මේ, ලංකාවේ ග්‍රීන් ඇපල් මසං | Page 2 | සිළුමිණ

මේ, ලංකාවේ ග්‍රීන් ඇපල් මසං

එදා දුරට ඇපල්-ළඟට පැපොල් 
මෙදා දුරටත් ඇපල්-ළඟටත් ඇපල්

- අවුරුදු දෙකෙන් පලදාව ගන්න පුළුවන්
- මේ අලුත් ඇපල් ප්‍රභේදය කොළඹ පැත්තෙත් වවන්න පුළුවන්
- රට ඇපල් වගේ කල් තියාගන්න වස විස ගහන්න ඕන නෑ
- රටේ ආර්ථික අර්බුදයටත් ඩොලර් හිඟයටත් විසඳුමක්

'දුරට ඇපල් - ළඟට පැපොල්' ප්‍රසිද්ධ කියමනකි. දුරට පේන විට ඉතා වටිනා ඇපල් මෙන් පෙනෙන බවත් ඒත් ළඟට ගිය විට ලාබ පැපොල් නොහොත් පැපොල් ගෙඩියක් මෙන් පෙනෙන බවත් එහි අදහසයි. ලංකාවේ ඩොලර් අර්බුදය එන්නට පෙර පිටකොටුවේ ඇපල් ගෙඩි 5ම රුපියල් 100 ට විකුණු යුගයක්ද විය. ඒවා වික්කේ කූල් රූම්වලින් එළියට ගත් ගමන්ය. අපේ උන්දැලා කූල් එකට තියෙන නිසා ඇපල් ගත්තත් මේ ඇපල් මාස හයකටත් වඩා පරණ ඒවා බව වටහා ගන්නේ නැත. ඉන්පසු ගෙදර ගොස් ඇපල් කෑ පසු කියන්නේ මෙසේය.

"අපෝ ඒ ඇපල් මෙලෝ රහක් නැහැ. මැටි කනවා වගේ, සුවඳකුත් නැහැ. ඇතුළත් තැම්බිලා" 

තඹුත්තේගම කියපු ගමන් අපේ මතකයට එන්නේ "තඹුත්තේගම යෝධයා" ය. ඒත් පසුගිය 20 වැනි බ්‍රහස්පතින්දා තඹුත්තේගම පැත්තේ හිටවපු ගස්වල පලදාවත් රැගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් හමු වන්නට ආවේ ලක්ෂ්මන් කුමාර ගොවියාය.

ලක්ෂ්මන් කුමාර ජනාධිපතිතුමාට පිළිගන්වන්නට ආවේ ලංකාවේ වගා කරපු ඇපල්ය. කවුරුත් කිව්වේ ලංකාවේ කොළ ඇපල් කියාය. තවත් අය කිවුවේ ඒ ඇපල්වලට ඇපල් මසං කියාය.

යුරෝපයේ මෙන්ම ඉන්දියාවේද ඇපල් වැවෙන නිසා එම රටවල ජනතාවට කන්න ලැබෙන්නේ නැවුම් පෝෂණ ගුණයෙන් යුතු ඇපල්ය. එම රටවල ඇපල් ගැන සුප්‍රසිද්ධ කියමන වන්නේ දිනකට ඇපල් ගෙඩියක් කෑවොත් වෛද්‍යවරුන් වෙත යන්නට වන ඉඩකඩ අඩු වන බවය. ඒ කියන්නේ නීරෝගි වන

බවය. (An Apple a day keep a Doctor away) ඒත් අපේ රටේ අය කන්නේ මාස පහකටත් වඩා නැවේ ගෙනා රසායනික ද්‍රව්‍ය ස්ප්‍රේ කර එන පරණ ඇපල්ය. ඒ නිසා අපේ රටේ ආනයනික ඇපල් කෑවොත් සිදු වන්නේ වෛද්‍යවරයා හමුවීමට තවත් පියවර කීපයක් ඉක්මන් වීමය.

