ඇල්පිටියේ කුරුඳු ව්‍යාපාරිකයාගේ මාරයා තුන් වසරකට පසු කොටුකළ සී අ යි ඩී මෙහෙයුම | සිළුමිණ

ඇල්පිටියේ කුරුඳු ව්‍යාපාරිකයාගේ මාරයා තුන් වසරකට පසු කොටුකළ සී අ යි ඩී මෙහෙයුම

සෝමතිලක බිරිය සහ දරුවන් දෙදෙනා සමඟ

- රස්සාවෙන් අස් කළාට හාම්පුතාට දුන් දඬුවම
- අත්අඩංගුවට ගත් පුද්ගලයාට මීට පෙරත් ඝාතන චෝදනා
- ඝාතකයාගැන තොරතුරු හෙළිවන්නේ ඔහු ගැසූ කයිවාරුවෙන්
- සැකකරු තමන් කරපු ‘හපන්කම‘ ගැන තුන්දෙනකු සමඟම පම්පෝරි ගහලා

පරාධයක් සිදු කළොත් කිසි දිනෙක වසන් විය නොහැකි බව පොලිසිය සිදු කරන විමර්ශනවලින් හෙළි වන අවස්ථා එමටය. දක්ෂ පොලිස් නිලධාරින්ගේ සූක්ෂ්ම විමර්ශන නිසා මෑත කාලයේ බොහෝ අපරාධවල සුලමුල අනාවරණය විය.

පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් නොවිසඳුණු අපරාධ රැසකම සුලමුල මෑතකදී අනාවරණය කරගන්නා ලදි. 2021 වසරේ ආරම්භ කරන ලද එම කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්තය. ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවීමෙන් මීට වසර කීපයකට පෙර සිදුවූ අබිරහස් ඝාතන කීපයකම සුලමුල අනාවරණය කරගැනීමට හැකි වූයේ කිසිවකුට අපරාධ සිදුකර පලා යා නොහැකි බව ප්‍රත්‍යක්ෂ කරමිනි. 

එම කොට්ඨාසය මඟින් අනාවරණය කරගත් අබිරහස් ඝාතන අතර 2019 වසරේ අගෝස්තු 3 වැනිදා අම්බලන්ගොඩ පදිංචිය සිටි එවකට වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා ලෙස කටයුතු කළ තිළිණ රුවන් තිහාර ජයරත්න ඝාතනයේ සුලමුල අනාවරණය කරගනිමින් සැකකරු පසුගිය ඔක්තෝබර් මාසයේදී අත්අඩංගුවට ගැනීම, 2018 වසරේ ඔක්තෝබර් 12 වැනිදා හලාවත, කාක්කපල්ලිය, ඉඳිගොඩවිල පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම ලෝ ප්‍රකට වරලත් ඉංජිනේරුවකු වූ 63 හැවිරිදි සමන් විජේසිරිගේ ඝාතනයේ සැකකරුවන් තිදෙනෙකුද පසුගිය වසරේ සැප්තැම්බර් 24 වැනිදා අත්අඩංගුවට ගත්තේ සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකින් පසුවය.

එසේම කාලයේ වැලිතලාවෙන් වැසී යාමට ගිය තවත් මිනිස් ඝාතනයක සුලමුලද හෙළි කරගැනීමට රහස් පොලිසියට පසුගියදා හැකි විය. ඇල්පිටිය, අටකොහොට මංසන්ධියේ පදිංචිව සිටි පේදුරු හේවාගේ සෝමතිලක නමැති ව්‍යාපාරිකයාගේ ඝාතනයේ සුලමුල පසුගියදා රහස් පොලිස් නිලධාරින් අනාවරණය කරගත්තේ සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකින් පසුවය. සෝමතිලක ඝාතනය කැරුණේ මීට වසර තුනකට පමණ පෙර එනම් 2019 වසරේ අප්‍රේල් 28 වැනිදා රාත්‍රි 11.30ට පමණය. ඔහු එලෙස ඝාතනය කර තිබුණේ සිය නිවෙස ඉදිරිපිටදීමය. ඇල්පිටිය, අටකොහොට, නවඳගල පදිංචිව සිටි සෝමතිලක ඝාතනය වන විට 46 වැනි වියේ පසු විය. ඔහු ගමේ කා අතරත් ප්‍රකටව සිටියේ ‘පොඩි මල්ලි‘ නමිනි.

