රන් මාල කොල්ලකෑ අයියා - මලෝ | සිළුමිණ

රන් මාල කොල්ලකෑ අයියා - මලෝ

- දෙදෙනාම අත්අඩංගුවට කොල්ලකෑ මාල උකස් කරලා
- ඇල්ලූ මෝටර් බයිසිකලයත් සොරකම් කළ එකක්

සුගිය දිනෙක සවස් යාමයේ පසුපස අංක තහඩුව නොමැතිව ධාවනය වූ රතු පැහැති ස්කූටි වර්ගයේ මෝටර් බයිසිකලයකින් පැමිණි තරුණයින් දෙදෙනෙකු අකුරැස්ස නගරයේ සැරිසරන්නට වූයේ ස්වර්ණාභරණ ආයතන ඉලක්ක කරගෙනය. අකුරැස්ස නගරයේ ස්වර්ණාභරණ ආයතන කිහිපයකටම ගොඩවැදී තිබුණේ රන් මාල මිලදී ගැනීමේ මුවාවෙනි. මොවුන්ගේ බලාපොරොත්තුව වී තිබුණේ එක් අයෙකු පමණක් සිටින ස්වර්ණාභරණ ආයතනයක් බැවින් මෙලෙස රන් ආභරණ ආයතන කිහිපයකට ගොඩවදින්නට සිතන්නට ඇතුවාට කිසිම සැකයක් නැත. මෙලෙස රන් කොල්ලයට පැමිණ සිටියේ එකම පවුලේ අයියා මලෝ දෙදෙනෙකි. මල්ලී පැදවූ යතුරුපැදියේ පසුපස ආසනයේ ප්‍රධාන සැකකරු වන අයියා ගමන් කළේය.

එදින සවස 2.38ට රන් කොල්ලයේ පළමු පියවර අකුරැස්ස - කඹුරුපිටිය ප්‍රධාන මාර්ගයේ එක් ස්වර්ණාභරණ ආයතනයකින් ආරම්භ කැරිණි. රතු පැහැති ස්කූටි යතුරුපැදියකින් පැමිණී මේ අයිය මලෝගෙන් එක් අයෙකු ආරක්ෂිත හිස් වැසුමක් සහ මුව ආවරණයක් පැළඳ ආයතනයට පැමිණ තිබුණි. එම ආයතනයේ එක් අයෙකු පමණක් සිටියදී කොල්ලකරු රන් මාල දෙකක් මිලදී ගැනීමට අවශ්‍ය බව පවසා ඇත. හිස් වැසුම ගලවන ලෙස ආයතනයේ හිමිකරු පැවසූයෙන් ඔහු හිස් වැසුම පමණක් ගැලවීය. ඔහුගේ මුව ආවරණය එසේම තිබියදී ඔහු රන් මාල දෙස බලා සිටියේය. ඒ අතර ආයතනයේ සේවය කරන අනෙක් පුද්ගලයා ක්ෂණයකින් පැමිණියෙන් ඔහු පසුව එන බව දන්වා එම ආයතනයෙන් එළියට ගොස් යතුරුපැදියේ නැගී ගියේය.

අකුරැස්ස නගරයේ පිහිටි තවත් ස්වර්ණාභරණ ආයතන 03කට ගොඩවැදුණු මේ අයියා මලෝ හතරවන ආයතනයට ගොස් තිබුණේ ඊට මඳ වේලාවකට පසුවය. හතර වටේ විපරම් කර බැලූ කොල්ලකරු තනිපංගලමේ එක් පුද්ගලයෙකු පමණක් එම ආයතනයේ සිටින බව දුටුවේය. මල්ලී යතුරුපැදිය සමඟ මාර්ගයේ රඳවා ඔහු පමණක් හිස් වැසුම සමඟ ආයතනයට ගොඩවැදුණි. අකුරැස්ස පොදු වෙ‍ළෙඳපොළ පරිශ්‍රයේ පිහිටි මෙම ස්වර්ණාභරණ ආයතනයේ රැඳී සිටියේ එහි හිමිකරු පමණි.

