
- ඝාතනය වූ නිරංජනීගේ සිරුරේ පිහි පහර 31ක්
- සැකකරු ඇගේ ඥාති මාමා කෙනෙක්
- සැකකාර අනියම් පෙම්වතා පිහියත් සමඟ අත්අඩංගුවට
- කුලියාපිටියෙන් වඳුරඹටත් එතැනින් පන්නලටත් ආ නිරංජනී දිවිසැරිය නිම කරන්නේ පන්නල නවාතැනකදී
පාතාල අපරාධකාරයන් සිදුකරන මිනිස් ඝාතනවලට අමතරව සිදුවන මිනීමැරුම්වලද කෙළවරක් නැත. දිනෙන් දින රටේ හතර දිග්භාගයෙන් ම වාර්තා වන්නේ හද කම්පා කරවන ඝාතන ගැන තොරතුරුය. ක්ෂණික කෝපය සහ ඇතැම් මිනිසුන් අමනුෂ්‍යයන් විලසින් හැසිරීම මෙසේ මිනිස් ඝාතනවලට මූලික හේතුව බව පොලිස් විමර්ශනවලින් ද අනාවරණය වී ඇත. පවුල් ආරවුල් නිසා ද මෑත කාලයේ මිනිස් ඝාතන රැසක් සිදු විය. විශේෂයෙන් ම ඒ සඳහා හේතු පාදක වන්නේ ගැහැනු - පිරිමි භේදයකින් තොරව අනියම් සබඳතාවන් සේම මත්ද්‍රව්‍ය නැතිනම් මත්පැන් ආශ්රිත විෂමාචාර ක්රියාවන්ය.
පසුගිය 17 වැනිදා අලුයම පන්නල නගර මධ්‍යයේ තෙමහල් ගොඩනැඟිල්ලක පිහිටි කුලී නිවාසයක් ඇතුළේ කාන්තාවක ඝාතනය කර තිබිණි. වින්ද්‍යා නිරංජනී නමැති මේ කාන්තාව ඝාතනය කර තිබුණේ ඇගේ සිරුරට පිහි පහර 31ක් පමණ එල්ල කරමිනි. 17 වැනිදා අලුයම මෙසේ නිරංජනී ඝාතනය කළ ඇගේ අනියම් සැමියා වන පියතිලක නමැති සැකකරු පසුදා එනම් 18 වැනිදා සවස අත්අඩංගුවට ගැනීමට පන්නල පොලිසියට හැකි වූයේ උපක්‍රමයක් යොදා ඔහු පොලිසිය ඇතුළටම ගෙන්වා ගනිමිනි.
ඉතා කුරිරු ලෙස වින්ද්‍යා නිරංජනී ඝාතනය කිරීමේ එම ශෝචනීය පුවත පන්නල පොලිස් පොතේ සටහන් වන්නේ මෙසේය.
දිසානායක මුදියන්සේලාගේ වින්ද්‍යා නිරංජනී දිසානායක 38 හැවිරිදි වියේ පසු වූවාය. කුලියාපිටිය, වීරඹුව, අක්කර 24 ප්‍රදේශයේ පදිංචිකාරියක වන නිරංජනී නීත්‍යනුකූලව විවාහ වී සිටි සැමියා මීට වසර කීපයකට පෙරදී මිය පරලොව ගියේය.
ඇයට එම විවාහයෙන් අවුරුදු 17ක දියණියක සහ අවුරුදු 13ක තරම් වයසක පසුවන පුතෙක්ද සිටී. සැමියාගේ වියෝවෙන් පසු ඇය ආදර සම්බන්ධතාවට පැටළිණි. ඔහු ‘ප්‍රසන්න‘ය. ප්‍රසන්න ගාල්ල, වඳුරඹ, මැද කීඹිය ගමේ පදිංචි අයෙකි. නිරංජනී දරුවන්ද පුංචි අම්මා ළඟ තබා ප්‍රසන්න සමඟ දීග ගියේය. ඒ අනුව ඇය කුලියාපිටියෙන් පිටවී ප්‍රසන්නගේ ගම් පළාත වන ගාල්ල, වඳුරඹ, මැද කීඹිය ගමට පදිංචියට ගියේ නව දිවියක් ඇරැඹීමේ බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙනය. ඇයට එම විවාහයෙන් මේ වන විට කුඩා දරුවෙක් සිටින්නීය.
