ජූරියේ ඒකමතික තීන්දුවෙන් පසු විත්තිකරුවෝ නිදොස්කොට නිදහස් | සිළුමිණ

ජූරියේ ඒකමතික තීන්දුවෙන් පසු විත්තිකරුවෝ නිදොස්කොට නිදහස්

ක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආර්ථික විශේෂඥයකු වූ චන්ද්‍රසේකර ඩයස් පාණදුර 'අමිර්තගිරි' නිවසේදී අබිරහස් ලෙස මියයාම ඉතිහාසයට එක්වුණ අනූවේදනීය සිද්ධියකි. 1979 අගෝස්තු 30 දින සිදු වු මෙම ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගන්නේ ඔහුගේ ඇවැස්ස නෑනා, විවාහක බිරිය වන රෝහිණී ඩයස් සහ තරුණ රියදුරු නිමල් ෆොන්සේකාය. ඔහු සිය දිවි නසා ගත් බවට තීන්දුවක් නොමැත. ඔප්පු කිරීමට නොහැකි වුවත් මිනීමැරුමක් බවට හේතු වූ කරුණු කාරණා රැසක් ඇතත් ඔහු මරා දැමු බවට තීන්දුවක්ද නොමැත. රට හෙල්ලු පාණදුර අමිර්තගිරියේ චන්ද්‍රා ඩයස් නඩුව සබැඳුණු කථා පෙළේ අවසන් කොටසයි මේ.

ආමාශයේ කෝපි සහ කෝපි කොටස් තිබු බව පොලිසියට මුලින්ම දැනගන්නට ලැබුණේ ටිඩිමන්ගේ කටඋත්තරෙන් රා කොන්ත්‍රාත්කරුවෙක් ධනවත් මාළු මුදලාලි කෙනෙක් හිටපු සුළු නගර සභාවක සභාපතිවරයෙක් නඩු හබවලට පොලිසියට උසාවියට ගිය ටිඩිමන් පොලිසියට කට උත්තරයක් දීමට ප්‍රමාද කළේ ඇයි දැයි සොයා බැලීම ජුරි සභාවේ යුතුකමක්.

පළමු වන විත්තිකාර - රෝහිණී ඩයස්ගේ ජ්‍යේෂ්ඨ නීතිඥ තිස්සද අල්මේදා අධිකරණය හමුවේ තවදුරටත් මෙසේ කියා සිටියේය. "සැමියාගේ මිනිය දුටු ඇය හැඬුවා. කථා කරන්න බැරුව ගොළු වී සිටියා. නිමල් නිමල් කියා නිමල්ට කථා කළ අතර ඔහු පැමිණ බලා නාඩි අල්ලා මියගොස් ඇතැයි කිව්වා." ඊළඟට ඇය ඇයගේ කිට්ටුම ඥාතීන්ට පණිවිඩ යැව්වේ නැද්ද? හේමසිරි රුද්‍රිගු පවුලේ නීතිඥවරයා කියා තිබෙනවා. ඔහු එන විට ඇය ඔළුව මේසයේ ගසාගෙන අඬමින් සිටි බව.

"ජීවිතයේ වැඩි කාලයක් එක්සත් රාජධානියේ ගතකර 1979 අප්‍රේල් මස මෙරටට පැමිණ පළමු විත්තිකාරිය මේ වගේ සිද්ධියක් වූ අවස්ථාවක දැන් ඉතින් මොකද කරන්නේ යැයි පවුලේ කිට්ටුම මිත්‍රයා වන රුද්‍රිගුගෙන් ඇසීම වැරදිද? ඩයස්ගේ මිනිය සඳුන් දරෙන් පිලිස්සිය යුතු බවට කියා ඇති කතාව වරදක්ද? මෙතරම් වැදගත් පුද්ගලයකුගේ මළසිරුර සඳුන් දරෙන් පිලිස්සීම වැරදිද? තම රියදුරු නිමල්ට මහත්මයා කියා කථා කරන්න යැයි සේවකයන්ට කීම වරදක්ද? කෙනෙකුට නම්බු දීලා කථා කිරීම වැරදිද? යන්න විමසීය.

රජයේ ජ්‍යේෂ්ඨ නිතීඥ අශෝක ගුණවර්ධන අධිකරණය හමුවේ පවසා ඇත්තේ චන්ද්‍ර ඩයස්ගේ අණ්ඩකෝෂය තදින් මිරිකා ඔහු අක්‍රිය කර පසුව ගෙල සිරකර ඇති බවයි. අණ්ඩකෝෂය මිරිකා මියගිය තැනැත්තා අඩපණ කර පසුව ඔහු යමකට තද කර අල්ලාගෙන සිටියදී තවත් අයෙකු තද නැමෙනසුලු දෙයකින් ඔහුගේ බෙල්ල හිර කිරීමෙන් මෙම මරණය සිදු විය හැකියි. මෙහිදී සාක්කිකරු වැඩිදුරටත් පවසා ඇත්තේ අණ්ඩකෝෂය තැලීමත්, අනිකුත් තුවාලත් පොදුවේ ගත් කල මරණකරුට විශාල වේදනාවක් ඇති විය හැකි බවයි. අණ්ඩකෝෂයේ තුවාල නියපොතු පහර වැදීමෙන් සිදු විය හැකිදැයි නීතිඥවරයා අසන ලද ප්‍රශ්නයට සාක්කිකරු කියා ඇත්තේ ලන්කට් එකක් ඇඳ නොසිටියානම් නියපොතුත් තිබුණානම් එම තුවාල සිදුවිය හැකි බවයි. පොලිස් පරීක්ෂක මිස්කින් චන්ද්‍රා ඩයස්ගේ ලන්කට් එක ඔසවා අණ්ඩකෝෂය පරීක්ෂා කර තිබු බව ඔහුගේ සාක්කියෙන් හෙළිවී ඇති බවද කීය.