සිය පියාගේ ඇවෑමෙන් පසු ඔහුට හිමි වූ ‘කුරුඳු ව්‍යාපාරය‘ කරගෙන ගිය සෝමතිලක ඝාතනය වන විට කැලණිය ප්‍රදේශයේ සමාගමක් සමඟ එක්ව කුරුඳු පිටරට යවමින් මහා පරිමාණ කුරුඳු ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කළේය. ඊට අමතරව ඔහු යුනිලිවර් සමාගමේ දකුණු පළාත් නියෝජිතයා ලෙසද ව්‍යාපාරවල නිරතව සිටියේය. ඔහු ගමේ කා අතරත් හොඳ හිත දිනා සිටි අයෙකි. සෝමතිලක සිය ගම්වැසියන්ගේ කුරුඳු මිලට ගත්තේද සාධාරණ මිලකට හෙයින් සැවොම ඔහුට මහත් සේ ළෙන්ගතුව සිටියෝය. එසේම ඔහුගේ ව්‍යාපාරවල ගමේ බොහෝ පිරිසක් රැකියාවල නිරතව සිටියෝය.

සෝමතිලක ඝාතනය වන විට කුඩා දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. ඔහු ව්‍යාපාර කටයුතු කරගෙන ගියේ සිය සහෝදරයන්ද සමඟය. එහෙත් ඇතිවු ප්‍රශ්නකාරි තත්ත්වයන් නිසා පසුව පවුලේ උදවිය එම ව්‍යාපාර කටයුතුවලින් ඈත්කර තිබිණි. සෝමතිලක ගුණ යහපත් පුද්ගලයකු හෙයින් ඔහු යාචකයෙක් හෝ පිනට යමක් ඉල්ලාගෙන එන නැතිබැරි අය සඳහා රුපියල් දහස් ගණනින් මිල මුදල් මෙන්ම බඩු මලුද පිරිනමා තිබිණි. ඒ බව අදත් එම ප්‍රදේශවල ජනතාව ආවර්ජනය කරන්නේ ඔහුගේ ගුණ වයමිනි. සෝමතිලක සිය බිරිය, කුඩා දරුවන් දෙදෙනා සහ බිරියගේ මව සමඟ ජීවත් වූයේ ඇල්පිටිය - අලුත්ගම මාර්ගයේ අටකොහොට මංසන්ධිය ආසන්නයේය. ඒ ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 20ක් පමණ දුරකින් පිහිටි නිවෙසකයි.

ගමේ මරණ ගෙදරක්, මඟුල් ගෙදරක් හෝ ඕනෑම සමාජශීලී කටයුත්තක් මඟ නොහරින සෝමතිලක 2019 අප්‍රේල් 28 වැනිදා රාත්‍රී සිය නිවෙසට මීටර් 700ක් පමණ දුරින් පිහිටි නිවෙසක අවමංගල්‍යයකට සහභාගි වීමට ගියේය. මළ ගෙදර පැය කීපයක් ගත කළ ඔහු රාත්‍රී 11ට පමණ නිවෙසට පැමිණීමට පිටත් වූයේය.සෝමතිලක එන තෙක් නිවෙසේ මඟ බලා සිටි ඔහුගේ බිරියට නිවෙසේ වත්ත පිටියෙන් අමුත්තක් දැනී තිබුණේ කිසියම් කෙනෙකු ඉඩමේ සිටින බවටය. එසැණින් ඇය සෝමතිලක ගැන සොයා බලන්නට මළ ගෙදර වැසියන්ටද කතා කළාය. මළගෙදර අය කීවේ සෝමතිලක එහි සිට නිවෙසට පැමිණි බවයි.

කෙසේ හෝ මළගෙදර සිට නිවෙසට පැමිණෙමින් සිටි සෝමතිලක නිවෙසේ මිදුලේදීම රාත්‍රී 11.30ට පමණ පිහි පහර 27ක් එල්ලකොට ඝාතනය කර තිබුණේ ඉතා සාහසික ආකාරයෙනි. යාබද නිවැසියන්ට ඔහුගේ විලාපය ඇසිණි. සෝමතිලකගේ පවුලේ උදවියද ඔහු ඝාතනය කර සිටි ආකාරය දුටුවේය. ගමේ කිසිම තරහා කාරයෙක් නොසිටි සෝමතිලකගේ අබිරහස් ඝාතනය සැමටම ප්‍රහේළිකාවක් විය.

