
මහමඟ ඉබාගාතේ යද්දී ඇල්ලූ සැකකරුගෙන් පොලිසියේදී පාපෝච්චාරණයක්
සුජාතා පස් දරු මවක්
අනියම් බිරිය මරා වැළලූ සැකකරු අත්අඩංගුවට
දින කීපයකට පෙර ඝාතනය කරන ලද කාන්තාවකගේ මළ සිරුරක් ඉකුත් 16දා ගොඩ ගනු ලැබුවේ වඳුරඹ පොලිස් වසමේ කුඹලමලහේන, ජම්බුගහවිල ප්‍රදේශයේදීය. එලෙස ඝාතනය කර තිබුණේ සුජාතා ගුණසේකර නමැති 41 හැවිරිදි කතකි. ගාල්ල, අක්මීමන, කුරුඳුවත්ත ඇගේ මුල් ගමයි. විවාහක කාන්තාවක වන ඇයට දූදරුවන් පස් දෙනෙකි. ඇගේ නීත්‍යනුකූල සැමියා දැඩි සේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකි. සුජාතා මීට වසර එකහමාරකට පමණ පෙරදී නිශාන්ත ගුණසේකර නමැති අයකු සමඟ අනියම් සබඳතාවකට මුල පුරා තිබුණේ දූදරුවන් පස්දෙනාද හැර දමමිනි. මේ වන විට ඇගේ දූදරුවෝ පස්දෙනා නීත්‍යනුකූල සැමියාගේ මව බාරයේ පසු වෙති.
හිනිදුම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන නිශාන්ත ද විවාහකයෙකි. දෛනික කුලී රැකියාවල නිරත 35 හැවිරිදි නිශාන්ත ද එක් දියණියකගේ පියෙකි. එම දියණිය මේ වන විට ඔහුගේ නැන්දණියක හදාවඩා ගන්නීය. වසර එකහමාරකට පෙරදී සිය ඥාති හිතෛෂින්ගෙන් වෙන්ව ගිය සුජාතා ජීවත් වන ඉසව්වක් ඇගේ සහෝදර සහෝදරියන් හෝ ඥාතින්ද දැන සිටියේ නැත. එහෙත් ඉකුත් 13 වැනිදා දහවලේ සුජාතාගෙන් දුරකතන ඇමැතුමක් ලැබුණේ සිය මවටය.
“අනේ අම්මේ මට සමාවෙන්න... මම දැන් පවුල් කන මනුස්සයා මට හැමදාම ගහනවා... මම මේ කෝල් එක ගත්තෙත් ළඟ ගෙදරකට ඇවිත්... අනේ අම්මේ... මාව මේ අපායෙන් බේරගන්න නංගිට හරි කාටහරි එන්න කියන්න...මාව එක්කන් යන්න මගේ බුදු අම්මේ... කොහොමහරි මාව බේරගෙන යන්න“ යැයි සුජාතා හඬා වැටෙමින් මවට පැවැසුවාය.
නෙළුව ප්‍රදේශයේ වෙසෙන සුජාතාගේ මවට ලැබුණු එම ඇමතුමත් සමඟ ඇගේ මව ඒ බව සිය බාල දියණියට දැන්වූවාය. “දුවේ... අක්කා කෝල් කරලා කිව්වා... උඹට අක්කා ඉන්න ගෙදරට එන්න කියලා... උඹ අයියට කියපන්... අක්කට කරදරයක් කියලා කෝල් කළා කියලා...“ මව කීවාය.
නෙළුවේම වෙසෙන සුජාතාගේ නැඟණිය ‘නාමලී‘ ඒ බව ගාල්ල, අක්මීමන ප්‍රදේශයේ වාසය කරන සිය වැඩිමල් සහෝදරයාට දැන්වීය. “අයියේ... අක්කට කරදරයක්ලු... එයා ළඟ ගෙදරකට ගිහින් අම්මට කෝල් කරලා... එයාව බේරගන්න කියලා. එයා වඳුරඹලු ඉන්නෙ... අනේ අයියේ මට වඳුරඹට එන්න වෙලාවක් නෑනේ... ඔයාට බැරිද ගිහින් අක්කා ගැන හොයලා බලන්න...“ යැයි ඕ අයියාගෙන් එලෙස විමසුවාය.
එහෙත් මීට වසර එකහමාරකට පමණ පෙරදී දරුවන්, සහෝදර සහෝදරියන් පමණක් නොව ඥාති හිතෛෂීන්ද අමතකකොට වෙනත් පුරුෂයකු සමඟ ගිය නැඟණිය නිශ්චිත ලෙස පදිංචිව සිටින්නේ කොහිද යන්න ඇගේ සහෝදරයන් දැන නොසිටියේය. එම නිසා සුජාතාගේ වැඩිමල් සහෝදරයා සුජාතා සිය මව ඇමතු දුරකතන අංකය ලබාගෙන එම දුරකතනයට ඇමතුමක් ගත්තේය. ඉන් කියැවුණේ සුජාතා වෙසෙන්නේ වඳුරඹ පොලිස් වසමේ කුඹලමලහේනේ, ජම්බුගහවිල ජානක මහත්මයා නමැත්තෙකුට අයත් තේ වත්තක නිවෙසක බවයි. අනතුරුව ඇගේ වැඩිමල් සහෝදරයා ඉකුත් 14 දා සවස එම නිවෙස සොයා ගියේය. ඒ සමඟ සුජාතාගේ නැඟණියද එම නිවෙස සොයා ගියේය. එහෙත් ඔවුනට නිවෙස සොයා ගත නොහැකි විය. අනතුරුව පසු දින එනම් පසුගිය 15 වැනිදා පෙරවරු 9ට පමණ සුජාතාගේ නැඟණිය නාමලී වඳුරඹ පොලිසියට ගියාය.
