
- මත් බෝල ටොෆි චොකලට් දහස් ගණනක් අත්අඩංගුවට
- පාණදුරේ පාසලකට නුදුරෙන් පවත්වාගෙන ගිය වෙළෙඳසැල පොලිසියෙන් වටලයි
- වෙළෙඳසැලේ අයිතිකරුවන් තිදෙනා මෙතෙක් අත්අඩංගුවට ගෙන නෑ
“අපේ ළමයට දැන් හරි පුරුද්දක් ඇති වෙලා. හැම තිස්සෙම ඉස්කෝලෙ ඉස්සරහ තියෙන කඩේට දුවනවා ටොෆි කන්න...“
“බැලුවොත් ඕන වෙලාවක මේ ළමය නිදි. පොතක් අල්ලන්නෙ නෑ. හරියට මත් වෙලා වගෙයි. ඇහුවම කියනවා ටොෆි කෑවා කියල...“
“වෙනදට වැඩිය සල්ලි ටිකක් වැඩිපුර ගෙනියන්නමයි අපේ ළමය බලන්නෙ. මොකටද ඇහුවම රස ටොෆි ජාතියක් තියෙනවා. ඒවා කන්න කියල කියනවා...“
මේ පාණදුර නගරයේ පවත්වාගෙන යන එක්තරා පාසලක දරුවන් පිළිබඳ දෙමව්පියන්ගේ මුවින් පිට වූ වදන්ය.
පහ වසර හා ඉන් ඉහළ පන්තිවල සිසුන්ගේ දෙමව්පියන්ගෙන් පාණදුර උතුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් වෙත මෙම තොරතුර ගලා එන්නේ මේ අතරය. දරුවන් මේ තරමටම ඇදී යන වෙළෙඳසැල ඇත්තේ පාණදුර දකුණ පොලිස් බල ප්‍රදේශයේය. මේ නිසා පාණදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරයාට මේ ගැන කටයුතු කිරීමට බලයක් නොමැත. ඔහු පාණදුර කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ වෙත මෙම පුවත සැල කරන්නේ ලැබුණ ඡායාරූප ද ඉදිරිපත් කරමින් කළ යුතු දේ ගැන උපදෙසක් ලබා ගැනීම සඳහාය.
“තොරතුර ආවෙ සංජීවටනෙ. ඒ නිසා සංජීවගෙ ටීම් එකත් එක්ක මේ වැඩේ ඉක්මනින්ම කරන්න. අවශ්‍ය වුණොත් මම පාණදුර දකුණෙ සහයෝගයත් අරන් දෙන්නම්...“
ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවසුවේ නොපමාවම මෙම කාර්ය සිදු කරන ලෙසය. දරුවන් ඉලක්ක කර ගනිමින් නොයෙක් කූට ව්‍යාපාරිකයන් මත්ද්‍රව්‍ය අලෙවි කළ හැකි බව පෙන්වා දුන් ඔහු සංජීවට උපදෙස් මලාවක්ද ලබා දුන්නේ සූක්ෂමව මේ වැටලීම සිදු කරන ලෙසය.
මව්පියන් පවසන පරිදි තම දූ දරුවන් නිතර එම වෙළෙඳසැලට යන එන බව ආවේක්ෂණ රාජකාරියේ නියැළුණ පොලිස් නිලධාරීන්ගෙන් දැන ගැනීමට ලැබුණේ එම තොරතුර සත්‍ය බව පෙන්වා දෙමිනි. එහෙත් වැටලීමක් සිදු කිරීමට පෙර නිවැරදිවම එම වෙළෙඳසැලේ එවැන්නක් අලෙවි වනවාදැයි නිශ්චිතවම දැනගත යුතුය. ඒ සඳහාද උපායක් යෙදීමට සංජිව අනුගමනය කළේ උපාය දුතයකු යොදවමිනි. දරුවන් මෙතරම් ආසාවෙන් ලබා ගන්නා ටොපියක රස බැලීමට උපාය දුතයාට අවස්ථාව ලැබුණේ මේ අනුවය. දැන් සියල්ල පැහැදිලිවම නිවැරැදිව හඳුනාගෙන අවසන්ය. කළ යුත්තේ වැටලීම සිදු කිරීමය.
පාසල ඉදිරිපිට ඇති කහ ඉරෙන් අනෙක් පැත්තට මාරු වීමේ දි ගොඩ විය හැකි මෙම වෙළෙඳසැල වැටලීම සඳහා පොලිස් කොස්තාපල්වරුන් වන 93610 ප්‍රබුද්ධ, 93969 ලක්ෂාන්, 94058 නෙරංජන්, 28765 බණ්ඩාර, 21950 පුෂ්පකුමාර යන නිලධාරීන් කණ්ඩායමද එකතු කරගත් ස්ථානාධිපතිවරයා පාණදුර දකුණ පොලිස් වසමට ඇතුළු වුවේ ඉන් පසුවය.
