තුනක් ඇතුළට එද්දී සජබට දොර වැසේ | Page 2 | සිළුමිණ

තුනක් ඇතුළට එද්දී සජබට දොර වැසේ

පළාත් පාලන ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් කුමන කරුණු ඉදිරියේදී සාකච්ඡා වේද යන්න පිළිබඳව දේශපාලන පක්ෂ වැඩි අවධානයක් මේ දිනවල යොමු කරමින් සිටී.

පුංචි ඡන්දය ගැන ලොකු කතාබහක්

2023 නව වසරේ මුලදීම පළාත් පාලන ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් දිගින් දිගටම කරුණු දැක්වීමට සමඟි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වන අතර, ආණ්ඩුවේ දේශපාලන පක්ෂ ද කියා සිටින්නේ ආර්ථිකයට දරුණු බලපෑමක් ඇති නොවෙනවා නම් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ගැටලුවක් නොවෙන බවයි.

නමුත් ඇතැම් දේශපාලන විචාරකයන් ප්‍රකාශ කරන්නේ 2023 වසරේ ඡන්දයක් පැවැත්වුව හොත් 2023 වසරේදී යම් ආකාරයකට රට ආර්ථීක ස්ථාවරත්වයකට ගෙන ඒමට ප්‍රබලව බාධකයක් වන බවයි.

මිලියන 10,000ක් නම් ඡන්ද එපා

පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් මිලියන 10,000ක් වැය වන බවට ස්වාධීන මැතිවරණ කොමිසමේ අධ්‍යක් ජනරාල්වරයා කරන ලද ප්‍රකාශයක් මුල්කර ගනිමින් නව එක්සත් ජාතික පක්ෂයේ නායක සුගත් හේවාපතිරණ මැතිවරණ කොමිසමෙන් ලිඛිතව ඉල්ලා සිටියේ මේ අවස්ථාවේදී මැතිවරණයක් අවශ්‍ය නොවන බවයි.

රටේ මූලික ආර්ථිකය යම් තරමකට ශක්තිමත් වනතුරු ඡන්දය කල්දමන ලෙසත් සුගත් හේවාපතිරණ ඉල්ලා සිටින අතර ඔහු කියා සිටින්නේ මේ අවස්ථාවේදී ඡන්ද ඉල්ලා සිටින්නේ බංකොළොත් දේශපාලන පක්ෂ බවයි.

සජබෙන් ආණ්ඩුවට එන්නේ කවුද?

සමගි ‍ජන බලවේගයේ සිට ආණ්ඩුවට පැමිණෙන දේශපාලන ප්‍රබලයන් කවුද? ඔවුන් පැමිණි පසුව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙන බවට ප්‍රචාර පසුගිය දින කිහිපය පුරාම පැතිර යන්නට විය.

සමඟි ජන බලවේගයෙන් පැමිණෙන්නේ කවුද? ඔවුන්ට හිමි වන අමාත්‍ය ධුර මොනවාද යන්න පිළිබඳව සාකච්ජාවක් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් අතර ද පසුගිය දිනවල පැවැත්වුණි.

සමඟි ජන බලවේගයෙන් 12 දෙනකු පමණ ආණ්ඩු පක්ෂයට එක්වීමට සූදානමින් සිටිය ද ඔවුන්ගෙන් මේ අවස්ථාවේදී තිදෙනකුගේ සහාය පමණක් ලබා ගෙන අනෙක් අය පසුව ආණ්ඩුවට එක්කර ගැනීමට මෙහිදී තීරණය වූ බව ද වාර්තා වේ.

ඒ අනුව කළුතර, කෑගල්ල සහ මහනුවර දිස්ත්‍රික්ක නියෝජනය කරන සමඟි ජන බලවේගයේ තිදෙනකු ඉතා නුදුරේදී ආණ්ඩු පක්ෂයට එක්වීමට නියමිතයි.

