
දියේ ගිලෙමින් සිටි තරුණ කාන්තාවක් ජීවිත පරදුවට තබා බේරා ගැනීමට වෙන්නප්පුව පොලිසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පසුගියදා හැකි විය. දෙපා වැඳ සිය ජීවිතය නැවත ලබා දීමට කටයුතු කිරීම ගැන ඇය ඔවුනට සිය ස්තූතිය පළ කළේ මේ සිද්ධියෙන් අනතුරුවය.
ජීවිත රුපියල් ශත තරමටවත් මායිම් නොකරන සමාජයක මිනිස් ජීවිතයක් ආරක්ෂා කර ගැනීමට කැප වන පුද්ගලයන් දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. කිසියම් හේතුවක් මත කෙනෙකු සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කරන්නේ නම් එය වරදක් වුවද ඊට පෙලඹී සිටින පුද්ගලයා බේරා ගැනීම සමාජ වගකීමකි. එහිදී තම ජීවිතය පවා පරදුවට තබා වෙනත් කෙනෙකුගේ ජීවිතයක් බේරා ගැනීමට කිසිවකු ඉදිරිපත් වන්නේ නම් ඔහු සැබෑ මිනිසකු ලෙස සමාජය පිළිගනී. එසේම එම සිද්ධියෙන් දුකට කනගාටුවට පත්වන පත්වන පාර්ශ්වය ඔහු දෙවි කෙනෙක් ලෙස ද සලකන්නේ කළ උදව්වේ වැදගත්කම නිසාය.
සිය දිවි හානිකර කරගැනීමට තැත් කළ තරුණියකගේ ජීවිතය බේරා ගැනීමට වෙන්නප්පුව පොලිස් නිලධාරියෙකුට පසුගියදා හැකි විය. ඔහු සිය රාජකාරි කටයුතුවලට යමින් සිටියදී මේ සද්ක්‍රියාව කෙළේ හැමදෙනාගේම ප්‍රශංසාව මධ්‍යයේය.
වෙන්නප්පුව පොලිසියේ රථවාහන අංශයේ සේවයේ නිරත කොස්තාපල් 68337 ජීවන් ප්‍රනාන්දු මේ වීර ක්‍රියාව කළ නිලධාරියාය. ඔහු සමඟ පොලිස් යතුරුපැදියේ පැමිණි අනෙක් නිලධාරියා වන්නේ වෙන්නප්පුව පොලිසියේ රථ වාහන අංශයේ සේවයේ නිරත කොස්තාපල් 77156 ප්‍රසාද් කුමාරය. ඔහු දියේ ගිලෙමින් සිටි තරුණිය බේරා ගැනීමට දියට පැනීමට කටයුතු නොකළේ එම ස්ථානය ඉතා පාළු ප්‍රදේශයක් වීමත්, යම් හෙයකින් නිලධාරින් දෙදෙනාම අනතුරකට පත්වුවගොත් ඊට අවශ්‍ය පියවර ගැනීමට කිසිවකු ඒ මොහොතේ නොසිටීම නිසාය.
ඉකුත් 17 වැනි දින උදෑසන 10 .30ට පමණ වෙන්නප්පුව පොලිස් ස්ථානයෙන් මෙම නිලධාරීන් දෙදෙනා යතුරුපැදියෙන් පිටත් වූයේ වෙන්නප්පුව පොලිස් වසමට අයත් බොරලැස්ස ප්‍රදේශයේ රිය අනතුරක් සම්බන්ධව රාජකාරි සඳහාය. වෙන්නප්පුව සිට කිලෝමීටර් හතක් පමණ දුරින් පිහිටි අදාළ ස්ථානයට යා හැකි කෙටිම මාර්ගය හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ හනතොටුපොළ මංසන්ධිය ඔස්සේය.
එම මංසන්ධියෙන් හැරී කිලෝමීටරයකට ආසන්න දුරක් ගමන් කරමින් සිටියදී කොස්තාපල් ජීවන් ප්‍රනාන්දුට මාර්ගය හරහා ගලා බස්නා‘ගිං ඔය‘ හරහා ඉදිකර ඇති පාලම අසල ගඟේ කාන්තාවක දියේ ගිලෙමින් සිටින බව දැක ගත හැකි විය.
“ප්‍රසාද් බයික් එක නවත්තන්න ගෑනු කෙනෙක් වතුරේ ගිලෙනවා“ කියා යතුරුපැදියේ වේගය යන්තම් අඩු වනවාත් සමඟම කැලෑ සහිත මඩ වගුරු සහිත ස්ථානයක් ඔස්සේ දිවගොස් දියේ ගිලෙමින් සිටි කාන්තාව බේරා ගැනීමට ගඟට පැනීමට කටයුතු කළේය. ඔහුට එම අවස්ථාවේ රාජකාරි ඇඳුමවත්, තමා සතුව තිබූ රුපියල් හතළිස් පන්දහසක් පමණ වටිනා ජංගම දුරකතනයත් අමතක වූයේ මේ කතගේ ජීවිතය බේරා ගැනීමේ චේතනාව තිබූ නිසාය.