නිරංජනීගේ ජීවිතය කබලෙන් ළිපට වැටෙන්නේ ප්‍රසන්න ‘නරුමයෙක්‘ විලසින් හැසිරෙන පුද්ගලයකු වූ නිසාය. මුල් විවාහයේ දරුවන්ද අමතක කොට ප්‍රසන්න සමඟ පැමිණි නිරංජනී ගාල්ල, වඳුරඹ ඔහුගේ නිවෙසේ කිරි සප්පයකු සමඟ අපා-දුක් වින්දාය. ඒ නිරංජනීට ප්‍රසන්න ‘දස වධ‘ දුන් නිසාය. සැමියාගෙන් එල්ල වන තාඩන පීඩන මධ්‍යයේ ඇය ඔහු සමඟ ගෙවූ එම කටුක දිවියේදී ඇතිවූ ගැටුම් වඳුරඹ පොලිස් පොතේද කීප වරක්ම සටහන් විය. ඒ සැමියා වන ප්‍රසන්නට විරුද්ධවය. වරක් ප්‍රසන්න, නිරංජනී පුටුවක ගැට ගසා ඇයට වධ හිංසා දෙමින් වීඩියෝ දුරකතන ඇමැතුමක් ගෙන තිබුණේ විදෙස් රටක සිටින නිරංජනීගේ මවටයි. එම දුරකතන ඇමැතුමෙන් ඔහු තර්ජනය කර තිබුණේ මුදල් එවන්නේ නැතිනම් නිරංජනී ඝාතනය කරන බවටය.
එසේ වධ හිංසා විඳිමින් කටුක දිවියක් ගත කළ නිරංජනීගේ දිවියට ඉන් අනතුරුව ළං වූයේ 41 හැවිරිදි කවිතිගේ චමින්ද පියතිලකයි. පියතිලක, ප්‍රසන්නගේ මවගේ සහෝදරයෙකි. ඔහුගේ බිරියද මිය ගොසිනි. ඔහුටද වයස අවුරුදු 12ක දරුවෙක් සිටී. ප්‍රසන්නගේ මාමා වන පියතිලක, නිරංජනී විඳින කුරිරු දිවිය ගැන බොහෝ සේ විස්සෝපයෙන් පසු වූයේය. ටිකෙන් ටික පියතිලකට ළංවූ නිරංජනී ඔහු සමඟ පෙම් පළහිලව්වකට මුල පිරුවාය.
දිනක් නිරංජනී, පියතිලක සමඟ වඳුරඹ නිවෙසින් පලා ගියේ කුඩා දරුවාද ප්‍රසන්නගේ මාපියන් ළඟ තනි කරමිනි. ඒ, මීට වසරකට පමණ පෙරදීය. දෙදෙනා වඳුරඹින් පලා ආවේ පන්නල ප්‍රදේශයටය. නිරංජනී ප්‍රසන්නගේ මාමා, පියතිලක සමඟ එලෙස පන්නලට පැමිණීම ඇගේ මාපියන් ඇතුළු ඥාතින් හිතෛෂින්ද දැන ගත්හ. නිරංජනීගේ මව ඒ වන විට ද සිටියේ විදෙස්ගතවය. ඇය මෙරටට පැමිණියේ නිරංජනීගේ ඝාතනයෙන් පසුදාය.
