
“මීක් සද්දයක් නෑ සර්... සීලින් ෆෑන් එක වැඩ කරන හෝගාන සද්දෙ විතරක් ලාවට ඇහෙනවා... එච්චරයි...”
වේටර් මහේෂ් කඩිමුඩියේ පැමිණ පවසන්නේ කාමරයේ හොල්මනක් දැක බියවූ ගාණටය.
“එතකොට වෙලාව උදේ හයට විතර ඇති සර්... රෙස්ට් හවුස් එකේ සිගරට් ලූස් විකුණන්නේ නැහැයි කියලා කීවාම, දුමකුත් පත්තු කරගෙන රැවුල කපාගන්න රේසරේකුත් අරගෙන එනවය කියලා කලිසමට උඩින් ෂර්ට් එකත් උඩින් දාගන නෝමල් සෙරෙප්පු දෙකක් දාගෙනයි මෑන් ගේට්ටුවෙන් මාරු වුණේ...”
“ආයෙමත් රීඩයල් කරන්න බලන්න ඒ නොම්බරේ...”
“මාර සීන් එක සර්... අපි දැන් පැයක් තිස්සේ දොරට තඩි බාන්නේ...කාමරෙන් මෙලොවම සද්දයක් නෑ...”
තානායමේ තරුණ සේවක පිරිස මෙහිදී බොහෝ කම්පනයට පත්ව ඇති සේය. එහෙත් බොහෝ විට ඔවුන් අවදානම් සහගත සිදුවීම් ප්‍රධානියා වෙත වාර්තා කරන්නේ හුදු ත්‍රාසය මුසු විනෝදාත්මක ස්වරූපයෙන් මිස එය තම ආයතනයේ සියලු දෙනා හටම බලපානා තීරණාත්මක ගැටලුවක් ලෙස සලකා නොවේ.
ඒ දැන් ආයතනවල සිටිනා අලුත් පරම්පරාවේ සමහරක් සේවකයන්ගේ හැටිය.
දැන් සිදුව ඇත්තේ කාමරයකට පැමිණි යුවළක සිටි පුරුෂයා ගේට්ටු සිකුරිටි හට බොරුවක් ගොතා තානායමෙන් රහසේ මාරුවී යාම පමණක් නොවේ. වේටර්වරුන් පැයක් තිස්සේ තඩි බාද්දීත් කාමරයේ සිටිනා කාන්තාවගෙන් කිසිම ප්‍රතිචාරයක් නොලැබීමය.
කාමරයේ එම නිහඬතාවයෙන් කියැවෙන්නේ පිරිමියාටත් පෙර සිකුරිටියේත් ඇස් වසා කාන්තාව තානායමෙන් මාරු වී ගොස් ඇති බවද? එසේ නොමැතිනම් එම කාන්තාව නිහඬ වන ආකාරයේ අනතුරක් කාමරය තුළදී ඇයට සිදු කළ පිරිමියා දෙවනුව පලා ගොස් ඇති බවද?
සිද්ධිය කුමක් හෝ වේවා තානායමට අයත් වගකීම් පරාසය තුළ අප විසින් කළ යුතු නිරීක්ෂණයන් ඒ අයුරින්ම සපුරා ඉටු කළ යුතුය.
“නෑ සර්... කිසිම ආන්සර් එකක් නෑ... මම මේ නම්බර් එක චෙක් කළා... වට්ස්ඇප් එකෙත් නෑ... තානායමට දීපු මෑන්ගෙ නම එෆ්.බී. එකෙත් අහුවුණේ නෑ... මුලදී මෑන්ගෙ ෆෝන් එක සයිලන්ට් දාලාද කොහෙද රිංග්ස් ගියා... දැන්නම් ඕෆ් කරලාම දාලා...” ආරක්ෂක නිලධාරියා පවසන්නේ අඳුරු කරගත් මුහුණෙනි.
එබැවින් දැන් ඉතිරිව ඇත්තේ තානායම් කළමනාකරු වන මා භාරයේ ඇති එම කාමරයේ ඩුබ්ලිකේට් යතුරෙන් කාමරය විවෘත කොට එහි සැඟවුණු රහස අනාවරණය කර ගැනීමය.