“සර්... මගේ අක්කා සුජාතා ගුණසේකර. එදා 13 වැනිදා මගේ අම්මට කෝල් කරලා කියලා එයාගේ මනුස්සයා හොඳටම ගහනවා... ඇවිල්ලා බේරගන්න කියලා... දැන් එයා ගැන කිසිම ආරංචියක් නෑ... අක්කා අවුරුදු එකහමාරක ඉඳන් නිශාන්ත ගුණසේකර කියන මනුස්සයා එක්ක ජීවත් වෙන්නෙ... එයාලා වඳුරඹ, ජම්බුගහවිල ජානක මහත්තයලගේ තේ වත්තක පදිංචි වෙලා ඉන්නවා කියලයි ආරංචිය... අනේ සර්... මගේ අක්කා ගැන පොඩ්ඩක් හොයලා බලන්න...“ යැයි ඕ පොලිස් ස්ථානාධිපති හමුවේ පැවැසුවාය.
ලද පැමිණිල්ලෙන් නම කියැවුණු පුද්ගලයා ගැන පැමිණිල්ල සටහන් කළ පොලිස් නිලධාරියා ඒ ගැන සොයා බැලීය. ඒ අනුව නිශාන්ත ගුණසේකර ඒ වන විට වඳුරඹ පොලිස් අත්අඩංගුවට පත්ව ‘කූඩුවේ‘ පසු විය. ඒ 15 වැනිදා අලුයම රාත්‍රී මුර සංචාරයේ යෙදුණු වඳුරඹ පොලිස් නිලධාරි කණ්ඩායමක් විසින් හේතුවක් නොමැතිව අනන්‍යතාවද තහවුරු කිරීමට අපොහොසත්ව සැක කටයුතු ලෙස මාර්ගයේ ගමන් කරමින් සිටියදීය. අනතුරුව පැමිණිල්ලට අනුව අත්අඩංගුවේ පසුවූ නිශාන්තගෙන් පොලිසිය ඒ පිළිබඳ ප්‍රශ්න කළේය.
“සර්... සුජාතා මාත් එක්ක හිටියා තමයි. ඔය කියන 13 වැනිදා උදේ මම බීලා නිදාගෙන හිටියේ... නැඟිටලා බලනකොට සුජාතා ඇඳගෙන කොහේ හරි ගිහින්... මං හිතුවේ අම්මලාගේ ගෙදර හරි වෙන කොහේහරි ගිහින් කියලා. මං හැමතැනම බැලුවා. එච්චරයි මම දන්නේ...“
ඔහුගේ එම ප්‍රකාශයත් සමඟ වඳුරඹ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චාමර සිල්වා අත්අඩංගුවේ පසුවූ නිශාන්තගෙන් වැඩිදුරටත් දීර්ඝ ලෙස ප්‍රශ්න කළේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල කාමරයටම ගෙනය. ඒ ඉකුත් 15 දා දහවල් කාලයේයි. පොලිස් ස්ථානාධිපතිවරයා පැය තුනක පමණ කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කෙළේය. එහිදී නිශාන්තගෙන් අනාවරණය වූයේ ඔහු සුජාතා ඝාතනය කර ඇති බවය. සුජාතාට සිදු වූයේ කුමක්ද යන්න නිශාන්තගේ පාපෝච්චාරණය අනුව හෙළි විය.
ඉකුත් 13 වැනිදා පෙරවරුවේ සුජාතා, නිශාන්තට කෑමට යමක් සකස් කළේ නැතැයි දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුවිය. එම බහින්බස් වීම දුරදිග ගොස් නිශාන්ත සුජාතාට පහර දුන්නේය. ඒ සමඟම සුජාතා යාබද නිවෙසකට ගොස් සිය මවට දුරකතන ඇමතුමක් ගෙන ඇත්තේ එම නිවැසියකුගේ ජංගම දුරකතනයෙනි. සුජාතා යාබද නිවෙසේ සිටියදී එම නිවෙසට ආ නිශාන්ත ඈව බිම දිගේ ඇදගෙන නිවෙසට ආවේය. එලෙස ඇදගෙන එන ආකාරය එම නිවැසියෝද දුටුහ. නිවෙසට ඇදගෙන ආ සුජාතා නිවෙසේ මඳ වේලාවක් සිටීමෙන් පසු එදින දහවල් 12 ට පමණ නිශාන්ත ඇය සමඟ බහින්බස් වී නැවත ඇය ඇදගෙන ගොස් තිබුණේ යාබද තේ ඉඩමකටයි.
