- මාළු ටැංකිය කඩලා අහිංසක මාළුන්ගෙන් පවා පළි අරන් තිබුණා
- ඒක මට ලැබුණේ පරම්පරාවේ උරුමයෙන්
- අත්අඩංගුවට ගත් පිරිස අතර වැඩිපුරම ඉන්නේ සමගි ජන බලවේගයට සම්බන්ධ අය.ජවිපෙ සහ පෙරටුගාමී පක්ෂවල අයත් ඉන්නවා
- මේක හොරකම් කරලා හදපු ගෙයක් නෙවෙයි. මම දේශපාලනයෙන් හොරකම් කරලා නැහැ
- 1988-89 කාලෙත් මම මේ භීෂණයට මුහුණ දීලා තියෙනවා. මේවාෙයන් ජීවිතයට තවත් පන්නරය ලැබෙනවා
දේශපාලන සංස්කෘතිය තුළ කලින් කලට විවිධ වෙනස්කම් සිදු වීම අරුමයක් නොවේ. එහෙත් ඒ වෙනස්කම් තුළින් රටට, සමාජයට සහ ජනතාවට සිදු වන්නේ අයහපතක් නම් එවැනි වෙනස්කම් ඉතිහාසයට එකතු කරන්නේ අඳුරු මතක පමණි. ඉකුත් මැයි 9 වැනිදා ද එවැනි අඳුරු අවාසනාවන්ත දිනයකි. රටම භීතියෙන් තිගැස්සූ ඒ දිනය මෙරට වැඩිහිටි පරපුරට ඔවුන් අතීතයේ මුහුණ දුන් භීෂණ සමය පිළිබඳ මතක යළි සිහිගැන්වූ දිනයක් විය. වැරදි මත සහ ප්‍රචණ්ඩත්වය කරපින්නා ගත් පිරිසක් විසින් මැති ඇමතිවරු ඇතුළු මහජන නියෝජිතයන් 70කට අධික පිරිසකගේ දේපළ විනාශ කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇතුළු තිදෙනකුට ජීවිත ද අහිමි කළහ. මැයි 9 වැනිදා රට පුරා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා පොදු දේපළවලට සිදු වූ හානිය ද අති මහත්ය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් ද එදා ඒ ප්‍රචණ්ඩත්වය අත්විඳි අයෙකි. මේ, ඒ පිළිබඳ ඔහුගේ මතක ආවර්ජනයයි.
" එදා මම අරලියගහ මන්දිරයට ගියේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවනීය සමු දීමක් කරන්නයි. ගාලුමුවදොර අරගල භූමියේ සිදුවූ සිදුවීම්වලට මගේ සම්බන්ධයක් තිබුණේ නැහැ වගේම මම ඒ සිදු වූ දේවල් අනුමත කරන්නෙත් නැහැ. අරලියගහ මන්දිරයේ ඉඳලා මම මතුගම මගේ ගෙදරටයි ගියේ. හවස් වෙද්දි ආරංචියක් ලැබුණා මගේ ගෙදරටත් පිරිසක් පහර දෙන්න එනවා කියලා. ඒ නිසා මම ගෙදර නොඉඳ ඒ ළඟ තියෙන මගේ වත්තට ගියා. ගෙදර හිටිය මගේ මවුපියන් සහ බිරියත් වාහනේකින් ගෙදරින් පිටත් කරලා යැවුවා. ඉන්පසුව පිරිසක් ඇවිත් ගෙදරට පහර දීලා ගිහින් තිබුණා. හැමදේම කඩලා බිඳලා විනාශ කරලා තිබුණා. ගෙදර තිබුණු මාළු ටැංකිය පවා කඩලා බිඳලා තිබුණා. "
ප්‍රචණ්ඩකාරීන් විසින් එසේ පහර දී අලාභ හානි කරන ලද මතුගම නගරයේ පිහිටි සිය නිවෙස පරම්පරා උරුමයෙන් තමාට අයත් වූවක් බව රාජ්‍ය ඇමති අනූප පස්කුවල් කීවේය.
