
සැමියාගේ ඝාතනයෙන් පසු පෙම්වතා සමඟ සියඹලාන්ඩුවට පැනගිය කත කැලේදි අත්අඩංගුවට
අනියම් ප්‍රේම සම්බන්ධයක අවසන් ප්‍රතිඵලය මොනයම් හෝ ආකාරයක විසඳුමකින් කෙළවර වේදැයි කියා කිසිවෙක් දන්නේ නැත. අනියම් සම්බන්ධතා වැඩිපුර පවත්වාගෙන යන්නේ විවාහක පිරිමි සහ කාන්තාවන් විසිනි. අපූරුවට දරු පවුල් සමඟ දිවි ගෙවමින් සිටින මේ ඇතැමුන් අනියම් සබඳතා නිසා පවුල සුනු විසුනු කර ගනිති. මේ සම්බන්ධතාවල අවසන් ප්‍රතිඵලය වන්නේ මනුෂ්‍ය ඝාතනය. එයින් වැඩිපුර දුක් ගැහැට විඳින්නේ අසරණ මවුපියන් සහ දූ දරුවන්ය. මේ අනියම් සබඳතාවල මුල් කාලය 'පැණි රස' වුවත් කාලයක් ගත වෙද්දී ප්‍රශ්න මතු වෙද්දී මවුපියන්ට මෙන්ම දූ දරුවන්ට දුක් ගින්දර හේතුවෙන් නීතිය හමුවේ මේ ඇතැමුන්ට සිදුවන්නේ මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා බිත්ති හතරට මැදිව හිරබත් කන්නටය.
එවැනි සිද්ධියක විත්තිකරුවකුට දුන් මරණ දඬුවමක් පිළිබඳ පුවතක් ඉකුත්දා කෑගල්ල මහාධිකරණයෙන් වාර්තා විය. නඩු විභාගයේදි මේ අනුවේදනීය කතාව දිගහැරිණි.
යටියන්තොට කබුළුමුල්ල වලහේන ග්‍රාමයේ පදිංචිව සිටින ගමරාලලාගේ චාන්දනී විමලසේන එක් දරු මවගේ වයස දැනට අවුරුදු 42 කි. ඇයට අවුරුදු 22 ක දියණියක් ද සිටියි.
චාන්දනීගේ උපන් ගම මොණරාගල සියඹලාණ්ඩුව ප්රදේශයයි. සහෝදර සහෝදරියන් කීප දෙනකු යුත් පවුලක චාන්දනී යාන්තම් වයස අවුරුදු 17 ක් වෙද්දී 1997 දී පියාගේ වැඩිමහල් සහෝදරයා (ලොකු තාත්තා) පදිංචිව සිටින යටියන්තොට කබුළුමුල්ල වලහේන නිෙවසට පැමිණියාය. ලොකු තාත්තාගේ නිෙවසේ වාසය කළ චාන්දනී ලොකු අම්මා සහ සහෝදර සහෝදරියන් සමග සතුටින් දිවි ගෙවද්දී අසල නිෙවසක පදිංචිව සිටින 18 හැවිරිදි කඩවසම් තරුණයෙක් වන බාලසූරිය ආරච්චිලාගේ ප්‍රියන්ත බාලසූරිය සමඟ සමීප සබඳතාවක් පැවැත්වූවාය. ඔහු කලක සිට චාන්දනීගේ ලොකු තාත්තාගේ නිෙවසට යන එන අසල්වැසි තරුණයෙකි.
දින ගණනාවක් ගත වෙද්දී චාන්දනී ලොකු තාත්තාටත් ලොකු අම්මාටත් සහෝදර සහෝදරියන්ටත් හොර රහසේ ප්‍රියන්ත බාලසූරිය සමග ප්‍රේම සම්බන්ධතාවක් ගොඩ නඟා ගත්තාය. එහි ප්‍රතිථලය වූයේ 1999 මාර්තු 19 වැනිදා ප්‍රියන්ත බාලසූරිය තරුණායා චාන්දනීව හොර රහසේ නිවසට රැගෙන යාමය. පසු දා 20 වැනිදා දෙපාර්ශ්වයේම ආශීර්වාද මැද ප්‍රියන්ත චාන්දනී සමඟ විවාහ දිවියට පා තැබුවාය. ප්‍රියන්ත චාන්දනී දිවි ගමනේ කැදැල්ලට 2000 වර්ෂයේ දියණියක් ද එක් වුණි. කාලයක් ගතවෙද්දී ප්‍රියන්තට හරි හැටි රැකියාවක් නොතිබුණු අවස්ථාවේ දී ඔහු දෑතට සුක්කානම හුරු කර ගත්තේය. චාන්දනීටත් දියණියටත් එකසේ ආදරය කරුණාව දැක්වූ ප්‍රියන්ත බිරියට සහ එකම දියණියට කිසි අඩුවක් කළේ නැත.
