ගෙවල් කඩා කෝටියක රන් ඉස්සු මත්ලෝලියා | Page 2 | සිළුමිණ

ගෙවල් කඩා කෝටියක රන් ඉස්සු මත්ලෝලියා

යුද හමුදාවෙන් පලා ආ සෙබළෙකු වන රංජි කාන්තා ඇසුරට දැක්වූයේ දැඩි ලොල් බවකි. අත දිගහැර කතුන්ට වියදම් කරමින් පෙම් සුව විඳීමට යාමේ ප්‍රතිඵලයක් ලෙස රංජිගේ බිරිය ඔහු අතහැර ගියේ රංජි සමඟ විසීම තිත්ත වීමෙන් අනතුරුව විය හැකිය. හරිහමන් රැකියාවක් නොකළ ඔහු මුදල් ඉපයීම සඳහා තෝරා ගත්තේ අපුරු ක්‍රමයකි. ඒ නිවෙස් බිඳ රන් භාණ්ඩ සොරකම් කිරීම හා මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කිරීමයි.

මතුගම සහ දොඩංගොඩ පොලිස් වසම්වල එක දිගට ගෙවල් බිඳුම් සිද්ධි වාර්තා වීමට පටන් ගත්තේ මේ අතරය.

මාස හතක පමණ කාලයක සිට සිදු වූ මෙම සිදුවීම් පිළිබඳව අදාළ පොලිසිවලින් විමර්ශන සිදු කෙරෙමින් පැවතුණත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම දින දින කල් යන ලකුණු පහළ විය. මේ පිළිබඳ අවධානය යොමු කළ කළුතර කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට මෙහි විමර්ශන කටයුතු බාර දෙන්නේ මෙවැනි සූක්ෂම අපරාධ පසුපස හඹා යාමේ අතිදක්ෂ නිලධාරි කණ්ඩායමකින් එම ඒකකය සැදුම්ලත් නිසාය.

එම ඒකකයේ ස්ථානාධිපති සුජිත් ද සිල්වා විසින් සැරයන් 44817 ගුණවර්ධන තම කාර්යාලයට කැඳවන්නේ මේ අනුවය.

“මේ කේස් එක ඉක්මනටම ෆලෝ කරන්න ඕනෑ... එදාට එදාට ලැබෙන ඉන්ෆොමේෂන් 'ඩිස්කස්' කරන්න අමතක කරන්නත් එපා...“

සුජිත් ද සිල්වා, ගුණවර්ධන සැරයන්වරයාට මේ 'බරපතළ රාජකාරිය' පැවරුවේ අවශ්‍ය උපදෙස් සහ අනුගමනය කළ යුතු ක්‍රමවේද පිළිබඳවද දැනුවත් කරන අතරය. පැමිණිලි පිළිබඳව සොයා බැලු සැරයන් ගුණවර්ධන ආවේක්ෂණ රාජකාරියේ යෙදුණේ සීරුවටය. මේ සියලුම ගෙවල් බිඳුම් සිදුකර තිබුණේ රාත්‍රි කාලයේදී වන අතර සොරාගෙන තිබුණේ ස්වර්ණාභරණ සහ මුදල් පමණය. එසේනම් මේ සියල්ලම සිදු කර ඇත්තේ එක් පුද්ගලයෙකු හෝ එකම කණ්ඩායමක් විසින් විය යුතුය. සිදු කළ විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස හැකි ඉක්මනින් සැකකරු හඳුනා ගැනීමට හැකි වූයේ මේ අතරය. ඒ සැරයන් ගුණවර්ධනගේ ආවේක්ෂණ රාජකාරියේ කාර්යශූරත්වය සහ උනන්දුව හේතුවෙනි. සීසිටිවි කැමරා පරීක්ෂා කිරීමෙන් සැකකරු පිළිබඳ හෝඩුවාවක් ලබා ගැනීමට හැකි වෙන්නේ එලෙසය.“සර් ගෙයක් බින්ද ගමන් මේ මිනිහා 'මෙහෙ රැදෙන්නෙ' නෑ. කෙළින්ම යන්නෙ අනුරාධපුරේට...“

සැරයන් ගුණවර්ධන තම ප්‍රධානියා සමඟ සාකච්ඡා කළේ ඊළඟ පියවර තැබීමට සුදුසු වටපිටාව සකසා ගැනීමටය.

“ටීම් එකක් එක්ක පිටත් වෙලා ඉක්මනින් වැටලීම කරන්න වෙනවා...“ පොලිස් පරීක්ෂක සුජිත් සිල්වා, සැරයන් ගුණවර්ධනට කීවේ එවැනි කතාවකි.