“මං විඳපු දුකෙන් පියතිලක මාමා මාව ගලවා ගත්තා... එයා මාව ඒ අපායෙන් බේරගෙන පන්නලට එක්කගෙන ආවා... නැත්නම් මම අර නරුමයගෙන් මැරුම් කාලා... පියතිලක මාමා මට පන්නලින් ඉන්න බෝඩිමකුත් හොයලා දුන්නා... රස්සාවකුත් හොයලා දුන්නා... එයා මට පුදුම විදිහට උදවු කළේ...“ යැයි නිරංජනී සිය ඥාතින් එලෙස දැනුවත් කළාය. එහිදී ඇය ඥාතින් දැනුවත් කිරීමට වග බලාගෙන තිබුණේ ‘පියතිලක මාමා‘ සමඟ පවුල් දිවියක් ගත කරන බව නොසඟවමිනි. පියතිලක පන්නල නගර මධ්‍යයේ තේපැන් අවන්හලක රැකියාවක් කළේය. නිරංජනී දංකොටුව ප්‍රදේශයේ ප්ලාස්ටික් වෙළෙඳසලක රැකියාවකට ගියාය.
එසේ දින කීපයක් ගතවෙද්දී නිරංජනී සිය ඥාතින් දැනුවත් කරන්නේ පියතිලක මාමා ඇයව විවාහ කරගැනීමට කැමැති බව කියමින් ඇයට කරදර කරන බව සඳහන් කරමිනි. වසරක පමණ කාලයකදී දෙදෙනා කුලී නිවාස තුනක පමණ අඹු-සැමියන් ලෙස කල් ගත කර තිබිණි. පියතිලක, නිරංජනීට හදවතින්ම ආදරය කෙළේය.
පියතිලක, නිරංජනීට බොහෝ සේ ආදරයෙන් බැඳී සිටියේය. ඇය ආසා කරන කරන ස්ථානවලටද ගෙන ගියේය. දෙදෙනා එලෙස එක්ව සංගීත ප්‍රසංගද නරඹන්නට ගියෝය. නිරංජනී ආසා කරනා කෑම බීමද සාදා දෙමින් පියතිලක ඇයව සතුටෙන් ‘මලක්‘ සේ බලා ගත්තේය. නිරංජනී රූපලාවණ්‍ය කටයුතුවලටද කැමැත්තක් දැක්වූවාය. ඇගේ රූපශ්රිය ගැන හිතා පියතිලක සෑම දිනෙකම පාහේ අලුයම තුනට හතරට නැඟිට ඇය රැකියාවට යාමට පෙර ඇයට කෑම සඳහා එළවළු ආදියද තම්බා දුන්නේ සතුටු සිතිණි. දෙදෙනා එලෙස ගෙවූයේ ආදරබර දිවියකි.
මේ දෙදෙනා සිය තුන්වැනි නවාතැන් පොළ ලෙස අවසන් වරට ජීවත් වූයේ පන්නල නගර මධ්‍යයේ ප්‍රසිද්ධ රාජ්‍ය බැංකුවක් ඉදිරිපිට තෙමහල් ගොඩනැඟිල්ලේ තුන්වැනි මහලේ නවාතැන් නිවෙසකය.
දිනය ඉකුත් 16 වැනිදා සවස් යාමයයි. පියතිලක සහ නිරංජනී රැකියාවලට ගොස් නවාතැන් පොළට පැමිණියා පමණි. පියතිලක නිවෙසට එද්දී නිරංජනී රැකියාවට ගොස් පැමිණ සිටියාය. පියතිලකට නිරංජනීගේ හැසිරීමේ වෙනසක් පෙනිණි. ඔහු ඒ ගැන සෝදිසියෙන් පසු විය. ඒ අතරේ පියතිලක, නිරංජනීගේ ජංගම දුරකතනය පරීක්ෂා කරද්දී ‘රහස‘ අතටම හසු විය.
“ඇයි... ඔයා මට මෙහෙම කරන්නේ...?“ පියතිලක බැගෑපත් වෙමින් නිරංජනීගෙන් විමසුවේය.
“ඔයා මගේ දේවල්වලට ඇඟිලි ගහන්නේ නැතුව ඉන්නවද... ඔයා... ඔයාගේ පාඩුවේ ඉන්න... මං ඒ දේවල් බලාගන්නම්...“ යැයි පවසමින් කේන්තියෙන් පිපිරෙමින් නිරංජනී, පියතිලක වෙත කඩා පැන්නාය.
