කොළඹ සන්නිය | Page 2 | සිළුමිණ

කොළඹ සන්නිය

මර්දනය නතර කරන ලෙස හා ආණ්ඩුවට බල කරමින්, දේශපාලන පක්ෂ, වෘත්තීය හා බහු ජන සමිති ඒකාබද්ධව සංවිධානය කළ විරෝධතා රැලිය පිරිසකගේ සභාගීත්වයෙන් මරදාන ටෙක්නිකල් හන්දිය අසලදී නොවැම්බර් 2 පැවැත්විණි. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලොරි රථයකට ගොඩවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් වන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සහයවූ අයුරුයි මේ. (ඡායාරූපය - සුලෝචන ගමගේ)

පුදන කොටම කාපි යකා’ යැයි ප්‍රකට දේශපාලන කතාවක් අප අතර තිබේ. එහි අරුත ගැන යළි පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවන්නේ අපි බොහෝදෙනෙක් පුද්ගලික ජීවිතයේදී එය මනාව අත්දැක ඇති නිසාය. එහෙත් දේශපාලන ලෝකයේදී නම් මෙවැනි සිදුවීම් සිදුවන්නේ ඉද හිටය. නැතහොත් ‘අහේතුවටය. 

‘මර්දනය නවත්වන ලෙසට සහ ත්‍රස්තවාදී මර්දන පනත වහාම හකුළා ගන්නා ලෙස’ට ආණ්ඩුවට බල කරමින් සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළුව දේශපාලන පක්ෂ කිහිපයක්, වෘත්තීය සමිති කිහිපයක් සහ බහුජන සංවිධාන කිහිපයක් විසින් පසුගිය 02 වැනිදා මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ කළ ඊනියා විරෝධතා පා ගමන ද අවසානයේ ‘පුදන කොටම කාපි යකා’ ගේ කතාව සිහිපත් කරමින් නිමාවට පත් වූයේ එහි හරයාත්මක දුර්වලතා නිසා පමණක් නොව ‘උපන්ගෙයි දෝෂ’ රැසක් ද පැවැති නිසා බව ඕනෑම අයෙකුට පහසුවෙන් නිරීක්ෂණය කළ හැකිය.

•යළි හුස්ම ගන්නා රටක්

ආර්ථික, සමාජයීය හා දේශපාලන වශයෙන් දැඩි පීඩනයක් හා අවිනිශ්චිතභාවයක් නිර්මාණය කළ අතිශය තීරණාත්මක මාස කිහිපයකට පසු මේ අවස්ථාවේ සමාජය යළි හුස්ම ගැනීම ආරම්භ කර තිබෙන අතර, අසීමිත ලෙස ඉහළ ගිය භාණ්ඩ හා සේවා ගාස්තු ද යළි සාධනීය මට්ටමක් කරා ගමන් කරමින් තිබේ. ඒ අතර වසර කිහිපයක් අවම තත්ත්වයක පැවති සංචාරක ව්‍යාපාරය ද යළි ජීවය ලබමින් තිබෙන අතර, යුරෝපයේ ඇතිව ඇති අධි උද්ධමනය හේතුවෙන් වැඩි සංචාරක ආකර්ෂණයක් ද මෙවර ලංකාවට හිමිවනු ඇති බවට මත පළ වෙමින් තිබේ. ඒ අතර 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වීම, වී ගොවීන් ඇතුළු සමස්ත කෘෂිකාර්මික ප්‍රජාව මුහුණදුන් රසායනික පොහොර ගැටලුව ආදි ගැටලු රැසක් නිමාවට පත් වෙමින් තිබෙන අතර, ව්‍යාපාරික ක්ෂේත්‍රය ද යළි යථා තත්ත්වයට පත්වීමට සැරසෙමින් තිබේ.

මෙවැනි සාධනීය තත්ත්වයක් තුළ යළිත් මහ පාරේ අරගල කරමින්, වැඩබිම් පාළු කරමින්, සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන් අඩාළ කරමින් සහ විශේෂයෙන් සංචාරක ව්‍යාපාරයට යළි රතු එළි දල්වමින් සිදුවන ඊනියා දේශපාලන බල ව්‍යාපෘති ක්‍රියාත්මක කරවා ගැනීමට අති බහුතරයක් වන පොදු ජනතාවට සහ වෘත්තීය සමිති ද ඇතුළු බලපෑම් කණ්ඩායම්වලට ඇති අවශ්‍යතාව හීන වී ශූන්‍ය තත්ත්වය දක්වා පල්ලම් බැස තිබේ. වත්මන් තත්ත්වය තුළ සාධනීය වෙනසක් අපේක්ෂා කරමින් සිටින මේ සියලු පාර්ශ්ව යළි වීදි සටන්වලට හෝ මහ පාරේ විප්ලවවලට කැඳවා ගත හැකි යැයි සිතන්නේ නම් එය දේශපාලන අඳබාලකමක්ම පමණකි. මන්ද ඉතාම පැහැදිලිව ජනතාවට තවදුරටත් ‘ව්‍යසනය’ කැඳවා ගැනීමක් අනවශ්‍ය නිසාය.

