන්නේ එයයි. ඒ අනුව වෙනත් භාෂාවලින් අන්තර්ජාලය තුළ ඉහළ මට්ටමේ අන්තර්ජාතික වසම් නාම (IDN top-level domains) නිර්මාණයවීම ඇරඹිණි. 2010 වසරේදී ශ්‍රී ලංකාවට ඉහළ මට්ටමේ අන්තර්ජාතික වසම් නාම දෙකක් හඳුන්වා දෙනු ලැබීය. ඉන් එකක් සිංහල භාෂාවෙන් ‘.ලංකා’ලෙසත්, ඒ සමඟ ම අනාගතයේදී සිංහල සහ දමිළ භාෂාවලින් ඉහළ මට්ටමේ අන්තර්ජාතික වසම් ලබාගැනීමට අවශ්‍ය තාක්ෂණික නීතිරීති ද අවශ්‍ය විය. තවද වසම් නාමවල අනන්‍යතාව සඳහා ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීමද අනිවාර්ය කාර්යක් විය. ඒ සඳහා අවශ්‍ය නීතිරීති සකස් කළ යුතු විය. මීට වසර පහකට පමණ ඉහතදී අයිකෑන් ආයතනයත් තීක්ෂණ ආයතනයත් එක්ව ශ්‍රී ලංකාවේ මේ පිළිබඳ විද්වත් මඬුල්ලකගේ ද සභාගිත්වය ඇතුව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර මේ සඳහා අවශ්‍ය නීතිරීති සකස් කෙරුණි. ඒ අනුව ශ්‍රී ලංකාවේ සියලු ආයතනවලට සහ සියලුම ජනතාවට තමන් කතා කරන භාෂාවෙන් වසම් නාම ලබාගෙන පහසුවෙන් කටයුතු කිරීමට අවස්ථාව උදාවී තිබේ.

ඡායාරූප - කැලුම් ලියනගේ

Comments