බීමත් මාරයාට බිලි වූ තාත්තයි දුවයි | සිළුමිණ

බීමත් මාරයාට බිලි වූ තාත්තයි දුවයි

අමතර පන්ති ගිය දියණිය තාත්තා සමඟ මහමඟ අවසන් ගමනේ

සැකකරු පෞද්ගලික වෙළෙඳ ආයතනයක කළමනාකරු‌ෙවක්

 

පාසල් වේලාවෙන් පසුව උපකාරක පන්තියට ගිය නෙවින්දි බසයෙන් බැස්සේ නිවසට යන්නටය. මද වැසි ඇද වැටෙන වේලාවේ නිවස ආසන්නයේ වුවත් ආදරණීය පියා ඇය කැඳවාගෙන යන්නට ආවේ දියණිය කෙරේ ඇති නොමඳ ආදරය නිසාමය. අනුන්ගේ පමණක් නොව තමන්ගේ ජීවිතයටවත් ආදරයක් නොකරන මතටම ලොල් වූ රියැදුරකු පාර අයිනේ ගමන් කරමින් සිටි මේ දියණිය සහ පියා නිවසට ගොඩ වන අවස්ථාව වළක්වා දැම්මේ සිත්පිත් නැති අන්දමිනි.

පස්යාල ගිරිඋල්ල මාර්ගයේ කොටකන්දට හැරෙන කල්එළිය තුනේ කනුව ප්‍රදේශයේදී 14 රාත්‍රී සිදු වූ රිය අනතුරින් දෙදරු පියකු සහ දාහතර හැවිරිදි පවුලේ බඩපිස්සිය වූ දියණිය මරුමුවට පත්වීමෙන් කල්එළිය පමණක් නොව මීරිගම පෙදෙසම ශෝකයෙන් ඇළලී ගියේය. ප්‍රදේශවාසීන් පෙළන ඒ දුක මෙතෙක් නිමවී නැත.

මෙසේ මියගියේ කල්එළිය, මීරිගම පාර, අංක 52 ලිපිනයේ පදිංචිව සිටි 54 හැවිරිදි චන්දන නිශාන්ත සහ ඔහුගේ 14 හැවිරිදි දියණිය නෙවින්දි දිල්ෂිකායි.

මීරිගම ඩඩ්ලි සේනානායක ආදර්ශ මහා විද්‍යාලයේ නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ නෙවින්දි ගුරු සිසු කාගේත් සිත් ගත් අහිංසක දැරියක් වූවාය. ඇය සිරිත් පරිදි උපකාරක පන්තියකට සහභාගි වී නිවසට එන අතරේ දී බසයෙන් බැස්සේ පස්වරුවේ මළ හිරු බැස යන අවස්ථාවේදීමය. වේලාව පස්වරු 6.50ට පමණ ඇත. ආසන්නයේ වූ නිවස කරා පියා ඇය කැඳවාගෙන යමින් සිටියදී පිටුපසින් පැමිණි මෝටර් රථයක් ඔවුන් දෙදෙනා හප්පා නොනවත්වා පලා ගියේ දියණිය සහ පියාගේ මරහඬ අවට පැතිර යද්දීය.

මෙසේ පැන යන්නට තැත් කළ බේබදු රියැදුරා මහමඟ ‍දෙපස කණුවල ගැටෙමින් ගමන් කරද්දී අවට ජනයා සමඟ එක්ව කල්එළිය නගරයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පියා සහ දියණිය අනතුරට පත් වූයේ ඔවුන්ගේ නිවස පේන තෙක් මානයේදීමය. තවත් තත්පර දෙක තුනක කාලයක් පමණක් ගත වූයේ නම් ඔවුනට නිවසට යාමට පවා කල් වේලා තිබිණි.

වැස්ස තිබූ අවස්ථාවේ පියා දියණිය සමඟ කුඩයක් යටින් මාර්ගය අයිනේ ගමන් කළේ දැඩි කල්පනාවෙනි. තමන් මොනතරම් කල්පනාවෙන් ආරක්ෂිතව ගිය ද අනෙකා එසේ නොවන්නේ නම් කුමකින් කුමක් සිදු වේද යන්න පසක් කරමින් මාර්ගය පුරා ආ බේබදු රියැදුරා මෙසේ පියා සහ දියණිය අනතුරට පත් කරනු ලැබීය. අනතුරට ලක් වූ දියණිය මීටර් විස්සක් පමණ විසිවී ගොස් අසල තාප්පයේ වැදී තිබිණි. දියණිය සිද්ධිය වූ ස්ථානයේදීම මරණයට පත් වූවාය. මීරිගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පියා මරණයට පත් විය.

මේ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෝටර් රථ රියැදුරා අමිතිරිගල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව ද ඔහු පෞද්ගලික වෙළෙඳ ආයතනයක කළමනාකරුවකු ලෙස සේවය කරන්නෙකු බවද පොලිසියට හෙළි විය.

මීරිගම ප්‍රදේශයේදී මෙම රියැදුරා මිතුරකු සමඟ මත්පැන් පානය කරමින් සිටියදී බිරිය‍ගෙන් ලත් ඇමතුමක් සමඟ නිවසට යාමට සූදානම්ව මඟ දිගටම පාර පුරා ගමන් කර ඇතැයි ද පොලිසිය හෙළි කර ගනු ලැබීය.

ඔහු බීමතින් පසු වී ඇති බව මූලික වෛද්‍ය පරීක්ෂණයේදී ද හෙළි කර ගන්නට හැකි වූ බව පොලිසිය සඳහන් කළේය. මියගිය පියා සහ දියණියගේ දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ පසුගිය 15දා මීරිගම මූලික රෝහලේදී හදිසි මරණ පරීක්ෂක තුසිත ප්‍රමෝද් විජේවර්ධන විසින් පවත්වනු ලැබීය.

පියා සහ දියණියගේ මරණ මාරක රිය අනතුරක් හේතුවෙන් සිදු වී ඇති බවට නිගමනය කළ හදිසි මරණ පරීක්ෂකවරයා සැකකාර රියැදුරා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියම කරනු ලැබීය.

ඒ අනුව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ සැකකාර රියැදුරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසට අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබීය. මෙසේ රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ අමිතිරිගල පදිංචිකරුවකු වන අගම්බරගේ ධනුෂ්ක ද සිල්වා නමැත්තෙකි.

උදේ පටන් රෑ වනතුරා කුකුළන්ගේ ජීවිත සමඟ ගත කරන මේ පුද්ගලයා සිය නීතිඥයා මඟින් අධිකරණයට පවසා ඇත්තේ මියගිය දෙදෙනා වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවන බවය. මතින් හොඳහැටි සන්තර්පණය වූ මේ රියැදුරාට මල් කැකුළක් සහ ඇගේ පියා කුකුළන්ගේ ගානට මිල කරන්නට තරම් සිත් වූයේ මිනිස් සිත් සතන් කෙතරම් වාණිජකරණයට ලක්ව ඇතැයි පසක් කරමිනි. පසුගිය 16 වැනිදා මළහිරු බැස යන සැඳෑවේ මීරිගමදී මේ පියා සහ බාල දියණිය අවසන් ගමන් ගියේ මීරිගම ප්‍රදේශයම හැඬු කඳුළින් නහවමිනි. පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික සංජීවගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ පැවැත්විණි.

Comments