කප්පම් කල්ලියේ 17 දෙනාම අත්අඩංගුවට | Page 2 | සිළුමිණ

කප්පම් කල්ලියේ 17 දෙනාම අත්අඩංගුවට

 

හොරකම්, මංකොල්ලකෑම්, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, වංචා වැනි ම්ලේච්ඡ ක්‍රියාවන් පමණක් නොව කිසිවකු පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලීම ද අපරාධ ගණයට අයත් ක්‍රියාවකි. ඉතාම කෙටි කලකින් විශාල මුදලක් උපයා ගැනීමේ කෙටිම මඟක් ලෙස අපරාධකරුවන් මෙම ක්‍රමය යොදා ගත්ත ද කවදා හෝ එම අපරාධයේ වගකීම තමා වෙතම පැමිණෙන බව ඔවුන් තරයේ මතක තබා ගත යුතුය. විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි දිවියේ අත්දැකීම් ඇසුරින් ‘මේ ඒ කතා‘ කෘතියට ලියවුණු සුප්‍රකට ධන කුවේරයකු වූ එයිට්කන් ස්පෙන්ස් ආයතනයේ හිටපු සභාපති ජී. සී. වික්‍රමසිංහ පැහැර ගැනීම සහ මෙතෙක් අපරාධ ඉතිහාසයේ ඉල්ලූ විශාලම කප්පම් මුදල ඉල්ලූ කප්පම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගත් සූක්ෂ්ම ක්‍රමවේදය පිළිබඳ සැකසුණු කොටස් තුනකින් යුත් ලිපි පෙළේ අවසානයයි මේ.

මීට වසර ගණනාවකට පෙර ‘සිගරැට් වාහන මංකොල්ල’ කෑමේ සිද්ධියට සම්බන්ධව පොලිසියෙන් බේරී කට්ටි පනිමින් සිටි ‘වික්ටර්ගේ’ රුව ඕ.අයි.සී. ජයකොඩිගේ සිතේ ඇඳී මැකී ගියේ සැණෙකිනි. වසර ගණනාවක් ගත වුව ද මේ නම් ඔහුම බව හඳුනා ගැනීමට ඔහුගේ මතක ශක්තිය ප්‍රමාණවත් විය.

“ආ වික්ටර්, තමුසෙ මොකද මෙහේ ?“ ඕ. අයි. සී. ජයකොඩිගේ ප්‍රශ්නයෙන් අන්දමන්ද වුණු වික්ටර්ගේ මුවින් ගිලිහුණේ ද නිරුත්සාහික ප්‍රශ්නයකි.

“සර් මොකද මේ පැත්තේ“

ඒත් සමඟම වික්ටර් ඕ.අයි.සී. ජයකොඩිගේ ක්ෂණික ග්‍රහණයට ලක්වෙද්දී අනෙක් සිවු දෙනා අතර සිටි හිටපු ගුවන් භටයකු වූ ‘රුවන්’ සහ සේවයේ යෙදී සිටි හමුදා සෙබළකු වූ ‘ජයන්ත’ ඒ වන විටත් සිය ග්‍රහණයට ගෙන මාංචු දැමීමට පොලිස් පරීක්ෂක ශානි අබේසේකරට හැකි විය. නි‌ෙවස පරීක්ෂා කරමින් සිටි පොලිස් පරීක්ෂක සේනක කුමාරසිංහ ඇතුළු පිරිස ද මේ වන විට එතැනට පැමිණි හෙයින් පිරිසත් රැගෙන හේරත් බණ්ඩාගේ නි‌ෙවසට පැමිණීමෙන් පසු නි‌ෙවස සහ වාහනය පරීක්ෂා කිරීමට ලක්කළ ද ඉන් පැහැදිලි හෝඩුවාවක් සොයා ගැනීමට අපහසු විය. තිබූ එකම දෙය වූයේ G- 66 කාණ්ඩයේ මුදල් නෝට්ටු අවලංගු කිරීම ගැන සඳහන් පුවත්පත් නිවේදනය සහිත ලංකාදීප පත්‍රය පමණි. පොලිස් නිලධාරී කණ්ඩායමට අවශ්‍යව තිබුණේ පෙර දින බැංකු අයිරාව පියවීම සඳහා බැංකුවට ලබා දුන් මුදල් හේරත් බණ්ඩාට ලැබුණු ආකාරය ගැන දැනගැනීමය. කුඹුරු අස්වැන්න විකිණීමෙන් ලැබුණු මුදල් බව පැවසුවත් වී මිලදී ගත් පුද්ගලයකු හෝ සංවිධානයක් ගැන සඳහන් කිරීමට ඔහු අපොහොසත් වූයෙන් ඔහු ගැන තිබූ සැකය තවත් තීව්‍ර විය. ඔහු කොතරම් ව්‍යාකූල තත්ත්වයට පත්ව සිටියේද කිවහොත් ගෝල්ඩ් ලීෆ් පැකට්ටුවක් නිම කළේ අඛණ්ඩවය.

