වෙන්නප්පුව උල්හිටියාවේදී අනූලක්ෂයක් වටිනා ශීතාගාර ලොරිය භූමිතෙල් තොගයක් එක්කම උස්සලා | සිළුමිණ

වෙන්නප්පුව උල්හිටියාවේදී අනූලක්ෂයක් වටිනා ශීතාගාර ලොරිය භූමිතෙල් තොගයක් එක්කම උස්සලා

වැටලීම සිදුකළ නිලධාරින් අදාළ ලොරි රථය සමඟ

- සී.සී.ටී.වී ඔස්සේ කළ විමර්ශනය සාර්ථකයි
- සඟවා තිබූ ලොරිය සොයා ගත්තේ මීගහවත්තේදී
- ලීසිං ආයතනයේ හිමිකාරිය දියණිය බෑණා ඇතුළු පහක් සැකපිට අත්අඩංගුවට

සුගිය දිනක උදෑසන වෙන්නප්පුව උල්හිටියාව මත්ස්‍ය වෙළෙඳපොළ ආසන්නයේ මාළු ප්‍රවාහනය කරන නවීන ශීතාගාර සහිත ලොරියක රියැදුරුට තියුණු ආයුධයකින් පහරදී පැහැරගෙන යාමත් සමඟ එම ප්‍රදේශයේ දැඩි නොසන්සුන්තාවක් ඇති විය. මෙම සිදුවීමෙන් පසු එහි හිමිකරු අසල සිටි අය සමඟ කැබ් රථයකින් ලොරිය පසුපස හඹා ගියද එය ගමන් කරන දිශාව හඳුනා ගැනීමට නොහැකි වූයේ එම අවස්ථාවේ මාර්ගයේ පැවති අධික වාහන තදබදය නිසාවෙනි. 

අනතුරුව ලොරියේ හිමිකරු වෙන්නප්පුව පොලිසියට මේ සිද්ධිය පැමිණිලි කෙරිණි. පසුව පොලිසිය ලොරිය ගමන් කළ බවට සැක කරන ප්‍රදේශවල පොලිස් ස්ථානවලට මේ ගැන දැනුම්දීමට කටයුතු කරන ලදි. එහෙත් එදින මේ ලොරිය ගැන හෝඩුවාවක් ලබා ගැනීමට පොලිසියට හැකි වූයේ නැත.

ඉන් අනතුරුව වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි වසන්ත කුමාර සහ වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චිගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති රනුක වික්‍රමසිංහ ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් දිගින් දිගටම මේ සිද්ධිය සම්බන්ධව විමර්ශන කටයුතු ආරම්භ කළේ සැකකරුවන් සහ ලොරියත් අත්අඩංගුවට ගැනීම සඳහාය.

ලොරියේ හිමිකරු වෙන්නප්පුවේ පදිංචිකරුවෙකි. ඔහු බහුදින යාත්‍රා කිපයක ද හිමිකරුවෙකි. ලොරිවලින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට මාළු රැගෙන ගොස් අලෙවි කිරීමද ඔහුගේ ව්‍යාපාරයට බද්ධ වූවකි. මේ සඳහා ඔහු රුපියල් ලක්ෂ 90ක් පමණ වටිනා ශීතාගාර ලොරි රථයක් ලීසිං ආයතනයකින් ලබා ගන්නේ මීට මාස කිහිපයකට පෙරය. මුලින් රුපියල් ලක්ෂ 18 ක් ලබා දී ඉතිරි මුදල මාසිකව එක් වාරිකයක් රුපියල් එක්ලක්ෂ තිස්දෙදහස බැගින් වාරික 57 කින් ගනුදෙනුව අවසන් වන පරිදි ගිවිසුම්ගතව ඔහු මේ ලොරිය ලබා ගත්තේය. මාස දෙකක් එනම් වාරික දෙකක් ගෙවීමට අපහසු වුවහොත් ලොරිය ලීසිං ආයතනයට හිමිවන බව ද මෙම ගිවිසුමේ සඳහන්ය.

ලීසිං ආයතනය පිහිටියේ ගම්පහ මීගහවත්ත පොලිස් වසමේය. එහි හිමිකාරිනිය වයස අවුරුදු පනහක කාන්තාවකි. ඇගේ ව්‍යාපාරයට සහය ලබා දෙන්නේ ඇගේ දියණියත් දියණිය අතිනත ගැනීමට සිටින බව කියන අයකු විසිනි. පැහැර ගත් ලොරිය ගමන් කළ බවට සැක සහිත දිශාවල මාර්ග දෙපස වෙළඳසල් සහ නිවෙස්වල සී.සී.ටී.වී. කැමරා දර්ශන ඔස්සේ පොලිසිය විමර්ශන ආරම්භ කෙරිණි. එහිදී ලොරියේ තිබූ රියදුරුගේ දුරකතනයේ විශ්ලේෂණ වාර්තා කෙරෙහිද අවධානය යොමු ‍ෙකරිණි.

මෙහිදී ස්ථාන ගණනාවක සී.සී.ටී.වී.කැමරා දර්ශනවලින් පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය කර ගත හැකි වූයේ පැහැර ගත් ලොරිය ඉදිරිපසින් තවත් කැබ් රථයක් එහි ආරක්ෂාවට ගමන් කරන බවත් ලොරිය ගම්පහ ප්‍රදේශයට ගමන් කර ඇති බවත්ය.

පොලිසිය දිගින් දිගටම සිදු කළ විමර්ශන කටයුතුවලදී හෙළි වූයේ ලොරිය පැහැර ගැනීමට සැලසුම් කර ඇත්තේ ලොරිය ලබාගත් ගම්පහ මීගහවත්ත පොලිස් බල ප්‍රදේශයේ ලීසිං ආයතනයේ හිමිකාරිය විසින් බවය. 

පසුව එම කාන්තාවගෙන් දිගින් දිගමට සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ සිද්ධියේ සුල මුල නොසඟවා හෙළි කිරීමට ඇය කටයුතු කළාය. අනතුරුව ලොරිය සඟවා තිබියදී අත්අඩංගුවට ගත්තේය. ඇගේ දියණිය, දියණියගේ පෙම්වතා සහ පැහැර ගැනීම සිදු කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය. එක් පුද්ගලයෙක් මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් එම සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන කටයුතු සිදු කරමින් පවතින බව පොලිසිය සඳහන් කරයි.

වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි ලොරියේ හිමිකරුගේ බහුදින යාත්‍රා සඳහා යොදා ගැනීමට තිබූ රුපියල් ලක්ෂ නවයකට ආසන්න ප්‍රමාණයක් වටිනා භූමිතෙල් තොගයක් ද මෙම ලොරි රථයේ තිබී ඇත. සැකකරුවන් මීගහවත්ත පොලිස් වසමේ පදිංචි අය වෙති. අත්අඩංගුවට ගත් සැකකරුවන් මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.

හලාවත ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණගේ උපදෙස් මත වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී වසන්ත කුමාරගේ අධීක්ෂණයෙන් වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චිගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රනුක වික්‍රමසිංහ, පොලිස් පරීක්ෂක සිරිවර්ධන, සැරයන්වරුන් වන 21569 රාජපක්ෂ, 10025 සංජු, 54923 සාන්ත, කොස්තාපල්වරුන් වන 88533 ඉඳුනිල්, 98816 කුමාර, කාන්තා පොලිස් කොස්තාපල්වරියන් වන 12908 යෂිණි, 13311 රේණුකා යන නිලධාරිහු විමර්ශන කටයුතු සිදු කළහ.

Comments