බැලු බැල්මට එය ආකර්ෂණීය වෙළෙඳසැලකි. වැඩි වශයෙන් ඇත්තේ විදේශ රටවලින් ගෙන්වන ලද චොක්ලට් ඇතුළු රස කැවිලිය. මේ අතර විවිධ වර්ණවලින් යුතු ටින්වල අසුරා තිබුණේ දරුවන් වැඩි රුචියක් දක්වන ලද ‘ෂුගර් බෝල්‘ නමැති ටොෆි වර්ගය ය. මෙම එක බෝතලයක ඇති කුඩා පොලිතින් උරයක බයිසිකල් බෝල වැනි බෝල 80 ත් 100 ත් අතර ප්‍රමාණයක් ඇති අතර එම පැකට් එකක් අලෙවි කරන්නේ රුපියල් 100 ක් හෝ 200 ක් වැනි මිලකටය. මෙම බෝතල්වල මේවා නිෂ්පාදනය කරන ආයතනයක්, නිෂ්පාදිත දිනයක්, කල් ඉකුත් වෙන දිනයක් ඇතුළු මේවාට යොදාගන්නා ද්‍රව්‍ය මොනවාද යන්න හෝ අදාළ කිසිම තොරතුරක් සඳහන් කර නොතිබීම විශේෂීතය. මෙම බෝතල්වල fun ta sugar ball, 5 up sugar ball, cola sugar ball, pespi sugar ball, kaccham sugar ball යන ලේබල පමණක් සඳහන්ව තිබු අතර පැකට්ටුවක් මිලදී ගැනීමේදී කුඩා සෙල්ලම් බඩුවක් මෙන්ම ටැටු එකක්ද ලබා දීම වෙළෙඳසැලේ හිමිකරු විසින් කරගෙන ගොස් තිබිණි.
මෙවැනි බෝතල් 87 ක් අත්අඩංගුවට ගත් අතර ඒවායේ මෙම බෝල 4000ක් පමණ තිබී ඇති බවත් ඒ සමඟම පොලිසිය පියවර ගත්තේ ලොලිපොප් 54ක්ද අත්අඩංගුවට ගැනීමටය.
“අපි මොකුත් දන්නෙ නෑ. බයිසිකලේකින් ගෙනල්ල දානවා. 'බොස්' තමයි කියල තියෙන්නෙ...“
වෙළෙඳසැලේ සේවකයන් දෙදෙනා පවසන්නේ එවැන්නකි. ඔවුන් මෙහි හිමිකරුවන් පිළිබඳ කිසිවක් නොදන්නා අතර අනාවරණය වී ඇත්තේ මෙම වෙළෙඳසැල පුද්ගලයන් තිදෙනකුට අයිති බවය. එහෙත් ඔවුන් කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වී නොමැත.
2008 අංක 1 දරන මාධක ඖෂධ සහ මනෝවර්තක නීති විරෝධි ලෙස ජාවාරම් කිරීමට එරෙහි සම්මුති පනතේ 2 ( 1) වගන්තියට අනුව මෙම වෙළෙඳ සහායකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම නඩුව අවසන් වෙන තුරු මෙම ලේබල් අඩංගු ටොෆි වර්ග හෝ කිසිම රසකැවිලි වර්ගයක් විකිණීමද ඔවුන්ට තහනම් කර තිබෙන්නේ අධිකරණ නියෝග අනුවය.
පාසල් දරුවන් අධික මාත්‍රාවෙන් ලබාගෙන ඇති මෙම ටොෆි වර්ගයේ අඩංගු සංඝටක මොනවාදැයි නිශ්චිතවම දැනගැනීම සඳහා රජයේ රස පරීක්ෂක වෙත ඒවා යවා වාර්තාවක් ලබා ගැනීමටද අධිකරණයෙන් නියෝග ලබා දී තිබෙන්නේ මල් වැනි දරුවන්ගේ හෙට දවස සුරක්ෂිත කිරීම ඇවැසි බැවිනි.
මෙහි අධිකරණ කටයුතු සිදු කළේ පාණදුර උතුර පොලිසියේ කොස්තාපල් 32119 සුමිත් විසිනි.
විනිතා මානෙල් ගමගේ - හල්තොට සමූහ