කාර්යාල කාමරයේ සේප්පුව විවර කළ මා තානායම් කාමරවල ඩුබ්ලිකේට් යතුරු කැරැල්ල අතට ගෙන නැගී සිටිද්දී සේවක පිරිස මා දෙස බලා සිටින්නේ ද්වන්ධ සටනකට කඩුව කොපුවෙන් ඇදගත් නිරිඳකු දෙස හෙළනා විස්මිත බැල්මකිනි.
“හරි සර්... යමු...”
යතුරු කැරැල්ල අතැතිව කාමර කොරිඩෝව ඔස්සේ දහඅට කාමරය දෙසට පිය නඟද්දී සේවක පිරිස මා පසුපස ඇවිද එන්නේ කුතුහලය රැඳි නිහඬ මුවින්ය. තානායම හරහා වියළි සුළඟක් හමා ගියේය.
අපගේ වාසනාවටදෝ සිද්ධියට අදාළ කාමරය පිහිටි තානායම් උඩු මහලේ අනිකුත් කාමරවල අමුත්තන් කිසිවෙකුත් නැත.
දහඅට කාමරයේ වසා ඇති දොර පියන ඉදිරියේ සිට ගත් මා කාර්ය මණ්ඩලය දෙස නැවතත් හැරී බැලුවේ ඔවුන්ගේ දෑස්වලින් කියවෙන ‘නිහඬ භීතිය‘ අන්තිම තත්පරයේදී මගේ සර්වාංගයටද අනියත බියක් කාන්දු කළ නිසාය.
“අවුලක් නෑ සර්... ඔන්න ඔහෙ අරිමු...” වේටර් මහේෂ් පැවසුවේ සැබවින්ම සිය ප්‍රධානියා දිරිමත් කිරීමටය.
“රැකෙම්වා මියෙම්වා” මා සිත දැඩි කර ගත්තෙමි.
ගෙවී ගිය පුරුදු දොර යතුර මෙන් ඩුබ්ලිකේට් යතුර අගුල තුළට බසින්නේ නැත. දෙතුන් වරක් වලි කන විට නොදැනීම එය අගුල තුළට ලිස්සා ගියේය.
දැන් තිබෙන්නේ යතුර කරකවා කාමර දොර පියන විවර කිරීම පමණය. මා නැවතත් හිස හරවා සේවක පිරිස දෙස කවාකාර බැල්මක් හෙළන්නේ ඔවුන්ගේ දෑස් මෙතරම් භීතියෙන් ඇළලී ගොස් තිබෙන්නේ මක් නිසාදැයි කියාය.
කාගේදෝ සාක්කුවක තිබූ ජංගම දුරකතනයක් “...කීං..” ගෑවේය.
“නෑ... නෑ... ඩවුන්ලෝඞ් එකක්...” තිගැස්මෙන්ම අගුල කැරකිණි. කාමර දොර විවර විණි. “අම්මටසිරි... ඉවරයි වගේ සර්...” කාමර උළුවස්සෙන් ඉදිරියට පය තැබූ මහේෂ්ගේ මුවින් පිට වූයේ භ්‍රාන්ත වූ රිද්මයකි.
“කට්ටිය මේ... සර් ඇර කවුරුවත් ඇතුළට එන්න එපා... ගෑනු මනුස්සයා මැරිලද සිහි නැතිවද ෂුවර් නෑ... ඇඟිලි සලකුණු අප්සට් වෙයි... කිව්වම අහලා කවුරුවත් කාමරේ ඇතුළට නම් එන්න එපා...” වේටර් මහේෂ් ගුගුලේය.
ඔහුගේ කරට උඩින් හිස පෙවූ මගේ දෙනෙතට දිස් වන්නේ උඩුබැලි අතට සයනයේ වැතිර තානායම් තුවායක් වත දවටා අඩ නිරුවතින් දිගාවී දෑස් පියාගත් ඉරියව්වෙන් සිටිනා ඊයේ හවස මෙම කාමරයට පිවිසි යුවළ අතර සිටි මැදිවියේ කාන්තාවය.
