රක්ෂණ වන්දි ගන්න ගඟට පැන්න පොලී මුදලාලි | Page 2 | සිළුමිණ

රක්ෂණ වන්දි ගන්න ගඟට පැන්න පොලී මුදලාලි

- සිරුර හමු වුණේ නිල්වලා අතු ගංගාවකින් 
- පෙනහලුවල වැලි සහ ජලජ ශාක අපද්‍රව්‍ය
- දියේ ගිලෙන විට පණපිටින් සිටි බව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී තහවුරු වෙයි

ගිරිගෝරිස් පනස් පස් හැවිරිදි වියේ පසු වූ අයෙකි. ඔහු මුදල් පොලියට දීම රැකියාව වශයෙන් කළේය. ගිරිගෝරිස් මුහුදුකරය ආශ්‍රිත ගම්මානයක පදිංචිව සිටියේය. ඔහුගේ නම කියු සැණින් එම පළාතේ ඔහු ගැන නොදන්නා කෙනෙක් නොමැති තරම්ය. ඔහුට 'ගිනි පොලීකාරයා' වශයෙන් ද නම් පැට බැඳ තිබුණි. ගිරිගෝරිස් මුදලාලි කුම්මැහියෙකු වූ අතර ඔහු අාහාරපාන සඳහා ද එතරම් මුදලක් වැය කළේ නැත. ඔහු අත කොතරම් මුදල් තිබුණද ඔහු මුදල් වියදම් කළේ ගණන් මිනුම්වලට අනුවය. 

ගිරිගෝරිස් මුදලාලිගෙන් පොලියට මුදල් ගැනීම සඳහා ගම්මු පමණක් නොව නා නා මාදිලියේ අය පැමිණියහ. ඔහු එසේ එන හැම කෙනෙකුටම මුදල් පොලියට දුන්නේ නැත. හොඳට සොයා බලා තමන්ගේ හිතට හරියන අයට පමණක් ඔහු පොලියට මුදල් දුන්නේය. එහෙත් සති කිහිපයක සිට ගිරිගෝරිස් මුදලාලි තම බිරිය සමඟවත් වැඩි කතාබහක් කළේ නැත. ඔහු වැඩි කාලයක් නිවසේ සාලයේ තිබූ පුටුම මතට වී කල්පනා කරමින් සිටියේය.

“ඔයාට මොකක්ද වලා තියෙන්නේ... බැලුවොත් ඇත්නම් හාන්සි පුටුවට වෙලා අහස පොළව ගැටලන්න වගේ කල්පනාව“ යැයි බිරිය ගිරිගෝරිස් මුදලාලිගෙන් ඇසුවේය.

“මේ තමුන්ගේ වැඩක් තමුන් බලා ගන්නවා... මට තියෙන ප්‍රශ්නේ මම තමයි දන්නේ“ යැයි ගිරිගෝරිස් මුදලාලි තරහින් පුපුරමින් කීවේය.

සැමියාගේ හැටි හොඳින් දන්නා බිරිය ඊට වැඩි යමක් ඔහු සමග කතාබස් කිරීමට ගියේ නැත.

දින කිහිපයක සිට ගිරිගෝරිස් හිටියේ දැඩි කලකිරීමෙනි. ඔහු මේ ගැන කාටවත් නොකීවද ප්‍රශ්න වැලක පැටළී සිටියේය.

එක් දිනක උදෑසන ගිරිගෝරිස් මුදලාලි පොලියට මුදල් ලබා ගැනීමට පැමිණ අයකු සමඟ කථාබස් කරමින් සිටියේය. ඔහු ඉල්ලූ මුදල පවා ගිරිගෝරිස් මුදලාලි එම පුද්ගලයාට ලබා දුන්නේ නැත.

“මෙච්චර සල්ලියක් පොලියට දෙන්න කොහේ තියෙන සල්ලිද බං“ යැයි ගිරිගෝරිස් මුදලාලි එම පුද්ගලයාට කිවේය. මේ අතරතුරේ ගිරිගෝරිස් මුදලාලිට යම් කිසි අයකුගෙන් දුරකතන ඇමතුමක් ලැබුණේය.

ඉන්පසු ගිරිගෝරිස් මුදලාලි තම යතුරුපැදියේ නැඟී නිවසින් පිටත්ව ගියේය. තමන් යන ගමන ගැන පවා ගිරිගෝරිස් මුදලාලි බිරියට සහ දූ දරුවන්ට කීවේ නැත. නමුත් එදින රාත්‍රියේ ගිරිගෝරිස් යළි නිවසට පැමිණියේ නැත. බිරිය සහ දූ දරුවන් ගිරිගෝරිස් ගැන සොයා බැලූවද ඔහු ගැන කිසිම තොරතුරක් දැන ගැනීමට හැකි වූයේ නැත. දින දෙක තුනක් ගතවිය. එහෙත් ගිරිගෝරිස් මුදලාලි නිවසට පැමිණියේ නැත. ඔහුගේ අතුරුදන් වීම ගැන බිරිය විසින් පොලිසියට ගොස් පැමිණිල්ලක්ද කළාය.