එතරම් ඉක්මනින් එම පුවත්පත් මුද්‍රණය සිදු වූවේ ද අප රටේ පැවැති ජනමාධ්‍යයේ සුවිශේෂී කාර්යක්ෂමතාව නිසාවෙනි. මාර්තු 30 වැනිදා සිදුවූ මෙම සිදුවීම පිළිබඳ පොලිසිය දැනුම්වත් වූයේත් එදින සවස 4.30ට පමණ වුවද 31 වැනිදා වන විට කෙසේ හෝ මෙම පුවත ලංකාදීප පුවත්පතේ නගර මුද්‍රණයේ මුල් පිටුවේ පළ කර තිබිණි. කොළඹ සහ තදාසන්න පෙදෙස්වල පමණක් බෙදා හැරුණු මෙම පුවත්පත මෙවන් පිටිසර පළාතකට ආවේ කෙසේද යන්න නිලධාරී කණ්ඩායමටම ගැටලුවක් විය.

“හේරත් බණ්ඩා මේ පත්තරය ගෙදරට ආවේ කොහොම ද?“ ඕ.අයි.සී ජයකොඩිගේ ප්‍රශ්නයට හේරත් බණ්ඩාගෙන් ලැබුණේ බයාදු පිළිතුරකි.

“අපේ හාමිනේ හැමදාම පත්තරේ ගන්නවනේ“ “එහෙනම් මට අද, ඊයේ, පෙරේදා පත්තර ටික දෙන්නකෝ“ ඊළඟ ප්‍රශ්නය හමුවේ ඔහු නිරුත්තර විය.

“හැමදාම පත්තර ගන්නවානම් ඉරිදා පත්තරේ අනිවාර්යයෙන්ම ගන්නවානේ. හරි මට ඉරිදා පත්තරේ දෙන්නකෝ“ ඕ.අයි.සී.ගෙන් ප්‍රශ්න වැලකි. “හේරත් බණ්ඩා කවදද අන්තිමට කොළඹ ගියේ“ එයින් හේරත් බණ්ඩාගේ නිහඬ බව බිඳිණි. “දැන් සති දෙක තුනකට කලින්“

සිදුවන කිසිවක් නොදැන එළියට පැමිණි හේරත් බණ්ඩාගේ බිරිය සහ පුතු දුටු දසුනින් තුෂ්නිම්භූතව සිටියේ කිසිවක් කරකියා ගත නොහැකිවය.

“ පුතේ අප්පච්චි කවදද කොළඹ ගියේ“ ඕ.අයි.සී ජයකොඩිගේ මෙවර ප්‍රශ්නය හේරත් බණ්ඩාගේ පුතු වෙතය.

“අම්මේ, අප්පච්චි කොළඹ ගිහින් ආවෙ දවස් හතරකට ඉස්සර වෙලා නේද?“ තම මවගෙන් නිවැරැදිතාව විමසා පොලිස් නිලධාරීවරයා වෙත පිළිතුර ලැබිණි.

“මේ පත්තරේ ගෙදරට ගෙනාවේ කවුද පුතා“

“තාත්තා කොළඹ ගිහින් එද්දී ගෙනාවේ“

කිසිම කුකුසක් නැති දරුවාගේ පිළිතුර පැහැදිලිය. සැකයේ වාසිය තමා වෙතට හරවා ගත් ඕ.අයි.සීගේ මුවඟට සිනහවක් මතු වුණේ ජයග්‍රාහී ලීලාවෙනි.

ඊළඟ මොහොත ගතවූයේ පිය පුතු පිළිතුරුවල පරස්පරතාව ඉවත්කර ගැනීමේ කටයුත්ත වෙනුවෙනි. එහිදී අහිංසක ගැමියකු වූ හේරත් බණ්ඩාට තවදුරටත් නිරුත්තරව සිටීමට නොහැකි විය.

“ඔව් සර්, මම දවසක් කොළඹ ගියා හදිසියකට. ඒ එන ගමන් තමා පත්තරේ ගෙනාවේ“ දැන් විමර්ශනය නිමාවට කාලය එළඹ ඇති බව වටහා ගත් පොලිස් නිලධාරී කණ්ඩායම සැක කටයුතු පිරිස ද පටවාගෙන බොරැල්ල අපරාධ විමර්ශන බියුරෝව නොහොත් සී.අයි.ඩීයට එද්දී කොළඹ නගරය අඳුරේ ගිලෙමින් තිබිණි. දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ අහිංසක ගැමියකු වූ හේරත් බණ්ඩාට ඇත්ත තවදුරටත් සඟවාගෙන සිටිය නොහැකි විය.