උප පොලිස් පරීක්ෂකවරුන් වන ඉන්දික මුණසිංහ, දයාසේන, සැරයන්වරුන් වන 27188 සමන්, 37109 රත්නායක, 49251 සරත්, 44817 ගුණවර්ධන, කොස්තාපල්වරුන් වන 69993 ජයලත්, 24040 නවගමුව, 33880 රණසිංහ යන නිලධාරීන් සමඟ පොලිස් කොස්තාපල් රියදුරු 36218 කිත්සිරි විසින් ධාවනය කළ පොලිස් ජීප් රථය ඉලක්කය කරා ධාවනය කැරෙන්නේ ඒ අනුවය.

රංජිට තිබුණේ පුදුම ඉවකි. නිලධාරීන් අනුරාධපුරයට යන විට රංජි සිටි තැනින් අතුරුදන්ය. සොයා බලන විට ඔහු සිටියේ මහනුවරය. පොලිස් කණ්ඩායම නුවරට යන්නේ හැරෙන පරක්කුවටය. එහෙත් ඔහු එතනින්ද පලා ගොස්ය. එවර ඔහු සිටියේ කොළඹය. පොලිස් කණ්ඩායම කොළඹට යන්නේ රංජි එහිදී හෝ අල්ලා ගැනීමේ අරමුණ ඇතිවය. එවර රංජි පනින්නේ කළුතරටය. පොලිසිය 'වට වන්දනාවේ' රැගෙන ගොස් ඔහු කළුතරට පැන්නේ ඔහුගේ අවාසනාවටය. පොලිසියට රංජි කොටු වෙන්නේ හෙරොයින් මිලි ග්රෑම් පන්දාස් එකසිය අනූවක් සමඟ පයාගලදීය. ඒ ඔහු හෙරොයින් ජාවාරමේ යෙදෙන බවට සැරයන් ගුණවර්ධනට ලැබෙන ඔත්තුවකට අනුවය.

කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ රංජි දින පහක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගන්නේ ගෙවල් බිදුම් පිළිබඳ දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සඳහාය. සියලු තොරතුරු හෙළි වන්නේ ඒ අවස්ථාවේදීය.

රංජිට නිවෙසක් බිඳීමට අවශ්‍ය වූ විට ඔහු එම ප්‍රදේශයට යන්නේ රාත්‍රියට ඇති අවසාන බස් රථයේ නැගීය. ඉන් පසුව නියනක ආධාරයෙන් අදාළ නිවසේ දොර ජනෙල් විවෘත කරගෙන ඊට ඇතුළුවී ස්වර්ණාභරණ සහ මුදල් සොරකම් කරන රංජි එම ප්‍රදේශයෙන් කළුතර බලා පිටත්වන අලුයම පළමු බස් රථයේ නැඟි නැවත එන්නේ සොරා ගන්නා ලද ස්වර්නාභරණ ෆිනැන්ස් ආයතනවලට උකස් කර මුදල් ලබා ගැනීමටය. මෙලෙස මුදල් ලබා ගත් පසුව මොහොතක්වත් කළුතර ප්‍රදේශයේ නොරැඳෙන රංජි කෙළින්ම යන්නේ අනුරාධපුර ප්‍රදේශයේ සිටින 'හොර අඹුවන්' සොයා ගෙනය. ඔවුන් සමඟ හිතේ හැටියට පෙම් සුව විඳින මේ මනමාල කුරුල්ලා නැවතත් නිවසක් බිඳිමට කළුතර බලා 'ඉගිල එන්නේ' එම මුදල් සියල්ල අවසන් වූ විටය.

මේ ආකාරයට රංජි මතුගම ප්‍රදේශයේ ගෙවල් බිඳුම් 04 ක්ද දොඩංගොඩ 05 ක්, මිගමුවේ එකක් ද සිදු කර තිබිණි. මේ අනුව රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අධික වටිනාකමක් ඇති රන් මාල, වළලු, මුදු ආදි ස්වර්ණාභරණ සොයා ගැනීමට පොලිසිය කටයුතු කළේ ඒවා උකස් කර තිබියදිය.

පොලිසිය පවසන්නේ බෝඹුවල, කොස්හේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු මෙරට ලියාපදිංචි අපරාධකරුවෙකු බවය. මීට පෙර කළුතර ප්‍රදේශයේ සිදු කළ හොරකම් ගැන ඔහුට විරුද්ධව නඩු කීපයක්ද ඇති බව හෙළි විය. සැකකරුට හෙරොයින් සම්බන්ධ නඩු දෙකක්ද තිබෙන බව හෙළි විය.

විමර්ශන කළුතර කොට්ඨාස බාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස සහ කළුතර සහකාර පොලිස් අධිකාරි 02 දුමින්ද රාජපක්ෂ ඍජු අධීක්ෂණය සහ උපදෙස් පරිදි සිදු විය.

Comments