" ඒ ගෙදර අවුරුදු 120ක් විතර පැරණියි. ඒක මට ලැබුණේ මගේ තාත්තගෙන්. තාත්තට ලැබුණේ ඔහුගේ පියාගෙන්. මම හිතන්නේ සීයාත් නෙවෙයි ඒ ගේ හදලා තියෙන්නේ, ඔහුගේ පියා විය හැකියි. ඒ තරම් පැරණි නිවෙසක්. ඒ වගේම ගෙදර තිබුණු පැරණි බඩුබාහිරාදියත් ගොඩක් වටිනවා. ඒ දේවල් නම් නැවත හදන්නත් බැහැ, සල්ලි දීලාවත් ගන්නවත් නැහැ. මට තියෙන ප්‍රශ්නය මට පරම්පරා උරුමයෙන් ලැබුණු ඒ ගේ විනාශ කළේ ඇයි කියලා. මොකද ඒක ඇතැම් අය චෝදනා කරන විදිහට හොරකම් කරලා හදපු ගෙයක් නෙවෙයි. මම දේශපාලනයෙන් හොරකම් කරලා නැහැ.මට එහෙම කරන්න අවශ්‍ය නැහැ. මම වෘත්තිකයෙක් විදිහට ජීවිතය ගොඩනඟා ගත් අයෙක්. දේශපාලනයට ආවේ උගත් දැනුමින් රටට සේවයක් කරන්නයි. "
මැයි 9 වැනිදා සිය නිවෙසට ප්‍රහාර එල්ල කළ සිදුවීම සම්බන්ධයෙන් නඩුවක් ගොනුකර ඇතත් තවම ඒ සඳහා කැඳවීමක් සිදු කොට නැති බව ද රාජ්‍ය ඇමතිවරයා පැවසුවේය.
"ඒ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියෙන් අත්අඩංගුවට ගත් පිරිස අතර වැඩිපුරම ඉන්නේ සමගි ජන බලවේගය පක්ෂයට සම්බන්ධ පුද්ගලයන්. ජවිපෙ සහ පෙරටුගාමී පක්ෂවල අයත් ඉන්නවා. නිවෙසට සිදුවූ හානිය වෙනුවෙන් මම වන්දියක් ඉල්ලුවේ නැහැ. නමුත් මගේ වියදමින් ගෙදර අලුත්වැඩියා කරගත්තා. වාසනාවකට වගේ පහර දීමක් මිස ගෙදරට ගිනි තැබීමක් කරලා තිබුණේ නැහැ. නමුත් විනාශ කරපු දේවල් අතර නැවත හදන්නත් බැරි මිලට ගන්නත් බැරි පැරණි කැටයම් ඇතුළු බොහෝ දේවල් තිබුණා. ඒ වුණත් ඒ සිදුවීම නිසා මට දේශපාලනය ගැන කලකිරීමක් ඇතිවුණේ නැහැ. දේශපාලනය තුළ එවැනි සිදුවීම් නුහුරු නුපුරුදු දේවල් නෙවෙයි. 88-89 කාලෙත් මම මේ භීෂණයට මුහුණ දීලා තියෙනවා. ඒ නිසා මෙවැනි දේවල් ජීවිතයට පන්නරයක් කරගන්නවා මිසක් ඒවායින් සැලෙන්නෙ නැහැ. මගේ දැක්ම වැරදි දේවල් අනුමත නොකිරීම සහ නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටීමයි. ඒ අනන්‍යතාව රැකගෙන පක්ෂය සමඟ රැඳී සිටිනවා මිසක් ස්වාධීන වීමට මා තුළ අදහසක් නැහැ"
ඔහුගේ වදන් තිරය;අදීනය. දශක කිහිපයකට පෙර විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු ලෙස ආරම්භ වූ සිය දේශපාලන ගමන ගැන ඔහු මෙසේ සිහිපත් කළේය.
