මොරටුව කටුබැද්දේ ලක්ෂ විසිඑ‌ෙක් මුදල් කොල්ල කෑ කල්ලිය අල්ලන්න පොලිසිය ගහපු ගේම | සිළුමිණ

මොරටුව කටුබැද්දේ ලක්ෂ විසිඑ‌ෙක් මුදල් කොල්ල කෑ කල්ලිය අල්ලන්න පොලිසිය ගහපු ගේම

දැනට ජීවතුන් අතර නැතත් රත්මලානේ පාතාලය ගැන කියැවෙන විට රත්මලානේ 'රොහා' ගැන නොකියාම බැරිය. ඔහු වෙනුවට ඔහුගේ ගෝලබාලයෝ රොත්තක්ම දායාද කර තිබෙන්නේ තම අපරාධ පරම්පරාවේ නම ඉදිරියට රැගෙන යාම සඳහාය. රොහාගේ කිකරු හොඳම ගෝලයා ලෙස කිරුළු පලඳින්නේ රත්මලානේ 'බායි වත්තේ සංජිවය'. ඔහු නිතරම කටයුතු කරන්නේ 'රොහාගෙ'න් හිස් වූ තැන සම්පුර්ණ කර ඔහුගේ නම අපරාධ පොතේ කළු අකුරින් ලියා තැබීමටය.

මේ නිසා සැලකිය යුතු 'ගේමක් ගැසීමට' සංජිව ඉව අල්ලමින් සිටියේ කාලයක සිටය. ඔහුගේ ඉලක්කය මෙවර එල්ල වූයේ මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේ තොග වෙළඳසැලක් වෙතටය. දිනපතා රුපියල් කෝටියකට අධික මුදලක් මෙම වෙළඳසැලේ සේවකයා බැංකුගත කිරීමට රැගෙන යන බව සංජීව දැනගෙන සිටියේ සුක්ෂමව ලෙස ඒ ගැන සොයා බැලීමේ ප්‍රතිඵලයක් ලෙසටය. මේ සඳහා විශ්වාසවන්ත ගෝලබාලයන් කීප දෙනෙකුම සම්බන්ධ කර ගත යුතු බව තීරණය කළ සංජිව, 'ලක්සිරිට' මේ රාජකාරිය පවරන්නේ අවස්ථාවක් ලද ඇසිල්ලේමය.

“ඇතුළෙදි සෙට් වෙච්ච යාළුවෙක් ඉන්නවා 'ෂේන්' කියල. ඌටත් මම කියන්නම්. එයා මීට කලින් මේ වගේ වැඩ කරලා 'කප් ගහපු' එකෙක්. අවුරුදු ගානක් ඇතුළේ ඉඳල ඇවිත් තියෙන්නෙ. බය වෙන්න දෙයක් නෑ 'බොක්කෙන්ම' තමයි ඌ. චන්දනවත් එකතු කරගෙන වැඩේට බැහැපංකො එහෙනං...“

ලක්සිරිට තම අරමුණ සංජිව පැහැදිලි කළේ එලෙසටය. මුදල් කොල්ලය සිදු කිරීම සඳහා සියලු දෙනා කතිකා කර ගන්නේ යතුරුපැදිවලින් නොව වෑන් රථයකින් යා යුතු බවය. විදේශගතව සිටින ලක්සිරිගේ දියණියට අයත් යතුරුපැදිය පාවිච්චි කළේ ලක්සිරිත් චන්දනත් සමඟ යතුරුපැදියට නැඟුණු ලක්සිරි කෙළින්ම යන්නේ බණ්ඩාරගම ප්‍රදේශයේ 'රෙන්ට් අ කාර්' ආයතනයක් වෙතය. යතුරුපැදිය ඇපයට තබා ලබා ගත් වෑන් රථයෙන් යන්නේ ඊළඟ පියවර ආරම්භ කිරීම සඳහාය.

අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වුවත් 'ෂේන්' සිටියේ ගල්කිස්ස, අතුල මාවතේ පදිංචිවය. ඒ මාසික කුලිය රුපියල් පනස් දාහක් ගෙවා ලබා ගත් නිවෙසකය.

කොල්ලයේ ඊළඟ ප්‍රධාන කාර්ය පැවරුණේ 'නිමල්ට'ය. කටුබැද්ද හන්දියේ ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස කටයුතු කරන ඔහු මේ වෙළඳසැලේ සිදුවන සියල්ල දෙස ඇස ගසාගෙන සිට කොල්ල කල්ලියට දැනුම් දුන්නේ හැරෙන පරක්කුවටය. සියලු කතිකාවන් හමාර කර පිරිස සැදී පැහැදී සිටියේ සුබ හෝරාව උදා වෙන තුරුය.

මොනර කොළ මිටියක් සහිත බෑගය අතට ගත් වෙළඳසැලේ මුදල් අයකැමිවරයා සුසුකි වර්ගයේ සුදු පාට මෝටර් රථයට ගොඩ වුණේ සුපුරුදු පරිදිම බැංකුවට ගොස් ඉක්මනින් ආපසු පැමිණෙන අරමුණ ඇතිවය.

"ඔන්න දැං පිටත් වුණා. සුදුපාට සුසුකි කාර් එකේ..."

සංඥා ජාලය ක්‍රියාත්මක වූයේ හිතුවාටත් වඩා සාර්ථකවය. ආයුධ සන්නද්ධව සිටි තිදෙනා වෑන් රථය රැගෙන ආවේ ඒ ආසන්නයටය. වෙළඳසැලේ සිට මිටර් 50 ක් පමණ දුරින් මාර්ගයේ අනිත් පැත්තේ ඇති බැංකුවට ගොස් ආපසු ඒමට ගත වෙන්නේ කෙටි කාලයකි. එහෙත් ඔහුට බැංකුවට යාමට ඉඩ නොතබාම තිදෙනෙකු විසින් පහර දී වැන් රථයට දමා ගත් විට සිදු වුයේ කුමක්දැයි තේරුම් ගියේ සුළු වේලාවකට පසුවය. ඔවුන් අයකැමිවරයා පැහැරගෙන ගියේ මිටර් 150 ක් පමණ දුරින් ඇති මොරටුව, පී. බී. අල්විස් පෙරේරා මාවතටය. එහිදී අයකැමිවරයා මාර්ගයට ඇද දැමූ කොල්ල කල්ලිය මුදල් බෑගය රැගෙන ඉගිළ ගියේ 'සංජීව' සමඟ එය බෙදා හදාගෙන බුක්ති විඳීම සඳහාය. එහෙත් සංජිවගේ මුහුණ ඇඹුල් වුවේ එහි තිබු මුදල දැකීමෙනි. රුපියල් කෝටියක පමණ මුදලක් බලාපොරොත්තු වුවත් එදින එහි තිබුණේ රුපියල් 21 ලක්ෂයකි.

මොරටුව පොලිසියට ලැබුණ මෙම පැමිණිල්ල පිළිබඳ විමර්ශන සිදු කිරීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට පැවරිණි. එම ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත ඇතුළු කණ්ඩායම විමර්ශන ආරම්භ කරන්නේ ඒ අනුවය.

කොල්ලය වූ අවට සිීසීටීවී කැමරා පරීක්ෂා කිරීමේදී වෑන් රථයේ අංකය පිළිබඳ හෝඩුවාවක් ලබා ගත හැකි වූ අතර අනාවරණය වුයේ එය මහනුවර, මැණික්හින්න ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් බවය. එහෙත් ඔවුන්ගේ වෑන් රථය නිවෙසේ නවතා තිබුණු අතර වාහනය කිසිවකුට ලබා දී තිබුණේ නැත.

ඒ නිසා මෙය ව්‍යාජ අංකයක් බව වටහා ගත් විමර්ශකයන් තවදුරටත් කැමරා පරීක්ෂා කර බලා නියම අංකය සොයා ගත්තේ විමර්ශනයේ කටයුතු හතරෙන් එකක් සම්පුර්ණ කරමිනි. එම අංකය අයත් වාහනය බණ්ඩාරගම පුද්ගලයකුට අයත් වූ අතර ඒ අනුව අනාවරණය කර ගන්නේ මෙම වෑන් රථය රැගෙන ගියේ ලක්සිරි සහ චන්දන නමැති දෙදෙනෙකු විසින් බවය.

බායිවත්තේ ලක්සිරිගේ නිවෙසේදී ඔහු අත්අඩංගුවට පත් වෙන්නේ ඔහුගේ ඡායාරූපය බණ්ඩාරගම වාහන කුලියට ලබාදෙන ආයතයට යවා වෑන් රථය රැගෙන යාමට පැමිණියේ ඔහුම බව තහවුරු කර ගැනීමෙන් පසුවය. මේ අනුව ෂේන් සහ නිමල් අත්අඩංගුවට ගැනුණ අතර සංජීව සහ චන්දන පලා ගොස් සැඟවී සිටින්නේ කොතරම් කාලයක් දැයි දන්නේ පොලිසියම පමණි.

කොල්ලකැ මුදලින් රුපියල් ලක්ෂ හය බැගින් ලක්සිරිට සහ ෂේන්ට ලබා දී ඇති අතර නිමල්ගේ ඔත්තුවට 'හිලව්' වී ඇත්තේ රුපියල් ලක්ෂයක මුදලකි. එම මුදලින් ෂේන් 'පූජාවක්' ද තබා බාරහාර වි දෙවියන්ගෙන් ඉල්ලා ඇත්තේ තමන් පොලිසියෙන් බේරා දෙන ලෙස විය යුතුය. කෙසේ වුවත් කොල්ලය සඳහා රැගෙන ගිය වක් කඩුවක් වැනි ආයුධය ෂේන්ගේ ඇඳ යට සඟවා තිබියදිත් නිමල්ට ලබා දුන් රුපියල් ලක්ෂයක මුදලත් වෑන් රථය, ත්‍රිරෝද රථය සහ යතුරුපැදියත් අත්අඩංගුවට ගත්තේ පොලිස් විමර්ශන සාර්ථක කරමිනි.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙනිය, පොලිස් අධිකාරි 1 සමන් ජයසේකරගේ මඟ පෙන්වීමෙන් ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරාගේ මෙහෙයවීමෙන් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත ඇතුළු නිලධාරින් මෙහි විමර්ශන කටයුතු සිදු කළහ.

 

Comments