“සර් මට තේරෙනවා දැන් අපි අහුවෙලා ඉවරයි. මට තවත් බොරු කියන්න බෑ. මම අහිංසක දරු පවුල්කාරයා. මමත් මේ කට්ටියට රැවටුණා. මාව මේ කරදරෙන් බේරලා දාන්න සර්. මං ඇත්ත කියන්නම්“ යැයි ඔහු කීවේය.

මෙය අහඹු ලෙස සිදු වූ කෙටි කාලීනව සිදු වූ සැලසුමකි. කොළඹ පිටකොටුවේ මැනිං මාකට් එකේ එළවළු තොග වෙළෙන්දෙකු වූ ‘වැල්ලම්පිටියේ චමින්ද’ ප්‍රසිද්ධව සිටියේ ‘තක්කාලි චමින්ද’ ලෙසිනි. ඒ ඔහු බොහෝ විට සිදු කළේ තක්කාලි වෙළෙඳාම නිසාය. බළංගොඩ පදිංචිව සිටි ‘ඊශ්වරන්ගේ ආරියසේන’ උපපොලිස් පරීක්ෂකවරයකු ලෙස සේවයට බැඳී ගාල්ල පොලිසියට අනුයුක්තව සේවය කරන්නෙකි. ඔහු කොළඹ පැමිණි විට නවාතැන් ගන්නේ ද තම මිතුරකු නිසා හඳුනාගත් ‘තක්කාලි චමින්දගේ’ එළවළු කඩයේය. අනුරාධපුර පදිංචිකරුවකු වූ ‘වික්ටර්’ පළපුරුදු රියදුරකු වූ අතර ඔහුගේ මනස නිරතුරුවම ක්‍රියා කළේ අපරාධ ක්‍රියාවන් කෙරෙහිය. මීට පෙරද අපරාධ ක්‍රියා බොහොමයක් සිදු කොට තිබූ ඔහු ද මිතුරකුගේ මාර්ගයෙන් හඳුනා ගත් ‘තක්කාලි චමින්දගේ’ කඩයට නිතර යන එන්නෙකි. එමෙන්ම හමුදාවෙන් පලා ගිය සෙබළකු වූ ‘ප්‍රියන්ත’ සහ ‘රුවන්’ මෙන්ම මෙය සිදු කරන විටත් මත්තේගොඩ යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ ‘කපිල’ ද චමින්දගේ ගජ මිතුරන්ය. සමහර සති අන්තවලදී මෙන්ම පෝය නිවාඩුවේ දී චමින්දගේ එළවළු කඩය මේ නඩයට සව්දිය පුරන්නට හොඳ තෝතැන්නක් විය. විනය විරෝධී ක්‍රියාවන් හේතුවෙන් උප පොලිස් පරීක්ෂක ආරියසේන ඒ වන විටත් ‘බ්ලැක් ලිස්ට්‘ කළ නිලධාරියකු වීම නිසා පොලිස් සේවය එපා වී ඉක්මනින් මුදල් හොයා ගෙන නීත්‍යනුකූලව සේවයෙන් ඉවත් වී තමාගේම බිස්නස් එකක් කිරීමේ අදිටනින් පසු වූ අයෙකි.

විවිධ හේතූන් සඳහා වරින් වර රිමාන්ඩ් බන්ධනාගාරගත වූ පොලිසියට අවශ්‍ය සැකකරුවකු වූ ‘වික්ටර්ට’ අවශ්‍යව තිබුණේ ද එක සැරේ ලොකු මුදලක් සොයාගෙන නිදහසේ ජීවත්වීමයි. එක රැහේ උන් එකට එක්වන්නා සේ හොඳ මෙන්ම නරක අදහස් ඇත්තවුන් ද එකට එක්වීමේ ප්‍රතිඵලයක් ලෙස මොවුන් එකම කාණ්ඩායමක් බවට පත් වී තිබිණි. සාදයක් පැවති එක්තරා දිනක වික්ටර්ගේ යෝජනාව වූයේ කුමක් හෝ මගෝඩි වැඩක් කර ලොකු ගානක් උපයා ගැනීමයි. කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේ ගොල්ෆ් ක්‍රීඩකයන් සමඟ ගමන්ගන්නා කැඩිවරයකු වූ නොයෙල් නමැත්තා ද එදින මේ සාදයේ සාමාජිකයකු වී සිටි අතර ඔහුගේ යෝජනාවක් වූයේ එම ගොල්ෆ් සමාජයේ මාසික පඩි මුදල ලෙස ගෙනෙන ලක්ෂ 6කට ආසන්න මුදල මංකොල්ලකෑමයි. වික්ටර් එය එක හෙළාම ප්‍රතික්ෂේප කළේ ලක්ෂ 6ක් වැනි සොච්චම් මුදලක් කණ්ඩායම අතරේ බෙදා ගැනීමටවත් ප්‍රමාණවත් නොවන බව පවසමිනි. ඊළඟ යෝජනාවද නොයෙල්ගෙන්මය.