එම ඉඩමේ තිබූ ගිනිසීරියා ගසක් කඩා ගත් නිශාන්ත ඉන් සුජාතාගේ දෙපාවලට නොසෑහෙන ලෙස පහර දී තිබිණි. එම ස්ථානයේදී සුජාතා බිම ඇද වැටිණි. ඒ අතරේ නිශාන්ත නිවෙසට විත් උදලු මිටක් රැගෙන නැවත එම ස්ථානයට ගියේය. අනතුරුව එම උදලු මිටෙන් නිශාන්ත, ඇගේ හිසට සහ මුළු ශරීරයටම පහර දී තිබුණේ හිත්පිත් නැත්තෙකු විලසිනි. ඒ සමඟ සිහි මුර්ජා වූ සුජාතා මඳ වේලාවකින් මිය ගිය බව නිශාන්තට වැටහිණි. එසැණින් සුජාතාගේ මළ සිරුර ඔසවාගෙන නිශාන්ත පැමිණියේ සිය නිවෙසටය. නිවෙසේ තිබූ ස්පොන්ච් මෙට්ටය මත ඔහු ඇගේ මළ සිරුර තැබීය.
“සර්... එදා රෑ සුජාතගේ මිනිය මෙට්ටේ උඩ තිබුණේ... මම ඒ ළඟම බිම නිදාගත්තා...“ නිශාන්ත පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිරියේ පැවැසීය.
පසුදා එනම් 14 වැනිදා පෙරවරු හයට පමණ අවදි වූ නිශාන්ත සුජාතාගේ මළ සිරුර රෙදිකඩකින් එතීය. සිය නිවෙස පිටුපස මීටර් 150ක් පමණ දුරින් වූ පිහිටි තේ ඉඩමකට ගියේ එම මළ සිරුරද රැගෙනය. එම ඉඩමේ කොනක ලඳු කැලෑ රොදක වළක් කපා බිරියගේ මළසිරුර වළ දමන්නට තරම් ඔහු සැහැසි වී තිබිණි. එසේ වසර එකහමාරක පමණ කාලයක් එක්ව විසූ බිරිය මරා දමා පසුදා වළ දමා කිසිම ගාණක් නොමැතිව නිවෙසට පැමිණි නිශාන්ත එදින රාත්‍රියේ එම නිවෙසෙන් පිටවී ඉබාගාතේ ඇවිද යමින් සිටියදී වඳුරඹ පොලිසියේ ජංගම මුර සංචාරක රථයේ නිලධාරින්ට මුණගැසිණි. අනතුරුව එම නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනුණේ සැකකටයුතු ලෙස හැසිරීම නිසාය.
“ඇයි තමුන් මේ මනුස්සයා මැරුවේ...“ පොලිස් ස්ථානාධිපතිවරයා විමසීය.
“මට එදා එයා උදේ කෑමට මුකුත් හදලා දුන්නේ නැති නිසා කේන්තියටයි මේ දේ වුණේ... සර්...“ නිශාන්ත පැවැසීය.
එසේම දෙදෙනා අතර කලක් තිස්සේම බහින්බස් වීම් සිදුව ඇත්තේ සුජාතා විසින් ඇගේ නීත්‍යනුකූල සැමියාට දුරකතන ඇමැතුම් ගන්නා බවට නිශාන්ත තුළ තිබූ සැකය නිසාවෙන් බවටද පොලිසියට අනාවරණය විය. කෙසේ හෝ නිරපරාදේ දරුවන් පස් දෙනෙකුගේ මවක් මෙලොව හැර ගියේ අවාසනාවක මහිමය කියාපාමිනි. පසුගිය 16 වැනිදා සුජාතාගේ මළසිරුර අධිකරණ වෛද්‍ය නිලධාරිනි සමාධි දන්දෙනිය ඉදිරියේදී පොලිසිය විසින් ගොඩ ගනු ලැබීය. කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි පෙරේරා සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිව තිබුණේ සුජාතාගේ මරණය පොලුවලින් පහර දීම නිසා සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් සිදුවූවක් බවයි. අත්අඩංගුවට ගැනුණු සැකකාර නිශාන්ත බද්දේගම මහේස්ත්‍රාත් එච්.යූ.කේ. පැල්පොල වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
දකුණු පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ගාල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ සහ වැඩබලන ගාල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි ගාල්ල දිසා 3 ක්‍රිෂාන්ත ලොකුගේගේ අධීක්ෂණයෙන් වඳුරඹ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චාමර සිල්වාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක විමලසිරි, සැරයන්වරුන් වන 44413 ලියනගේ, 52288 අමරවර්ධන, 59034 මුදලිගේ, කොස්තාපල්වරුන් වන 53817 ඉන්දික, 72882 විජේසිංහ, 32329 පැතුම්, 24684 ලක්ෂිත සහ කාන්තා කොස්තාපල් 7941 පුෂ්පා යන නිලධාරිහු වැඩිදුර විමර්ශන සිදු කළහ.
ඡායාරූප - ලලිත් චාමින්ද