එම තිදෙ‍නාගෙන් දෙදනකුට කැබිනට් අමාත්‍ය ධූර 2ක් හිමි වන අතර, අනෙක් කෙනාට හිමිවීමට නියමිතව ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ධුරයකි. එම තිදෙ‍නාගෙන් දෙදනකුට කැබිනට් අමාත්‍ය ධුර 2ක් හිමි වන අතර අනෙක් කෙනාට හිමිවීමට නියමිතව ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ධුරයකි.

සජිත්ගේ විපක්ෂ නායකධුරය ආරක්ෂා කිරීමට රනිල්ගෙන් උපදෙස්

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය හිතවාදීන් පිරිසකට ප්‍රකාශ කොට ඇත්තේ සමඟි ජන බලවේගයෙන් පැමිණෙන පිරිස ආණ්ඩුවට එක්කර ගත යුත්තේ සජිත් ප්‍රේමදාසගේ විපක්ෂ නායක ධුරයට හානියක් සිදු නොවන ලෙස බවයි. ඊට හේතුව සමඟි ජන බලවේගයෙන් විශාල පිරිසක් එක්කර ගතහොත් එය සජිත් ප්‍රේමදාසගේ විපක්ෂ නායක ධුරයට හිතකර නොවන නිසාය.

මහනුවර නගරය ගැන ජනපතිට අපූරු පුවතක්

නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටින ජනපති රනිල් වික්‍රමසිංහයන් ජනපති ලේකම් සමන් ඒකනායකට දුරකතනයෙන් අවශ්‍ය උපදෙස් ලබා දෙමින් රාජකාරිය අතපසු නොකර පවත්වාගෙන ගියේය. ජනපති රනිල් නත්තල් දිනය සැමරුවේ ද නුවරඑළියේ සිටය. කිතුනුවන්ට සුබපැතුම් එක් කරමින් ඔහු එහි ගත කරද්දී එදින ඇද හැළුණු ධාරානිපාත වර්ෂාවෙන් වූ ආපදා ගැන ද විමසා බැලීය.

ජනපතිට මේ අතරවාරයේදී දැන ගන්නට ලැබුණේ වසර ගණනාවකට පසු මහනුවර නගරය ජලයෙන් යටවී ඇති බවයි. වහාම ජනපති ලේකම් ඇමතු ජනපති රනිල් සිද්ධිය ගැන සොයා බලා තමන්ට වාර්තා කරන ලෙස උපදෙස් දුන්නේය. ඒ අනුව ජනපති ලේකම් සමන් ඒකනායක මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා අමතා වාර්තාවක් කැඳවූවේය.

එහිදි ජනපති ලේකම්ට දැන ගන්නට ලැබුණේ අපූරු තොරතුරකි. ඔහුගේ හිතවතකු විසින් එම තොරතුර ඔහු වෙත සම්ප්‍රේශණය කර තිබුණි. ඒ වර්තමානයේ දුම්රිය නැවතුම මෙන්ම බස් නැවතුම ද තිබෙන ස්ථානය පැරණි බෝගම්බර වැව පිහිටි ස්ථානය වන බවටය. අනෙක් පසින් වැසි ජලය මහවැලි ගඟට ගෙන යන අතුරු ඇළ මාර්ග අනවසර ඉදිකිරීම් නිසා අවහිරව ඇති බවට ද නිල නොවන තොරතුරු ජනපති ලේකම් වෙත ලැබී තිබුණි.‍ ඔහු වහාම මේ ගැන ජනපති රනිල් දැනුම්වත් කළ අතර, ජනපති උපදෙස් දුන්නේ දිස්ත්‍රික් ලේකම්ගේ වාර්තාව ලද පසු අවශ්‍ය පියවර ගන්නා ලෙසටය.

ඡන්ද පවත්වනවාට මුදල් අමාත්‍යාංශය විරුද්ධ ඇයි?

මැතිවරණ කොමිසම මැතිවරණයක් පවත්වන්නට සුදානම් වන බව ජනපති දැනුම්වත් කළේ එහි සිටි රාජ්‍ය නිලධාරියකු විසිනි.

“සර් මේක මැතිවරණය පවත්වන්න සුදුසු වේලාවක් නොවෙයි. අපි ආර්ථිකය යන්තම් හදාගෙන ආවා විතරයි.” මුදල් අමාත්‍යාංශ නිලධාරියකු කීවේය.

