ඝාතනයක් යැයි සැක කළත් සයිමන් මැරුණේ කිඹුල් ප්‍රහාරයෙන් | සිළුමිණ

ඝාතනයක් යැයි සැක කළත් සයිමන් මැරුණේ කිඹුල් ප්‍රහාරයෙන්

- යූ අකුරේ හැඩයට කිඹුල් දත් පහරින් සිදු වූ තුවාල මළ සිරුරේ
- මරණයට හේතුව හෙළි කළ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය

‘සයිමන් අයියා' මැදිවියේ පසු වූ තිදරු පියෙකි. ඔහු මිරිදිය ධීවර කාර්මිකයෙකි. මුහුදුකරය ආශ්‍රිත ගම්මානයක හෙතෙම පදිංචිව සිටියේය. නිල්වලා ගංගාව ආශ්‍රිතව ඇති අතු ගංගාවක ඔරුවකින් ගොස් මසුන් ඇල්ලීමට ඔහු හුරු පුරුදුව සිටියේය. සයිමන් මසුන් ඇල්ලීම සඳහා උදෑසනින් නි‍ෙවසින් පිටත්ව යන අතර යළි නි‍ෙවසට පැමිණෙන්නේ පස්වරුවේය. එලෙස අල්ලනු ලබන මසුන් විකුණා ලබා ගන්නා මුදලින් කොටසක් වැය කර සවස් කාලයට මත්පැන් විදුරුවක් තොළ ගැමටද සයිමන් අයියා අමතක කළේ නැත. ඔහු ඇතැම් දිනවල නි‍ෙවසට පැමිණෙන්නේ කට ගොන්නක් බීගෙනය.

ඇතැම් දිනවල සයිමන් අයියා බිරිය සමඟත් අඩදඹර කරගන්නේය. සයිමන් අයියා මසුන් ඇල්ලීමට යනවාට ඔහුගේ දරුවන් කැමති වූයේ නැත.

එහෙත් සයිමන් අයියාගේ දින චර්යාව වෙනස් කිරීමට කිසිවකුටවත් හැකි වූයේ නැත. මේ අතර සයිමන් අයියාට හොඳ මිතුරකුද සිටියේය. ඔහු විලියම්ය. ඇතැම් දිනවල සයිමන් අයියා විලියම් සමඟ මසුන් ඇල්ලීමට යන්නේය. ඒ විතරක් නොව සමහරක් දිනවල සයිමන් සහ විලියම් එකතු වී රාත්‍රී කාලයට මත්පැන් බෝතලයක් හිස් කිරීමටද අමතක කළේ නැත.

එක් දිනක් සයිමන් සහ විලියම් මත්පැන් පානය කරමින් සිටියදී දෙදෙනා අතර කතාබහක් ඇති විය. මේ කතාබහ ගුටිබැට හුවමාරුවක් දක්වා දුර දිග යාමටද වැඩි වේලාවක් ගත වූයේ නැත. සයිමන් අයියා විලියම්ට අතින් පයින් පහර දුන්නේය.

පදමට වෙරි වී සිටි විලියම් අයියා සයිමන්ට පරුෂ වචනයෙන් බැණ වැදුණේය.

“බලාගනින් උඹට මොකක්ද වෙන්නේ කියලා... උඹට ආයිත් මාළු බාන්න ඉඩ තියන්නේ නැහැ“ යැයි කියූ විලියම් බැණ වදිමින් යන්නට ගියේය.

මෙම සිද්ධියෙන් පසුව විලියම් සහ සයිමන් අතර ඇයි හොඳැයියක් පැවතියේ නැත. එහෙත් විලියම් සයිමන් සමඟ වෛරයකින් පසු වූයේ ද නැත.

“බීපු කාපු වේලාවට ඔය වගේ දේවල් වෙනවා. මම නම් ඉතින් ඕවා ඒ හැටි ගණන් ගන්නේ නැහැ“ සයිමන් අයියා විලියම් ගැන කීවේ එවැනි කතාවකි.

කාලය මෙසේ ගෙවී යද්දි එක් දිනක් මසුන් ඇල්ලීමට ගිය සයිමන් අයියා යළි නි‍ෙවසට පැමිණියේ නැත.

