ඇවිත් සුළු පියා අරන් ගියා නෙතුම් පුතා | සිළුමිණ

ඇවිත් සුළු පියා අරන් ගියා නෙතුම් පුතා

 

උණ හපුළුවාට උගේ පැටවා මැණිකකටත් වඩා වටිනවා මෙන්ම ඕනෑම මවුපියෙකුට තමන්ගේ දරුවාගේ වටිනාකම මිල කළ නොහැකිමය. තිරිසන් සතුන් තුළද ඒ ගුණය නොසැලී පවතින්නේ දරු සෙනෙහසේ මහිමය මෙතෙකැයි කියා නිම කළ නොහැකි බැවිනි.

එහෙත් වර්තමානය වන විට දරුවන්ට ආරක්ෂාව වෙනුවට මරණය ළඟා කර දෙන්නේ පියා මව හෝ ළඟම ඥාතින් අතින් බව, අනාවරණය වන සිද්ධීන්වලින් පැහැදිලි වන කරුණකි.

මේ සම්බන්ධයෙන් වන ආසන්නතම සිද්ධිය වාර්තා වුවේ පසුගියදා මීගහතැන්න ප්‍රදේශයෙනි.

විජේකෝන් මුදියන්සේලාගේ නෙතුම් සත්සර අවුරුදු තුනකුත් මාස හයක් තරම් හුරුබුහුටි වයසේ පසුවූ අහිංසක දරු පැටියෙකි. ඔහුට සිටියේ අයියා කෙනෙකු පමණි. නෙතුම් පුතුගේ මව යසන්ති නිමේෂිකාය. ඇය රැකියාව ලෙස කළේ තැන තැන තේ වතුවල දලු කැඩීමය. නෙතුම්ට පියා ගැන කිසිම මතකයක් ඇති නොවන ලෙසම ඔහු බිරිය අත්හැර යන්නට ගියේ නෙතුම් පුතුට මාස හයක් පමණ වන කාලයෙදි වීම අවාසනාවකි. එනම් මීට වසර තුනකට පමණ පෙරය. ඉන් පසුව අයියාත් මල්ලිත් හැදී වැඩුණේ පිය සෙනෙහස නාඳුනන දරුවන් බවට පත් වෙමිනි.

සැමියා නොමැතිව දරු දෙදෙනෙකුගේ බර කරට ගත් යසන්ති තවමත් තරුණය. විසි හත්වැනි වියේ පසු වූ ඇය දරුවන් පෝෂණය කිරීමට මහත් සේ වෙහෙස වූවාය. වැඩිමල් පුතු පාසල් යැවීමට ද ඕ පසුබට නොවුණාය.

යසන්ති පදිංචිව සිටියේ මීගහතැන්න පොලිස් වසමේ කෙළවර වන මායිමේ පිහිටි ගල්ලනහේන, රණේපුර ගම්මානයේය. එහි සිට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටා ඇත්තේ තීනියාවල පොලිස් වසමේ ආරම්භක ගම්මානයය. ‘සචින්ත‘ ඇයට හමුවන්නේ දලු කැඩීමට එම ගම්මානයේ සරුසාර තේ ඉඩමක් සොයාගෙන ගිය ගමනේදීය. ඒ සචින්තලාගේ ඉඩමේ දලු කඩමින් සිටියදී ඇති වූ දැන හඳුනා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසටය. වැඩි කාලයක් ගත නොවීම සචින්තගේත් යසන්තිගේත් ඇසුර ආදරයක් බවට පෙරළුණේ සචින්ත පැමිණ යසන්තිගේ නිවෙසේ නතර වීමත් සමඟින්ය. අවිවාහකයෙකු වූ සචින්ත, යසන්තිට වඩා වසර පහකින් බාල වුවත් ඔවුන්ගේ ඇසුරට එය බාධාවක් වූයේ නැත. කුලී රැකියාවල නියැළෙමින් ඔහුද යසන්තිට ශක්තියක් වීමට කටයුතු කළේ දරු දෙදෙනා ගැනද සොයා බලමිනි. වැඩිමල් දරුවා මීගහතැන්න පිරිවෙන වෙත රැගෙන යාම යසන්තිගේ සිරිතයි. පසුගිය දින ද යසන්ති උදේ හය වන විට දරුවා රැගෙන පිරිවෙනට ගියේ නෙතුම් පුතු ඇඳේ නිදි කර තබා සචින්තට බලා ගන්නා ලෙස පවසමිනි. වැඩි වේලාවක් නොගොසින්ම ඇය ආපසු නිවෙසට පැමිණ ඇඳ ළඟට ගියේ පුතු අවදිව ඇතිදැයි බැලීමටය. එහෙත් දරුවා නිසොල්මන්ය. පුතුගේ යම්කිසි අමුත්තක් ඇති බව වටහා ගත් ඇය සචින්ත කොහේදැයි සොයා බැලුවේ දරුවාගේ වෙනස ගැන ඔහුට පැවසීම සඳහාය. එවිට ඇය දුටුවේ නිවෙස පිටුපස ඇති බූ ඇපල් ගසේ ඔහුගේ සිරුර එල්ලෙමින් තිබෙන බවය. දරුවා වහා රෝහලට රැගෙන යාමට කටයුතු කළේ කුමක් සිදු වී ඇද්දැයි සිතා ගැනීමට නොහැකිවය. මීගහතැන්න රෝහලේ වෛද්‍යවරු පවසා සිටියේ දරුවා මිය ගොස් ඇති බවය.