“වසර කිහිපයකට පසුව විශාල අස්වැන්නක් අපට ලැබෙන්න තිබෙනවා. ඒක මිලදී ගන්න වැඩි මුදලක් වැය කරන්න වෙනවා. ආහාර සුරක්ෂිතතා වැඩසටහනත් ක්‍රියාත්මක වෙනවා. දිළිඳු අයට ආධාර දෙන්න වැඩපිළිවෙළක් හදලා තියෙන්නේ. හැබැයි මැතිවරණයකට මුදල් දුන්නොත් මේවට දෙන්න මුදල් නැතුව යනවා.” එහි සිටි මහ බැංකු නිලධාරියකු ජනපති දැනුම්වත් කළේය.

“අය වැයෙන් මැතිවරණ කොමිසමට බිලියන 10 ක් වෙන් කරලා තියෙනවා. ඒ මුදල් මැතිවරණය වෙනුවෙන් නේද වෙන් කරලා තියෙන්නේ.” ජනපති විමසීය.

“සංඛ්‍යා ලේඛනවල හැම අවුරුද්දෙම ඔවුන් ඉල්ලන මුදල් ප්‍රමාණය වෙන් කරනවා. හැබැයි මීට පෙර පැවැති තත්ත්වය නොවෙයි දැන් තියෙන්නේ. එදා සංචිත ඩොලර් බිලියන 4 ක් 5 ක් තිබුණට දැන් එහෙම නෑ. ඡන්දයට විශාල මුදලක් වැය කළොත් යළි ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම් ඇතිවීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා අපි නම් යෝජනා කරන්නේ මැතිවරණය කල් දාන්න කියලායි.” බැංකු නිලධාරියා වැඩිදුරටත් කීවේය.

“මහ බැංකුවේ කතාවෙත් ඇත්තක් තියෙනවා සර්. මේ වෙලාවේ මිනිස්සු ඉල්ලන්නේ ආර්ථිකය ශක්තිමත් කරලා ජීවන වියදම අඩු කරන්න කියලා මිසක් ඡන්දයක් තියන්න කියලා නොවෙයි.” එහි සිටි තවත් පරිපාලන සේවා නිලධාරියකු කීවේය.

ඔවුන් සියලු දෙනා කී කතා අසා සිටියා විනා ජනපතිවරයා මැතිවරණය තියෙනවා ද නැද්ද යන්න ගැන කිසිවක් කතා කළේ නැත. මේ අතර ජනපති ට දැනගන්නට ලැබුණේ සිය පාර්ලිමේන්තු කටයුතු උපදේශකට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙනි. ඒ වන විටත් ජනපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ ඉල්ලා අස්වී තිබිණි.

ගල් අඟුරු ගැන බන්දුලගෙන් රනිල්ට ඇමතුමක්

ජනපති රනිල් සිය ලේකම් සමන් ව දැනුම්වත් කළේ ඔහු චෝදනාවන්ගෙන් නිදොස් වනතුරු සිය කටයුතුවලට සම්බන්ධ කර නොගන්නා ලෙසය. මේ අතර ගල් අඟුරු ගැටලුව ගැන ජනපති රනිල්ගෙන් දුරකතනයෙන් විමසා සිටියේ ඇමති බන්දුල ගුණවර්ධනය.

ඇමතිවරයාගේ එම කාරණය ගැන සොයා බලන ලෙස ජනපති පැවැරුවේ ලේකම් සමන්ටය. ඔහු වහාම මේ කාරණය ගැන සොයා බලද්දී දැන ගන්නට ලැබුණේ ජනවාරි 05 දාට මෙට්‍රික්ටොන් 60,000 ක් රැගත් නෞකාවක් පැමිණෙන බවටය. එලෙස නෞකා 3 ක් මේ මස තුළ පැමිණෙන බවත් හිඟයකින් තොරව ගල් අඟුරු පවතින බවත් දැනගන්නට ලැබුණේය. එම තොරතුරු ගැන ජනපති ලේකම් සමන් ඒකනායක විසින් ජනපතිව හා ඇම­ැතිවරයා දැනුම්වත් කළේය.