•ආඬි කැඳ පිසීමට යෑම

සමාජ - ආර්ථික වශයෙන් නිර්මාණය වී තිබෙන මෙම ධනාත්මක ප්‍රවණතාව, සමාජ, ආර්ථික හා දේශපාලන සංහිඳියාව වෙනුවෙන් පොදුජනතාව, ව්‍යාපාරික ප්‍රජාව සහ දේශපාලන බලපෑම් කණ්ඩායම් අතර පවතින අපේක්ෂා ගැන අවම ඉවක් හෝ නැති, තම පුද්ගලික, පටු බල ව්‍යාපෘති වෙනුවෙන් ඕනෑම විනාශයක් කිරීමට සූදානමින් පසුවන අන්තවාදී දේශපාලන කල්ලියක හෝ කණ්ඩායම් කිහිපයක වුවමනාවට ප්‍රධාන විපක්ෂය වශයෙන් සැලකෙන සමගි ජන බලවේගය එක්වීම සම්බන්ධයෙන් මේ වන එම පාක්ෂිකයන් අතර මෙන්ම පාක්ෂිකයන් නොවන මධ්‍යස්ථ ජනතාව අතර පවා දැඩි විරෝධයක් නිර්මාණය වී තිබේ. ඔවුන් දැඩිව පෙන්වා දෙන්නේ '‘අවස්ථාව ලබා දුන්නත් එය භාර නොගත් දේශපාලන නායකයන් විසින් මේ ආකාරයෙන් යළි බලය අල්ලා ගැනීමට මහ පාරේ විරෝධතා දැක්වීම' යාම හාස්‍යජනක බවයි.

මේ අතර නොවැම්බර් 02 විරෝධතා පාගමන ආරම්භයේ සිටම පෙරටුගාමීන් හා එහි අතකොළුවක් වන අන්තරේ එහි නායකත්වය හා සංවිධාන බලය අතට ගැනීම ගැන ප්‍රධාන දේශපාලන පක්ෂ අතර බරපතළ නොසන්සුන්තාවක් නිර්මාණය කර තිබූ බව දැකගත හැකි විය. ඊට ප්‍රධාන හේතුව වූයේ සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන වශයෙන් සිය දේශපාලන බල ව්‍යාපෘති වෙනුවෙන් මෙම පාගමන දඩමීමා කර ගැනීමය. ඔවුනට අන්තරේ කැඳවුම්කරු නිදහස් කර ගැනීම හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හකුළා ගැනීම ගැන කිසිම ප්‍රමුඛතාවක් නොතිබූ අතර, 'සජබ ආණ්ඩුවක් 'නිර්මාණය කර ගැනීම හෝ 'සජිත් - මෛත්‍රී ආණ්ඩුවට පාර කපා ගැනීම' ඔවුනගේ ඒකායන අරමුණ විය.

එහෙත් සිදුවිය යුතු ලෙසම සජබයේ පූර්ණ සහාය හෝ ආශිර්වාදය මේ පාගමනට නොලැබී ගියේය. සජබයෙන් විරෝධතා පාගමනට එක් වූයේ මුල්පෙළ නායකයන් කිහිපදෙනකු පමණක් වන අතර, සුපුරුදු ලෙස සරත් ෆොන්සේකා සහ චම්පික රණවක තම පුද්ගලික දේශපාලන න්‍යායපත්‍රය කරට ගෙන ක්‍රියාත්මක කරනු නිරීක්ෂණය විය.

මේ අතර පෙරටුගාමීන්ගේ ඊනියා දේශපාලන විනය නිසා පා ගමනට එක්ව සිටි සජබ, ශ්‍රීලනිප ක්‍රියාකාරීන් අතර දැඩි නොසන්සුන්තාවක් නිර්මාණය වූයේ බීමත් පුද්ගලයන් පාගමනින් ඉවත් කිරීමේ දැඩි වෑයමක් පෙරටුගාමීන් විසින් ගැනීමට යාම නිසාය.

•ජවිපෙ කර ඇරීම

පසුගිය අරගල සමයේ 'තනි අශ්වයාගේ භූමිකාවක් නිරූපණය කිරීමට ගොස් මේ වන විට දේශපාලන අනාථභාවයේ මුව අද්දරට වී සිටින ජනතා විමුක්ති පෙරමුණ නොවැම්බර් 02 විරෝධගා පාගමන ආරම්භයේ සිට එයට සහාය නොදක්වන බව ප්‍රකාශ කළේය. එය විපක්ෂයේ සහ විපක්ෂයට සහාය දක්වන කණ්ඩායම් අතර විවේචනයට ලක් වූ අතර එය පැහැදිලිවම මෙම අරගලය දුර්වල කිරීමට, බෙලහීන කිරීමට' හේතුවක් බව ඔවුන්ගේ අදහස විය.

එහෙත් ජවිපෙ වර්තමානයේ මුහුණ දී සිටින දේශපාලන උභතෝකෝටිකය හමුවේ කළ හැකි හෝ ගත හැකි අන් මඟක් නොවූ නිසා විරෝධතා පා ගමනට එක් නොවීමට ගත් ස්ථාවරයේ දැඩිව රැඳී සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ විරෝධතා පාගමනට එක් නොවීමට පක්ෂය ගෙන ඇති තීරණය ගැන මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ, "අපි දෙවැනිදා සහභාගි වෙන්න ඕනේ අවංක වුවමනාවකින් සටන් කරන මිනිස්සු, සටන් කරනවා නම්. නමුත් මේ සටන් කරන්නේ අවස්ථාවාදීන්. මේක සටනක් නෙමෙයි. වසන්ත මුදලිගේ සහෝදරයාවයි, සිරිධම්ම හාමුදුරුවොයි බේරගන්න කියලා සටනකට එනවා, ජාතික සම්පත් විකුණන්න පාර්ලිමේන්තුවේ සද්ද නැතුව ඉන්නවා. මොකද්ද ඒ සටන?' ඔහු දැඩි ස්වරයෙන් විමසා සිටියේය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත සටන්කාමීත්වය සහ ප්‍රචණ්ඩත්වයේ වෙනස පැහැදිලි කරමින් ෆේස්බුක් සටහනක් තබා තිබුණි.

ගින්දර..

අපි ටයර් පුච්චන්නේ නෑ 
අපි ආයතනවල ගේට්ටු කඩන්නේ නෑ 
මන්ත්‍රීලගේ ගෙවල් කඩන්නේ නෑ 
රනිල්ගේ ගේ ගිනි තිබ්බෙත් නෑ 
මේ ප්‍රචණ්ඩ ක්‍රියා...

ලාල් කාන්තගේ මේ ෆේස්බුක් සටහන ගැන බොහෝ දෙනෙකු සැක මතු කර තිබුණේ එය අද දිනයේ විරෝධයට ජවිපේ සහභාගී නොවීම ගැන කරන වක්‍ර ප්‍රකාශනයක් වශයෙන් සැලකිය හැකි බවයි.

ජවිපෙ නොවැම්බර් 02 විරෝධතාවයෙන් කර ඇරීම ම ප්‍රධාන හේතුව නොවූවත් 2000කගේ පමණ සහභාගීත්වයෙන් පැවැති පාගමන මරදාන දුම්රිය ස්ථානය පෙනී පෙනී දියාරුව ගියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විරෝධතාකරුවන් වෙතින්ම එල්ල වූ බාධා කිරීම් හා 'හූ සංග්‍රහයක්' මැදය.

•හූ කියන්නේ කවුද?

මෙය ජවිපෙ විසින් පාගමන අතර මැද සංවිධානාත්මකව සිදු කළ ක්‍රියාවක් බව සජබ නායකයින් ප්‍රකාශ කළත් තවත් පිරිසක් පෙන්වා දෙන්නේ එය පෙරටුගාමීන් විසින්ම කළ ක්‍රියාවක් බවයි. කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු සජබ - ශ්‍රීලනිප හවුල්කාරීත්වය සහ අන්තවාදී පෙරටුගාමීන්ගේ මංගල සහවාසය මේ ආකාරයෙන් අවසන් වීම ගැන සජබ නායකයන් සහ පාක්ෂිකයන් තුළ ඇත්තේ බලවත් සතුටකි.