අනතුරුව දෙදෙනා නොහොඳ නෝක්කාඩුවෙන්ම නින්දට ගියෝය. පසුදා එනම් 17 වැනිදා අලුයම සුපුරුදු පරිදි පියතිලක නින්දෙන් අවදි වූයේ නිරංජනීට කෑමට රැගෙන යාම සඳහා එළවළු තැම්බීම සඳහාය. පියතිලක අවදි වනවාත් සමඟම නිරංජනීද අවදි වූවාය.
“මට එළවළු තම්බන්න එපා... මට ඕන එළවළුවක් නෑ... තමුසෙ යනවා යන්න... ආයෙ මෙහෙ එන්න ඕන නෑ... මට තමුසෙත් එක්ක තිබුණ හැම දෙයක්ම අදින් ඉවරයි...“ යැයි නිරංජනී කියන්නට වූයේ ආවේගයෙන් මෙන් හැසිරෙමිනි.
එම වදන් පෙළත් සමඟින් පියතිලක මරාවේශ විය. ඔහුගේ අතට හසු වූයේ පිහියකි. එම පිහිය අතට ගත් පියතිලක ඉවක් බවක් නොමැතිව නිරංජනීගේ මුළු සිරුර පුරාම පිහි පහර එල්ල කෙළේ හිත්පිත් නැත්තෙකු විලසිනි. ඒ සමඟම නිරංජනීද මරළතෝනි දෙමින් කෑ ගසමින් පියතිලකගේ ඇඟේ එල්ලුණාය. ඒ අතරේ පිහියද කැඩී ගියේය. ඒ සමඟම තවත් පිහියක් අතට ගත් පියතිලක, නිරංජනීට කිසිවක් සිතන්නටවත් ඉඩ නොතබා ඇයට තවත් පිහි පහර කීපයක්ම එල්ල කෙළේ නිරංජනී සදහටම නිහඬ කරවමිනි.
නිරංජනීට පිහි පහර එල්ල වෙද්දි ඇය විලාප තැබුවත් එම විලාපය යාබද නිවෙස්හි සිටි අයට ඇසුණත් කිසිවෙක් නිරංජනී බේරා ගැනීමට ඇගේ නිවෙසට පැමිණියේ නැත.
එහෙත් නිරංජනීලා විසූ කුලී නිවෙසට යාබද කාමරයක සිටි කාන්තාවක නිරංජනීලාගේ නවාතැන් පොළට ඉදිරිපස කාමරයක වෙසෙන තරුණයකුට කතා කළේය. ඒ අතරේ නිරංජලී විලාප දුන්නාය.
“අනේ මාව බේර ගන්න... බේර ගන්න...“ යැයි ආයාචනය කරමිනි.
එම විලාප ශබ්දය අසාගෙන සිටීමට නොහැකි වූ තැන යාබද නවාතැනෙහි තරුණයා දිව ගියේ ඊට මීටර් 150ක් පමණ දුරින් පිහිටි පන්නල පොලිස් ස්ථානය වෙතය. ඒ වන විට පන්නල පොලිසියේ ජංගම මුර සංචාරක රථය නිලධාරින් සිය පොලිස් වසමේ සැරිසරා පොලිසියට පැමිණියා පමණි. එසැණින් එම නිලධාරි කණ්ඩායම සිද්ධිය වූ ස්ථානයට ගියේය.
ඒ සමඟම පොලිස් ස්ථානයේ තිබූ 1990 සුවසැරිය රථයද නිරංජනී පිහි පහර කා සිටි ස්ථානයට ගියේය. 1990 සුව සේවක පිරිස පිහි පහර කා ලේ විලක් මැද වැටි සිටි නිරංජනීගේ සිරුර පරීක්ෂා කර කීවේ ඇය මිය ගොස් ඇති බවයි.