"1980 දශකයේ අගභාගයේදී කොළඹ සරසවියේ ශිෂ්‍ය සටන් ව්‍යාපාරයෙන් තමයි මගේ දේශපාලන ජීවිතය ආරම්භ වෙන්නේ. ශිෂ්‍යයෝ විදිහට එදා එක සටන් පෙරමුණක් වෙනුවට එකවර සටන් පෙරමුණු ගණනාවක සතුරු බලවේග ගණනාවක් සමඟ සටන් කරන්න අපිට සිද්ධ වුණා. එක පැත්තකින් ශිෂ්‍ය අයිතිවාසිකම් රැක ගැනීම සහ දිනා ගැනීමට ඒ කාලේ පැවති ආණ්ඩුව සමඟ සටනක් තිබුණා. අනිත් පැත්තෙන් ස්වාධීන ශිෂ්‍ය සංගමයට එරෙහිව අපිට ත්‍රස්ත විරෝධී ඊළාම් විරෝධී සටනක් තිබුණා. අපි එදා මේ දෙපාර්ශ්වයේම තර්ජන ගර්ජන මැද මරණ වරෙන්තුව නළලේ කොටා ගෙන නොසැලී දේශපාලනය කළා."
රාජ්‍ය ඇමති අනූප පස්කුවල් පවසන ඒ අතීත මතක තිස් වසකට වැඩි කාලයක් මෙරට ගොදුරු වී තිබූ රුදුරු ත්‍රස්තවාදී යුද්ධයෙන් පීඩා විඳි ඇතැම් පුද්ගලයන්ට පවා අද අමතක වෙමින් යන අතීතයකි. සිය පටු දේශපාලන අරමුණු මුදුන් පමුණුවා කර ගැනීමට ත්‍රස්තවාදය භාවිත කළ පාර්ශ්වයන්ට එරෙහිව අභීතව ක්‍රියා කළ තරුණයන් අතර අනුප පස්කුවල් ද වේ.
"ඒ කාලේ කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමය කියන්නේ ම්ලේච්ඡ කොටි සංවිධානය විමුක්ති සංවිධානයක් කියලා පිළිගෙන ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටි පිරිසක්.මැර බලයෙන් විශ්වවිද්‍යාලයේ දේශපාලන බලය අල්ලගෙන හිටි ස්වාධීන ශිෂ්‍ය සංගමයට එරෙහිව අපි දැවැන්ත බලයක් ගොඩනැඟුවා. අවසානයේ ස්වාධීන ශිෂ්‍ය සංගමය පරාජය කළා. අප ගොඩනැඟු ශිෂ්‍ය ව්‍යාපාරයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා වුණේ මම. ඒ වගේම ශිෂ්‍ය ක්‍රියාකාරකම් සභාවේ සභාපති ධුරයට පත්වුණෙත් මම. එහෙම ඇරඹුණු දේශපාලන ගමන තුළ මම දිගටම ජාතික චින්තනය වෙනුවෙන් පෙනී සිටියා. යුතුකම ජාතික සංවිධානය තුළින් රටට බලපාන අහිතකර කාරණා සම්බන්ධයෙන් හඬ නැඟුවා, ඒ වෙනුවෙන් පෙනී සිටියා.
මම මැතිවරණයට ඉදිරිපත් වුණේ අලුත් දේශපාලනයක් වෙනුවෙන්. 1956 විප්ලවය වෙලාවේ බණ්ඩාරනායක මැතිතුමා සහ ඩී.ඒ. රාජපක්ෂයන් සමඟ අත්වැල් බැඳගත් මතුගම මන්ත්‍රී සහ ඇමති දයා ටී. පස්කුවල් මගේ මහප්පා. ඔහු මතුගම වාමාංශික දේශපාලනය නියෝජනය කළ 56 විප්ලවේ පරමාදර්ශී සංකේතයක්. මතුගම ආනන්ද ශාස්ත්‍රාලය ඇතුළු පාසල් කිහිපයක නිර්මාතෘවරයා. ඔහු දේශපාලනයෙන් හම්බ කළ කෙනෙක් නෙමෙයි. තමන්ගේ පෞද්ගලික දේපළත් සමාජයේ පොදු යහපත වෙනුවෙන් යෙදවූ දේශපාලනඥයෙක්. එවැනි පිරිසුදු දේශපාලනයක් සහිත පවුල් පසුබිමකිනුයි මම දේශපාලයට ආවේ. මහප්පගේ චරිතයෙන් මම විශාල ආභාපයක් ලැබුවා. ඒ වගේම මහාචාර්ය නලින් ද සිල්වා මගේ දේශපාලන ජීවිතයට ගුරුවරයෙක් වුණා. "
රාජ්‍ය ඇමති අනූප පස්කුවල් පවසන්නේ කෘතවේදීවය. රජයේ සේවකයකු වූ පියා බැසිල් සහ සීතා පස්කුවල් යුවළගේ දරුවන් පස් දෙනාගෙන් බාල දරුවා ලෙස උපන් අනුප කුඩා වියේ සිට ජාතිකානුරාගී හැඟීමෙන් පෝෂණය ලැබූවෙකි.