ජනපති ලේකම් සමන් තවත් වටිනා උපදෙසක් විදුලිබල මණ්ඩල ඉහළ නිලධාරීන් වෙත යොමු කරනු ලැබීය. එනම් විදුලිය අරපරිස්මෙන් භාවිත කිරීම පිළිබඳවය. ඒ එක් විදුලි බුබුළක් හෝ නිවා දමා විදුලිය රකින පණිවුඩය ජනතාව වෙත යොමු කිරීමය.

ජනපති රනිල් වික්‍රමසිංහයන්ගේ උපදෙස් මත අමාත්‍යාංශ ලේකම්වරු අටදෙනකු හා පළාත් ලේකම්වරු තිදෙනකු අලුතින් පත් කරනු ලැබීය. මෙහිදි ජනපති ලේකම් නිලධාරින්ට දැනුම් දුන්නේ ලබන වසරේ සිට අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ එකඟතා ගිවිසුමක් අත්සන් කරනු ලබන බවය. එහි ප්‍රගතිය මත එම ලේකම්වරයා තවදුරටත් එහි සිටින්නේ ද නැතිද යන්න තීන්දු කරන බව ද ඔහු කියා සිටියේය.

ජනපති රනිල් අඹේවෙල කිරි ගොවිපලවල්වල

මේ අතරවාරයේ ජනපති රනිල් අඹේවෙල සංචාරයක නිරත වූවේ කිරී ගොවිපොලේ වර්තමාන තත්ත්වය ගැන විමසා බැලීමටය. එහිදි කිරි නිෂ්පාදනය වැඩි කර ගැනීම වෙනුවෙන් සාකච්ඡාවක් එහි පාලන අධිකාරිය සමඟ පැවැත්වූ අතර, පසුව ජනපතිවරයා තීන්දු කළේ ප්‍රදේශයේ ඇති හිස් භූමියෙන් තවත් අක්කර 30 ක් මෙම ගොවිපොළ වෙත ලබාදීමටය.

මහාචාර්ය ආශු මාරසිංහට චෝදනා එල්ල කළ කාන්තාව තවත් මන්ත්‍රීවරයකු ද සමඟ කළ කතාබහක හඬපටයක් ද සමාජ මාධ්‍යයේ සංසරණය වන පණිවුඩය ජනපති ලේකම් කාර්යාලයට ලැබි තිබුණි. එහි සිටි නිලධාරියකු ජනපති ලේකම්ට කීවේ “සර් ඕකට කියන්නේ දිට්ඨ ධම්මවේදනීය කර්මය කියලා” යනුවෙනි. ජනපති ලේකම් ඊට සිනහවෙන් ප්‍රතිචාර දැක්වූවා විනා කිසිවක් කීමට ගියේ නැත.

ඉන්දියාව, චීනය හා තායිලන්තයෙන් ඉහළ ප්‍රතිචාර

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර මංගල්‍ය ගැන පැවැති සාකච්ඡාවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක හා ජනපති ලේකම් සමන් ඒකනායක සහභාගී වී සිටියහ. ඔවුන් විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ට දැනුම් දුන්නේ රජය පාර්ශ්වයෙන් අවශ්‍ය සහයෝගය ඊට ලබා දෙන බවය.

වාර්ෂික නවම් පෙරහැර පෙබරවාරි මස පැවැත්වීමට නියමිතය. මේ අතර ජනපති රනිල්ගේ උපදෙස් මත රාජ්‍යයන් කිහිපයක් අතර නිදහස් වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමේ යෝජනාවක් ඉකුත් සතියේ අදාළ රටවලට යොමු කෙරුණේ ය. ඒ අතර ඉන්දියාව චීනය හා තායිලන්තය ද වූවේය. මේ වන විට ඒ සම්බන්ධයෙන් තායිලන්ත ප්‍රතිචාර ලැබී අති බැවින් ඉදිරියේදි රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ආරම්භ වීමට නියමිතය.