අනතුරුව ඒ පිළිබඳව ඇල්පිටිය පොලිසිය මූලික විමර්ශන ආරම්භ කළේ එවකට ඇල්පිටිය පොලිස් කොට්ඨාසය භාරව සිටි වත්මන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුවගේ උපදෙස් මතය. ඒ අනුව එවකට ඇල්පිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති වූ වත්මන් බටපොළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක සම්පත් ඇතුළු කණ්ඩායමක් සහ සෝකෝ නිලධාරින්ද එක්ව මේ පිළිබඳ විමර්ශන සිදු කරන ලදි. පොලිස් නිලධාරින් අවට සීසීටීවී කැමරා පරීක්ෂා කරමින් පුළුල් විමර්ශනයක් සිදුකළද ඝාතකයන් ගැන කිසිම හෝඩුවාවක් හෙළි නොවිණි.

ඒ අතරේ සෝමතිලක ඝාතනය පිළිබඳව සැකය ඔහුගේ පවුලේ උදවිය වෙතද එල්ල විය. ඒ සෝමතිලක ඝාතනය වන්නට පෙර යුනිලිවර් ඒජන්සියේ ව්‍යාපාර කටයුතුවලින් පවුලේ උදවිය ඉවත් කිරීමත් සමඟ ඇතිවූ නොයෙක් ගැටුම් නිසාවෙනි. කිසිම සාක්ෂියක් නොතබා ඝාතනය කර තිබූ සෝමතිලකගේ ඝාතනයේ විමර්ශන පසුව එනම් 2020 වසරේදී පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (සීඅයිඩී) යොමු කරන්නේ උසස් පොලිස් නිලධාරින්ගේ උපදෙස් මතය. එම විමර්ශනය සීඅයිඩීය වෙත බාර දුන්නද වසර එකහමාරක පමණ කාලයක් පුරා විමර්ශන කිසිවක් සිදු නොවිණි. ඒ අතරේ සෝමතිලකගේ වැඩිමල් සහෝදරයකු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න වෙත පැමිණිල්ලක් කරන්නේ එම ඝාතනයේ විමර්ශන නියම ලෙස සිදු නොවන බව සඳහන් කරමිනි. අනතුරුව පොලිස්පතිවරයා විසින් එම ඝාතනයේ විමර්ශන සීඅයිඩීයට අනුයුක්ත මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්තගේ ප්‍රධානත්වයෙන් යුත් ඒකකය වෙත විමර්ශන බාර කෙරිණි. ඒ පසුගිය ජනවාරි මස 05 වැනිදාය. අනතුරුව සෝමතිලක ඝාතනයේ විමර්ශන උපපොලිස් පරීක්ෂකවරුන් වන ගයන්ත සහ මෙන්ඩිස් ප්‍රමුඛ කණ්ඩායමට බාර කෙරිණි. එම කණ්ඩායමේ නිලධාරින් මීට මාස කීපයකට පෙරදී ඇල්පිටිය, අටකොහොට ප්‍රදේශයට ගොස් විමර්ශන ආරම්භ කළහ. එහිදී පොලිස් නිලධාරින් කුරුඳු තළන්නන් ආදි විවිධ වෙස්ගෙන අවේක්ෂණ රාජකාරිවල නිරත වූයේ මාස ගණනක දුෂ්කර විමර්ශනයක් ආරම්භ කරමිනි.

සෝමතිලක ඝාතනය පිළිබඳ එලෙස විවිධ පැති ඔස්සේ මාස කීපයක් සීඅයිඩීයි විමර්ශන සිදු කරමින් පසුගිය 16 වැනිදා සෝමතිලක ඝාතනයේ ප්‍රධාන සැකකරු වන අනුර නිශාන්ත අත්අඩංගුවට ගැනීමට සීඅයිඩීයේ මනුෂ්‍ය ඝාතනය සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාස නිලධරයන්ට හැකි විය.

මීට වසර තුනකට පමණ පෙර සිදු කළ සෝමතිලක ඝාතනයේ සියලු තතු අනුර නිශාන්තගේ පාපෝච්චාරණයෙන් මේ වන විට හෙළි වී හමාරය.

“සර්... මං රස්සාවෙන් අයින් කරපු එකට පළිගන්නයි මේ දේ කළේ... මං එදා බීලා හිටියේ... සෝමතිලක දැක්කම මට කේන්ති ගියා... පළිගන්නමයි ඕන වෙලා තිබුණේ...“ යැයි පවසමින් සැකකාර අනුර නිශාන්ත දීර්ඝ පාපෝච්චාරණයක් කළේය. ඒ අනුව හෙළි වන්නේ මෙවැන්නකි.

