තලපත්පිටියේ නිවෙසක මිදුලෙන් හමුවූ ‘කුඩු’ පාර්සලය හෙළි කළ රහස | සිළුමිණ

තලපත්පිටියේ නිවෙසක මිදුලෙන් හමුවූ ‘කුඩු’ පාර්සලය හෙළි කළ රහස

 

“සර්... මිරිහානෙ තලපත්පිටියෙ ගෙදරකින් අද 'කුඩු' වගයක් එළියට යනවා. සර්ලා ආවොත් අතටම අල්ලගන්න පුළුවන් වෙයි. සුදු පාට වෑන් එකකින් තමයි 'බඩු ටික' එළියට යන්නේ..." එලෙස දුරකතන ඇමතුමක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට ලැබෙන්නේ මීට මාස 5කට පමණ පෙරය. ක්ෂණිකව ක්‍රියාත්මක වූ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර නිලධාරීන් පිරිසක් මිරිහානට පිටත් කර යවන්නේ එහි සත්‍ය අසත්‍යතාව සොයා බැලීමටය. වෙස් වළාගත් පොලිස් නිලධාරීන් දුරකතන ඇමතුමෙන් කියැවුණු තලපත්පිටිය මාර්ගය අවට රැකවල්ලා සිටිය ද සුදු පාට වෑන් රථයක් පැමිණියේ නැත. ගින්නක් නැතිව දුමක් නඟින්නේ නැතැයි කියන්නාක් මෙන්, මෙහි කුමක් හෝ දෙයක් ඇතැයි සිතූ පොලිස් නිලධාරීන් දුරකතන ඇමතුමෙන් කියැවුණු ලිපිනයේ පිහිටි නිවෙස පරීක්ෂා කිරීමට තීරණය කරන්නේ ඉන් පසුවය.

එකවරම නිවෙස වටලා සෝදිසි කළ ද නිවෙසින් කිසිවක් සොයා ගැනීමට හැකි වන්නේ නැත. නිවැසියන්ගේ ද වෙනසක් පෙනෙන්නට නොතිබිණි. වත්තේ තැනක කුඩු වළ දමා ඇති බවට දුරකතන ඇමතුමෙන් පැවසූ බවක් නිලධාරින්ගේ මතකයට නැඟිණි. නිවැසියන්ට නොදැනෙන ලෙස පොලිස් නිලධාරීන් ගෙවත්ත පරීක්ෂා කරන්නේ ඉන් අනතුරුවය. දින දෙක තුනකට කලින් හැරූ වළක් නිලධාරින්ගේ නිරීක්ෂණයට ලක් වන්නේ ඔය අතරය. පස් බුරුල් වී ඇති එම වළ පිළිබඳ නිලධාරින්ට සැක සිතී එය හාරා බලන අතර එහිදී අයිස්ක්‍රීම් පෙට්ටියක් හමු වන්නේය. එයද විවෘත කර බැලීමේදී කොළයක ඔතා තිබූ මත් කුඩු පාර්සලයක් මතුවන්නේ නිවැසියන් ද තුෂ්ණිම්භූත කරවමිනි.

"අනේ සර්... අපි මේ ගැන මුකුත්ම දන්නේ නෑ...."

එසේ නම් දුරකතන ඇමතුමින් දුන් තොරතුර නිවැරදිය. කුමක් හෝ දෙයක් මෙතැන සිදු වන බවට සාක්ෂියක් ද හමු වී අවසන්ය. එහෙත් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් නිශ්ශබ්දය. ඇත්තෙන්ම වලාන නිලධාරීන් අපරාධවල සුලමුල සොයා හඹා යෑමේ අතිදක්ෂයන්ය. ඔවුන්ට මත්ද්‍රව්‍ය පිළිබඳ ඇත්තේ හොඳ ඉවකි. මේ හමු වූ පාර්සලයේ තිබෙන්නේ මත් කුඩුමද? මහා පරිමාණ කුඩු මෙහෙයුම් සිදු කරනා වලාන නිලධාරීන්ට මේ පාර්සලය ගැන ඇත්තේ කුකුසකි. කෙසේ වෙතත් මේ පාර්සලය මිරිහාන පොලිසියට භාර දීමෙන් අනතුරුව උසාවියට ඉදිරිපත් කරනා අතර රස පරීක්ෂක වාර්තාවේදී මෙහි මත්කුඩු නොවන බවට අනාවරණය වන්නේය.

එසේ නම් මෙලෙස පොලිසිය නොමඟ යැවීමට හේතුව කුමක් ද? ඊළඟට පොලිස් නිලධාරින්ට නැඟුණු ප්‍රශ්නය එයය. කුමක් හෝ මේ පසුපස කුමන්ත්‍රණයක් ඇති බව වටහා ගන්නා පොලිස් නිලධාරීන් මෙහි අගක් මුලක් සෙවීමට උත්සාහ දරන්නේ ඉන් පසුවය.