“අපේ ක්ලබ් එකට ගොල්ෆ් ගහන්න එනවා ලංකාවේ ලොකුම සල්ලිකාරයෝ. ඒ අතරෙනුත් ලොක්කෙක් තමයි සෙලින්කෝ අයිතිකාර කොතලාවල මහත්තයගෙ මස්සිනා. සමහර දවස්වලට මම එයත් එක්ක සෙල්ලම් කරන්න යනවා. මිනිහා ටිකක් වයසක කෙනෙක්. මිනිහ ඉස්සුවොත් නම් ලක්ෂ 20ක 30ක කප්පමක් ගන්න පුළුවන් ෂුවර්.“

ඒ අපූරු යෝජනාවෙන් උද්දාමයට පත් වූ වික්ටර් ඒ අවස්ථාවේ සිටම තම අපරාධ දිවියේ ලොකුම ගොදුර ඩැහැගැනීමේ මාස්ටර් ප්ලෑන සිතින් නිර්මාණය කිරීමට පටන් ගත්තේය. මාර්තු 30 වැනිදා ජී.සී. වික්‍රමසිංහ පැහැර ගැනීම සිදුවුයේ එලෙසිනි.

අපරාධයේ සුලමුල සොයා ගත් පොලිස් නිලධාරී කණ්ඩායම වහ වහා ක්‍රියාත්මක වූයේ එහි සියලු අපරාධකරුවන් නීතියේ රැහැනට කොටු කරගැනීම සඳහායි. එය බස්නාහිර පළාත් සභා මැතිවරණ සමයයි. එය අවසන් වීමත් සමඟම බස්නාහිරට පමණක් සීමා වන ලෙස බල ගැන්වූ ඇඳිරි නීතියේ රැකවරණය මැද රැය පුරාම ලක්ෂ 200 සොයා ගැනීමේ මෙහෙයුමක නිරත වුණු පොලිස් කණ්ඩායමට එහි ප්‍රධාන සැකකරුවකු වූ උප පොලිස් පරීක්ෂක ආරියසේන බලංගොඩ ඔහුගේ නි‌ෙවස අසලදීම අත්අඩංගුවට ගැනීමට හැකිවිය. අවම වගකීමක් ගෙන තිබූ ලොරි සහායකයා හැර සෙසු 16 දෙනාම එදින රැය පහන් වීමට ප්‍රථම අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරී කණ්ඩායමට හැකි විය.

කෙටල ගාල්වල, නිවාසවල සිවිලිං තුළ, පොල් ගස්වල කරටි අතර සඟවා තිබූ ලක්ෂ දෙසීයේ කප්පම් මුදලින් ලක්ෂ 188ක් ම පසුදා අලුයම වීමට පෙර සොයා ගැනීමට විමර්ශන කණ්ඩායම සමත් විය. එමෙන්ම අපරාධය සිදුවී දින 10ක් ගත වීමට ප්‍රථම අපරාධයට සම්බන්ධ සියලුම අපරාධකරුවන්, කප්පම් මුදල මෙන්ම ඒ සඳහා යොදා ගත් ගිනිඅවි 6ක් ඇතුළු නඩු භාණ්ඩ 20කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට ද හැකි විය.

නීති ක්ෂේත්‍රයේ කීර්තිමත්ම නීතිවේදියකු වූ සී.ආර්. ද සිල්වාගේ නායකත්වයෙන් යුතුව පැමිණිල්ල මෙහෙයවමින් කොළඹ මහාධිකරණයේ දින 27ක් පුරා පැවැත්වූ දීර්ඝ නඩු විභාගයෙන් පසු චූදිතයන් 17 දෙනා අතුරින් 16 දෙනකු සඳහාම උපරිමය ලෙස උප පොලිස් පරීක්ෂක ආරියසේනට අවුරුදු 88ක සිර දඬුවමක් සහ අවමය ලෙස 16 වන සැකකරු වූ නිමල් විජේසිංහට වසර 15ක සිර දඬුවමක් ලෙස දඬුවම් නියම විය. අපරාධයක් කළහොත් කවදා කෙසේ හෝ එයට දඬුවම් ලැබෙන බව සනාථ කරමින් ලංකාවේ සිදුවූ විශාලම කප්පම් මුදල ගැනීමේ නඩු විභාගය නිමාවට පත්විය.

සකස් කළේ - නාමලී ගමගේ

Comments