ඉකුත් රජය නිදහස් වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් බංග්ලාදේශය සමඟ ආරම්භ කර ඇති සාකච්ඡා ඉදිරියට ගෙන යාමට ද රජය තීන්දු කර තිබේ.

දකුණු අප්‍රිකාවේ ජල විදුලි බලාගාර ඉදි කොට ඇති ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් පිරිසක් ඉකුත් සතියේ ජනපති ලේකම් සමන් ඒකනායක ඇතුළු නිලධාරීන් මුණගැසුණේ ඔවුන්ට අවශ්‍ය සහයෝගය ඉල්ලා සිටීමටය.

මෙම පිරිස පෙන්වා දුන් කරුණු දුටු රාජ්‍ය නිලධාරින් පුදුමයට පත්වූවේ එම ක්ෂේත්‍රයෙන් වසරකට ලංකාවට ගෙනා හැකි මුදල මැද පෙරදිග ගෘහ සේවයේ සිටින ශ්‍රමිකයන්ගෙන් උපයා ගැනීමට වසර 10 ක් ගත වන බව පෙන්වාදීමත් සමඟය.

මෙහිදි විදුලි බල මණ්ඩල නිලධාරීන් සේම මහ බැංකු නිලධාරින් ද මේ පිරිසට අවශ්‍ය උපකාර කිරීමට පොරොන්දු වූවේ එය තවදුරටත් වැඩි දියුණු කරන ලෙස ඔවුන් දිරිමත් කරමිනි. ඔවුනට පැවැතියේ එහි සේවයට ලංකාවෙන් ගෙන යන අයට වීසා ගැනීමට ඉන්දියාවට යාමට සිදුවීම වැනි ගැටලුය. ඒවාට විසඳුම් ලබාදීමට තමන්ට හැකි මට්ටමෙන් මැදිහත් වන බවටද ජනපති ලේකම් ඔවුන්ට පොරොන්දු වූවේය.

ජනපති රනිල් ජනවාරි 01 දා කොළඹ සිට නව වසරට යළි රාජකාරී ආරම්භ කිරීමට නියමිතය. රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබන 02 ජනාධිපති ලේකම් කාර්යාලයේදි ලබා දෙන්නේ සියලු රාජ්‍ය සේවකයන් නව වසරට රාජකාරි ආරම්භ කිරීම සනිටුහන් කරමිනි.

මහින්දගේ හිත පාපන්දුවට ගිය හැටි

මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා උදෑසනම ඇවිදීම, ව්‍යායාම් කිරීම දැනටත් සිදු කරයි. වසර ගණනාවක් තිස්සේ කෙතරම් කාර්යය බහුල වූව ද ඔහු ඇවිදීම හා ව්‍යායාම දිනපතා සිදු කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්කරගෙන තිබීම විශේෂත්වයකි.

ඇවිදින ඇතැම් දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් නොව ඇමතිවරු හා රාජ්‍ය ඇමතිවරුන් ද මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා හා ඇවිදීමට පැමිණෙති.

එසේ යන අතරම ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ගැන කතා කිරීමට ද මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා අමතක නොකළේය.

“ආජන්ටිනාවයි, ප්‍රංශයයි අතර ෆයිනල් මැච් එක වගේ ෆුට්බෝල් ෆයිනල් මැච් එකක් මං දැකලා නැහැ. මෙසී ගැන වගේම ඒ කාලේ ආජන්ටිනාවේ මැරඩෝනා ගැනයි, බ්‍රසීලයේ පේලේ ගැනයි අපි බොහොම ආදරයෙන් කතා කළා” යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පසුගිය 30 වැනිදා උදෑසන ලැබුණු පුවතකින් මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයාට දැන ගැනීමට ලැබුණේ බ්‍රසීලයේ ප්‍රබල ක්‍රීඩකයකු වන පේලේ මිය ගොස් ඇති බවයි.

පේලේගේ අභාවයෙන් දැඩි කම්පාවට පත්වූ මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ පාපන්දු ලෝකයේ රජුන් දෙදෙනකුම මෙලොව හැර ගොස් ඇති බවයි.