අනතුරුව පන්නල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් ආරියරත්න ප්‍රදේශය භාර ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරින් එම ඝාතනය පිළිබඳව දැනුවත් කෙළේය. ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරින්ගේද උපදෙස් මත පොලිස් ස්ථානාධිපතිවරයා ඒ මොහොතේ පන්නල පොලිසියේ වැඩ බලන අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ පොලිස් පරීක්ෂක ගුණරත්න බණ්ඩා ප්රමුඛ කණ්ඩායම අදාළ ස්ථානය වෙත යොමුකොට මූලික විමර්ශන සිදු කළේ පලා ගිය සැකකරු ද සොයා විමර්ශන අරඹමිනි.
කුලියාපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ජෙනී අමරසිංහ නිරංජනීගේ සිරුර පරීක්ෂා කළේ ස්ථානීය පරීක්ෂණයක්ද සිදු කරමිනි. මහේස්ත්‍රාත්වරිය ඉන් අනතුරුව නියෝග කළේ මළසිරුර කුලියාපිටිය රෝහල වෙත යොමුකොට පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලෙසටයි. ඒ අනුව මරණය පරීක්ෂණය කුලියාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩී. කේ. විජේවර්ධන විසින් සිදුකළ අතර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නිකුත් කළ වාර්තාවේ සඳහන් වූයේ නිරංජනීගේ සිරුරේ පිහි පහර 31ක් පමණ තිබුණු බවයි. ඇයගේ වම් වකුගඩුවද කැපී ගොස් තිබූ බව එම වාර්තාවේ සඳහන් විය.
නිරංජනීගේ ඝාතකයා සොයා පන්නල පොලිස් නිලධාරින් පුළුල් විමර්ශනයක් ආරම්භ කරන්නේ ඉන් අනතුරුවය. පොලිසිය නිරංජනීගේ ඝාතකයා ඇය සමඟ එම නිවෙසේ වාසය කළ පියතිලක බව හඳුනාගෙන ගත්තේය. ඒ වන විට සැකකාර පියතිලක ප්‍රදේශයෙන් පලා ගොස් සිටියේය. අනතුරුව පොලිසිය ඔහු සේවය කළ අවන්හලේ හිමිකරු සමඟ එක්ව පියතිලකට දුරකතන ඇමැතුම් දෙමින් ඔහුව පන්නලට ගෙන්වා ගැනීමට දැලක් එළූහ. ඒ අනුව පියතිලක ඉකුත් 18 වැනිදා සවස සිය සේවා ස්ථානයේ හිමිකරු සමඟ පැමිණ පන්නල පොලිසියට භාර විය.
නිරංජනීගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් පියතිලක පොලිස් නිලධාරින් ඉදිරියේ පාපෝච්චාරණය කළේ ඉන් අනතුරුවය.
“සර්... මං නිරංජනීට පණ වගේ ආදරෙන් හිටියේ... ඒත් එදා ඔය සිද්ධිය වෙච්ච වෙලාවේ එයා මට කියපු කතාවලට වවන්නේ නැතිව ගියා... අන්තිමට මගේ හිතට ආපු ආවේගයත් එක්ක මේ දේ සිද්ධ වුණා...“ යැයි පියතිලක පොලිසියට කීවේය.
නිරංජනී ඝාතනයෙන් පසු තමන් කළ කී දෑ ගැන පියතිලක හෙළි කෙළේය.
“නිරංජනීට පිහියෙන් ඇනලා මාත් බෙල්ලෙ වැල දාගන්න හැදුවේ සර්... ඒත් ඒ වෙලාවේ මට මගේ දරුවා මතක් වුණා... මම හිතුවා දරුවා එක පාරක් හරි බලලා එන්න ඕන කියලා... පස්සේ මං ගෙයින් එළියට පැනලා පහළට දිව්වා... යන්නේ කොහේද... කරන්නේ මොකද්ද කියලා අරමුණක් තිබුණේ නෑ...“
නිරංජනී ඝාතනයෙන් පසු පියතිලක දිව ගියේ ආසන්නයේ තිබූ ක්‍රීඩාංගණයටය. ඔහු එම ක්‍රීඩාංගණයට ගියේ නිවෙසින් අමතර ඇඳුමක්ද රැගෙනය. ක්‍රීඩාංගණයේ කෙළවරකට ගිය පියතිලක, නිරංජනී ඝාතනය කළ මොහොතේ හැඳ සිටි ලේ තැවරුණු ඇඳුම් ගලවා තමන් රැගෙන ආ අමතර ඇඳුම් ඇඳ ගත්තේය. ඔහු ඉන් අනතුරුව යන්නේ පන්නල නගර මධ්‍යයේ පිහිටි හතරමං හන්දියටය.