" මගේ අම්මා රැකියාවක් කළේ නැහැ. නමුත් අම්මා කුඩා කාලේ ඉඳන් අපිට ජාතික හැඟීම, දේශීයත්වය ගැන කියලා දුන්නා. පුංචි කාලේ අම්මා කියලා දුන්න රජවරුන්ගේ කතා, ඇස්. මහින්ද හාමුරුවන්ගේ කවිවලින් අපේ හිත්වල ජාතිකානුරාගය ඇති වුණා. ඒ වගේම පුංචි කාලේ මම ඉගෙන ගත් පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය පිහිටලා තිබුණේ රන්කොත් විහාරය පාමුල. හැමදාම උදේ හවස දකින මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ ප්‍රතිමාවත් ඒ කුඩා වයසෙදි මගේ හිතේ ජාතික හැඟීම් වර්ධනය වෙන්න හේතුවක් වුණා. "
කොළඹ විශ්වවිද්‍යාලයෙන් රසායන විද්‍යා විශේෂ උපාධිය ලබා ගන්නා අනුප පස්කුවල් අනතුරුව වියානා නගරයේ ජීව වායු තාත්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද හැදෑරීමෙන් පසු මධ්‍යම පරිසර අධිකාරියට සම්බන්ධ වෙන්නේ ජ්‍යේෂ්ඨ පරිසර නිලධාරියකු ලෙසටය. පසුව එහි ජ්‍යේෂ්ඨ පරිසර නිලධාරි බවට පත් වන අනුප පස්කුවල්, උතුරු පළාත් කසළ කළමනාකරණ ව්‍යාපෘතිය, කාබනික පොහොර නිෂ්පාදනය සහ වගාව පිළිබඳ ව්‍යාපෘති සඳහා ද සිය දැනුම ලබා දුන්නේය. මහකොළඹ අපජලය ව්‍යාපෘතියේ පරිසර විශේෂඥයා ලෙසත් මධ්‍යම අධිවේගී මාර්ගයේ පරිසර විශේෂඥයා ලෙසත් ඔහු කටයුතු කර ඇත. 2020 මහ මැතිවරණයේදී මනාප 97,777ක් ලබා ගනිමින් ඔහු කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ එම දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ 8 දෙනා අතර 6 වැන්නා ලෙසටය. වත්මන් , සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කරන අනුප පස්කුවල් සිය විෂය ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් ක්‍රියාමාර්ග රැසක් සැලසුම් කර ඇති අතර, එයින් ඇතැම් ඒවා දැනටමත් ක්‍රියාත්මකය.
" ජනතාවගේ මානසික දිළිඳු භාවය නැති කිරීම ප්‍රධාන කාර්යයක් කියලා මම හිතනවා. විශේෂයෙන් තවදුරටත් අපේ රටට සුබසාධන රාජ්‍ය සංකල්පය ගැළපෙන්නේ නැහැ. ඒ සුබසාධන රාජ්‍ය හකුළලා ව්‍යවසායකත්ව රාජ්‍යයක් නිර්මාණය කළ යුතුයි. හැමදේම ආණ්ඩුවෙන් නිකන් දෙන තුරු බලා ඉන්න ජනතාවක් එක්ක අපිට මේ ආර්ථික අර්බුදය ජය ගන්න බැහැ.
