අලුත් ගැසට්ටුවෙන් ක්‍රීඩා සංගම් උඩු යටිකුරු වෙයි | Page 2 | සිළුමිණ

අලුත් ගැසට්ටුවෙන් ක්‍රීඩා සංගම් උඩු යටිකුරු වෙයි

ජාතික ක්‍රීඩා සංගම්හි සභාපති ධුරය ඇතුළු ප්‍රධාන නිලතල දැරීමේ උපරිමය අවස්ථා දෙකකට සීමා කරමින්ද ඒවායේ විධායක කමිටු සාමාජිකත්වය දැරීමේ උපරිම වයස අවුරුදු 70කට සීමා කිරීමටද ද්විත්ව පුරවැසිභාවය දරන්නන්ට නිලතල දැරීමට නොහැකි වන පරිදිද නීති රීති පැනවීමට රජය තීරණය කර තිබේ. මේ පිළිබඳ අතිවිශේෂ ගැසට් නිවේදනයට ඉකුත් 14 වනදා තමන් අත්සන් කළ බව ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ සිළුමිණට සිකුරාදා කීය. එමෙන්ම කුමන තනතුරක් දැරූවද ජාතික හෝ ජාත්‍යන්තර සංගමයක් හෝ කමිටුවක් විසින් විනය හේතු මත හෝ වෙනත් වංචාවක් මත දඬුවමකට ලක් කරනු ලැබූ අයට සභාපති, ලේකම් වැනි තනතුරු දැරීම හෝ කමිටු සාමාජිකත්වයට පත් කර ගැනීමට සුදුසුකම් හිමි නොවන බවද ඇමැතිවරයා අවධාරණය කෙළේය. එමෙන්ම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන ඕනෑම අවස්ථාවක ඡන්ද හිමි සාමාජිකයින්ගේ 2/3ක බහුතර යෝජනාවකින් ධුර කාලය සම්පූර්ණ වීමට පෙර ධුරයෙන් ඉවත් කිරීමට හැකිවන බව පැවසූ ඇමැතිවරයා භාණ්ඩාගාරික ධුරය දැරීම පිණිස විශේෂිත ගණකාධිකාරී වෘත්තීය සුදුසුකම්ද අනිවාර්ය කර ඇතැයි හෙළි තෙළේය. ඉදිරියේදී ක්‍රීඩා අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරන බවත් මේ සියලු කරුණු ඇතුළත් පනත් කෙටුම්පතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද ඇමැතිවරයා කීවේය.

Comments