2008 වසර වෙද්දී ප්‍රියන්ත චාන්දනී කැදැල්ලේ ගැටුම් ඇති වෙන්නට පටන් ගත්තේය. ඒ චාන්දනී අසල්වැසි පදිංචිව සිටින අවිවාහක රියදුරෙකු වන ප්‍රියන්තගේ වයසට සමාන තරුණයෙක් වන පලමුර හේවගේ හරිස්චන්ද්‍ර කුමාරසිංහ සමග අනියම් සම්බන්ධතාවක් සැමියාට හොර රහසේ ආරම්භ කිරීම නිසාය.
බිරියගේ අනියම් සම්බන්ධතාවය දැන ගත් ප්‍රියන්ත දිනක් ඒ ගැන චාන්දනීගෙන් විමසීය. තමාට බොරු චෝදනා එල්ල කරන්න එපා යැයි පවසා චාන්දනී ප්‍රියන්තට කීප වරක්ම පැවසුවාය. චාන්දනීගෙන් ප්‍රියන්තට පෙර තිබුණු ආදරය කරුණාව දිනෙන් දින අඩු වෙද්දී ප්‍රියන්තට චාන්දනී ගැන තවත් සැක පහළ විය. නිෙවසේ දිනපතා ගිනි ඇවිළෙන්ට පටන් ගත්තේය. ඇගේ අනියම් සම්බන්ධතාව පිළිබඳ දිනපතාම පාහේ චාන්දනීගෙන් ප්‍රියන්ත විමසා සිටියත් ඇය එක එල්ලේ ප්‍රතික්ෂේප කළාය.
2010 සැප්තැම්බර් 26 වැනිදා රාත්‍රි ප්‍රියන්ත චාන්දනී කැදැල්ලේ පෙරට වඩා උණුසුම්කාරි තත්ත්වයක් හට ගත්තේය. පෙර දින රාත්‍රී සිය සැමියා සමඟ පැවැති උණුසුම්කාරි තත්ත්වය පිළිබඳ චාන්දනී 27 වැනිදා මාස ගණනාවකට සිට සම්බන්ධකමක් පවත්වාගෙන යන අවිවාහක අනියම් සැමියා වන අසල්වැසි පදිංචිව සිටින පලමුර හේවගේ හරිස්චන්ද්‍ර කුමාරසිංහට කීවාය.
එදින චාන්දනී වයස අවුරුදු 10 ක් වූ දියණිය සැමියා වන ප්‍රියන්ත බාලසූරියගේ මවට දී නිෙවසින් පිට වූයේ හරිස්චන්ද්‍ර සොයාගෙනය. අතර මග දී හමු වූ අනියම් සැමියා වන හරිස්චන්ද්‍ර චාන්දනීව ත්‍රීරෝද රථයක නංවාගෙන රුවන්වැල්ල නිවුන්හැල්ල ප්‍රදේශයේ පාළු නිෙවසක නතර කළේය.
28 වැනිදා පෙරවරුවේ චාන්දනීට පාළු නිෙවසේ රැදී සිටින ලෙස දන්වා හරිස්චන්ද්‍ර සිය මව බැලීමට නිෙවසට රබර් ගස් ගලවමින් තිබුණු වත්තකින් ගමන් කරමින් සිටියේය.
රබර් වත්ත මැදින් ඉදිරියට ගමන් කරමින් සිටින අවස්ථාවේදී මුහුණට මුහුණ චාන්දනීගේ සැමියා වන ප්‍රියන්ත බාලසූරිය හරිස්චන්ද්රට මුණ ගැසුණි. දෙදෙනා අතර එහිදී බහින් බස් වීමක් සිදු වුණි. බහින් බස් වීම රබර් ගස් ගලවමින් සිටි කබුළුමුල්ලේ පදිංචිව සිටින 23 හැවිරිදි මානියම්ගේ නිලංග රුවන් කුමාර තරුණයා දුටුවේය. රුවන් දිව ගොස් දෙදෙනාගේ බහින් බස් වීම සම්බන්ධයෙන් කරුණු කාරණා විමසා හරිස්චන්ද්‍ර මව බැලීමට පිටත් කර යැවුවේය. ප්‍රියන්ත බාලසූරිය ද ආ ගමන නවතා හරිස්චන්ද්‍ර පිටුපසින් ද නිලංග රුවන් කුමාර තරුණායා ඊට පිටු පසින් ද තිදෙනාම ප්‍රියන්ත බාලසූරියගේ නිෙවසට ගියේය.