ගිරිගෝරිස් කිසියම් පිරිසක් විසින් මරා දමා ඇති බවට ඒ වන විටත් ගම පුරා කටකතා පැතිරි යමින් තිබුණි. දින තුන හතරකට පමණ පසු ගිරිගෝරිස්ගේ යතුරුපැදිය නිල්වලා ගඟේ අතු ගංගාවක් ආසන්නයේ ඇති මාර්ගයක තිබී පොලිසිය විසින් සොයා ගනු ලැබීය. එහෙත් ගිරිගෝරිස් ගැන කිසිම තොරතුරක් පොලිසියට සොයා ගැනීමට හැකි වූයේ නැත. ඉන් දින දෙකකට පමණ පසු මෙකී අතු ගංගාවේ තිබී නාඳුනන අයකුගේ මළ සිරුරක් ගොඩබිමට ගොඩ ගසා තිබිණි. එම මළ සිරුර ගිරිගෝරිස්ගේ බවට ඔහුගේ ඥාතින් විසින් හඳුනාගනු ලැබීය.

ගිරිගෝරිස් මුදලාලි මරා ගඟට ගිහින් දැම්මාද? ඔහු මියගියේ කෙසේද? නොඑසේනම් ගිරිගෝරිස්ව කිසිවකු විසින් ගඟට තල්ලු කළාද? නැතිනම් ගඟට පැන දිවි හානි කරගත්තාද යන්න ප්‍රශ්න රැසක් මතු විය. ගිරිගෝරිස්ගේ මළ සිරුර මාතර රෝහලට රැගෙන එනු ලැබීය. පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරනු ලැබුවේ එවකට මාතර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වශයෙන් කටයුතු කළ අජිත් රත්නවීරය. අධිකරණ වෛද්‍යවරයා ගිරිගෝරිස්ගේ සිරුර බාහිරව පරීක්ෂා කරනු ලැබීය. එහෙත් කිසිම පහර දීමකින් වෙඩි තැබීමකින් සහ පිහි ඇනුමකින් ඇතිවන තුවාල ගිරිගෝරිස්ගේ සිරුරේ දක්නට ලැබුණේ නැත. ගිරිගෝරිස් දියට වැටෙන විට ඔහු මියගොස් සිටියේද නැද්ද යන්න පිළිබඳ දැනගැනීමට අධිකරණ වෛද්‍යවරයාට අවශ්‍ය විය. ඒ වන විටත් ඔහුගේ මළ සිරුර නරක් වෙමින් තිබුණි. ඔහුගේ පෙනහලුවලට වතුර යාම නිසා පෙනහලුද ඉදිමී තිබුණි. අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීර පෙනහලු පිළිබඳ පටක පරීක්ෂණයක් සිදු කරනු ලැබීය. ශ්වසනාලය දිගේ ගිය වැලි සහ ජලජ ශාක කොටස් වැනි අපද්‍රව්‍ය පෙනහලුවල තැන්පත් වී ඇති බැව් පටක පරීක්ෂාවේදී තහවුරු විය. 

“පෙනහලුවලට බාහිර ද්‍රව්‍ය ඇතුළත් වෙනවා කියන්නේ මෙම පුද්ගලයා වතුරට වැටෙනකොට හුස්ම ගන්න ඕන. ඒ කියන්නේ මෙයා දියට වැටෙනකොට ඉඳලා තියෙන්නේ පණ පිටින් මියගිය කෙනෙකු දියට වැටෙනකොට හුස්ම ගන්න බැහැනේ. එවැනි පුද්ගලයකුගේ පෙනහලුවලට බාහිර අපද්‍රව්‍ය යන්න බැහැ. ඒ අනුව අපි තීන්දු කළා මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ දියේ ගිලීමෙන් බව. නමුත් තවත් ප්‍රශ්නයක් පැන නැඟුණා. මොහු වතුරට වැටුණේ කොහොමද කියලා. ලිස්සලා වැටුණද. කෙනෙක් තල්ලු කළාද කියලා. ඒක අපට තහවුරු කරන්න බැහැ.“ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීර කීවේය.

පොලිසිය ගිරිගෝරිස් දියේ ගිලීමට හේතුව පසුව අනාවරණය කර ගනු ලැබීය. ගිරිගෝරිස් මුදලාලිට පොලි මුදල් නොලැබීම පිළිබඳ ප්‍රශ්න ද තිබිණි. ඒ විතරක් නොව ඔහු ඒ වන විටත් විශාල ණය උගුලක සිරවී සිටියේය. මේ නිසා ගිරිගෝරිස් මුදලාලි ප්‍රධාන පෙළේ රක්ෂණ ආයතන තුනකින් විශාල මුදලක් ගෙවා ජීවිත රක්ෂණ තුනක් ලබාගෙන තිබිණි. එක් දිනක් ගිරිගෝරිස් මුදලාලි මෙම රක්ෂණ ආයතන තුනේම නියෝජිතයින්ට කතා කළේය.

“මා මියගියහොත් මාස තුනක් ගියාට පසු මගේ පවුලේ අයට ප්‍රතිලාභ ලැබෙනවාද“ කියා ගිරිගෝරිස් මුදලාලි ඇසුවේය.

“රක්ෂණ ඔප්පුවේ සඳහන් ආකාරයට ප්‍රතිලාභ ලැබෙනවා.“ රක්ෂණ නියෝජිතයාගේ පිළිතුරු විය.‍

ගිරිගෝරිස් මුදලාලි මුහුණ දුන් ප්‍රශ්න නිසා මොහු දියට පැන දිවි හානි කරගෙන තිබූ අතර පවුලේ අයට රක්ෂණයෙන් විශාල මුදලක් ලබා දීමත් ගිරිගෝරිස්ගේ තවත් අරමුණක් විය.

( මිට වසර 07කට පමණ ඉහතදී මාතර ප්‍රදේශයෙන් මෙම සිද්ධිය වාර්තා විය)

Comments