මේ වන විට 50 වියේ පසුවන අනුර නිශාන්ත දෙදරු පියෙකි. දරුවන්ගෙන් වැඩිමලා 18 හැවිරිදිය. දෙවැනියා 16 වැනි වියේ පසුවන මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතය. අනුර කොළඹ සමාගමක රැකියාවක් කළේය. පසුව සෝමතිලකගේ ව්‍යාපාරයට රියැදුරෙක් ලෙස එක් විය. අනුර 2019 වසරේ මුල් කාලයේ සෝමතිලකගේ ව්‍යාපාරික ස්ථානයේ රැකියාවට ආ දා සිටම සේවකයන් සමඟ ආරවුල් ඇතිකර ගැනිණි. මාස දෙකක පමණ කාලයක් ගත විය.

“සර්... මේ අනුරත් එක්ක වැඩ කරන්න බෑ... ඒකා කිසි දෙයක් සහයෝගයෙන් කරන්නේ නෑ... ඒ වගේම කිසිම චාරයක් නෑ... කොට කලිසං ගහගෙන වැඩට එන්නෙ... රස්සාවකට එනකොට විනයක් තියෙන්න ඕනනේ සර්...“

අනුර පිළිබඳව සේවකයන් මෙන්ම පාලනාධිකාරියද එලෙස සෝමතිලක දැනුවත් කළේ ඔහුගේ නොහොඳ ගැන පවසමිනි. අනුරට විරුද්ධව එම දැනුවත් කිරීමත් සමඟ ප්‍රශ්නය දුරදිග යමින් සෝමතිලක දෙවරක් නොසිතා ඔහු රැකියාවෙත් ඉවත් කළේය. අනුර ඉවත්ව ගියේ සෝමතිලක සමඟ බහින්බස් වීමක් ඇතිකර ගනිමිනි. ඒ සමඟම මාස තුනක පමණ කාලයක් කළ රැකියාව අනුරට අහිමි විය. එසැණින් අනුර ගියේ ඔහුගේ මිතුරෙක් වන ප්‍රේමදාස හමුවීමටය.

“මචං... අරූ මාව රස්සාවෙන් අයින් කළානේ... බලපං මං ඕකට කරන දේ... මං ඕකගේ මොළේ කනවා...“ අනුර එලෙස කීවේ කිපුණු ස්වරයෙනි.

දින කීපයක් ගත විය. වෙළෙඳසලක් පවත්වාගෙන යන අනුරාධ නමැත්තා අනුරගේ ඥාතියෙකි. ඔහු සෝමතිලකගේ අතිජාත මිතුරෙකි. සෝමතිලක දුප්පතුන්ට බඩු මලු රැගෙන දෙන්නේ අනුරාධගේ එම වෙළෙඳසලෙනි. ඒ වන විට අනුරාධගේ මව මරණාසන්න තත්ත්වයෙන් පසුවූවාය. නැවත දිනක් අනුරට ප්‍රේමදාස හමු විය.

“මචං හෙට අනිද්දම අපේ අනුරාධයගේ අම්මා මැරෙනවා... එදාට අනිවාර්යයෙන්ම සෝමදාස රෑට මළගෙදර එනවනේ... අන්න එදාට තමයි මං ඕකව ඉවරයක් කරන්නේ...“ යැයි කට මැත දොඩවන්නෙක් වන අනුර එසේ ප්‍රේමදාස සමඟ වහසි බස් කීවේය. අනුර එලෙස ප්‍රේමදාස සමඟ සෝමතිලක ඝාතනය කරන බව කීවද ප්‍රේමදාස ඒ බව කිසිවකුට නොකීම නිසා මේ අවාසනාවන්ත ඝාතනයට මහත් පිටිවහලක් විය.

එලෙස සිදු වෙද්දී සෝමතිලකගේ නිවෙසට මීටර් 700ක් පමණ දුරකින් සැලුන් එකක් පවත්වාගෙන ගිය අයෙකුගේ මරණයක් සිදු විය.

ඒ 2019 වසරේ අප්‍රේල් 28 වැනිදාය. සෝමතිලක නොයන ගමේ මළ ගෙදරක් මඟුල් ගෙදරක් නැත. කොතරම් ඉහළ මට්ටමේ ව්‍යාපාරිකයෙක් වුවද ඔහු ඒ තරමටම ඔහු ගුණ යහපත් සමාජශිලි අයෙකි. එම නිසා සෝමතිලක එදින එම මළ ගෙදරටද ගියේ රාත්‍රි කාලයේයි.

