ධනුෂ්කට එරෙහි නඩුව ජනවාරි 12 විභාගයට | Page 2 | සිළුමිණ

ධනුෂ්කට එරෙහි නඩුව ජනවාරි 12 විභාගයට

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ඇප දීම සිඩ්නි නුවර විවර්ලි අධිකරණය ඊයේ (7) ප්‍රතික්ෂේප කළේය.
 
පෙරේදා (6) අත්අඩංගුවට ගැනීමෙන් පසු පැරමෙටා අධිකරණය ඇප ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එදින රාත්‍රියේ සරී හිල්ස් පොලිස් රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා සිටි ධනුෂ්ක ලිංගික අතවර චෝදනාවට අනුව කරුණු 4ක් යටතේ ඊයේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය.
 
අළු පැහැති ටී ෂර්ටයකින් සහ නිල් පැහැති ඩෙනිම් කලිසමකින් සැරසී සිටි ඔහුට මාංචු දමා තිබූ බවත් එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. විවර්ලි ප්‍රදේශයේ පිහිටි ඩවුනින් සෙන්ටර් දේශීය අධිකරණයේදී විනිසුරු රොබර්ට් විලියම්ස් ඉදිරියේ පෙනී සිටි ධනුෂ්ක ඉතා සන්සුන්ව සිටි අතර, සිය වීඩියෝ පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වන්නේදැයි අධිකරණය විමසූ විට ඔහු ‘ඔව් සර්‘ යනුවෙන් පිළිතුරු දුන් බවත් වැඩිදුරටත් වාර්තා වේ. දශක කිහිපයක් පුරා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පදිංචිව සිටින ශ්‍රී ලාංකික නීතිඥවරයකු වන ආනන්ද අමරනාත් මහතා ධනුෂ්ක වෙනුවෙන් පෙනී සිටි අතර, සිය සේවාදායකයාට ඇප නියම කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 
ධනුෂ්ක මීට පෙර කිසිදු අපරාධ ක්‍රියාවකට සම්බන්ධ වී නැති බව විනිසුරුවරයාගේ අවධානයට යොමු වුවද ඔස්ට්‍රේලියාවේ අධිකරණ නීතිරීතිවලට අනුව නඩු විභාගයක සියලු තොරතුරු වාර්තා කිරීමට අවසර නොලැබෙන බැවින් ඔහුට ඇප දීම ප්‍රතික්ෂේප කිරීමට බලපෑ හේතු එරට මාධ්‍යය අනාවරණය නොකළේය. එසේ වුවත් ඔහු විදේශිකයකු වීම සහ ඇප අයැදුම් පතෙහි සඳහන් ලිපිනය පිළිබඳ සහතික කළ නොහැකි වීම පදනම් කරමින් ඇප ලබාදීම ප්‍රතික්ෂේප වූ බව ආරංචි මාර්ග සඳහන් කළේය.
 
ඇප අයැදුම්පත ප්‍රතික්ෂේප වීම කනගාටුවට කරුණක් බව අධිකරණයෙන් පිටතට පැමිණීමෙන් පසු නීතිඥ ආනන්ද අමරනාත් මහතා වාර්තාකරුවන් හමුවේ ප්‍රකාශ කර ඇත. ඔහුට එරෙහි නඩු විභාගය ලබන වසරේ ජනවාරි 12 වැනි දින දක්වා කල් දමා ඇති අතර, කඩිනමින් නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කරන බව නීතිඥ ආනන්ද අමරනාත් මහතා වාර්තාකරුවන් හමුවේ කියා සිටියේය.
 
ධනුෂ්කගේ ලිංගික අතවරයට ලක් වූ බව කියන 29 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම සඳහා පොලිසිය විසින් කරනු ලැබූ ඉල්ලීමකට අනුව බාහිර පුද්ගලයන්ට සහභාගිවීමට අවස්ථාව නොලැබෙන පරිදි අධිකරණයේ දොරටු වසා ඇප අයැදුම්පත විභාගයට ගැනීමට කටයුතු යොදා තිබිණි. ඒ සඳහා පොලිසිය ඉදිරිපත් කළ ඉල්ලීමට ධනුෂ්කගේ නීතිඥවරයා සහ ජ්‍යෙෂ්ඨ නීති උපදේශක ස්ටීවන් කෝම්බ්ස් විරුද්ධත්වය ප්‍රකාශ කළහ.
 
පැමිණිලිකාරිනියගේ නම දැනටමත් ප්‍රසිද්ධියට පත්වීම වළක්වා ඇති බවත්, තවදුරටත් එසේ කිරීම යුක්තිය ඉටු කිරීමට බාධාවක් වනු ඇතැයි ඔවුන් දෙදෙනාගේම තර්කය වූ බව එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය. එහෙත් ඊයේ දිනයේ මහජනතාවට අධිකරණයට ඇතුළුවීම වළක්වාලමින් විනිසුරුවරයා අතුරු නියෝගයක් පැනවීමට පියවර ගත්තේය. එම නියෝගය හෙට (9) යළි සලකා බැලීමට නියමිතය. අධිකරණයෙන් පිටතදී වාර්තාකරුවන් ඇමතූ ධනුෂ්කගේ නීතිඥවරයා, ඔහුගේ පවුලේ කිසිදු සාමාජිකයකු ඔස්ට්‍රේලියාවේ නැති බව තහවුරු කළ අතර, එසේ වුවද කැන්බරා නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු පාර්ශ්ව ගණනාවකින් ඔහුට විශාල සහයක් ලැබෙන්නේ යැයි සඳහන් කළ බව ‘සිඩ්නි මෝනිං හැරල්ඩ්‘ පුවත්පත වාර්තා කළේය.
 
නඩු විභාගයේ ඉදිරි කටයුතු සිදු වනතුරු ඔහු සිඩ්නි නුවර සිල්වර් වෝටර් ප්‍ර‍ෙද්ශයේ පිහිටි පුනරුත්ථාපන පහසුකම් සහිත correctional center නමින් හඳුන්වනු ලබන රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා තබනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. ප්‍රජාව තුළ වරදකරුවන් අධීක්ෂණය කිරීම සහ වැරැදි අවම කිරීම සඳහා වැඩසටහන් ඇතුළත් මෙවැනි මධ්‍යස්ථාන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ විශාල වශයෙන් පිහිටා ඇත. අධිආරක්ෂිත කලාපයක පිහිටි එවැනි මධ්‍යස්ථාන තුළ සැකකරුවන්ට උපරිම ආරක්ෂාව සැලසෙන අතර, ඔවුන් අධීක්ෂණය කිරීම් සහ ආරක්ෂාව සහතික කිරීමේ කටයුතු ද සිදු කෙරේ. එමෙන්ම සෞඛ්‍ය සම්පන්න ආහාර සහ වෙනත් පහසුකම් නොඅඩුව සපයන ස්ථාන ලෙස ද ප්‍රකටය. සාමාන්‍යයෙන් එවැනි මධ්‍යස්ථානවලදී සැකකරුවන් හමුවීමට ද අමුත්තන්ට අවසර ලැබෙන බව වාර්තාවේ.

Comments