
ආහාරපාන මිලදී ගන්නා ඇතැම් අවස්ථාවල වෙළෙඳුන් සහ පාරිභෝගිකයන් අතර ඇතිවන බහින්බස් වීම් පසුව ආරවුල් බවට පත්ව මිනිස් ඝාතන දක්වා දුරදිග යාමේ සිදුවීම් පසුගිය කාලයේ වාර්තා විය. එවැනි සිදුවීමක් කඳාන ප්‍රදේශයෙන්ද පසුගියදා වාර්තා විය.
කඳාන ප්‍රදේශයේ සංචාරක වෙළඳ සලක් පවත්වාගෙන යන ස්ථානයකට පැමිණි අයකු බර්ගර් බනිස් දෙකක් මිලදී ගෙන ඒ සඳහා අඩුවෙන් මුදල් දීම නිසා ව්‍යාපාරයේ නිරත කාන්තාව සමඟ ඇතිවූ ගැටුම සමථ කිරීමට පැමිණි එම කාන්තාවගේ පියාට ආරක්ෂිත හිස් වැසුමකින් පහරදීම හේතුවෙන් ඔහු මිය ගොස් ඇති බව කඳාන පොලිසිය පවසයි.
ජාඇළ ලේක් සිටිහි පදිංචි දෙදරු පියෙකු වන හැට හතර හැවිරිදි සුගතපාලද සිල්වා මෙසේ ඝාතනය කැර ඇත. ඔහු ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කරද්දී මියගොස් ඇති බව පොලිසිය කියයි.
සුගතපාල සිල්වා ඔහුගේ බිරිය, දියණියක සහ ඥාති පුත්‍රයකු සමඟ කඳාන ප්‍රදේශයේ සංචාරක වෙළෙඳ සලක් පවත්වාගෙන යමින් එහි බර්ගර් බනිස් අලෙවි කරන්නේ කලක සිටය. මෙම සිද්ධිය දා අදාළ ස්ථානයට පැමිණ ඇති සුගතපාල සංචාරක වෙළඳ සල විවෘත කර වෙළඳාමේ නිරතව සිට තිබේ. පසුව එදින සවස ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි යුවළකගේ සැමියා විසින් මෙම ස්ථානයෙන් බර්ගර් බනිස් දෙකක් ඉල්ලා තිබේ.
එම අවස්ථාවේ අදාළ සංචාරක වෙළඳ සලේ සෙනඟ වැඩි වශයෙන් ගැවසී ඇති අතර මේ නිසා බර්ගර් බනිස් දෙක සාදා දීමට ප්‍රමාද වී ඇති බව එහිදී හෙළි විය. බර්ගර් බනිස් දෙකක් සඳහා රුපියල් 520ක මුදලක් මෙහි අය කරති. එම ස්ථානයට පැමිණි අදාළ පාරිභෝගිකයා මේ සඳහා රුපියල් 500ක නෝට්ටු දෙකක් එම ව්‍යාපාරික කාන්තාවට ලබා දී තිබේ. එහිදී එම ව්‍යාපාරික කාන්තාව පාරිභෝගිකයාගෙන් රුපියල් 500ක නෝට්ටුවක් අය කර ඉතිරි රුපියල් 500ක නෝට්ටුව ඔහුට නැවත ආපසු ලබා දී හිඟ මුදල වන රුපියල් 20 ක මුදල පසුව ලබාදෙන ලෙස පවසා තිබේ. මඳ වේලාවකට පසුව බර්ගර් බනිස් දෙක පාරිභෝගිකයාට ලබා දුන් ව්‍යාපාරික කාන්තාව පසුව ඉතිරි විය යුතු රුපියල් 20 ඉල්ලා සිට ඇති අතර පාරිභෝගිකයා තමන් එය ඇයට දුන් බවට පවසා ඒ සම්බන්ධව ඇය සමඟ බහින් බස් වී ඇත.
පසුව මේ පාරිභෝගිකයා සංචාරක වෙළඳ සලේ සිටි කාන්තාවට බැණ වැදී ඇති අතර පසුව එය ගැටුමක් බවට පත්වී ඇත. සැකකාර පාරිභෝගිකයා ඔහු අත තිබූ මෝටර් බයිසිකල් ආරක්ෂිත හිස්වැසුමෙන් ව්‍යාපාරික කාන්තාවට පහර දීමට උත්සාහ කළ අවස්ථාවේ ඇගේ පියා වන සුගතපාල සිල්වා එම ගැටුම සමථ කිරීමට උත්සාහ කිරීමේදී සැකකරු එම ආරක්ෂිත හිස් වැසුමෙන් සුගතපාලගේ පපුවට පහර දෙකක් එල්ල කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි විය. පසුව සුගතපාල සිල්වා සිහිමුර්ජා වී ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබිණි. එහිදී රෝහලේ වෛද්‍යවරු ඔහු පරීක්ෂා කර මියගොස් ඇති බව ප්‍රකාශ කර ඇත.
මේ සිද්ධිය සම්බන්ධව පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119 ට ලැබුණු තොරතුරක් මත කඳාන පොලිසිය මේ ගැන විමර්ශන ආරම්භ කර ඇත. පසුව සුගතපාලගේ දියණිය වන දින්නා මෙතුසලා සිල්වා නැමැත්තිය කඳාන පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කළාය. ඇය පැමිණිල්ල ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේ සැකකරුද පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කඳාන පොලිසියට පැමිණ සිටි අතර සුගතපාලගේ දියණිය සැකකරු හඳුනා ගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීහු කටයුතු කළහ.
පසුව මෙම සිද්ධිය සම්බන්ධව වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව වැලිසර වැඩ බලන මහේස්ත්‍රාත් හිලේරියන් ගුණවර්ධන මේ සිද්ධිය වූ ස්ථානයට සහ මළසිරුර තැන්පත් කර තිබූ රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට පැමිණ සිරුර පරීක්ෂා කර මේ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රාගම ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කළේය.
සිරුර සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ රාගම ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩි.එම්.සි. ඩබ්ලිව්. කුමාර ඒ සම්බන්ධව විවෘත තීන්දුවක් ලබා දෙමින් මේ සිද්ධිය වූ අවස්ථාවේ ක්ෂණිකව සිදුවූ කම්පනයක් නිසා මේ මරණය සිදු වූ බවට නිගමනය කර තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බවට පවසා තිබේ.
මියගිය සුගතපාලගේ සිරුර ඔහුගේ පවුලේ ඥාතීන් වෙත බාර දීමට නියෝග කළේය. ප්‍රදේශවාසීන්ගෙන් මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත.
සදහම් මාවත, මහර, නුගේගොඩ, රාගම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි විවාහකයකු මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය. ඔහු පැමිණි ස්කූටි වර්ගයේ යතුරුපැදිය සහ පහර දීමට යොදාගත් ආරක්ෂිත හිස් වැසුම නඩු භාණ්ඩ ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු යොදා තිබිණි.
කඳාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් කහඳවලගේ ගේ උපදෙස් මත එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ඒ.එම්. සාගර ජයලත්, උපපොලිස් පරීක්ෂක පෙරේරා, සැරයන්වරුන් වන (36589) තිලකරත්න, (61279) අධිකාරී, (27903) කරුණාතිලක, (43309) නිරෝෂන්, කොස්තාපල්වරුන් වන (49386) ප්‍රියන්ත, (64759) සලීම්, (18663) සුදසිංහ, (37022) ලක්ෂාන් යන නිලධාරීහු මෙම සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරති.