රාත්‍රියේ කුලී ගමන් ගොස් ත්‍රිරෝද රථ කොල්ලකන නිශාචර දෙසොහොයුරෝ රාගමදී දැලේ | සිළුමිණ

රාත්‍රියේ කුලී ගමන් ගොස් ත්‍රිරෝද රථ කොල්ලකන නිශාචර දෙසොහොයුරෝ රාගමදී දැලේ

- බෝයිස් ටවුමේ සැඟවී සිටි පොලිසිය අයියයි මල්ලියි අල්ලයි
- ත්‍රිරෝද රථ රියදුරන් සතු මුදල් රන් භාණ්ඩ කොල්ලකාලා

ත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වන පුද්ගලයන් තමන්ට අවශ්‍ය මත්ද්‍රව්‍ය මිලදී ගැනීම පිණිස අවශ්‍ය මුදල් සොයා ගැනීමේ අරමුණින් සොරකම් සහ කොල්ලකෑම් සිදු කිරීමට පෙලඹෙති. එවැනි පුද්ගලයන් කොල්ලකෑම් සිදු කිරීමට තැත් කරද්දී ඒවාට එරෙහි වන පුද්ගලයන්ට පහරදී තුවාල කිරීමට හෝ මිනිස් ඝාතන සිදු කිරීමට ඔවුන් ඇතැම් අවස්ථාවලදී පෙලඹෙති. 

ත්‍රිරෝද රථ රියදුරන් රවටා කුලී ගමනක් යාමට අවශ්‍ය බව පවසමින් කුලී ගමන් යන මුවාවෙන් රාගම පොලිස් බල ප්‍රදේශයේ බෝයිස්ටවුන් ප්‍රදේශයට එම රියදුරන් රැගෙන ගොස් ඔවුන් සතු ත්‍රිරෝද රථ, මුදල්, දේපළ සහ ජංගම දුරකතන කොල්ලකෑමේ නිරත එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු සමඟ රුපියල් ලක්ෂ තිහක් පමණ වටිනා ත්‍රිරෝද රථ 3ක් සහ මෝටර් බයිසිකලයක් අත්අඩංගුවට ගැනීමට රාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධරයනට පසුගියදා හැකි විය.

මෙම කොල්ලකෑම්වලට සම්බන්ධ රාගම, වල්පොල ප්‍රදේශයේ පදිංචි එකම පවුලක සොහොයුරන් බව කියන වයස අවුරුදු 38 සහ 36 හැවිරිදි දෙදෙනෙකු මෙසේ සැකපිට අත්අඩංගුවට ගැනීමට රාගම පොලිසියේ නිලධාරින්ට හැකි විය.

එහිදී මෙම සැකකරුවන් දෙදෙනා රාත්‍රි කාලයේ කොළඹ, කොටුව, මට්ටක්කුලිය, මෝදර වැනි ප්‍රදේශවලට ගොස් තමන්ට හදිසි අවශ්‍යතාවකට කුලී ගමනක් යාමට අවශ්‍ය බව පවසමින් ත්‍රිරෝද රථ කුලිය ලෙස වැඩි මුදලක් ලබා දෙන බවට පොරොන්දු වී ත්‍රිරෝද රථ රියදුරන් රාගම, බෝයිස්ටවුන් ප්‍රදේශයේ පාළු ස්ථානයකට රැගෙන එන බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදි හෙළි විය.

එහිදී සැකකරුවන් පිහි ඇතුළු විවිධ ආයුධ එම ත්‍රිරෝද රථ රියදුන්ට එල්ල කර ඔවුන් බියකර පහරදී කොල්ලකෑම් සිදු කරන බවත් එම දේපළ කොල්ලකෑමට විරුද්ධ වන ත්‍රිරෝද රථ රියදුරන්ට මෙම සැකකරුවන් පිහිවලින් ඇන තුවාල සිදු කර කොල්ලකෑම් සිදු කර ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.

මේ පිළිබඳව රාගම පොලිසියට ලැබුණු පැමිණිලි විමර්ශනය කර ප්‍රදේශයේ සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂා කළ රාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් ඉතා සූක්ෂම ලෙස රාගම, බෝයිස්ටවුන් ප්‍රදේශයේ සැඟවී රාජකාරියේ නිරතව සිටියදි සැකකරුවන් විසින් ත්‍රිරෝද රථයක් එම ප්‍රදේශයට රැගෙන විත් රියැදුරු බිය ගන්වා පැහැර ගැනීමට තැත් කරද්දි පොලිස් නිලධාරීන් විසින් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලදි.

එහිදී මෙම සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔවුන්ගේ නිවස පරීක්ෂා කිරීමේදී එම නිවසේ තිබී ජීව අත්බෝම්බයක්ද සොයා ගැනීමට පොලිසියට හැකි විය.

මෙම සැකකරුවන් කොල්ලකෑ බවට සැක කරන ත්‍රිරෝද රථ 3ක් සහ මෝටර් බයිසිකලයක් පොලිස් බාරයට ගැනීමට හැකි විය. සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් තදින්ම හොරොයින් පානයට ඇබ්බැහි වී ඇති බව හෙළි විය.

හෙරොයින් පානය කිරීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමේ අරමුණින් කොල්ලකෑම් සිදු කර ඇති බවට එහිදී අනාවරණය විය. සැකකරුවන්ට දිනකට හෙරොයින් පානය කිරීම සඳහා රුපියල් තිස් දහසක පමණ මුදලක් වැය වන බවත් ඔවුන් හෙරොයින් පානයට මුදල් සොයා ගැනීමේ අරමුණින් ඕනෑම අපරාධයක් සිදු කිරීමට පෙලඹෙන බවටද එහිදී තොරතුරු හෙළි විය.

මෙම සැකකරුවන් කාලයක සිට කොල්ල කෑම් සිදු කර ඇති අතර මෙසේ මංකොල්ල කන ත්‍රිරෝද රථ වෙනත් පොලිස් බල ප්‍රදේශවල දමා තිබියදි සොයා ගැනීමට හැකි වුණු බවද පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් විසින් සිදු කරන බව කියන ත්‍රිරෝද රථ සොරකම් සහ කොල්ලකෑම් පිළිබඳව එම ත්‍රිරෝද රථ අයිතිකරුවන් ඔවුන්ට ඇති බිය නිසා පොලිසියට පැමිණිලි කර නොමැති බවට එහිදී හෙළි විය.

මෙම සැකකාර සොහොයුරන් දෙදෙනා කිරිබත්ගොඩ පොලිස් වසමේ පදිංචි ත්‍රිරෝද රථ රියදුරෙකු කුලී ගමනක් යන මුවාවෙන් රැගෙන ගොස් ඔහුගේ ත්‍රිරෝද රථය පැහැර ගෙන යාමට තැන් කිරීමේදී එම ත්‍රිරෝද රථ රියදුරා මේ දෙදෙනා සමග පොර බදා ඇති අතර එහිදී ත්‍රිරෝද රථ රියදුරාට පහර දුන් සැකකරුවන් උල් පිහියකින් ඔහුට ඇනීම නිසා ත්‍රිරෝද රියදුරාගේ අත තුවාල වී මැහුම් 5ක් දමා ප්‍රතිකාර ගැනීමට සිදු වී ඇති බව අනාවරණය විය. 

එම සිද්ධියේදී තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරුගේ බිරිය එම අවස්ථාවේ දරු ප්‍රසූතියක් සඳහා රෝහල් ගත කර ඇති බවත් එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම එම ත්‍රිරෝද රථ රියදුරාට මහත් අස්වැසිල්ලක් වී තිබේ.

මේ දෙදෙනා සිදු කරන ත්‍රිරෝද රථ කොල්ළ කෑම් සම්බන්ධව පොලිසිය, ත්‍රිරෝද රථ රියදුරන් නිරන්තරයෙන් දැනුවත් කර තිබුණත් සමහර ත්‍රිරෝද රියදුරන් මුදලට ඇති කෑදරකම නිසා වැඩි මුදලක් ලබා ගැනීමේ අරමුණින් අවධානයකින් තොරව මොවුන් සමඟ කුලී ගමන් යාම නිසා කොල්ලකෑම්වලට ගොදුරු වී තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ රාගම, වල්පොල ප්‍රදේශයේ පදිංචි 38 සහ 36 හැවිරිදි සැකකාර සොහොයුරන් දෙදෙනා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් කිරීමට නියම කර තිබේ.

රාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂගේ උපදෙස් මත එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් අසේල පෙරේරා, උප පොලිස් පරික්ෂක අබේරත්න, සැරයන් (27096) උපනන්ද කොස්තාපල්වරුන් වන (33281) සුමිත්, (16839) කුමාර, (98003) රණතුංග, (78998) පෙරේරා, (79574) සඳුන් යන නිලධාරීන් මෙම සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරති.

Comments