ආනයනික ඇපල්වල නැවුම් බව රැක ගැනීමට එන්නත් කරන්නේ Botox නම් රසායන ද්‍රව්‍යයි. මේ රසායන ද්‍රව්‍ය යොදා ගන්නේ රූපලාවණ්‍ය කටයුවලදී හම රැලි වැටීම නොහොත් එල්ලා වැටීම නැවැත්වීමට හම ඝනකම වැඩි කිරීමටය. ඒ කියන්නේ ඇපල්වල පිට පොත්ත ඝනකම් කිරීමෙන් ඇපල් වසරක් පමණ පහසුවෙන් නැවුම් පෙනුමෙන් තබාගත හැකිය. ඒ ඇපල්වල නැවුම් පෙනුමක් විනා ඇපල් ගෙඩියේ නැවුම් රසයක් නැත.

දැන් ඉතින් ලංකාවේ ඇපල් රස විඳින්නන්ට ඔය මොන අපල උපද්‍රවයක් වත් නැතිව තඹුත්තේගමෙන් උදේ නෙළා ගත් ඇපල් මසං ගෙඩියක් හවසට කොළඹදී කන්නට හැක්කේ ඇපල් ගෙඩියේ තෙතමනය වියැකෙන්නටත් පෙරය. ලංකා ඉතිහාසයේ ඇපල් ආනයනය තහනම් කළ අවස්ථා පවා ඇත. 2013 දී කටුනායක ජාතික ශාක නිරෝධායන සේවය ඉන්දියාවේ වන්දනාවේ යන අයට ඉන්දියන් ඇපල් ගෙන ඒම තහනම් කරන ලදි. ඒ පලතුරු මැස්සකුගෙන් ඉන්දියන් ඇපල්වලට දිලීරයක් පැතිර යාම නිසාය. 2015 දී ඇමරිකාවේ 36 දෙනකු ජන්මාන්තර ගත වූයේ ඇපල්වල මාරක බැක්ටීරියාවක් නිසාය. එවක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පාලිත මහිපාල ය. ඔහු වහාම චක්‍රලේඛනයක් නිකුත් කළේ රේගුව හා ඇපල් ආනයනකරුවන්ට ඇමෙරිකන් ඇපල් වාරණයක් නිකුත් කරමිනි.

ලංකාවේ මේ ග්‍රීන් ඇපල් මසං වගාව හඳුන්වා දෙන්නේ ලක්ෂ්මන් කුමාර සහ අසංක ලයනල් දෙසොහොයුරන්ය. 

"ගන්නෝරුව කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේ මේ කොළ ඇපල් හඳුන්වලා දීලා දැන් අවුරුදු 15ක් විතර වෙනවා. අපි එයින් පැලයක් හිටෙවුවා. ගහ හොඳට හැදුනාට ගෙඩි හට ගත්තේ නැහැ. අපි ඊළඟට කළේ ඒ කොළ ඇපල් ශාකයක් මසං ගහකට බද්ධ කරන එක. ඒ ගහ බලාගෙන ඉඳිද්දි ඵල හට ගත්තා. අපේ මහන්සිය හරි ගියා.

ලක්ෂ්මන් - අසංක ඥාති දෙසොහොයුරන් පවසන පරිදි ශීත රටවලට ආවේණික ඇපල් ශාකය අපේ දේශගුණයට සරිලන ආකාරයට ජලය යෙදීම, පොහොර යෙදීම එයින් ප්‍රමාණයෙන් විශාල ඇපල් ගෙඩි ඵලදාවක් ලබාගැනීමට දෙසොහොයුරන් ස්වයං පර්යේෂණ රැසක් සිදු කොට ඇත. ගල්ගමුවේ මැදගම අක්කර තුනහමාරක් පුරා මේ ලංකාවේ ඇපල් වගාව සරුවට දැන් ඵල දරා ඇත.

"වියළි දේශගුණයක හැදෙන ගස්වල පලතුරුවල වැඩිපුර තියෙන්නේ වතුර; ශීත දේශගුණයේ පලතුරුවල වැඩිපුර තියෙන්නේ සීනි. ඒ නිසා සීත පරිසරයේ හැදෙන ඇපල්, මිදි, පෙයාර්ස්වල තියෙන්නේ වැඩි පුරම සීනි. ඒ වගේ නෙමෙයි අපේ රටේ වැවෙන නෙල්ලි, කොමඩු, රඹුටන්, ඇඹරැල්ලා, ගස්ලබු, අඹ වගේ දේවල්වල ජලය සහ සීනි සමසමව තියෙනවා. ඒ හින්දා අපේ රටේ පලතුරුවල පැණි රස, ඇඹුල් රස, තිත්ත රස නිසි ප්‍රමාණයට තියෙනවා. අපේ රටේ මේ ඇපල් ඒ නිසා ආනයනික ඇපල්වලට වඩා ගුණාත්මක බවෙන් වැඩියි. ඒ නිසා ආනයනික ඇපල් - මිදි - දොඩම් ආහාරයට ගැනීමෙන් දියවැඩියා රෝගයට ගොදුරු වෙන්න පුළුවන්. දේශීය ඇපල් දියවැඩියාවට ඖෂධයක් වගේ"

