
මිනිසකුගේ ආයුෂ කාලය සමාප්ත වේ නම් ඔහුගේ මරණය කිසිවකුටත් වැළැක්විය නොහැකිය. නොසිතු මොහොතක 'යන්නට යන්නේ' ගේ දොර වතු පිටි අඹු දරුවන් හරක බාන මේ සියල්ල අතහැර දමාය. ප්‍රාණඝාත කර පලිගැනීමෙන් මෙලොවදීත් එලොවදීත් හිමි වන්නේ නරකාදිය බව සිතන්නට බැරිනම් කොතරම් බණ කිව්වත් ඇහැව්වත් ඵලක් නම් නැත. සියලු දෙනාම තම ජීවිතයට ප්‍රිය කරති. මරණයට බිය වෙති. එසේ නම් කෙනකු මරා දමා තවත් කෙනෙකුට සුව සේ කොතරම් කල් ජීවත්විය හැකිද?
අඬ දබර, කලකෝලාහල, ඇනකොටා ගැනීම් අවසානයේ ජීවිතවලින් සමු ගැනීම් සියල්ලටම බොහෝ දුරට හේතු කාරණා වන පොදු සාධකය වන්නේ මත්පැන්ය. මත්පැන් තොල ගෑමෙන් පසු සහෝදරකම් මිතුරුකම් සියල්ල මතකයෙන් ගිලිහී වෛරය ක්‍රෝධය ඉස්මතු වේ. එවන් අවස්ථාවක සුළු සිද්ධියක් පවා කෙළවර වන්නේ ඇනකොටා ගැනීම්, බහින් බස්වීම්, අවසානයේ ජීවිතවලින් සමු ගැනීම්ය. මේ කියන්නට යන්නේ ආසන්නම එවන් සිද්ධියකි.
පුත්තලම දිසාවේ ආනමඩුව, පල්ලම පොලිස් වසමේ නාගවිල ගම්මානය ඉතා දුෂ්කර ගම්මානයකි. බොහෝ දෙනාගේ ජීවිකාව වන්නේ එදිනෙදා කුමක් හෝ කුලී වැඩක් කර ආදායමක් උපයා ගැනීමය. ගම්මානයේ රාජ්‍ය සේවකයන් හෝ ව්‍යාපාර කටයුතුවල නිරත වන්නන් අතළොස්සකි.
ඉකුත් 20 වැනි දින එම ප්‍රදේශයේ වත්තක ගස් කැපීමට දස දෙනෙකු පමණ පිරිසක් එක්ව සිටියේ එදින සියලු වැඩ නිම කිරීමට අපේක්ෂාවෙනි. සියලු දෙනාම එකා මෙන් මහන්සි වී වැඩ කළේ ද එක් දිනක් තුළ එම කටයුත්ත නිම කිරීමට ය. විවේකය අඩුකර දිවා කෑමට කෙටි වෙලාවක් ලබා ගෙන තම වැඩ කටයුතු කෙසේ හෝ නිම කිරීමට ඔවුන්ට හැකි විය. වැඩ අවසන් වූයේ එදින පස්වරු 6ට පමණය. ඉන් අනතුරුව ඔවුන් කතිකා කර ගත්තේ නිවෙස්වලට ගොස් ඇඟපත සෝදාගෙන රාත්‍රී 7ට පමණ 'එකතුවීමට'ය. ඒ මත්පැන් සාදයක් පැවැත්වීමටය. ඇඟේ පතේ රුදාව නැති කර ගැනීමටත් සතුටු වීමත් ඔවුන්ගේ අරමුණය. ඒ සඳහා ඔවුන් එම වත්තේම පිහිටි කුඩා නිවසක් තෝරා ගත්තෝය. වටපිටාවේ කාත් කවුරුත් නොමැතිව හුදෙකලාව තිබීමත් නිසා ඔවුන්ට රිසි සේ විනෝද වීමට හැකිවීම ඊට හේතුවයි. කතිකා කර ගත් පරිදි එකිනෙකාගේ අඩු වැඩියෙන් මුදල් යොදා මත්පැන් බෝතල් කීපයක් ගෙන සාදය පටන් ගත්තේ රාත්‍රී 7.30ට පමණය. රාත්‍රී 9.00 පමණ වන විට කීප දෙනෙක් ඉන් පිටත් වූයේ පසු දින ඇති වැඩ කටයුතු ගැන කියමිනි. ඔවුන්ට බාධාවකින් තොරව සිය නිවෙසට යාමට සාදයේ ඉතිරි වූ සිවුදෙනා අවසර ලබා දුන්නෝය. ඔවුන් එම ස්ථානයෙන් පිට වන විට එක් බෝතලයක් පමණක් ඉතිරිව තිබූ අතර පසුව සිවුදෙනාගේම කැමැත්ත අනුව තවත් බෝතලයක් රැගෙන ඒමට කටයුතු කරන ලදී.
