මෙම වසරේ අලි මරණ 395යි | Page 2 | සිළුමිණ

මෙම වසරේ අලි මරණ 395යි

2022 වසරේ ජනවාරි සිට දෙසැම්බර් 01 දක්වා ශ්‍රී ලංකාවේ සිදු වී ඇති අලි මරණ සංඛ්‍යාව 395කි. එය ඉකුත් වසරට වඩා අලි මරණ 20ක වැඩි වීමකි. අලි මිනිස් ගැටුම් නිසා 2022 වසරේ මිය ගිය මිනිසුන් සංඛ්‍යාව 127කි. විදුලි සැර වැදීම්වලින් පමණක් 2022 වසරේදී අලින් 38ක් මිය ගොස් ඇත. මේ ඡායාරූපයේ දැක්වෙන්නේ දෙසැම්බර් 08 වැනිදා සීගිරිය ඉනාමළුවේ රොටවැව ප්‍රදේශයේ මිනිසුන් පිරිසක් විසින් නීති විරෝධි ලෙස විදුලි රැහැන් ඇදීම නිසා අවුරුදු 30 පමණ වයසැති අලියකු මිය ගොස් ඇති අයුරුය.

රොටවැව ප්‍රදේශයේ විදුලි වැට අක්‍රියවීමෙන් අලි ගම් වදින බව ප්‍රදේශවාසීන් විසින් අවස්ථා ගණනාවකදී සීගිරිය වනජීවි කාර්යාලය දැනුම්වත් කළ ද විදුලි වැට ක්‍රියාත්මක නොකිරීම නිසා සිය කෘෂිකාර්මික බෝග ආරක්ෂා කරගැනීමට ගොවීන් නිවෙසේ ඇති විදුලි රැහැන් වගා බිම්වලට අදින නිසා එමඟින් වන සතුන්ට මෙන්ම එම ස්ථානවලින් ගමන් කරන මිනිසුන්ට ද විදුලි සැර වදින අවස්ථා තිබෙන බව සීගිරිය පොලිසියේ ජ්‍යෙෂ්ඨ

නිලධාරියෙක් සිළුමිණට හෙළි කළේය.

මිය ගිය අලියාගේ පශ්චාත් මරණ කටයුතු ගිරිතලේ වනජීවි නිලධාරීන් විසින් සිදු කළ අතර විදුලි රැහැන් ඇදීම සම්බන්ධයෙන් ඉඩම්හිමිකරුගෙන් ප්‍රකාශ සටහන් කොට ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට ද අදාළ අංශ කටයුතු කර ගෙන යන බව කියති.

(සටහන : ටානියා මෝසස් / ඡායාරූපය : සීගිරිය විශේෂ, කාංචන ආරියදාස)

 

Comments