
පොලිස් හදිසි ඇමතුම් අංක 119 දුරකතනයට පසුගිය 19දා දහවල් ඇමතුමක් ගත් කාන්තාවක් දැනුම් දුන් තොරතුරක් හදිසි අවස්ථා අංශය මඟින් ඌරුබොක්ක පොලිසියට යොමු කැරිණි. එම කාන්තාව අදාළ පණිවිඩයෙන් දැනුම් දී තිබුණේ ඌරුබොක්ක පොලිස් වසමට අයත් බෙරලපනාතර, කැටවලගම, රත්තලහේන කන්ද පාරේදී පොල්ලකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බවය. ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.ටී.ඩී. සමරවික්‍රමගේ උපදෙස් මත උප පරීක්ෂක ලලිත් ඇතුළු කණ්ඩායමක් අදාළ ස්ථානයට යන්නේ මේ සිද්ධිය ගැන විමර්ශන සිදු කිරීම සඳහාය.
පොලිස් කණ්ඩායම වැලිපොතහේන ප්‍රදේශයට ගිය අවස්ථාවේදී ඔවුන්ට දැක ගැනීමට ලැබුණේ කිසියම් පුද්ගලයකු බිම වැටී සිටින අයුරුය.
මේ අවස්ථාවේදි එතැනට පැමිණි කාන්තාවක පොලිස් නිලධාරීන් හමුවේ සඳහන් කරන්නේ පොලිස් හදිසි ඇමතුම් අංශයට මේ බව දැනුම් දුන්නේ තමා යැයි කියාය.
“මේ වැටිලා ඉන්නේ මගේ තාත්තා... නිලන්ත අයියා මගේ තාත්තාට පොල්ලකින් ගැහැව්වා සර්...“ යැයි කියමින් ඇය පොලිස් නිලධාරින් ඉදිරිපිට හඬා වැටුණාය.
“නිලන්ත අයියා තාත්තාට පොල්ලකින් ගැහැව්වා... සරත් අයියා තාත්තාගේ බෙල්ලට ලණුවක් දාලා තද කරගෙන හිටියා“ යැයි ප්‍රීති ප්‍රියංගනී නමැති මේ කාන්තාව පොලිස් නිලධාරීන් හමුවේ කියා සිටියේ හැඬු කඳුළිනි.
ප්‍රීති ප්‍රියංගනිගෙන් පොලිසිය ලබාගත් තොරතුරුවලට අනුව මේ පුද්ගලයා ඝාතනයට සැක දෙදෙනකු පොලිසිය ඒ මොහොතේම හඳුනා ගන්නා ලදී. එක් අයකු ඝාතනය කැරුණු පුද්ගලයාගේ 31 හැවිරිදි පුතු, බිරියගේ පෙර විවාහයේ පුතෙක් සහ බිරියගේ පෙර විවාහයේ දියණියකගේ පුතෙක් බවටය.
මේ තිදෙනා සැකපිට අත්අඩංගුවට ගන්නේ ඉන් අනතුරුවය.
"තාත්තා අපේ අම්මාව මරන්න කියලා ලණුවකුත් අරගෙන පිහියත් අරගෙන ආවා. ඒ සැරේ තාත්තා ලණුව පැටලිලා බිම වැටුණා. මම ගියාම තාත්තා මට තේ පිහියෙන් ගැහැව්වා. ඒක මගේ අතට වැදුණා“යැයි සැකපිට අත්අඩංගුවට ගත් අයෙක් පොලිසියට කීවත් පොලිස් නිලධාරීන් එය විශ්වාස කළේ නැත.
මෙසේ ඝාතනය කැර තිබුණේ බෙරලපනාතර, කැටවලගම, වැලිපොතහේන පදිංචි 51 හැවිරිදි තලවත්තගේ සිරිපාල නැමැති පුද්ගලයෙකි. ඔහු දෙදරු පියෙකි. හෙතෙම කාලයක් තිස්සේ සිය බිරිය සමඟ ආරවුල් ඇති කර ගෙන සිටි අයෙකි.
මේ සිද්ධිය වූ දා සිරිපාල මිතුරෙකුගේ කුඹුරක වී වැපිරිල්ලකට ගියේය. මත්පැන් පානය කර නිවසට ආ සිරිපාල බිරිය සමඟ ආරවුලක් ඇති කර ගත්තේය. මේ වන විට ඔහු පදිංචිව සිටියේ බිරියගේ පෙර විවාහයේ දරුවකුගේ නිවෙසේය. ඔහු අත් ට්‍රැක්ටර් දෙකක හිමිකරුවෙකි. ප්‍රදේශයේ කුඹුරු මඩ කිරීම සඳහා ඔහු මේ අත්ට්‍රැක්ටර් දෙකෙන් ප්‍රදේශවාසීන්ට උදව් වන බවද කියති. සිරිපාලගේ බිරිය මීට පෙරද විවාහ වී සිටි අයෙකි. ඇය ඔහු සමග විවාහ වී ඇත්තේ ඇගේ නිත්‍යානුකූල සැමියා සිටියදීමය. ඇයට කලින් විවාහයේ දූ දරුවෝ පස් දෙනෙකි. සිරිපාල සමඟ විවාහ වීමෙන් අනතුරුව ඇය ඔහුට දරුවන් දෙදෙනෙකු තිළිණ කළේය. ඒ දෙදෙනා මේ වන විට 31 සහ 25 වයසේ පසුවන අතර ඒ පුතකු සහ දියණියක ලෙසය.