ඒ වන විට අලුයම 4 පසු වූවා පමණි. පියතිලක හන්දියට දිව යන විටම අලුයම පන්නලින් කොළඹ බලා ධාවනය වන බස් රථයද ඉදිරියට එමින් තිබිණි. පියතිලක දෙවරක් නොසිතා කොළඹ බසයට නැග්ගේය. ඔහු එම බසයෙන් පිටකොටුවට පැමිණියේය. පිටකොටුවේ පැය කීපයක් ‘නන්නත්තාරව‘ සිටි ඔහු ඉන් අනතුරුව ගියේ සිය නැන්දම්මා ළඟ සිටින 12 හැවිරිදි වියේ පසු වන තමාගේ පුතු බැලීමටය.
ඒ අතරේ පියතිලක රැකියාව කළ ස්ථානයේ හිමිකරු පියතිලකට දුරකතන ඇමැතුම් කීපයක්ම ගත්තේ පොලිස් නිලධාරීන් සමඟ එක්වය. ඒ බව පියතිලක දැන සිටියේ නැත.
“සර්... මං දැන් ගාල්ලේ ඉන්නේ... මට පන්නලට එන්න සල්ලිවත් නෑ...“
දුරකතන ඇමැතුම් කීපයක්ම ගෙන ඔහුව පන්නලට ගෙන්වා ගැනීමට පියතිලකගේ හාම්පුතාට හැකි විය. ඒ සමඟම ඔහු පොලිස් අත්අඩංගුවට ගැනිණි.
නිරංජනීගේ ඝාතනයෙන් පසු තමන් ‘වස‘ පානය කළ බව පියතිලක කී නිසා ඔහු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට යොමු කරන ලද්දේ පොලිස් නිලධාරින් විසිනි.
අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පියතිලක රෝහල්ගත කෙළේය.
ඒ අතර විමර්ශන සිදුකළ පන්නල පොලිස් නිලධාරින් සැකකරු පියතිලක ගැන වැඩ බලන මහේස්ත්‍රාත්වරියට කරුණු වාර්තා කිරීමත් සමඟ මහේස්ත්‍රාත්වරිය පියතිලක රැඳි සිටි රෝහලට ගොස් ඔහු පිළිබඳව ස්ථානීය පරීක්ෂාවක් සිදුකරන තුරු සැකකරු රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.
ජීවිතයේ යථාර්ථය හඳුනා නොගත් නිරංජනීගේ දිවි ගමන අවාසනාවන්ත ලෙස නිම වූයේ ඇය වැදූ දරුවන් තිදෙනෙකුද මෙලොව තනිකොටය.
කුලියාපිටිය කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නෙරංජන් අබේවර්ධනගේ උපදෙස් මත කුලියාපිටිය කොට්ඨාස 3 සහකාර පොලිස් අධිකාරි අතුල අබේරත්නගේ අධීක්ෂණයෙන් පන්නල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් ආරියරත්නගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ඊ. එම්. ගුණරත්න බණ්ඩා, උපපොලිස් පරීක්ෂක අජිත්, සැරයන් 46207 එදිරිසිංහ, කාන්තා සැරයන් 6019 ළමාහේවා, කොස්තාපල්වරුන් වන 72069 මධුවන්ත සහ 29783 පෙරේරා යන නිලධාරිහු විමර්ශන සිදු කළහ.
ඡායාරූප - තාරක විජේවර්ධන
(කුලියාපිටිය සමූහ)