මීට පෙර එසේ මිය ගොස් ඇත්තේ ආජන්ටිනාවේ දියාගෝ මැරඩෝනායි. පසුව මියගියේ බ්‍රසීලයේ පේලේය.

බස් මෑන්ගෙන් අනුර කුමාරට වෙට්ටුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්වල වැඩසටහනට සමගාමීව පනස්වන බස් රථය පරිත්‍යාග කළේ තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට ය.

තඹුත්තේගම යනු අනුර කුමාර දිසානායකගේ උපන්ගම ය. තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය ඔහු ඉගෙන ගත් පාසල ය.

සජිත් සිය පනස් වැනි බස් රථය දෙන්නට දින දෙකකට පෙර අනුර දිසානායක කුරුණෑගල දී මෙහෙම කීවේය.

"අර බස් මෑන් ඉන්නවා නේද..අයියෝ.. මිනිහට පුළුවන් ඔහේ බස් එකක් එලවාෙගෙන ඉන්න. ඒවා ළදරු දේශපාලන වැඩ."

අනුර කුමාර ගිය ඉස්කෝලෙට සජිතුත් යයි

අනුරගේ විවේචනයට සජිත් පිළිතුරු දුන්නේ ඔහුගේ ගමේ පිහිටි පාසලට ගොස් ය. එහිදී දැරියක් වේදිකාවට පැමිණ සංවේදී කතාවක් කළාය.

අපිට ගොඩක් වෙලාවට ක්ෂේත්‍ර චාරිකා යන්න වෙනවා. ඒවට විශාල මුදලක් වියදම් වෙනවා. මෙහේ ඉඳලා සිංහරාජෙට යනවා නම් එක ළමයෙක්ගෙන් රුපියල් පන්දාහක්වත් යනවා. මේවා ගොඩක් දුෂ්කර ගම්මාන. අපේ දෙමව්පියන්ට මේ වගේ වියදමක් දරනවා තියා හිතන්නවත් බැහැ. එතකොට අපේ ගුරුවරු කරන්නේ එයාලගේ සොච්චම් වැටුපෙන් අර මුදල් දරන එක. මේ අවුරුද්දට විතරක් ලක්ෂ 26කට වැඩි මුදලක් විවිධ වැඩසටහන් සඳහා ප්‍රවාහන වියදම් විදිහට වැය වෙලා තියෙනවා. මැතිතුමනි ඔබ කරපු මේ මහා පින්කම ඉතිහාසගත වෙනවා. අපිට මේක හිතාගන්න බැරි හීනයක් සැබෑවීමක්. මේ කරපු දේ අපේ පාසල් ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙනවා"

උනුත් එකයි මුනුත් එකයි කියන එවුනුත් එකයි සජිත් එදා දුන්නෙ මෙහෙම උත්තරයකි.