“මට මාල දෙකක් ගන්න ඕන. පොඩ්ඩක් තෝරගන්න පුළුවන්ද“ යැයි හිමිකරුගෙන් විමසූ කොල්ලකරුට රන් මාල දහයක් රඳවා තබන පෙට්ටියක් අයිතිකරු පෙන්වීය. සාමාන්‍යයෙන් ඕනෑම ස්වර්ණාභරණ හලක විවිධ මෝස්තරවලින් යුත් රන් මාල 10ක පෙට්ටියක රඳවා ඇත්තේ තමන් කැමැති සුදුසු මාලයක් තෝරා බේරා ගැනීමේ පහසුව සඳහාය. මාල 10 පෙට්ටිය දෙස කෑදර බැල්මක් හෙළූ කොල්ලකරු රන් මාල ඒ මේ අත හරවා බැලීය.

“මේ පුද්ගලයා ඇතුළු වෙන කොට මම හිතුවේ ඒ ලෙවල් කරන ළමයෙක් කියල. ඒ වගේ තමයි පෙනුණේ. කිසිම සැකයක් ඇතිවුණේ නැහැ. ඒ නිසා මම මේ පෙට්ටියෙන් මාල දෙකක් තෝරගන්න කියල කිව්වා. ඒ සැණින්ම සාක්කුවට අත දාලා මිරිස් කුඩු මගේ මූණට ගැහුවා. මට කිසි දෙයක් හිතාගන්න බැරිව අන්ද මන්ද වුණා. මම නිකං එකපාරටම අන්ධ වුණා වගේ වුණා. මම කණ්ණාඩි දාලා ඉන්න නිසා මගේ ඇස් දෙකට ලොකු හානි වුණේ නැහැ.

හිමිකරු පොලිසියට කියා සිටියේ එම රන් මාල පෙට්ටියේ පවුම් තුන්කාලක් පමණ වටිනා මාල දෙකක් සහ පවුම් භාගයේ මාල අටක් තිබූ බවයි. නමුත් කලබල වී දුවන විට තුන් කාලක එක මාලයක් සහ භාගයේ මාලයක් තම ආයතනය තුළ බිම වැටී තිබූ බවද ඔහු පොලිසියට කියා තිබිණි. පැහැරගෙන ගිය පෙට්ටියේ රුපියල් ලක්ෂ 08ක් වටිනා රන් මාල 08 ක් තිබුණු බවද ඔහු පැවැසීය.

රන් මාල පෙට්ටිය දෑතින් බදාගත් කොල්ලකරුවා මාල 10ක් තිබූ පෙට්ටිය උදුරාගෙන පලා යන්නට ගියත් පෙට්ටියේ තිබූ මාල 02ක් ආයතනය තුළ වැටී තිබුණි. අනිත් මාල 08 සහිත පෙට්ටිය රැගත් කොල්ලකරු කඩිනමින් තම සගයා වූ මල්ලී පණ ගන්වාගෙන සිටි යතුරුපැදියේ නැඟී වේගයෙන් පලා ගියේ බංගම මාර්ගයේය.

මේ අතර හිමිකරු මේ ගැන අකුරැස්ස පොලිසියට දැනුම් දුන්නේය. කොල්ලකරුවන් පලා ගිය මාර්ගය සහ ඒ අවට එම මාර්ග පිළිබඳව පොලිස් නිලධාරීන්ගේ විමර්ශනයට ලක් විය. අවට පොලිස් ස්ථානවලටද මේ පිළිබඳව දැනුම්වත් කැරිණි. රන් ආභරණහල සහ අසල තිබූ සියලුම ආරක්ෂිත කැමරා පද්ධති (CCTV) සහ නගරයේ කැමරා පද්ධති සියල්ල දැඩි විමර්ශනයට ලක් කළහ. කැමරා පද්ධති විමර්ශනයෙන් අනතුරුව පොලිස් නිලධාරීන් යම් යම් තීරණවලට එළඹුණේ යම් හෝඩුවාවක් ලබා ගැනීමේ ඉඩකඩ ඇති බව ඉවෙන් මෙන් වටහාගත් බැවිනි.

අකුරැස්ස පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එස්. ජයවීරගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් රන් කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ආරම්භ කරන්නේ ඉන් අනතුරුවය.