දැන් ඉතිරිව ඇත්තේ එක මඟක් පමණි. ඒ දුරකතන ඇමතුම දුන් පුද්ගලයා කවුරුන් ද යන්න හරිහැටි සොයා ගැනීමය. දුරකතන දත්ත වාර්තාවක් වෙත නිලධාරින්ගේ අවධානය යොමු වන්නේ ඉන් අනතුරුවය. මීට මාස 5කට පමණ පෙර දුරකතන ඇමතුම ලැබුණු අංකය අයිති පුද්ගලයා කවුරුන්ද යන්න සොයා බැලීමේදී එහි අයිතිකරුද තලපත්පිටිය ප්‍රදේශයේම අයකු බවට අනාවරණය වන්නේය. එම පුද්ගලයා කැඳවා ප්‍රශ්න කිරීමට තීරණය කරන්නේ ඉන්පසුවය.

සිම් කාඩ්පතේ අයිතිකරු වලානට කැඳවන අතර එහිදී අනාවරණය වූයේ ඔහු මේ පාර්සලය වළ දමා තිබූ නිවෙසේ අයිතිකරුගේ මාමණ්ඩිය බවය. එහිදී තමාගේ දුරකතනය මීට මාස කිහිපයකට පෙර අස්ථානගත වූ බවත් ඉන් පසුව දුරකතන ඇමතුම ලැබෙන කාල සීමාවේදී තමා සතුව ජංගම දුරකතන නොතිබුණු බවත් ඔහු පොලිසියට කියා සිටියේය.

ඉන් අනතුරුව සැරයන් (428) ජයලාල් දුරකතන දත්ත වාර්තා පිළිබඳ පූර්ණ විමර්ශනයක් ආරම්භ කරන්නේ මේ 'පැටළුණු නූල් බෝලයේ' කොනක් සොයා ගැනීමටය. දීර්ඝ විමර්ශනයකින් අනතුරුව පොටක් පාදා ගන්නා පොලිස් නිලධාරීන් එක් සැකකරුවකු පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළේය. එම විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස සැකකරුවකු අත්අඩංගුවට ගත් වලාන පොලිස් නිලධාරීන් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් අරඹන්නේ ඔහුට ඇත්තම කීමට වන තැනටම හරස් ප්‍රශ්න අසමිනි.

"හරි සර්.... මම ඇත්ත කියන්නම්.... මම තමයි සර්ලට කෝල් එක දුන්නේ...." ඔහු අවසානයේදී කීවේය.

පොලිසිය නොමඟ යැවූ සැකකරු නීතියේ රැහැනට කොටු වී අවසන්ය. දැන් නිලධාරින්ට ඇත්තේ එක ගැටලුවකි. මොහු මේ දේ කළේ ඇයිද යන්නය.

"ඒ ගෙදර ඉන්නෙ මගේ මස්සිනා... මිනිහට හොඳට සරුයි. ඒත් මට සල්ලි නෑ සර්.... ඉතින් මට හිතුනා මිනිහව වට්ටන්න. ඒ නිසා තමයි මං වත්තෙ පැරසිටමෝල් කුඩු කරල පාර්සලයක දාල වැළලුවේ. ඊට පස්සෙ තමයි සර්ලට කෝල් එකක් දුන්නේ..."

මෙලෙස පොලිසිය නොමඟ යැවීම හේතුවෙන් පොලිස් අත්අඩංගුවට ගැනුණේ පොලොන්නරුව ගිරිතලේ පදිංචි නිශාන්ත කුමාර නමැත්තෙකි. සැකකරු ලොරි රියැදුරකු වශයෙන් රැකියාව කරන අතර තම බිරියගේ සොහොයුරියගේ සැමියාගේ දියුණුව බලා සිටීමට නොහැකි වීම නිසා ඔහු මේ ක්‍රියාව කර තිබිණි. මස්සිනා කෙසේ හෝ පොලිසියට හසුකර දී ඔහු මානසිකව වට්ටවා ව්‍යාපාර කටයුතු නවතා දැමීම සැකකරුගේ අරමුණ වී ඇති අතර පොලිස් නිලධාරින්ගේ දක්ෂතාව හේතුවෙන් ඔහු නීතියේ රැහැනට කොටු කර ගැනීමට හැකියාව ලැබිණි.

පෞද්ගලික ඕනෑ එපාකම් හේතුවෙන් පොලිස් නිලධාරීන්ද නොමඟ යවමින් මෙවැනි ක්‍රියා සිදු කළද කෙදිනක හෝ එවැනි පුද්ගලයන් නීතියේ රැහැනට කොටු වනු ඇත. ඒ සත්‍ය කවදා හෝ ජය ගනී යන කියමන නැවත නැවතත් ඔප්පු කරමිනි.්‍

පාණදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාරගේ උපදෙස් මත පාණදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා, සැරයන් ජයලාල් (428), කොස්තාපල්වරුන් වන සංජීව (91287), සියන්ත (94009) යන නිලධාරිහු වැටලීමට එක් වූහ.

 

Comments