"74 වසරක් රටේ ආණ්ඩු කළේ බදු ආදායම රාජ්‍යය ආදායම ලබා ගෙන. සංවර්ධනයේ නාමයෙන් ආපහු ඒවා බෙදා දෙනවා. අවුරුදු 74 ක් ඕක කළේ. අවුරුදු 74 ක් විපක්ෂය කළේ කොහොම හරි ආණ්ඩු බලය ගන්න සැලසුම් කරනවා, කවදාවත් විපක්ෂය සේවයක් කළේ නෑ. අහලාවත් තියෙනවාද? කිසිම දවසක කරේ නෑ, ඒ නිසා තමයි සමහර අය කියව කියවා යනවානේ, වුනුත් එකයි, මුනුත් එකයි අවුරුදු 74 ක් කියලා. හැබැයි අමතක කරන්න එපා වුනුත් ආණ්ඩුවල හිටියා, විපක්ෂවල හිටියා, මුනුත් ආණ්ඩුවල හිටියා, මුණුත් විපක්ෂ වල හිටියා, හැබැයි කියන එවුනුත් ආණ්ඩුවල හිටියා විපක්වල හිටියා, ඇමතිකම් දරාගෙන. ඔන්න ඕක විතරක් අමතක කරන්න එපා, වුනුත් එකයි, මුණුත් එකයි, කියන එවුනුත් එකයි, හැබැයි අපි වෙනස්. අපි වෙනස් වෙන්නේ මෙහෙමයි. මොන විපක්ෂය ද ‍මේ තරම් සේවයක් කළේ, අපි පාසල්වලට බස් රථ 50 ක් දුන්නා, පාසල්වලට පරිගණක පද්ධති දුන්නා, රෝහල් වලට හුස්ම වැඩසටහනෙන් බෙහෙත් හා උපකරණ දුන්නා. අපි වෙනස් කියන්නේ ඒකයි, අපි යන්නේ මැද මාවතක, අපි යන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මාවතක, ඒ මාවත තුළ අපි අපේ සමාජ වගකීම හොඳින් අවබෝධ කර ගෙන තිබෙනවා. කොයිතරම් ආදී ශිෂ්‍යයෝ ඉන්නවාද ‍මේ විද්‍යාලයේ. මහා ලොකුවට කතා කරනවා; අඩුම තරමේ අල් පෙනෙත්තක යුතුකමක් ඉටු කරලා තියෙනවාද? නමුත් තඹුත්තේගම මධ්‍ය විද්‍යාලයට 50 වැනි බස් රථය දෙන කොටත් මට හොඳටම බනිනවා. මට දැන් අලුත් නමක් දාලා, බස්මෑන් කියලා. ප්‍රශ්නයක් නෑ, මම ඔය අවලාදවලින් සැලෙන පුද්ගලයෙක් නෙමෙයි. මම කියන්නේ ජනතාවට සේවය කරන්න වැඩ වලින්. මඩ දේශපාලනයෙන් රටට සේවාවක් වෙන්නේ නෑ, මඩින් නැතිව ගොඩින් වැඩ කටයුතු කරන්න"

සජිත් එහෙම කීවේ ය.

පාර්ලිමේන්තුව පාසලට ගෙන යෑමට

අජිත් රාජපක්ෂ මැදිහත් වෙයි

පාර්ලිමේන්තුවේ සිදුවන ක්‍රියාවලිය ගැන පාසැල් මට්ටමින් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ උපදෙස් පරිදි සිදු කිරීමට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මැදිහත් වෙයි.

මෙහි වගකීම පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය වෙත යොමු කර ඇති අතර, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්කම පාසැල් මට්ටමින් දැනුම්වත් කිරීම ඉතාම කාලෝචිත බව මේ ගැන දැනගත් ආණ්ඩු පක්ෂයේ මෙන්ම විරුද්ධ පක්ෂයේ ජනතා නියෝජිතයන් කිහිපදෙනෙකුම නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පසුගිය දිනවල ප්‍රකාශ කර තිබුණි.

විදුලිය ගැන වජිර කියූ වැදගත්ම කතාව

ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, කඩවත් සතර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා උදෑසන ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

ගාල්ල දිස්ත්‍රික්කයේ සිටින රාජ්‍ය නිලධාරීන්, මහජන නියෝජිතයන්, නගර සභා මන්ත්‍රීවරු, ප්‍රදේශීය සභා මන්ත්‍රීවරු, පොලිස් නිලධාරීන්, හමුදා නිලධාරීන්, ග්‍රාමසේවක මහත්වරු ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මේ සඳහා සහභාගිව සිටියා.

ගාල්ල දිස්ත්‍රික්කයේ පවතින ගැටලු පිළිබඳ සාකච්ඡා කර ඒවාට ලබාදිය හැකි කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලින විසඳුම් සාකච්ඡා කිරීමට මෙන්ම ජනතාවට එදිනෙදා පවතින ගැටලුවලට ඉක්මන් විසඳුම් ලබාදීම වෙනුවෙන් මෙම සාකච්ඡාව සංවිධානය කර තිබුණි.