අප මීට පෙර පාර අයිනේ දැක ඇත්තේ 'රාගල බට් පෙයර්ස්' ය. එහෙත් ඒවා බොහොමයක් ලංකාවේ රාගල හටගත් ඒවා නොවේ. ඒවා ලස්සනට පේළියට තබා නැවත තට්ටුවට යටින් සඟවා තිබු පෙට්ටිවල තිබුණේ made in china අකරු සැට් එකය. බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කවල වැවෙන පෙයාර්ස් වර්ගය සැන්ඩි හා නාසිය. මේ පෙයාර්ස් අයිති වන්නේ රොසාසියේ කුලයටය. රාගල පෙයාර්ස් ප්‍රභේදය ගොවීන්ට හඳුන්වා දී ඇත්තේ 1970දීය.

පෙයාර්ස්වල තියෙන බිනොලික් ඖෂධීය ගුණය වගේම අපේ ඇපල්වලත් තිබෙනවා. දියවැඩියාව පිළිකා නිවාරණයට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල බහුලව තියෙන නිසා ළමයින්ගේ පටක වර්ධනයට මේ ඇපල් ගුණයි. මේ නිසාම සම පැහැපත් වීමටත් මේ ඇපල් උපකාරි වෙනවා.

පෙයාර්ස් අස්වනු ලබන්නේ ජුනි අගෝස්තුවලදීය. ලංකාවේ පෙයාර්ස් රොසායිනෝ කුලයට අයත් වුවත් මසං ගසට බද්ධ කළ ලංකාවේ ඇපල් ගස කුමන කුලයකට අයත්දැයි අපට ප්‍රශ්නයක් විය. මේ ලංකාවේ ග්‍රීන් ඇපල් මසං පලදාව අස්වැන්න නෙළන්න පුළුවන් අවුරුද්ද පුරාම, මේක හිටවන කොටම අඩි 6ක කණුවක් හිටවනවා. අපි ඉත්තේ දැන් මැස්සක් ගහනවා. ගහට බට් කළාට පස්සේ වැලක් වගේ මැස්සක රඳවන්න පුළුවන්.

ලංකාවට ඔස්ට්‍රේලියාවෙන් - ඇ‍ෙමරිකාවෙන් එන ඇපල් කන විට එම ඇපල් මාස 9ක් පමණ පරණ වී හමාරය. සමහර ඇපල්වල ස්ටිකරය සඳහන් තොරතුරු අනුව සමහර ඇපල් වසරකටත් වඩා පරණය. දරුවකුගේ පළමුවැනි උපන් දිනයට ආනයනික ඇපල් ගෙන යන ඔබ නොදැනුවත්ව ගෙනියන්නේ එම දරුවා උපදින්නටත් පෙර ඔස්ට්‍රේලියාවේ - ඇමෙරිකාවේදී නෙළාගත් ඇපල්ය.

ඉම්පෝට් ඇපල් අමු වසක්. ඒවායේ විස යන්න පොත්ත රැහැල අයින් කරන්න ඕන. අපේ ලංකාවේ අය පුරුදු වෙලා තියෙන්නේ මෙච්චර ලංකාවේ රස ගුණ පලතුරු තියෙද්දි මාස ගණන් පරණ පලතුරු කන්න පිටරටින් ගේන පලතුරුවලට ඒවා කල් තියාගන්න යොදන රසායන ද්‍රව්‍ය නිසා හට ගන්නා රෝග කොච්චරද? සමහර රටවලින් එන ඇපල්වලට ගහන රසායන ද්‍රව්‍ය පිළිකා කාරක නිසා ඇතැම් රටවල් ඇපල් තහනම් කරලා තියෙනවා. අපේ මේ ලංකාවේ ඇපල් වෙ‍ෙළඳපොළට එන්නේ කිසිම රසායන ද්‍රව්‍යයක් ස්ප්‍රේ කරන්නේ - එන්නත් කරන්නේ නැතුව. ගහට දාන්නේ කාබනික දියර පොහොර විතරයි.