එහි පැය කීපයක් ගත කළේය. ඒ වන විට වේලාව රාත්‍රී 10ට පමණය. ඒ මොහොතේ මළ ගෙදරට අනුරද පැමිණියේ මත්පැන් ද පානය කරමිනි. අනුර, සෝමතිලක දුටුවේය. අනුරගේ කේන්තිය ඉහවහා ගියේ ඔහු රැකියාවෙන් ඉවත් කිරීම සිහිපත් වීමත් සමඟිනි. එසැණින් අනුර දිව ගියේ ඔහුගේ නිවෙස වෙතය. නිවෙසින් පිහියක් ගත් අනුර නැවත පැමිණියේ සෝමතිලකගේ නිවෙස පිහිටි ඉඩමටයි. ඔහු එහි සැඟවී සිටියේ මළගෙදර සිට යතුරුපැදියෙන් නිවෙසට එන සෝමතිලක එන තෙක් ඇඟිලි ගනිමිනි.

රාත්‍රී 11.30ට පමණ සෝමතිලක නිවෙසේ මිදුලට පැමිණියා පමණි. පිහියක් අතැතිව සැඟවී සිටි අනුර එම පිහියෙන් සෝමතිලකට ඇනගෙන ගියේ හිත්පිත් නැත්තෙකු විලසිනි. ඒ වන විට සෝමතිලකගේ නිවෙසේ එළියේ විදුලි පහනක්ද දැල් නොවූයේ විදුලි බල්බ පිලිස්සී තිබු නිසායි. එම නිසා පැවැති ගණ අන්ධකාරය අනුරට මහත් පිටුබලයක් විය. ඝාතනය කැරුණු සෝමතිලකගේ මළසිරුරේ පිහි පහර 27ක් තිබූ බව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී හෙළි විය.

සෝමතිලක ඝාතනය කළ අනුර නැවත ගියේ ඔහුගේ නිවෙසටයි. දින තුනක් පමණ කාලයක් ගත විය. අනුර නැවත ප්‍රේමදාස හමුවීමට ගියේය.

“මං ඔන්න කිව්වා වගේම දුන්නා වැඩේ... දැන් මගේ වැඩේ ඉෂ්ට කරගත්තා. මට ඕකගෙන් පළිගන්න ඕන වෙලාමයි තිබුණේ...“ එසේ අනුර, සෝමතිලක මැරූ බව ප්‍රේමදාසට කීවේ මහත් උජාරුවෙන් මෙනි. කයිවාරුවට හපන් අනුර තවත් දිනෙක තවත් නිවෙසකට ගියේය. ඒ නිමල්ගේ නිවෙසය. නිමල්, සෝමතිලකගේද ළඟම හිතවතෙකි. ඔහු සෝමතිලකගෙන් බොහෝ උදවු උපකාර ලත් අයෙකි.

“ඒයි මචං... මං තමයි අරූ මැරුවේ... මං උගේ කොම්පැනියෙන් අස් කළානේ... ඒකට දුන්නු රිටන් එක තමයි ඒක...“ එසේම නිමල්ට වැඩිදුරටත් අනුර කීවේ සෝමතිලක ඝාතනයට යොදාගත් පිහිය පහළගොඩ ඇළ යාබද මඩුව අසල මඩේ ගසමින් සැඟවූ බවයි.

ඔහු එලෙස පම්පෝරි ගැසුවේ සෝමතිලක ඝාතනය කොට සති දෙකක් වැනි කාලයක් තුළදීය. නිමල්ට අනුරගේ කටමැත දෙඩවීමෙන් කියැවුණු කතාව බොහෝ සේ සිතේ පැලපදියම් වූයේය. ඒ සෝමතිලක ඔහුට මහත් සේ උපකාර කොට තිබූ නිසාවෙනි. අනුර කී දේ සිතේ තියාගෙන සිටීමට නොහැකි තරම් කේන්තියෙන් නිමල් පසු විය.