වැලිගම පොලිස් වසමේ කොක්මාදුව ප්‍රදේශයේදී ඉකුත් දිනෙක රාත්‍රී 9.30ට පමණ ස්කූටි වර්ගයේ යතුරුපැදියක් කොල්ලකා ඇති බව වැලිගම පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණි. එම පණිවුඩය අකුරැස්ස පොලිසිය වෙතද ලැබී තිබුණි. අංක තහඩු රහිත ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් කොල්ලකරුවන් පැමිණ තිබුණෙන් පොලිස් නිලධාරීන් ස්කූටි යතුරුපැදි ගැන විශේෂ අවධානයක් යොමු කළහ. කැමරා දර්ශනවලින් ඔවුන් පැමිණි යතුරුපැදිය මනාව දිස්වී තිබුණි.

මේ අතරවාරයේදී අකුරැස්ස පොලිසියට විශේෂ තොරතුරක් ලැබී තිබුණි. පසුපස අංක තහඩුව නොමැති ස්කූටි වර්ගයේ රතු පැහැති යතුරුපැදියක් ගල්ලල ප්‍රදේශයේ සැරිසරන බවට එම තොරතුරින් කියැවී තිබුණි. කඩිනමින් එම ප්‍රදේශය පුරා පොලිස් නිලධාරීන් සීරුවෙන් තැබීමට පොලිස් ස්ථානාධිපතිවරයා පියවර ගත්තේ කිසිවෙකුටත් සැක නොසිතෙන අයුරිනි.

මෙදින සවස් යාමය වන විට අංක තහඩු රහිත යතුරුපැදියක් ගමන් ගන්නා බව දුටු පොලිස් නිලධාරීන් එය පරීක්ෂා කිරීමට සූදානම් වනවාත් සමඟ යතුරුපැදියේ පැමිණි පුද්ගලයා ක්ෂණයකින් එය ආපසු හරවා ධාවනය කළේය. පොලිස් නිලධාරීන් වහාම ඒ පසුපස හඹා ගොස් යතුරුපැදිය නවතා පරීක්ෂා කළේය. ගත වූයේ විනාඩි කිහිපයකි.

“කෝ ගන්න බලන්න ලයිසන් ඉන්ෂුවරන්ස්“ යැයි කියමින් පොලිස් නිලධාරීන් ඔහුගේ රියදුරු බලපත්‍රයද ඉල්ලුවත් යතුරුපැදිකරු බලාගත් අත බලා සිටියේ එවැන්නක් ඔහුට තිබුණේ නැති නිසාය.

ආසනය යට පෙට්ටියේ තිබූ ආදායම් බලපත්‍රය සහ රක්ෂණාවරණ සහතිකය කල් ඉකුත් වී ඇත. පෙට්ටිය පරීක්ෂා කිරීමේදී පොලිස් නිලධාරීන්ගේ ඇස් උඩ ගියේ එහි තිබූ ආයුධය දැකීමෙනි. ගල් කටස් වර්ගයේ ගිනිඅවියක් සහ T56 උණ්ඩ දෙකක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි විය. පසුපස අංක තහඩුවද ඒ අතර විය. කඩිනමින් යතුරුපැදිය සමග එම පුද්ගලයාව සැකපිට අත්අඩංගුවට ගෙන අකුරැස්ස පොලිසිය වෙත ගෙන එන ලදී.

දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ සියල්ල අනාවරණය කරගැනීමට පොලිසියට හැකි විය. ඒ අනුව සැකකරුවන්ගෙන් අකුරැස්සේ ස්වර්ණාභරණ ආයතනයක හිමිකරුගේ මුහුණට මිරිස් කුඩු ගසා රන් මාල 08ක් කොල්ලකෑම ගැන විස්තර හෙළි විය. යතුරුපැදිය ගැන වෙනම කතාවකි.

අකුරැස්ස පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. එස්. ජයවීරගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ධර්මවර්ධන, උපපොලිස් පරීක්ෂකවරුන් වන ලලිත් නූපේහේවා, ප්‍රියන්ත ජයලත්, සැරයන්වරුන් වන 19756 සුගතදාස, 39734 නයනජිත්, 56035 කරුණාතිලක කාන්තා පොලිස් සැරයන් 2272 මධුශානි, පොලිස් කොස්තාපල්වරුන් වන 68274 සිරිබද්ධන, 23421 රත්නායක යන නිලධාරීහු විමර්ශන සිදු කළහ.

විජිත සල්ගාදු - අකුරැස්ස මධ්‍යම විශේෂ

Comments