ඩොලර් අර්බුදයත් සමඟ දැන් පිටකොටුවේ අඩුම මිලකට ඇති ඇපල් ගෙඩියක මිල රුපියල් 220 ක් ටත් එහාය. සුවඳවත් අමෙරිකන් හා ඔස්ට්‍රේලියාවේ ඇපල් ගෙඩියක් රුපියල් 650කට වැඩිය. එහි පොත්ත වාහනයක පින්තාරුව වානිෂ් කළා වගේ අඳුරු රතු පැහැයක් යුක්තයි. එදා රුපියල් 100කට හොඳ ඇපල්

ගෙඩි හතර පහක් ගන්නට තිබුණත් දැන් භාගෙට කුණු වුණ පැත්ත කපා ඉවත් කොට ඇති ඇපල් ගෙඩි 5ක් අලෙවි වන්නේ රුපියල් 150කට පමණය. ඒ කැලි 5 එකතු කළොත් යන්තම් හොඳ ඇපල් ගෙඩියක බරට සමාන විය හැකිය. ගිය බ්‍රහස්පතින්දා සවස් වන විට සුපර්මාකට්වල කොළ ඇපල් කිලෝවක මිල රුපියල් 2230කි. දොඩම් කිලෝවක මිල රුපියල් 2470කි. අපි දොඩම් කීවාට මේවාට ලෝක වෙ‍ෙළඳ පළේ කියන්නේ මිරින්ඩා කියාය. රතු ඇපල් කිලෝවක මිල වූයේ රුපියල් 1980 කි. ඒත් මේවා ඉහළම ප්‍රමිතියේ ඒවා නොවේ. මේ කිලෝවකට ගෙඩි 4 කට වැඩිය අල්ලන්නේ නැහැ. 

ඒ කියන්නේ දැන් සුපර් මාකට්වල හොඳ කොළ ඇපල් ගෙඩියක මිල රුපියල් පන්සියයක් පමණ වෙයි. සමහර විට මේ කොළ ඇපල් ගිය අවුරුද්දේ නත්තලට කැඩූ ඒවා වුවද විය හැකිය. එහෙත් අපේ ගල්ගමුව තඹුත්තේගම හැදුණු වැඩුණු වස විස නැති ඇපල් ගෙඩියක් මිල වන්නේ දැන් නම් කිලෝවක්ම රුපියල් 1000කටත් අඩු මිලකි.

මෙම ඇපල්වල විශේෂත්වයක් වන්නේ අමු ඇපල් ගෙඩියක් මෙන්ම ඉදී වැඩුණු ගෙඩියකට වඩා මෝරාගෙන එන මධ්‍යම ප්‍රමාණයේ ඇපල් ශීතකරණයක තබා දින 14ක් තබා ගත හැකි වීමය. ශීතකරණයක නොතබා නැවුම් ගතිය ඇපල් ගෙඩියක පවතින්නේ දින 5ක් 7ක් පමණ කාලයකි. ලක්ෂ්මන් කුමාර මේ ග්‍රීන් ඇපල් මසං ව්‍යාපෘතියට දැනට වැය කොට ඇති මුදල කෝටි දෙකකට ආසන්නය. ලක්ෂ්මන් මෙන්ම අසංකද හිතවත් වීමට ප්‍රධාන හේතුවක් වුයේ ඔවුන් දෙදෙනාම 'බොන්සායි පැළ' රසිකයන් වීම නිසාය.

දැනට මෙම ව්‍යාපෘතියේ වැඩ කරන සේවක සංඛ්‍යාව 7කට අධිකය. ඡායාරූපවල දැක්වෙන ඇපල් නෙළනා යුවතිය ගයනී මධුමාලිය. ඈ අසංකගේ බිරියය. මුලින්ම පලදාව නෙළන්න පටන් ගත්තේ එයා තමයි. අසංක ලයනල් අප සමඟ කිවේ සිනාසෙමිනි. ඒ සමඟම අසංක අපට කිවුවේ මේ ග්‍රීන් ඇපල් මසං බැංකොක් හා තායිලන්තයේ බහුලව වැවෙනා පලතුරක් බවය. අපට ඊළඟට දැනගන්න අවශ්‍ය වූයේ මේ ඇපල් ගෙඩියේ ඇට පැළ වෙනවාද කියාය.

"මේකේ තියෙන්නේ වෙරලු ඇටයක් වගේ පැතැලි ඇටයක් ඒක පැළ වෙන්නේ නැහැ. එතකොට මේ පැළයක් අරන් ගිහින් කෝට්ටේ - නුගේගොඩ - පනාගොඩ වගේ පැත්තක වුණත් පැළ කරන්න පුළුවන්ද?." මේ ඇපල් විශේෂය ලංකාවේ ඕන තැනක සරුවට වැඩෙනවා. හරියට සාත්තු කළොත් ගහකින් කිලෝ දහයකට වඩා එක සැරෙකට නෙළන්න පුළුවන්. අඩි 2 1/2 පළල අඩි 3ක් උස පෝච්චියක වුණත් වවන්න පුළුවන්"

දැන් මේ ලංකාවේ ඇපල් ව්‍යාප්පෘතියට විදේශීය ආයෝජකයන් කිහිප දෙනකුද සම්බන්ධ වීමට මනාපය පළ කොට ඇත්තේ තඹුත්තේගම වගාව ඇති ස්ථානයද බැලීමෙන් පසුවය. පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් මේ ඇපල් රස බැලූ පසු තඹුත්තේගම ගලිගමුව මැදගම පිහිටි මේ වගාව බලන්න එන බව පවසා ඇත. මෙහි දැනට වගා කොට ඇති පැළ සංඛ්‍යාව 580කි.

දැන් මේ ඇපල් ව්‍යාපෘතියේ ඊළඟ පියවර වී ඇත්තේ 'රතු ඇපල්' ලංකාවේ දේශගුණයට සරිලන ආකාරයේ ප්‍රභේදයක් හඳුන්වා දීමට පර්යේෂණ පැවැත්වීමය. අසංක ලයනල් අපට පුන පුනා කිවේ ලක්ෂ්මන් කුමාර නොවන්නට මෙවැනි ව්‍යාපෘතියක් සපල කර ගැනීමට නොහැකි වන බවය. මං උපන්නේ උස්ගල - සියඹලාගමුවේ. ලක්ෂ්මන් කුමාර වරකාපොල ව්‍යාපාරිකයෙක්. අපි දෙන්නගේම මවුපියෝ ගොවිතැන් කරපු උදවිය.

අප පසුගිය බ්‍රහස්පතින්දා කතා කරන විට මේ ලංකාවේ ග්‍රීන් ඇපල් මසං සඳහා පළමු අලෙවි කුටිය ලැබි තිබුණේ කාගිල්ස් ෆුඩ් සිටියෙනි. ඒ ඔවුන්ගේ 500 වැනි ෆුඩ් සිටිය විවෘත කිරීම වෙනුවෙනි. ලංකාවට වසරකට ආනයනය කරන ඇපල් තොගය කිලෝ ග්‍රෑම් මිලියන 20කට වැඩි බව ගණන් බලා තිබේ.

"පිට රටින් ඇපල් ගේන්න අවුරුද්දකට කොටි ගාණක් විදයම් කරනවා. දැන් ඩොලර් නැති නිසා ඇපලුත් රටින් ගේන එක අඩුයි. අපි කියන්නේ අපට මේ වගාව ව්‍යාප්ත කරන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහාය දෙන්න. පර්යේෂණවලට ආණ්ඩුවට පුළුවන් අපට ඕන ඉඩම් ටික දෙන්න"

ලක්ෂ්මන් කුමාරත්, අසංක ලයනල් අපට පවසා සිටියේ තමන්ට සහාය දෙන්නේ නම් රස ගුණ පිරි වස විස නැති දේශීය ඇපල් රටේ අනාගත දරුවන්ට මෙන්ම ජනතාවට ලබා දිය හැකි බවය. ඊටත් වඩා ඇපල් ආනයනයට වැය වන කෝටි සංඛ්‍යාත මුදලත් මෙරට රඳවා ගත හැකිය. මේ නව ඇපල් ව්‍යාපෘතියට අවසන් වශයෙන් අප ආශිර්වාද කළේ බිබිලේ දොඩම් වගාවට අත්වූ ඉරණම අත් නොවේවා යනුවෙනි.

ඡායාරූප - සමන්ත ධර්මකීර්ති, තලාව සහ සමන් ශ්‍රී වෙදගේ

Comments