මැයි 9 වැනිදා ඇතිවුණු සිදුවීමට රටේ තිබුණු ආර්ථික අර්බුදය හේතුවක් වූ බව ඇත්ත. නමුත් ඒ ආර්ථික අර්බුදයට වගකිව යුතු එකම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව නෙවෙයි. ලෝකයටම විශාල බලපෑම් එල්ල කළ කොවිඩ් වසංගතය පාලනය කරන්න ජනාධිපතිතුමා විශාල වෙහෙසක් ගත්තා. ඒ අවස්ථාවේ රට වහන්න කියමින් දිගින් දිගටම ජනාධිපතිතුමාට බලපෑම් කළේ සමගි ජන බලවේගය, ජවිපේත් මේ ඇතිවුණ ආර්ථික අර්බුදයට වගකිව යුතුයි. අවසානයේ ඇතිවූ ආර්ථික අර්බුදය තුළ වැරදි මත සමාජගත කරලා, ජනතාව කුපිත කරලා ප්‍රචණ්ඩත්වයට මඟ පෑදුවා. එදා ඇති වුණු සිදුවීම් නිසා මහජන නියෝජිතයන් විශාල පිරිසකගේ දේපළ විනාශ වුණා. පොදු දේපළවලට විශාල වශයෙන් හානි සිදු වුණා. ඒ සියල්ල නැවත ගොඩනඟන්න වැය වෙන්නෙත් මේ රටේ සල්ලි. ජනතා සුබසාධනය වෙනුවෙන් වැය කරන්න තිබෙන මුදල්. එයින් ජනතාවගේ ජීවන බර තවත් වැඩි වෙනවා. අවසානයේ බලද්දි ඒ සිදුවීම් නිසා සිදු වුණේ ජනතාව පිට තවත් බර පැටවීම පමණයි. ඔවුන්ට ඔවුන්ගේ මතවාදය සාමකාමී අරගලයක් තුළින් ජනතාව අතරට ගෙනයන්න තිබුණා. නමුත් ඒ වෙනුවට ප්‍රචණ්ඩත්වය යොදා ගැනීම නිසා විශාල අර්බුදයකට රට පත් කළා. එහි වගකීම ඊට දායක වූ සියලු පාර්ශ්ව විසින් බාරගත යුතුයි."
විද්වතකු, පරිසරවේදියකු මෙන්ම අත්දැකීම් සහිත වෘත්තිකයකු වන රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් එසේ පැවසුවේ මැයි 9 වැනිදා සිදුවීම පිළිබඳ ඔහුගේ දේශපාලන කියැවීම ප්‍රකට කරමිනි. අවසාන වශයෙන් රටේ තරුණ පරපුරේ වත්මන් සමාජ, දේශපාලන හැසිරීම කෙසේ විය යුතු දැයි මම ඔහුගෙන් විමසුවෙමි.
" අද රටට අවශ්‍ය වැඩ කරන තරුණ පිරිසක් මිසක් ආණ්ඩුවෙන් රැකියා දෙන තුරු බලාගෙන සිටින ඒ වෙනුවෙන් අරගල කරන පිරිසක් නෙවෙයි. හැමෝම වැඩ කළොත් මේ අර්බුදයෙන් රට ගොඩගන්න පුළුවන්, දියුණු කරන්නත් පුළුවන්. වැරදි මතවාදයක් නිසා ඇති කළ භීෂණයක් එදා මේ රටේ හැටදාහකට ජීවිත අහිමි කළා. ඒ අතීතය නැවත මේ රටේ ඇති විය යුතු නැහැ. තරුණ පරපුර මේ ඒ යථාර්ථය තේරුම් ගත යුතුයි. හොඳින් ඉගෙන ගෙන, හොඳ රැකියාවක් කරලා රටට ඒ දැනුමින් සේවයක් කරමින් තමාගේත් රටේත් දියුණුව සලසා ගැනීමයි තරුණ පරපුරේ වගකීම විය යුත්තේ"