මෙහිදී ප්‍රධාන වශයෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල විදුලි බිල අයකර ගැනීම සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයත්, ගාල්ල දිස්ත්‍රික්කයේ පිටිසර ගම්මානවල ජනතාවගේ විදුලි අවශ්‍යතා සම්බන්ධ ප්‍රශ්න පිළිබඳව මෙන්ම ඒවාට ඇති විසඳුම් වජිර අබේවර්ධන විසින් අදාළ නිලධාරින්ට පෙන්වා ගැටලු නිරාකරණයට අවශ්‍ය මැදිහත් වීම සිදු කරනු ලැබුවා.

යානය කඩා වැටුණොත් සිදුවන දේ ගැන වජිර කියයි

එසේම පැමිණ සිටි ඇතැම් අය මැතිවරණයක් පවත්වනවාද යන්න පිළිබඳව ද වජිර අබේවර්ධනගෙන් ප්‍රශ්න කර සිටියා. එම ප්‍රශ්නයට පිළිතුරු ලබාදුන් වජිර අබේවර්ධන කියා සිටියේ.

“විපක්ෂය දිගින් දිගටම මැතිවරණයක් ඉල්ලනවා. ඇත්තටම මට නම් හිතා ගන්න බැහැ මෙවැනි අවස්ථාවක කොහොමද මැතිවරණයක් පවත්වන්නේ කියලා. මොකද මැතිවරණයක් පවත්වන්න විශාල මුදලක් වැය වෙනවා. ඒ විතරක් නෙමෙයි ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න අවශ්‍ය කඩදාසි පවා මේ වන විට අපේ රටේ නැහැ. ඉතින් මෙවැනි අවස්ථාවක මැතිවරණයක් ඉල්ලා සිටින විපක්ෂයෙන් මම අහන්න කැමතියි මැතිවරණය පවත්වන්න ඔබ මුදල් දෙනවා ද කියා.

මම හැමදාම කියනවා වගේ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් බාර ගත්තේ කඩා වැටෙන ගුවන් යානයක් හා සමාන රටක්. ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්වූ අවස්ථාවේදී එහි පාලකයන් සිය වගකීම් අත්හැර පැනලා යනවා. සහය නියමුවත් පැනලා යනවා.

ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවක තමයි යානය තුළ සිරව සිටින මහජනතාව බේරා ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් වුණේ. ඉතින් දැන් මේ කඩා වැටෙන ගුවන් යානය නියම ආකාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් හසුරවමින් තිබෙනවා. යම් හෙයකින් කවුරුන් හෝ මේ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමන්ව කොනිත්තන්න හැදුවොත් යානය නැවතත් කඩා වැටේවී.

මෙවැනි අවස්ථාවක මැතිවරණයක් කවුරුන් හෝ කෙනෙක් ඉල්ලනවා නම් එය ජාත්‍යන්තරයේ අවශ්‍යතාවට සිදුවන්නක් විය හැකියි. මැතිවරණයක් තාවකාලිකව යම් සාධාරණ හේතුවක් නිසා කල් යනවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් නෙමෙයි. නමුත් නැවත වරක් පිල් බෙදිලා ගහගන්නවා නම් අන්න එය ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක්. ඉතින් මෙවැනි කාරණ නිසා සිදුවන්නේ රට නැවත වරක් පහළට ඇද වැටීමයි”.

අනුබුදු කාශ්‍යප දළදා මහා පෙරහර

මේ අතර බෙන්තොට ගලපාත රජමහා විහාරස්ථානයට අනුබද්ධව වාර්ෂිකව පවත්වනු ලබන අනුබුදු කාශ්‍යප දළදා මහා පෙරහර පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ විහාරස්ථානයෙන් පිටත්ව රජ මාවත ඔස්සේ වීථි සංචාරය කෙරිණි.

ගලපාත රජමහා විහාරයේ විහාරාධිපති, දර්ශනපති, ශාස්ත්‍රපති, පණ්ඩිත පූජ්‍ය සීගිරියේ අනෝම හිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධානය කර තිබූ මෙම පෙරහැරේ, පෙරහැර ආරම්භ කිරීමට පෙර මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ සාධාතුක කරඬුව හස්තිරාජයා මත තැන්පත් කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂ සභාපති, පා.ම. වජිර අබේවර්ධන විසිනි.

Comments