මීගහතැන්න පොලිසියට මෙම තොරතුර ලැබෙන්නේ ඉන් පසුවය.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් චම්මික මතුගම අධිකරණයට සහ කළුතර අපරාධ පරීක්ෂණාගාර නිලධාරින් වෙත සිද්ධිය දැනුම් දී ඉදිරි විමර්ශන සඳහා සූදානම් වූවේ උසස් නිලධාරින්ගේ උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුවය.

නිවෙසට යාමට හරිහැටි පාරක්වත් නොමැති කැලයෙන් වට වූ ස්ථානයක පිහිටි කුඩා නිවෙස වෙත ස්ථානාධිපතිවරයා සමඟ පොලිස් පරීක්ෂක කුමාරරත්න, උප පොලිස් පරීක්ෂක ජයසිංහ ඇතුළු නිලධාරින් යන විටත් අසල්වැසියන් එහි පැමිණ සිටියේ සිදු වී ඇති විපත කන වැකීමත් සමඟින්ය. සාලය, ඉස්තෝප්පුව, කාමරය සහ කුස්සිය සහිත කුඩා නිවෙසේ මිණි පහන නිවී ගිය බැවින් තිබුණේ මුස්පේන්තු පෙනුමකි. අපිළිවෙළට සහ කිසිම පිරිසිදුකමක් නොමැතිව තිබූ එම නිවෙස සහ පරිසරය කියාපෑවේ ඔවුන්ගේ ජීවිතවල පැවති ගැටලු සහගත තත්ත්වය විය හැකිය. දරුවාගේ ශරීරයේ විශාල වශයෙන් තිබු පරණ කැළල් සපා කෑමකින් සිදු වී ඇති ඒවා බවට පොලිසිය සැක කළේ ලිංගේන්ද්‍රය අසල තදින් සැපූ බවට පෙනෙන ගැඹුරු අලුත් සලකුණත් සමඟින්ය.

“එයා නිතරම වගේ පුතාගෙ ඇඟ අතපය රතු පාට වෙන්නම හපනවා. එහෙම කරන්නෙ ළමයට තියෙන ආදරේට මිසක් තරහකට නෙමෙයි... සමහර වෙලාවට ළමයා අඬන කොට එයාට හරියට තරහ යනවා. එතකොටනං ළමයට ගහනවා... යැයි යසන්ති පොලිස් නිලධරයන්ට කීවාය.

මේ අපූරු සුළු පියාගේ ක්‍රියා කලාපය පිළිබඳව යසන්ති පවසන්නේ එලෙසයි. මෙයින් පැහැදිලි වන්නේ ඔහුගේ විනෝදාංශය වී තිබෙන්නේ මේ අහිංසක නොදරුවාගේ ශරීරය සපා කෑම බවයි. කෙසේ වුවත් සිදු වුවේ කුමක්දැයි දැන සිටියේ සචින්තත් නෙතුම් පුතුත් පමණි. ඒ ගැන විමසීමට අද ඔවුන් දෙදෙනාම මෙලොව නැත. අසල්වැසියෙකුගේ ඇල්ම බැල්ම ලෙහෙසියෙන් නොවැටෙන මෙම නිවස තුළ සිදු වෙන ගුප්ත දේවල් පිළිබඳ දන්නේ එම කුඩා කාමරයේ බිත්ති සතර පමණක් විය හැකිය. මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළ මතුගම වැඩබලන මහේස්ත්‍රාත් වෛද්‍යතිලකගෙන් පොලිසියට නියෝග කළේ කළුතර නාගොඩ රෝහලේදී දරුවාගේ සහ ගෙල වැලලා ගත් යසන්තිගේ අනියම් සැමියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කර වාර්තා ඉදිරිපත් කරන ලෙසයි. මේ අනුව සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරින් දෙදෙනෙකු වන එස්. එස්. අත්තනායක සහ බී. කේ. වෙනුරජිත් විසින් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී තිබෙන්නේ දරුවාගේ ඇලපත දෙපැත්තෙන් සිදු වූ තෙරපීමක් හේතුවෙන් වම්පස හයවැනි ඉළ ඇටය කැඩී ඇති බවත් හුස්ම ගැනීමට සිදු වූ අපහසුතාව මත දරුවාගේ මරණය සිදු වී ඇති බවත් මෙම සැකකාර පුද්ගලයාගේ මරණය ගෙල වැලලා ගැනීමෙන් සිදු වූ සියදිවි නසා ගැනීමක් වන බවත්ය.

ලෝකයේ කොතෙකුත් රුදුරු රකුසන් ද සිටින බව නොදැන අයියා සමඟ දුව පැන නටමින් කෙළි දෙ‍ෙළන් ගත කළ අහිංසක නෙතුම් පුතු සදහටම දෙනෙත් පියා ගත්තේ මවගේ අනියම් ප්‍රේමයේ මහිමය ලොවට කියා පාමිනි. 

Comments