එම මත්පැන් බෝතලය කෙමෙන් හිස් වෙද්දී කාගෙත් පදම වැඩි වූයේ ඔවුන්ටත් හොරාය. මේ අතර මත්පැනින් යහමින් සප්පායම් වී සිටි 'චානක' ඒ අවස්ථාවේ තම අසල සිටි මිතුරා වන සේනක සමඟ ආගිය මුල ගිය තොරතුරු කතාබහ කරමින් සිටියේය. සේනක නාගවිල ගම්මානයේ උපන් දා සිට පදිංචි අයෙකි.
හතළිස් දෙහැවිරිදි ඔහු පළමු විවාහයෙන් වෙන් වී දෙවන විවාහයේ බිරිය සමඟ ජීවත් වේ. ඔවුනට එක් දියණියක් පමණක් සිටී. ඇය ඉතා රූමත්ය. එක් වරක් දුටු කෙනෙක් තවත් වරක් හැරී බලන්නට තරම් ඇයගේ රූ සපුව පිරිපුන්ය. මිතුරන් දෙදෙනා මෙසේ හොඳට සප්පායම් වී සිටියදී සේනකගේ දියණිය ගැන වර්ණනා කිරීමට චානක කටයුතු කළේය. තම දියණිය ගැන චානක එසේ දිගින් දිගටම වර්ණනා කිරීම ගැන සේනක අප්‍රසාදය පළ කරමින් ඒ ගැන කතා නොකරන්නැයි චානකට කීවේය. එහෙත් හොඳටම සූර් වී සිටි චානක ඔහුගේ වචනය තඹ දොයිතුවකටවත් මායිම් නොකළේය. ඔහු දිගින් දිගටම සේනකගේ දියණියගේ අඟපසඟ ගැන ද සඳහන් කරමින් තව තවත් ඇය වර්ණනා කළේය. ඇය සිප වැලඳ ගැනීමට තරම් ආසාවක් තමාට ඇති බව ඔහු කීවේය. සේනක දැඩි කෝපයෙන් චානක සමඟ උණුසුම් වචන හුවමාරුවක් වෙද්දී සෙසු මිතුරන් දෙදෙනා එය වැළැක්වීමට උත්සාහ දැරුව ද පලක් නොවීය. ඔවුන් දෙදෙනා ගුටිබැට හුවමාරුවක නිරත විය. අවසානයේ චානක පැවසූවේ කෙසේ හෝ සේනකගේ දියණිය සමඟ රැයක් ගත කරන බවයි. ඒ වචන මුවින් පිට වෙනවාත් සමඟම සේනකගේ රතු කට්ට පැන්නේය. ඔහු කෝපාවිෂ්ට විය. එකවරම අසල තිබූ යකඩ කූරක් ගෙන චානකට පහර පිට පහර එල්ල කළේය. චානක ලේ විලක් මත වැටුණේය. ලේ විලක් මැද වැතිරී සිටි චානක සිහින් කෙඳිරියත් සමඟ ජීවිතයෙන් සමු ගත්තේය.
මෙසේ ඝාතනය ෙකරුණේ පල්ලම, නාගවිල පදිංචිව සිටි 38 හැවිරිදි කඳවලගෙ චානක ජයනාත් පෙරේරාය. ඔහු හලාවත ඉරණවිල පදිංචිකරුවෙකි. චානකද දෙවන විවාහයේ බිරිය සමඟ නාගවිල ගම්මානයට පැමිණ ඇත්තේ මීට වසරකට පමණ පෙරය.
සිද්ධිය සම්බන්ධව පල්ලම පොලිසියට දුරකතන ඇමතුමක් දී ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ඉන් අනතුරුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ විමර්ශන කටයුතු සිදු කළේය. පල්ලම පොලිසියේ ස්ථානාධිපති ගාමිණී සිරිවර්ධන ඇතුළු පොලිස් නිලධාරීන් අදාළ ස්ථානයට පැමිණ එම ස්ථානයේ රැඳී සිටි පුද්ගලයින් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදී. සිද්ධියට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයා එම අවස්ථාවේදීම ප්‍රදේශයෙන් පලා ගොස් තිබිණි. අනතුරුව පොලිස් ස්ථානාධිපතිවරයා අැතුළු පොලිස් නිලධාරින් රාත්‍රී කාලයේ මෙහෙයුමක් සිදු කොට ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය.