කැබිතිගොල්ලෑවේ නොසන්සුන්තාව අතරතුර පහරකෑමට ලක් වූ පොලිස් සැරයන් මරුට | Page 2 | සිළුමිණ

කැබිතිගොල්ලෑවේ නොසන්සුන්තාව අතරතුර පහරකෑමට ලක් වූ පොලිස් සැරයන් මරුට

අනුරාධපුර, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඇති වු නොසන්සුන්තාවක් පාලනය කිරීමට ගිය පොලිසියට එල්ල වු ප්‍රහාරයකින් පොලිස් සැරයන්වරයෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.
 
ඊයේ (ඔක්. 31) රාත්‍රී ඇති වූ මෙම උණුසුම් තත්ත්වය පාලනය කිරීමට පොලිසිය අහසට වෙඩි තැබිමට පියවර ගෙන තිබේ. 
 
කැබිතිගොල්ලෑව රබකැපුවැව ප්‍රදේශයේ දී වන අලි ප්‍රහාරයකින් කාන්තාවක මිය ගොස් ඇත. සිද්ධිය සැලවීමත් සමඟ කැබිතිගොල්ලෑව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානය කරා ගමන් කරමින් සිට ඇත. 
 
එම අවස්ථාවේ රඹකැපුවැව ප්‍රදේශයෙන් කැබිතිගොල්ලෑව මාර්ගය අවහිර කළ භික්ෂුන් වහන්සේ නමක ඇතුලු පිරිසක් විරෝධතාව ආරම්භ කර තිබේ. එම පිරිස පොලිසියට ගල් මුල් වලින් හා මුගුරුවලින් පහරදුන් බව පොලිසිය පවසයි. 
 
එහිදී පොලිස් ස්ථානාධිපතිවරයාට ප්‍රදේශවාසීන් පහර දීමට උත්සහ කර ඇති අතර ඔහුගේ රාජකාරී ගිනිඅවිය ද උදුරා ගැනීමට තැත් කර තිබේ. එම අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයා අහසට වෙඩි තැබීමක් සිදු කර පිරිස විසුරුවා හැරීමට උත්සහ ගෙන ඇත.
 
පොලිස් ස්ථානාධිපතිවරයාට ප්‍රදේශවාසීන් පහර දීමට උත්සහ කළ අවස්ථාවේදී පොලිස් සැරයන්වරයෙකු විසින් එය වැළැක්වීමට පියවර ගෙන තිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පැවසීය.
 
පසුව එම පිරිස අදාළ සැරයන්වරයාට පහර දී තිබේ.
 
පහරදීමෙන් තුවාල ලැබූ සැරයන්වරයා ප්‍රතිකාර සඳහා කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත රැගෙන ගොස් ඇත.
 
කෙසේ වෙතත්, ඔහු තත්ත්වය බරපතළ වීම හේතුවෙන් ඔහුව මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, එම අවස්ථාවේදී සැරයන්වරයා මියගොස් ඇති බව ය.
 
ඔහු වාරියපොළ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානයේ සේවය කළ සැරයන්වරයෙකි.
 
සිද්ධිය සම්බන්ධයෙන් හිමිනමක ඇතුලු 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Comments