
- සත්වෝද්‍යානය බලන්න ගිය සිසු පිරිස අතර සිටි රන්දික චෙරිනි දුම්රියේ හැපී අවසන් ගමනේ
- බළපිටිය කාර්මික විද්‍යාලයේ සිසු පිරිසක් දෙහිවලට දුම්රියෙන් ආ මොහොතේ සිදු වූ විපතක්
- රන්දික - චෙරිනි දුම්රිය මාර්ගය හරහා ගමන් කරද්දී කෝච්චියේ හැපිලා
උගත් බුද්ධිමත් ඇතැම් අය වුවද තැන නොතැන නොබලා සහ නොසැලකිල්ලෙන් වැඩ කිරීම නිසා සිය වටිනා ජීවිත අහිමි කර ගනිති. එහි ඇති වඩාත්ම ඛේදජනක තත්ත්වය වී ඇත්තේ එසේ අහිමි වන ජීවිත රටේ අනාගතයට සම්පතක් වන වටිනා තරුණ ජීවිතම වීම නිසාමය.
ගතවූ මාස කිහිපය ඇතුළත රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූයේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, විශ්වවිද්‍යාල සිසු සිසුවියන් හා උපාධිධාරී උගත් බුද්ධිමත් දරුවන් හදිසි ආපදාවන්ට සහ අනතුරුවලට මුහුණදීම නිසා සිය ජීවිත අහිමි කරගත් පුවත්මය. මෙහි ඇති තවත් ඉතා ඛේදනීය තත්ත්වය වන්නේ මේ ලෙස ජීවිත අහිමි කරගන්නා අය සමහර විටෙක එම පවුලේ සිටින එකම දරුවා හෝ එම පවුලට සිටින එකම පිරිමි දරුවා හෝ ගැහැනු දරුවා වීමය. එසේ වූ විට මවුපියන් එය කෙසේ දරා සිටින්නේදැයි යන්න සිතා ගැනීමටවත් නොහැකිය.
මේ දරුවන් සිය ජීවිත අහිමිකර ගන්නවා යනුවෙන් අප සඳහන් කළේ හදිසි අනතුරුවලින් සහ ආපදාවලින් ජීවිත අහිමි වූ බොහෝ දෙනෙකුට ඒවා සිදුවී ඇත්තේ ඔවුන්ගේ නොසැලකිල්ල සහ දුරදිග නොබලා කටයුතු කිරීම නිසා බව පෙනෙන නිසාය. ඉකුත්දා දෙහිවල දුම්රිය ස්ථානය අසලදී සිදුවූ ඛේදවාචකයද එවැනිම විපතකි.
කරන්දෙණිය, කිරිපේද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි පොල්වත්ත ලේකම්ලාගේ රොෂාන් රන්දික විජේසිංහ 22 දෙහැවිරිදිය. ඔහුගේ පවුලේ සිටින්නේ රන්දිකට බාල මල්ලී කෙනෙක් පමණි. අම්බලන්ගොඩ වතුගෙදර වඩුමුල්ල පදිංචි සමන්ති කුඩාවසම් චෙරිනි ලක්ෂිණි 22 හැවිරිදි තරුණියකි. ඇගේ පවුලේ සිටින්නේ චෙරිනිට බාල මල්ලී පමණකි.
මොවුන් ගාල්ල බළපිටිය කාර්මික විද්‍යාලයේ 'ගණක ශිල්පී' පාඨමාලාව හැදෑරු අතර එහි විභාගයටද පෙනී සිටි නිසා එම පාඨමාලාව මේ වසරේ අවසන් වීමට නියමිතව තිබුණි. මේ නිසා එම පාඨමාලාව හැදෑරූ සිසු සිසුවියන් 12 දෙනා එක්ව එක්දින විනෝද චාරිකාවක් යාමට යොදාගත්තේ තව ටික දිනකින් ඔවුන් කාර්මික විද්‍යාලයෙන් පිටව යන නිසාය. විනෝද චාරිකාව සඳහා දෙහිවල සත්වෝද්‍යානය නැරඹීමට යාමට ඔවුන් කතිකා කර ගත්හ. ඒ අනුව ඉකුත් 17 වන සෙනසුරාදා උදෑසන සිය මවුපියන්ගෙන් සමුගෙන දෙහිවලට යාම සඳහා ඔවුන් පිටත් වූහ. එදින උදෑසන අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයෙන් මරදාන බලා යන 'ගාලු කුමාරි' දුම්රියට මේ පිරිස ගොඩ වූහ. සංගීතයට ඉතා ළැදි සහ ඊට දක්ෂ තරුණයෙකු වූ 'රන්දික' ඇල්පිටිය "නිපෝලයිව් " සංගීත කණ්ඩායමේ 'රිදම් ගිටාර්' වාදකයෙකු ලෙස කටයුතු කළේය. රන්දික දක්ෂ ගිටාර් වාදකයෙකි. ඒ නිසා මේ විනෝද චාරිකාවේදී නිදහසේ ගීත ගයා කට්ටිය එක්කම විනෝද වන්නට සිතා රන්දික තම ගිටාරයද රැගෙන පැමිණ සිටියේය.