සයිමන් අයියා එන තෙක් ඔහුගේ බිරියද මඟ බලාගෙන සිටියාය. ඔහුගේ පවුලේ අය දින දෙක තුනක් නිල්වලා අතු ගංගාව පීරමින් ඔහු ගැන සොයා බැලුහ. එහෙත් සයිමන් අයියා ගැන කිසිම හෝඩුවාවක් නොවීය. ඔහු මසුන් ඇල්ලීම සඳහා යන කුඩා ඔරුව සහ දැල් ආම්පන්න වැටකෙයියා පදුරක් අසල තිබී සොයා ගනු ලැබිණි. සයිමන්ගේ අතුරුදහන් වීම ගැන ඔහුගේ ඥාතිහු පොලිසියට ගොස් පැමිණිලි කළෝය. සයිමන්ගේ අතුරුදහන් වීම ගැන විලියම්ටද චෝදනා එල්ල විය. විලියම් සයිමන් සමඟ කලකට පෙර අමනාපයෙන් සිටීම ඊට හේතු විය. මේ අතර දින කීපයකට පසු සයිමන්ගේ මළ සිරුර ගංඉවුරට ගොඩ ගසා තිබිණි. මළ සිරුර දැඩි ලෙස නරක් වී තිබිණි. පොලිස් නිලධාරින් සහ ප්‍රදේශයේ හදිසි මරණ පරීක්ෂකවරයා එම ස්ථානයට පැමිණියහ.

සයිමන්ගේ මළ සිරුරේ පපුවේ සහ උදරයේ ඇනුම් තුවාල කිහිපයක් දක්නට විය.

“සයිමන්ට කවුරුහරි පිහියකින් ඇනලා මරලා ගඟට දමලා“

මේ කට කතාව ගම පුරා පැතිරි යන්නටද වැඩි වෙලාවක් ගත වුයේ නැත. පොලිසියද සයිමන්ගේ මරණය ඝාතනයක් බවට සැක කළේය. සයිමන්ගේ මරණය සම්බන්ධයෙන් විලියම්ට එල්ල වූ චෝදනා වැඩි විය. විලියම් මීට සම්බන්ධ බවට සයිමන්ගේ පවුලේ අයද සැක කළෝය. පොලිසිය මේ ගැන අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මළ සිරුර මාතර රෝහලට රැගෙන එනු ලැබීය. ඒ මහේස්ත්‍රාවරයාගේ නියෝගයකට අනුවය. ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීර එවකට මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයකු ලෙස කටයුතු කළේය.

සයිමන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරනු ලැබුවේ අජිත් රත්නවීරය. සයිමන්ගේ මුහුණේ තැනින් තැන තුවාල දක්නට විය. ඒවා මසුන් විසින් කා දැමීම නිසා ඇති වූ තුවාල බව අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය විය. ඉන්පසු අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීර සයිමන්ගේ සිරුරේ ඇනුම් තුවාල තිබෙන තැන් ඉතා සියුම් ලෙස නිරීක්ෂණය කළේය. එම තුවාල එක්තරා හැඩයකට රටාවකට පිහිටා තිබුණේය. තුවාල පිහිටා තිබුණේ ඉංග්‍රීසි ‘යූ‘ අකුරේ හැඩයට අනුවය.

“කිඹුලකුගේ 'හණුවේ' හැඩය තමයි මොහුගේ උදරයේ සහ පපුවේ ‘යූ‘ අකුරේ හැඩයට පිහිටලා තිබුණේ කිඹුලාගේ දත් කිහිපයක් ද වැදී තිබුණා. තුවාලවලින් ලේ ගලා ගොස් තිබුණා. මොහු මිය යන්නට පෙර කිඹුලාගේ ප්‍රහාරයට ගොදුරුවෙලා තියෙනවා. මේක මිනීමැරුමක් නෙවෙයි. අපරාධයක සුලමුල අනාවරණය කරගන්නවා වගේම නිර්දෝෂි පුද්ගලයන්ට චෝදනා එල්ල වන විට ඔවුන් බේරා ගැනීමට ද පශ්චාත් මරණ පරීක්ෂණය වැදගත් වෙනවා“ යැයි අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීර කීවේය.

මෙකී අවාසනාවන්ත මරණය මීට වසර අටකට පමණ පෙරදී මාතර ප්‍රදේශයෙන් වාර්තා වී තිබිණි.

Comments