හික්කඩුවේ ඩැන්ඩි ෂොප් අයිතිකරුට මරු කැඳවූ චණ්ඩියා | Page 2 | සිළුමිණ

හික්කඩුවේ ඩැන්ඩි ෂොප් අයිතිකරුට මරු කැඳවූ චණ්ඩියා

 

අවුරුදු දෙදහස් පන්සිය ගණනකට අධික බෞද්ධ ඉතිහාසයක් ඇති අපේ රට තරම් උදේ සවස බණ කියන රටක් බණ අහන රටක් ලෝකයේ තවත් නැත. එසේම ලංකාවේ තරම් වෙහෙර විහාර පන්සල් තිබෙන රටක් ලෝකයේ තවත් නැතිවා සේය. සංඝරත්නය මුළු ජීවිත කාලයම ශාසනයේ උන්නතිය සඳහා කැප කර ඇත. උදේ අවදි වන්නේත් රාත්‍රියට නින්දට යන්නේත් පිරිත් අසාගෙනය. පන්සිල් රැකගෙනය. පුදුමය එය නොවේ. උදේ සවස බණ පිරිත් කියන සේම බණ පිරිත් අහන රටේ මෙතරම් බිහිසුණු අපරාධ සිදුවීම හා දිනෙන් දින ඒවා වැඩිවෙනු පෙනීමය.

හික්කඩුව පොලිස් වසමට අයත් හික්කඩුව නාරිගම ඇලතොටවත්ත ලිපිනයේ පදිංචි තිස් හැවිරිදි කලුපගේ ප්‍රසන්න කුමාර ගාලු පාරේ වෑවල හන්දියේ "ඩැන්ඩිෂොප් " නමින් විසිතුරු භාණ්ඩ හා රෙදිපිළි අලෙවිසැලක් පවත්වාගෙන ගියේය. විදේශීය සංචාරකයන් ඉලක්ක කරගනිමින් පවත්වාගෙන ගිය මේ විසිතුරු භාණ්ඩ සහ රෙදිපිළි වෙළඳසැලේ අලෙවි කටයුතු සඳහා ප්‍රසන්නගේ සහායට ඔහුගේ බිරිය වන විසිනව හැවිරිදි පී.එච්. ඉරේෂා මල්කාන්තිද සිටියාය.

ඉකුත් තිස්වැනිදා පෙරවරු 10.45ට පමණ කොළඹ දෙස සිට ගාල්ල දෙසට ගමන් කරමින් තිබූ අංක KV 0852 දරන කළු පැහැති රථයෙන් බැස ආ නාඳුනන පුද්ගලයෙකු අලෙවිසැල ඉදිරිපිට මාර්ගයේදී ප්‍රසන්නට එල්ල කළ කඩු පහරකින් ඔහුට බරපතළ තුවාල සිදු විය. ප්‍රසන්නගේ මුහුණටත් අතටත් කඩු පහර එල්ල කළ පුද්ගලයා ඉන් නොනැවතී එල්ල කළ කඩු පහරවල් කිහිපයක්ම ප්‍රසන්නගේ මුහුණටත් ගෙලටත් එල්ල වී තිබිණි. ප්‍රසන්නගේ ගෙල කඳින් වෙන්වන තරමටම ඒ පහරවල් තදින් වැදී තිබුණේය. සිය සැමියාට වෙළඳසැල ඉදිරිපිටදීම කිසියම් පුද්ගලයෙකු කඩුවකින් පහර දෙනු දුටු බිරිය කෑගසාගෙන ඒ අසලට දිව එද්දී සැකකරු ඇයටද කඩු පහර කිහිපයක් එල්ල කළේය. ඉන් ඉරේෂාද බරපතළ තුවාල ලැබුවාය.

බරපතළ තුවාල ලබා සිටි ප්‍රසන්න හික්කඩුව ආරච්චිකන්ද රෝහලට රැගෙන ගිය අතර ප්‍රසන්න ඒ වන විටත් මෙලොව හැරගොස් තිබිණි. තුවාල ලබා සිටි බිරිය ඉරේෂා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබීය.

මේ ඝාතකයා පැමිණි කළු පැහැති මෝටර් රථය හික්කඩුව ප්‍රදේශයේම තැනක අත හැර දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයා ගනු ලැබීය.

ඒ පිළිබඳව විමර්ශන කළ හික්කඩුව පොලිසියට අනාවරණය වූයේ මෙම මෝටර් රථය හෙදියකට අයත් වූවක් බවය. එම හෙදිය මෙම මෝටර් රථය වාහන කුලියට ලබා දෙන හික්කඩුව ප්‍රදේශයේ පිහිටි කුලී රථ ආයතනයකට ලබා දුන් එකක් බවද හෙළි විය. අපරාධකරු එම කුලී රථ ආයතනයෙන් එම රථය එදින උදෑසන කුලී පදනම මත ලබාගෙන ඇති බවත් විමර්ශනවලදී හෙළිවී තිබේ. මෙම ඝාතනය කිසියම් පුද්ගලික ආරවුලක් මත සිදුවූ එකක් බවට පොලිසිය මෙතෙක් කරන ලද විමර්ශනවලින් හෙළි වී ඇත.

මීට වසර හතරකට පමණ පෙර එනම් 2018 වසරේදී තිරාණගම ප්‍රදේශයේදී ප්‍රසන්න විසින් කඩුවකින් පහරදී දමිත් නමැති පුද්ගලයෙකුට තුවාල සිදුකොට පලා යන්නේ කිසියම් පෞද්ගලික ආරවුලකටය. එදා ප්‍රසන්න කඩුවකින් පහර දීමෙන් එම පුද්ගලයාගේ අතක ඇඟිලි තුනක්ම ඔහුට අහිමි වී ඇත. ඒ සම්බන්ධයෙන් අධිකරණයේ පැවැති නඩු විභාගයකින් පසුව ඊට දමිත්ට වන්දි මුදලක් ගෙවා එම නඩුව අවසන් කරගන්නට ප්‍රසන්නට හැකි වූ බවද පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඇත.

ප්‍රසන්න ඝාතනය කිරීමේ සිද්ධියට එම පුද්ගලයා ඇතුළු කිහිප දෙනෙක් සම්බන්ධ බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන තිබේ. මේ වනවිට එම සැකකරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් සැඟවී ඇති බවටද පොලිසියට අනාවරණය වේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබූ අතර ඉතාම ඉක්මනින් එම සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටියදී ඊට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් සිවු දෙනෙකු නීතීඥවරයෙකු මගින් පොලිසියට භාරවීමෙන් පසු අත් අඩංගුවට ගෙන තිබේ. මෙම ප්‍රධාන සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අතර අනෙක් තිදෙනා ඔහුගේ ගෝලයන් බවටත් පොලිසිය අනාවරණය කරගෙන ඇත.සැකකරුවන් මෙම ඝාතනය සඳහා යොදාගත් කඩුව සහ මන්නා පිහිදෙකක්ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

ගාල්ල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහගේ උපදෙස් මත හික්කඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් පල්ලියගුරුගේ, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. එච්. රණවීර, උප පොලිස් පරීක්ෂකවරුන් වන ධම්මික මෙන්ඩිස්, මොහාන් මෙන්ඩිස් සැරයන් (10903) අසංක, කොස්තාපල්වරුන් වන (68130) මහේෂ්, සහ (84180) නිරෝෂන් යන නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

 

 

Comments