නිමල්ට මෙකී අහස පොළොව නුහුලන අපරාධයේ රහස කෙසේ හෝ පොලිසියට සහ සෝමතිලකගේ පවුලේ උදවියට සැල කර සිටීමට අවැසි විය. ඒ අනුව නිමල් ඒ බව ඔහුගේ මිතුරෙකුට සැල කර සිටියේ ඔය අතරය. ඔහු ප්‍රියන්තය. ප්‍රියන්ත ලද තොරතුර දෙවරක් නොසිතා සෝමතිලකගේ පවුලේ උදවියට කීවේය. කලක් යද්දී එම තොරතුර සෝමතිලක ඝාතනයේ විමර්ශන සඳහා වෙස්වළාගෙන එම ප්‍රදේශයේ සැරිසරමින් සිටි මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින්ගේ කන්වලටද ගියේය. ඒ මීට මාස හතරකට පමණ පෙරදීය.

එම තොරතුර පිළිබඳව සීඅයිඩියේ ජ්‍යේෂ්ඨ නිලධාරින්ද දැනුවත් කෙරිණි. අනතුරුව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්තගේ උපදෙස් මත උපපොලිස් පරීක්ෂකවරුන් වන ගයන්ත සහ මෙන්ඩිස් ඇතුළු කණ්ඩායම පසුගිය 16 වැනිදා අනුර සොයා ඔහුගේ නිවෙසට ගියේය. නිවෙසේ සිටි අනුර අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහු සියල්ල හෙළි කළේ වසර තුනක ඉතිහාසය ආවර්ජනය කරමිනි. ඒ අතර අනුර, සෝමතිලක ඝාතනයට යොදාගත් පිහියද මඩුව අසල වළ දමා ඇති බවත් හෙළි කළේය. අනතුරුව වසර තුනකට පමණ පෙරදී මඩේ සැඟවූ එම පිහියද පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින්ගේ සහාය ඇතිව ඔවුන් සතු ‘යකඩ සෙවීමේ‘ උපකරණයක් ආධාරයෙන් සොයා ගැනීමට සමත් විය.

සර්... එදා මට මළගෙදරදි සෝමතිලක දැක්කම පුදුම කේන්තියක් ආවේ... මොකද මට කොළඹ රස්සාවත් නැතිවුණානේ... මේ වෙච්ච දෙයින්... සෝමතිලක දකින වෙලාවේ මං චුට්ටක් බීලා හිටියේ... මං මිනිහගෙන් පළිගන්නමයි හිතාගෙන හිටියේ... ආපු කේන්තියත් එක්ක ඒ දේ එදා වුණා...“ අනුර පොලිස් නිලධාරින් ඉදිරියේ වැඩිදුරටත් පැවැසීය.

අත්අඩංගුවට පත් අනුර නිශාන්ත මේ ආකාරයෙන්ම මීට පෙරද මිනිස් ඝාතනයක් සිදුකර තිබූ බවද පොලිසිය අනාවරණය කරගත්තේය. එම ඝාතනය කර තිබුණේ ඇල්පිටිය, ඇත්කඳුරේ, වැව රවුම ප්‍රදේශයේදිය. එම ඝාතනයද පිහි පහර 22ක් එල්ලකොට සිදුකර තිබුණේ 2002 වසරේදියි. එම ඝාතනයට සාක්ෂි ප්‍රමාණවත් තරම් හමු නොවූයෙන් අනුරට එරෙහිව චෝදනා ගොනු කරගැනීමට නොහැකි විය. අනුර එම ඝාතනය කර ඇත්තේ ඔහුගේ බිරියගේ පියාට අයත් හරක් බානක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළවය.

අනුර නිශාන්ත හැඩිදැඩි පුද්ගලයෙකි. ඔහු සිදුකළ සියලුම අපරාධ සිදුකර ඇත්තේ තනිවම බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. සෝමතිලක ඝාතනයට අත්අඩංගුවට ගත් අනුර ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

අපරාධයක් කළහොත් කිසි දිනෙක වසන් ව සිටිය නොහැකි බව නැවත පසක් වන මේ සිද්ධියේ විමර්ශන රහස් පොලිසියේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්තගේ උපදෙස් මත උපපොලිස් පරීක්ෂකවරුන් වන ගයන්ත, මෙන්ඩිස්, සැරයන් 39706 සිල්වා, කොස්තාපල්වරුන් වන 28275 මුණසිංහ, 23652 හරිශ්චන්ද්‍ර, 199635 ධනංජය, 89831 මධුරංග, 83925 රූපසිංහ සහ 85466 මෙන්ඩිස් යන නිලධාරිහු සිදු කළහ.

ඡායාරූප - ඇල්පිටිය සමූහ චන්ද්‍රසිරි ගුණසේකර, කරන්දෙනිය අනුරාධ ප්‍රියදර්ශන, බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ

Comments