මේ පිරිස දෙහිවල දුම්රිය ස්ථානයෙන් පිට වූයේ පෙරවරු 10.05 ට පමණය. දුම්රිය ස්ථානයෙන් පිටව යාමට පෙර රන්දික ගිටාරයත් කරේ එල්ලාගෙන "දෙහිවල දුම්රිය ස්ථානය " යන නාම පුවරුව ඉදිරිපිට සිට තම ජංගම දුරකතනයෙන් යහළුවකුට කියා ඡායාරූපයක්ද ගත්තේ එය සිහිවටනයක් ලෙස තම ඡායාරූප ඇල්බමයට එක්කර ගන්නටය. එය ඔහුගේ ජීවිතයේ ගන්නා අවසාන ඡායාරූපය යැයි රන්දික හෝ අන් කිසිවෙකු සිතුවේ නැත. එහෙත් එය එසේ සිදුවී හමාරය. දුම්රිය ස්ථානයෙන් බැසගත් මේ යහළු යෙහෙළියන් දෙහිවල සත්වෝද්යනයට යාමට එතැන් සිට මාර්ග අංක 176 දරන බස් රථයක් බලාපොරොත්තු වූහ. ඒ සඳහා මේ කණ්ඩායමේ පිරිසක් එහි වූ මගී පාලමෙන් නැග ඉන් පිටව ගිය අතර රන්දික, චෙරනි ඇතුළු කිහිප දෙනෙකු දුම්රිය මාර්ගය ඔස්සේ ගාලු පාර පැත්තට ගමන් කරමින් සිටියහ.
අවාසනාවක මහත මරදානේ සිට කළුතර බලා ධාවනය වෙමින් තිබූ අංක 8741 දරන දුම්රිය ඔවුන් පසු කරමින් ඉදිරියට ඇදී ගියේ ඔවුන් කිසිවෙකුත් නොසිතූ පරිද්දෙනි. දුම්රියේ ගැටුණු රන්දික, චෙරිනි සහ තවත් සිසුවෙකු එතැනට රැස්වූ පිරිස මැදිහත් වී කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත රැගෙන ගිය අතර බරපතළ තුවාල ලබා සිටි රන්දික හා චෙරිනි ඒ වන විටත් මෙලොව හැර ගොස් තිබුණේ කිසිවෙකුත් නොසිතූ අයුරිනි.
මේ පුවත මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමඟ ඇතැමුන් විවිධ අදහස් පළ කළහ. ‘මියගියේ ජෝඩුවක් වෙන්න ඇති, ඔය සෙල්ෆි ගහන්න ගිහින් වෙන දේවල් තමයි‘ යනුවෙන් ඒ විවිධ අය කළ කී කතා රන්දිකගේ සහ චෙරිනිගේ මවුපියන්ගේ මෙන්ම හිතමිතුරන්ගේද කනස්සල්ලට හේතුවී තිබුණි.
අනතුරින් මියගිය සිටි රන්දිකගේ සහ චෙරිනිගේ මරණ පරීක්ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු බන්දුල ජයසිංහ විසින් පවත්වනු ලැබීය. පශ්චාත් වෛද්‍ය පරීක්ෂණ කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය කේ.බී. ජනිත් පෙරේරා විසින් සිදු කරනු ලැබීය.
දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුෂ්මන්ත ලියනගේ උපදෙස් මත කොස්තාපල් ප්‍රදීප් කුමාර (68142) සාක්ෂි මෙහෙය විය.
අයි.එම්.වී. චන්ද්‍රසිරි ගුණසේකර
ඇල්පිටිය සමූහ