
පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද කොමර්ෂල් බැංකු සමූහය 2022 සැප්තැම්බර් 30 වනදායින් අවසන් වන මාස 09 ක කාලය තුළදී හා තුන්වැනි කාර්තුවේදී ශක්තිමත් මෙහෙයුම් කාර්ය සාධනයක් වාර්තා කිරීමට සමත්ව තිබේ. පවතින තත්ත්වය හමුවේ සලකා බලන මාස 09 ක කාලය සඳහා වැඩි හානි පූරණ ප්‍රතිපාදන වෙන් කිරීමට සිදුවී තිබෙන අතර, ඒ හේතුවෙන් මාස 09ක කාලයේදී සහ තුන්වැනි කාර්තුවේදී පසුගිය වසරේ අදාළ කාලවලට සාපේක්ෂව සමූහයේ ලාභයද අඩුවී ඇත.
කෙසේ වෙතත්, මූල්‍ය සේවා මත අගය එකතු කිරීමේ බදු අය කිරීමට පෙර දෙවැනි කාර්තුවේදී බැංකුව වාර්තා කළ රුපියල් බිලියන 3.581ක මෙහෙයුම් අලාභය මගහරවා ගැනීමට බැංකුව තුන්වැනි කාර්තුවේදී සමත්වී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මාර්ගෝපදේශන වලට අනුකූලව ආර්ථික අර්බුදයෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාරවලට සහ පුද්ගලයින්ට සහන දීමෙන් පසුව සහ ණය පහසුකම්වල ආපසු ගෙවීමේ කොන්දේසි ලිහිල් කිරීම, ණය සහනය යටතේ සුදුසුකම් ලැබූ ණය සඳහා සහන පොලී අනුපාත ලබා දීම, සමහර ගාස්තු ඉවත් කිරීම යන සහන සහ බැංකුවේම සහන වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් පසුව මෙම ඉහළ මූල්‍ය කාර්ය සාධනය ලබාගෙන තිබීම කැපී පෙනෙන බව බැංකුව සඳහන් කරයි.
මේ අනුව, කොමර්ෂල් බැංකුව සහ එහි අනුබද්ධ සමාගම් ඇතුළත් වන කොමර්ෂල් බැංකු සමූහය 2022 මුල් මාස 09 තුළදී රුපියල් බිලියන 195.573ක දළ ආදායමක් වාර්තා කර තිබෙන අතර, තුන්වැනි කාර්තුව තුළදී රුපියල් බිලියන 76.056ක දළ ආදායමක් වාර්තා කර ඇත. මෙය පසුගිය වසරේ අදාළ කාල සමඟ සැසඳීමේදී 62.91%ක සහ 89.58%ක ශක්තිමත් වර්ධනයකි.