යූ ටියුබ් බලා ස්නයිපරයක් හදලා | සිළුමිණ

යූ ටියුබ් බලා ස්නයිපරයක් හදලා

 

වැටලීම වාද්දුව පොලිසියෙන්

කොකා ගස්සන්නේ යකඩ බෝල දාලා

වීදුරු කාච යොදා හැදූ දුරදක්නයකුත් සවි කරලා

 

නවීන තාක්ෂණය මේ වන විට කුස තුළ වැඩෙන කලලය දක්වාම ව්‍යාප්තව ඇති බව නොරහසකි. එය මිනිසාගේ යහපතට මෙන්ම අයහපතටද හේතු වන කාරණයක් වන්නේ තාක්ෂණය යොදා ගන්නා ආකරය අනුව බව කිව යුතුය. සමාජ විරෝධී ක්‍රියාවන් සඳහා තාක්ෂණයේ පිහිට පැතීමට යාම නීතියෙන් දඬුවම් ලැබීමට හේතුවක් වනවා මෙන්ම යහපත් ක්‍රියාවක් සිදු කිරීම පැසසුම් ලැබීමක් බව ද කිව යුතුය.

අන්තර්ජාලයේ සැරිසරමින් නොයෙක් අත්හදා බැලීම් සිදු කිරීමටද මේ වන විට බොහෝ දෙනෙකු පෙලඹී සිටින්නේ තාක්ෂණයේ දියුණුව නිසා ගුරුවරයෙකුගේ අවශ්‍යතාව අවම කිරීමේ මාර්ගය උදා කරමිනි. ඒ අනුව යමින් ගල්කිස්ස ප්‍රදේශයේ පුද්ගලයෙකු පසුගිය දා බෝම්බයක් නිෂ්පාදනය කළ පුවතක් වාර්තා වූයේ ඒ පිළිබඳ ඔහු නීතියෙන් වරදකරුවෙකු බවටද පත් කරමිනි. වාද්දුව ප්‍රදේශයෙන් ද මෑතකදී වාර්තා වූයේ එවැනිම සිද්ධියකි.

මෙම පුද්ගලයා නිෂ්පාදනය කළේ යුද හමුදාව භාවිත කරන ස්නයිපර් ගිනිඅවියකට සමාන ගිනිඅවියක් වීමද විශේෂිතය. විසිහත් හැවිරිදි මෙම පුද්ගලයා මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වී සිටි අයෙකු වන අතර ඒ සම්බන්ධයෙන් පාණදුර මහාධිකරණයේ ඔහුට විරුද්ධව පැවති නඩුව අවසන් වීමෙන් පසුව ඔහු දෙහිවල ප්‍රදේශයේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට ඇතුළත් වී වසරක පමණ කාලයක් ගත කර තිබුණේ එම පුරුදුවලින් මිදීම සඳහාය. බාල සහෝදරයෙකු පමණක් සිටින මෙම තරුණයා සාමාන්‍ය පෙළ දක්වා පමණක් අධ්‍යාපනය ලබා තිබුණත් 'අන්තර්ජාලයෙන්' උගත් දෑ බොහෝය.

වඩු කාර්මිකයෙකු වන පියා නිවෙසේම වඩු මඩුවක් පවත්වාගෙන ගියත් මොහු ඊටද යොමු නොවී රැකියාවක්ද නොකර සිටියත් පුනරුත්ථාපනය වී පැමිණි පසුව රැකියාවක් කරන තරුණියක් සමඟ විවාහ දිවියට ඇතුළත් වුයේ තමන් එතෙක් කළ සියලු වැරදි නිවැරදි කර ගැනීමෙන් පසුවය.

නිකරුණේ කාලය ගත කිරීමේදී අන්තර්ජාලයේ සැරි සරමින් ගිනිඅවි නිෂ්පාදනය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීම මොහුගේ විනෝදාංශය බවට පත්වුවේ ඉබේමය. ‘යුටියුබ්’ ඔස්සේ විවිධ ගිනිඅවි පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට ඔහුට මාස ගණනක් ගත කිරීමට සිදු විය. වඩු මඩුවේ ඇති උපකරණවලින් ප්‍රයෝජන ගත හැකි බැවින් ඔහුගේ සිතට ගලාගෙන ආවේ තුවක්කුවක් නිපදවිය යුතු බවයි. ඒ සඳහා අවශ්‍ය ස්ප්‍රින්, ගිනිඅවි කොටස්, ඇලුමිනියම් සහ යකඩ බට කොටස්, ඉවත ලන ප්ලාස්ටික් කොටස් මෙන්ම සුදු යකඩ ඇතුළු දෑ එකතු කර ගැනීමටද ඔහුට මාස කීපයක්ම ගත වූවේ මෙම කාර්ය බාරදූර එකක් වන බැවිනි.