ප්‍රියන්ත බාලසූරියගේ නිෙවසට යන අවස්ථාවේ දී ප්‍රියන්තගේ මව සහ දියණිය එහි සිටියෝය. යළි ප්‍රියන්ත හරිස්චන්ද්‍ර සමඟ බහින් බස් වීමක් සිදු වුයේ රුවන් ප්‍රියන්තගේ මව ඉදිරියේ මිදුලේදීය. ප්‍රියන්ත නිෙවස පිටුපසට දිව ගොස් රබර් ඇසිඩ් ස්වල්පයක් ගෙන හරිස්චන්ද්‍ර දෙසට විසි කලේය. ඇසිඩ් ප්‍රහාරයෙන් ඉතා සුළු පිලිස්සුම් තුවාල ලද හරිස්චන්ද්‍ර අත තිබුණු පිහියකින් ප්‍රියන්තගේ බඩට ඇන්නේය. පසුව ප්‍රියන්ත කෑ ගසන්නට විය. පසුව වහාම රුවන් සහ ප්‍රියන්තගේ මව ඉතා අසීරුවෙන් ප්‍රියන්ත රෝහලකට රැගෙන යාමට දෑතින් අල්ලාගෙන පයින්ම වාහනයක් හමු වන තුරුම ආවෝය. ඒ පිටුපසින් මඳ දුරක් ආ හරිස්චන්ද්‍ර ප්‍රියන්තගේ කරට පිහියෙන් තට්ටු කර මචං මම උඹට ඇන්නේ මැරෙන්න නෙමේ යැයි පවසා ගියේය.
පසුව ආ ත්‍රිරෝද රථයකට ප්‍රියන්තව දාගත් ඔහුගේ මව ඔහු කරවනැල්ල රෝහලට ඇතුළු කරනු ලැබූ අතර කරවනැල්ල රෝහලෙන් වැඩිදුරටත් ප්‍රතිකාර සඳහා ඔහු අවිස්සාවේල්ල රෝහලට මාරු කර යැවිණ. අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කරන විටත් ප්‍රියන්ත යළි නොඑන ගමන ගොස් තිබුණි. පසුව සිද්ධිය සම්බන්ධයෙන් යටියන්තොට පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මිලන්ත සිල්වා උප පොලිස් පරීක්ෂක විජේවර්ධන නිලධාරින් රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව අවිස්සාවේල්ල රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය එච්. පී. විජේවර්ධන විසින් පශ්චාත් මරණ පරීක්ෂණය 29 වැනිදා සිදු කර දේහය ප්‍රියන්තගේ මවට භාර තිබුණි.
හරිස්චන්ද්‍ර පසුව චාන්දනී නතර කර සිටි නිෙවසට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් චාන්දනීට දැන්විය.පසුව දෙදෙනා කතිකා කර ගත් ආකාරයට චාන්දනීගේ උපන් ගම වන සියඹලාණ්ඩුවට 28 වැනිදා ගියෝය.
මේ දෙදෙනාට චාන්දනීගේ නිෙවසට නොගොස් සියඹලාණ්ඩුව පොලිස් වසමට අයත් අම්පාර පාර බටුගහගොඩ කැලේ රැදී සිටින අවස්ථාවේ නාඳුනන යුවළක් කැලේ සැඟව සිටින ලද තොරතුරකට අනුව සියඹලාණ්ඩුව 8 කණුව පොලිස් මුරපොළේ පොලිස් සැරයන් දයානන්ද (43194) කොස්තාපල්වරුන් වන වර්ණ කීර්ති (41821) නිශාන්ත (52208) විෂ්ණුක (78915) යන නිලධාරින් විසින් යුවල අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර යටියන්තොට පොලිසියට බාර දී තිබුණි. පසුව යටියන්තොට පොලිසිය මඟින් සැකකාර හරිස්චන්ද්‍ර කුමාරසිංහ අත්අඩංගුවට ගෙන රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. එහිදී හරිස්චන්ද්‍ර බන්ධනාගාර ගත කෙරිණ. රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගයකින් අනතුරුව නීතිපතිවරයා වෙත යොමු කොට අධි චෝදනා දෙකක් යටතේ අංක 3139/12 කෑගල්ල මහාධිකරණයට 2012 වර්ෂයේ යොමු කොට තිබුණි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ඉකුත් 30 වැනිදා නඩුවේ තීන්දුව ප්‍රකාශ කරන බවත් ඊට පෙර යමක් කීමට ඇද්දැයි චුදිත වන හරිස්චන්ද්‍රගෙන් අධිකරණය විමසීමක් කලේය. කිසිවක් නොමැති බව හරිස්චන්ද්‍ර පැවසීය.
පැමිණිල්ලේ පළමු සාක්ෂිය සහ වෛද්‍යවරයාගේ වෛද්‍ය වාර්තාවෙන් මනුෂ්‍ය ඝාතනයක් සිදු කොට ඇති බව පැමිණිල්ල විසින් ඔප්පු කර තිබීම හෙතුවෙන් චුදිතට මරණ දඬුවම පනවන බව කෑගල්ල මහාධිකරණ විනිසුරු ජයකි ද අල්විස් මහත්මිය සඳහන් කළාය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ දේශානි තිලකරත්න පෙනී සිටි අතර චුදිත වෙනුවෙන් නීතිඥ අසෝකා රාජපක්ෂ පෙනී සිටි අතර යටියන්තොට පොලිසියේ සැරයන් චන්ද්‍රසේන (64536) අධිකරණයේ පෙනී සිටියේය.