ඒ මොහොතේ ඔහු ගඟට පැන ආයාසයෙන් ඇගේ කොණ්ඩයෙන් අල්ලා ගොඩට ගත්තේය. එම අවස්ථාවේ ඉවුරු දෙපස මඩ සහිත නිසා සිහි මුර්ජා වී සිටි තරුණිය ගොඩට ගැනීමට පොලිස් නිලධාරින් දෙදෙනාට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය. ඒ අතරතුර පොලිස් නිලධාරින් 1990 ගිලන් රථ සේවයට දුරකතන ඇමතුමක් ලබා දීමට අමතක නොකළේය. බේරා ගත් කත තරුණ කාන්තාවක් නිසා එම අවස්ථාවේ මාර්ගයේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනකුට ද පොලිස් නිලධරයන් දෙදෙනා කතා කෙළේ ඇයට මූලික ප්‍රථමාධාර ලබා දීමට සහයෝගයක් ලබා ගැනීමටය. එහෙත් එම කාන්තාවන් දෙදෙනා ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ හිත්පිත් නොමැති අය මෙනි. ඉන් අනතුරුව මේ නිලධාරින් ඇයට මූලික ප්‍රතිකාර ලබා දුන්නේ ඇගේ ජීවිතය බේරා ගැනීම සඳහාය. ඒ අතරතුරදී 1990 ගිලන් රථය පැමිණියේය. පසුව කඩිනමින් ඇය මාරවිල මූලික රෝහලට රැගෙන යාමට කටයුතු කරන ලදී.
මාරවිල මූලික රෝහලේදී පැය කීපයක් ප්‍රතිකාර ලැබීමෙන් පසු ඇගේ තත්ත්වය බරපතළ නොවූ නිසා වෛද්‍ය නිර්දේශ මත ඇය රෝහලෙන් පිටත් කර යැවීමට කටයුතු කරන ලදී. මෙසේ සියදිවි හානිකර ගැනීමට තැත් කළේ 22 හැවිරිදි තරුණියකි. ඇය වෙන්නප්පුව බොරලැස්ස ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය සේවය කරන්නේ තෝප්පුව මංසන්ධියේ පිහිටි සමූපකාර වෙළෙඳසැලේය. ඇගේ මවද එම සමූපකාර වෙළෙඳසැලේ සේවය කරන්නීය. සිද්ධිය වූ දින මව කිසියම් අවශ්‍යතාවක් සඳහා දියණිය නිෙවසින් පිටත් වීමට පෙර ඇය පිටත්ව ගොස් සිටියාය. ඒ අතරතුර මේ 22 හැවිරිදි තරුණ දියණිය තම ජීවිතය නැතිකර ගැනීමට මාන බැලුවාය. ඇය ඒ නිසා ලිපියක් ලිවීමට ද කටයුතු කළාය. එහි සඳහන් වූයේ තමාට ජීවිතය ගැන දැඩි කලකිරීමක් ඇති බවත් ජීවත් වී පලක් නොමැති බවත්ය. කෙටි වදන් කීපයකින් සමන්විත මෙම ලියුම් කරදහිය තම බෑගයේ දමාගෙන ඇය ගිං ඔයට පැන සියදිවි හානිකර ගැනීමට තැත් කළාය.
ඇගේ මේ ක්‍රියාව සම්බන්ධව වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි ඇය සහ මව පොලිසියට ගෙන්වා ප්‍රශ්න කෙළේය.
මේ යුවතියන්ගෙන් ප්‍රශ්න කරද්දී පොලිස් ස්ථානාධිපතිවරයාට පැහැදිලි වූයේ ඇය මින් පෙර කිසිදාක මෙවැනි දෙයක් කර නොමැති බවය. ඇය දරුණු හිසරදයකින් පෙළීම නිසා දැඩි වේදනාවකින් පසුවූ බවත් ඒ සඳහා ප්‍රතිකාර ගත්තත් නිට්ටාවටම සුව වී නොමැති බවත් එහිදී හෙළි විය. ඒ නිසා ඇය තමාට මේ වේදනාව ඉවසා ගැනීමට නොහැකිව ජීවිතය හානි කරගැනීමට තැත් කළ බවද හෙළි විය. කෙසේ හෝ ඇගේ වාසනාවට පොලිස් නිලධාරින් දෙදෙනා අදාළ ස්ථානයෙන් ගමන් කළ නිසා ඇගේ දිවි බේරා ගැනීමට හැකි විය.
පොලිසිය හමුවේ එම තරුණියගේ මව කියා සිටියේ අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා තමන් දේවත්වයෙන් සලකන බවය. පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ දෙපා වැඳ ඇය ඔවුනට ස්තූතිය කළාය.
වෙන්නප්පුව පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චිගේ උපදෙස් මත පරීක්ෂණ සිදු කැරිණි.