“නැගිටින්න... මිස් නැගිටින්න...” ඇය උඩුබැලිව සිටිනා සයනය ආසන්නයේම සිට මහේෂ් උස් හඩින් කෑ ගැසුවේය.
ඇය නිහඩය.
“අර... අර බලන්න සර්... පපුව යාන්තමට ඉස්සෙනවා නේද?...”
මහේෂ් විමසන්නේ රහස් පරීක්ෂකවරයකු සේය. ඔහු නිවැරදිය. කාන්තාවගේ නිරුවත් පපු ප්‍රදේශය උච්ඡාවචනය වන සියුම් චලනයක් දිස්වෙයි.
ළඟ ළඟම ගත් දුරකතන ඇමතුම් දෙකකින් පළමු ඇමතුමට ‘හලෝ‘ කීවේ දිසා රෝහලේ මා හිතවත් ප්‍රධාන වෛද්‍යවරයාය.
දෙවැනි ඇමතුමට සවන් දුන්නේ ආසන්න පොලිසියේ ස්ථානාධිපතිවරයාය.
හාත්පස සිසාරා කාමරය දෙස විපරම් කළ මා දෑසට පෙනෙන්නේ මැය සිය අත් බෑගය පාවහන් යුගලය පවා යම් ක්‍රමවත් ආකාරයකට කාමරය තුළ තබා ඇති ආකාරයය. එපමණක් නොව ඇය සිය ඇඳුම් උනා කාමරයේ ඇඳුම් රඳවනයේ තැන්පත් කොට ඇත්තේ ද අබිසරුලියක ඇඳුම් උනා සීසීකඩ දමනා අපිළිවෙළට නොව, යම් විනීතභාවයක් ගම්‍ය වන ලෙසය.
ඒ අනුව මැය ගණිකාවක ම විය නොහැකිය. හීයක වේගයෙන් පැමිණි රෝහල් ගිලන් රිය සහ පොලිස් ජීප් රිය උදෑසන පියකරුව ඇමදූ තානායම් මිදුලේ තියුණු කට්ට රටා සිත්තම් කරමින් එක තැන කරකැවුණේය.
“එක්කො මෑන් මොනවාහරි පොවලා... නැත්නම් ගෑනිට ෆිට් එකක් වගේ හැදිලා... බයට මෑන් මාරුවෙලා...”
“ඩ්‍රග් සීන් එකක්ද කවුද බං දන්නේ...” මිතුරන්ගේ පසු ඇමතුම්වල කෙළවරක් නැත. මම දුරකතනය විසන්ධි කළෙමි.
තවත් නොබෝ වේලාවකින් මගේ ජංගම දුරකතනය නාද විය. ඒ ඇමතුම
ඒ පොලිස් ස්ථානාධිපතිවරයාගෙනි.
“අපි මේ ගෑනු කෙනා හොස්පිට්ල් ගෙනාවා. එයාට එහේදී සිහිය ආවා. මම පොඩ්ඩක් එයත් එක්ක කතා කළා. මේ ගෑනු කෙනා බස් එකේදී හම්බවෙච්ච කෙනෙක් එක්ක තමයි තානායමට ඇවිත් තියෙන්නේ. ඒ මනුස්සයා මේ ගෑනු කෙනාට මොනවහරි ජාතියක් බොන්න දීලා. එයාට සිහි නැති වුණාම එයාගේ සල්ලි රුපියල් ලක්ෂ දෙකකුයි රත්තරන් බඩුයි අරගෙන පැනලා ගිහිල්ලා. ඔබතුමාගෙනුත් අපට කට උත්තරයක් ගන්න තියෙනවා. ඒ ඔය සිද්ධිය තානායමේ වුණ නිසා.
මම සාජන් සෝමරත්නව තව ටිකකින් එවන්නම්.“ පොලිස් ස්ථානාධිපතිගේ හඬ මට ඇසෙන්නේ සිහිනයකින් මෙනි.
“හොඳයි ඕ.අයි.සී. මහත්තයා“ මම කීවේ මගේ දෙපස වටවී සිටින තානායම් සේවකයන්ගේ ඇස් දෙස බලමිනි.