කෙසේ වුවත් අවසානයේ ඔහුගේ ප්‍රතිඵල භුක්ති විඳීමට කාලය එළඹී තිබුණේ 'උත්සාහවන්තයා' ජය ගනී යන කියමන සනාථ කරමිනි. ඔහු තැනූ අවියට ප්ලාස්ටික් සහ වීදුරු කාච යොදා දුරදක්නයක්ද සවි කිරීමට තරම් ඔහු දක්ෂයෙකු වූයේ අන්තර් ජාලයේ පිහිට මැනවින් ලබා ගැනීම නිසාය.

අඩි හතරක් පමණ දිග මේ ගිනිඅවිය අත්හදා බැලීම් සිදු කරමින් සම්පූර්ණ කළේ අවසානයේ එහි ක්‍රියාකාරිත්වය නිවැරදි දැයි පරීක්ෂා කිරීමේ අවස්ථාවට එළඹෙමිනි. ඒ සඳහා ඔහු යොදා ගත්තේ බයිසිකල්වල යකඩ බෝලය. කුරුල්ලන් බළලුන් බල්ලන් ඉලක්ක කර 'කොකා ගැස්සූ' මෙම තරුණයා එම ස්ථානවලම මෙම සතුන් මිය ගොස් වැටෙන දෙස බලා සතුටු වූවේ තමන්ගේ අරමුණ ඉටු වූ බව සිතමිනි. ඉන් පසුව ඔහු එය අතහැර දමා ටික කාලයක් අලසව ගත කළත් යළිත් සිය ගිනිඅවිය වැඩි දියුණු කළ යුතු බව සිතා කටයුතු කළේය. එවර ඔහුට උවමනා වූවේ යකඩ බෝලවලට වඩා වැඩි බලයකින් උණ්ඩ පිට කළ හැකි ක්‍රමයක් සොයා ගැනීමටය. ඒ සඳහා ඔහු තවදුරටත් ‘යුටියුබ්‘ හරහා දැනුම සොයා වෙහෙසුණේ නොයෙක් අත්හදා බැලීම් ද සිදු කරමිනි. උණ්ඩවල ප්‍රබලතාව වැඩි වන විට ඉන් සිදු වන හානියද වැඩි වන නිසා ඔහු නිරන්තරයෙන් අත්හදා බැලීම්වල නියැළුණේ සතුන් ඉලක්ක කර කොකා ගැස්සීමේ සෙල්ලමද සිදු කරන අතරය. මොහුගේ මෙම භයානක සෙල්ලම පිළිබඳව අවට ඇස් නිරන්තරයෙන් අවධානය යොමු වී තිබුණ බව ඔහුට වගේ වගක් නොතිබුණ නමුත් ඒවා වහා ක්‍රියාත්මක වූවේ වාද්දුව පොලිසියට අනුයුක්ත බස්නාහිර පළාත් බුද්ධි අංශයේ නිලධාරින් වන සැරයන් 64445 උපුල් සහ කොස්තාපල් 79760 විරසිංහ යන නිලධාරින්ගේ දෙසවන්වලද හැපීගෙනය.

බස්නාහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ගේ නියෝග මත ක්‍රියාත්මක විශේෂ අපරාධ නිවාරණ මෙහෙයුම් රාජකාරියේ නිරත වාද්දුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් එම නිවෙස වටලන විටත් මේ පුද්ගලයා සිටියේ තම කාමරයට වී සිය ගිනිඅවිය කෑලිවලට ගලවා එහි ක්‍රියාකාරිත්වය උපරිම ලෙස වැඩි කළ හැකි අයුරු පිළිබඳව අධ්‍යයනය කරමින් එහි නොයෙක් කොටස් යොදමින් අත්හදා බලමිනි.

ඒ සඳහා ඔහු අන්තර්ජාලය ඔස්සේ ස්වයං අධ්‍යයනයක නිරත වෙමින් ලී, ඇලුමිනියම් බට, ප්ලාස්ටික් බට කොටස්, වෙනත් ආයුධවල යකඩ ස්ප්‍රින් ආදිය මිලදී ගෙන තිබුණේ කෙසේ හෝ ගිනි අවියෙන් උපරීම ඵල නෙළා ගැනීම සඳහාය. මෙම ගිනිඅවියේ ඉදිරිපස දුරදක්නයක් ද සවි කර තිබුණේ ඉතා ඈත ඇති කෙනෙකුට වුවද අනතුරක් සිදු කිරීම සඳහා නිවැරදි ඉලක්කය ඇල්ලීම පහසු වීමටය.

එහෙත් ඔහුට අවසානයේ සිදු වූවේ පොලිස් අත්අඩංගුවේ පසු වීමටය.

කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති සන්දනායක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරි 2 (පාණදුර) ජයනෙත්තිගේ අධීක්ෂණය සහ උපදෙස් මත වාද්දුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සරත් කුමාර චාමේන්ද්‍ර, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිශ්ශංක, කොස්තාපල්වරුන් වන (36249) චානක්, (102519) වීරසිරි යන නිලධාරින් මේ පිළිබඳ විමර්ශන සිදු කළහ.

Comments