'මොන හිතකින් මේ වැඩ කරනවාද කියලා අපිට තේරුම් ගන්න බැහැ. අතිශය තීරණාත්මක අවස්ථාවේ රාජ්‍ය බලය අතට දෙන්න හැදුවා. ඒත් නොහැකියාව නිසා, බය නිසා ඒක අතහැරියා. ඊට පස්සේ මේ අන්තවාදීන්ගේ ඔඩොක්කුවට පැනලා සජිත් ප්‍රේමදාස ගහන්න හදන පදය ගැන අපිට තේරුම් ගන්න බැහැ. අපි ඉතාම පැහැදිලිව වටහා ගත යුතුයි.

පෙරටුගාමීන් කියන්නේ, විශේෂයෙන් ඒකේ නායකයා කුමාර් ගුණරත්නම් කියන්නේ 88-89 භීෂණයේ නියමුවෙක්. විජේවීරගේ මිනීමරු සන්නද්ධ අංශයේ හිටපු නායකයා.

සමූල ඝාතනයෙන් බේරුණු එකම භීෂකයා. ඔවුන් එක්ක ජවිපෙ විනාශ කළ රණසිංහ ප්‍රේමදාසගේ පුතා දේශපාලන සහවාසයට යනවා කියන්නේ ඇත්තටම ඛේදවාචකයක්. මොකද ඔවුන් මේ හදන්නේ උණ්ඩයෙන් කරගන්න බැරි වුණ දේ සජිත්ලා හරහා කර ගන්න. අපි මේ කැත දේශපාලන සහවාසය පරාජය කළ යුතුයි' සජබයට න්‍යාත්මකව සහාය දැක්වූ ප්‍රකට විශ්වවිද්‍යාල ආචාර්වරයෙක් ලියුම්කරු සමඟ කියා සිටියේය. මෙය මහාචාර්යවරුන් අතර පමණක් නොව බොහෝ විට ගමේ ගොඩේ කඩපිලේ පවා කතා වන කරුණක් බවට පත්ව ඇත.

විශේෂයෙන් දේශපාලනිකව ප්‍රාදේශීය සභාවක තරම්වත් ඡන්ද පදනමක් නැති, අවම වශයෙන් ප්‍රාදේශීය සභා නියෝජනයක් පවා නොමැති පෙරටුගාමී සමාජවාදී පක්ෂය දේශපාලන කරළිය තුළ අත්පත්කර ගැනීමට වළිකන බලය ගැන බොහෝදෙනා තුළ ඇත්තේ විරෝධයකි. උදාහරණයක් ලෙස පසුගිය 2019 ජනාධිපතිවරණයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඉදිරිපත් කළ අපේක්ෂකයා වූ දුමින්ද නාගමුව විසින් ලබාගත්තේ සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 8219ක් හෙවත් 0.06%ක් පමණය.

•ප්‍රජාතන්ත්‍රවාදයේ ඉරණම

මේ තත්ත්වය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අතකොළුවක් වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට ද අදාළය.

ඔවුන් විසින් රාජ්‍ය විශ්වවිද්‍යාල රැසක ශිෂ්‍ය සංගම්වල බලය අල්ලා ගෙන, නවකවදය ලබාදීම, විරෝධතා ව්‍යාපාර සංවිධානය කරමින් අඛණ්ඩව සරසවි සිසු අරගල කැදවීමට පියවර ගත්ත ද සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල සිසු ප්‍රජාවෙන් 01%ක්වත් ඊනියා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජනය කරන්නේ නැත. එහෙත් ප්‍රචණ්ඩත්වය, බලහත්කාරය සහ තවත් ක්‍රමෝපායන් රැසක් හරහා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සරසවි ශිෂ්‍ය ව්‍යාපාරයේ හඩ බවට පත්ව ඇත්තේය.

මේ තත්ත්වය සමාජය විසින් පොදුවේ ප්‍රශ්න කළ යුතු කරුණක් බවට පත් කළ යුතුය. රටේ සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් අවම වශයෙන් 01%ක්වත් ලබා ගත නොහැකි පක්ෂයක්, 88-89 භීෂණයට ඍජුව වගකිව යුතු සන්නද්ධ කල්ලි නායකයෙක් විසින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය ලියවීමට ගන්නා උත්සාහය සමස්ත සමාජය විසින් තීරණාත්මකව පරාජය කළ යුුතුය. ඒ සමඟ 'අතට ලැබුණ දේ කන්න පින නැති' සජිත් ප්‍රේමදාස වැනි ඊනියා නායකයන් අන්තවාදීන්, ත්‍රස්තවාදීන් සමඟ දේශපාලන සහවාසයට ගොස් බිහි කිරීමට තැත් කරන දරුවා ගබ්සා කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී බලවේග පෙරට පැමිණිය යුතුය.

Comments