සිරිපාල බිම වැටී හිස ගලක වැදී මිය යන්නට ඇති බවට පොලිසිය මුලින් සැක කළත් එය එසේ නොවන බව පසුව හෙළි විය. ඒ වන විටත් ඔහුගේ 71 හැවිරිදි බිරිය පලා ගොස් සිටියාය. ඒ අතරතුර කිසියම් පුද්ගලයෙක් සිරිපාලගේ මරණය ගැන පොලිසියට වැදගත් තොරතුරක් දුන්නේය. ඒ තොරතුර විමර්ශනය සඳහා පොලිස් බුද්ධි නිලධරයන් යෙදවිණි.
එහිදී හෙළි වූයේ සිරිපාල සිය බිරියට වයස අවුරුදු 71ක් වූ නිසා තමාට වෙනත් විවාහයක් සිදු කර ගැනීමට අවශ්‍ය බව බිරියට පවසා ඇති බවයි. ඊට අමතරව ඔහු බිරියගේ පෙර විවාහයේ පුතෙකුගේ නිවෙසක් තමාගේ නමට ලියා දෙන්නැයි කියා බිරිය සමඟ ආරවුල් ඇති කරගෙන තිබුණු බවය. සිරිපාල බරපතළ තුවාල ලබා වැටී සිටියදී ඔහු රෝහලට ගෙන යාමට උත්සාහ කළ අයට බිරිය සහ දරුවන් ඉඩ නොදුන් බවටද පොලිසියට තොරතුරු හෙළි විය.
ඉන් අනතුරුව 19 දින සවස ඌරුබොක්ක පොලිසියට තිදෙනෙකු සිරිපාලගේ ඝාතනය වගකීම බාරගෙන පොලිසියට බාර වූහ. අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපරීක්ෂක පතිරත්න ඇතුළු කණ්ඩායම සැකකරුවන් තිදෙනාගෙන් ප්‍රශ්න කිරීම අරඹන්නේ ඉන් අනතුරුවය. සැකකරුවන් අතර සිටි සිරිපාලගේ පුත්‍රයා සිරිපාලට පොල්ලකින් පහර දුන් බව හෙළි විය. මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ සිරිපාලගේ බිරියගේ කලින් විවාහයේ 32 හැවිරිදි පුත්‍රයා සිරිපාලගේ 31 හැවිරිදි පුතු සහ බිරියගේ පෙර විවාහයේ දියණියකගේ 19 හැවිරිදි පුත්‍රයාය.
මාතර කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාරයේ (සොකෝ) නිලධාරීන් සිද්ධිය වු ස්ථානයට පැමිණ විමර්ශන ආරම්භ කළ අතර මොරවක වැඩ බලන මහේස්ත්‍රාත් ඩී. එස්. දිසානායක මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීය. පශ්චාත් මරණ පරීක්ෂණය මාතර මහ රෝහලේදී පවත්වන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ලණුවක් වැනි යමකින් සිරිපාලගේ ගෙල සිර කිරීම නිසා ඔහුගේ උගුරු දණ්ඩ කැඩී මරණය සිදුවී ඇති බව සහ ඔහුගේ නාසයෙන් කටින් රුධිරය වහනය වී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි විය. මාතර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සුමිත් අඹේපිටිය පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළේය. සිරිපාලගේ සිරුර වැටී තිබුණු ස්ථානයේ ලේ තැවරුණු පොල්ලක් සහ තේ පිහියක් පොලිසිය විසින් සොයාගෙන තිබිණි. සිරිපාලගේ සිරුර ඇගේ දියණියක වන ප්‍රීති ප්‍රියංගනීට ලබාදෙන ලෙසද වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මේ ඝාතනයට මූලික හේතුව වී ඇත්තේ සිරිපාල දරුවන්ට හා බිරියට පහරදීමට පෙළඹී සිටි බවට පොලිසියට කළ විමර්ශනයේදී හෙළි විය.
සැරයන් 22249 අතාවුද මරණ පරීක්ෂණයේදී සාක්ෂි මෙහෙය වීය. සිරිපාලගේ දියණිය ප්‍රීති ප්‍රියංගනී මෙහිදී සාක්ෂි දුන්නාය. කොස්තාපල් 78230 ධනුෂ්ක අධිකරණයට කරුණු වාර්තා කළේය. සැකකරුවන් තිදෙනා රක්ෂිත බන්ධනාගාරගත කැරිණි.