මෙම ආන්දෝලනාත්මක අමිර්තගිරි නඩුව ඇසීමට ඒ දිනවල විශාල පිරිසක් එක්ව සිටි අතර දිනපතා පුවත්පත්වල පුවත් මවන්නක් විය.

මළ සිරුර උඩු මහලේ කාමරයේ ඇඳ සහ සඳුන් පෙට්ටිය අසල බිම වැටී තිබු ආකාරයට අනුව එල්ලා මැරුවාද, මරා එල්ලුවාද එල්ලී මැරුණාද සැක ඇති වී තිබු බව අධිකරණයේ හුවමාරු වු හරස් ප්‍රශ්ණ විමර්ශනය කිරීමෙන් පෙනී යයි. මරණකරුගේ බෙල්ලේ ඉදිරිපස තුවාලය ඇති වුයේ කෙසේද යන්න පිළිබඳවත් දිගටම වාද විවාද ඇති විය.

චන්ද්‍ර ඩයස්ගේ සිරුරේ තිබු සියලුම තුවාල මිය යාමට ප්‍රථම ඇති වු බවත් ඇතැම් සීරීම් තුවාල මළසිරුර කුහුඹුවන් කෑමෙන් සිදු වී ඇති බවද අනාවරණය විය. නමුත් ලේ ගැලීම් සහිත තුවාල කුහුඹින් කෑමෙන් සිදු නොවු බව හෙළි කරගන්නා ලදී.

ඩයස් මහතා දිවිනසාගත්තා නම් ඔහුගේ සිරුරේ බාහිර තුවාල සිදුවිය හැකිද? ඔහුගේ අණ්ඩකෝෂයේ තිබු තුවාල ඔහුටම කරගත හැකිද? සහ ඔහුගේ මරණය සියදිවි නසා ගැනීමක්ද ආදී වශයෙන් රජයේ නීතිඥ අශෝක ගුණවර්ධන සාක්කිකාර දොස්තර ජේ.ජී. ගුණසෙල්වම්ගෙන් ප්‍රශ්ණ කර සිටියේය. එම ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් වෛද්‍ය ගුණසෙල්වම් කියා ඇත්තේ මියගිය අයගේ බාහිර තුවාල කිසිවක් ඔහුටම කරගත නොහැකි අතර ඇඳ ඇතිරිල්ල ගැට ගැසීමෙන්ද ඔහුගේ ගෙලේ තුවාල සිදුවිය නොහැකි බවත් මෙම මරණය සිදුව ඇත්තේ ගෙල වැලලා ගැනීමෙන් සියදිවි හානි කර ගැනීමෙන් නොව කවුරුන් විසින් හෝ ඔහුගේ ජීවිතය නැති කිරීමෙන් බව අධිකරණය හමුවේ කියා සිටියේය.

විශේෂයෙන් මිය ගිය අයගේ අණ්ඩකෝෂය මිරිකා තිබු ආකාරය අනුව බලන විට එසේ මිරිකා තුවාල කිරීමකින් පසුව කෙසේවත් ඔහුට ගෙලවැලලාගෙන සියදිවි හානි කර ගැනීමට නොහැකි අතර සිය දිවි නසා ගත්තා නම් ඔහුගේ සිරුරේ බාහිර තුවාල තිබිය නොහැකි බවත් පැවසීය.

මේ සියලු කාරණා සලකා බලන කළ ඩයස්ගේ මරණය ස්වාභාවික මරණයක් හෝ සියදිවි නසාගැනීමක් නොව එක් අයකු හෝ දෙදෙනෙකු හෝ කීප දෙනෙකු විසින් සිදු කරන ලද මිනීමැරුමක් බව නිගමනය කරන බව ගුණසෙල්වම් මහතා කියා සිටියේය. රජයේ සහකාර රස පරීක්ෂක ටී.විල්මට් ප්‍රේමතිලක පීරිස් සාක්කි දුන්නේය. පටියෙන් එල්ලෙමින් තිබු ඇඳ ඇතිරිල්ල සාක්කිකරුට පෙන්වන ලදුව එහි ඉතාමත් තුනී ලේ වැනි පැල්ලමක් ඇති බවත් එහි ඇති ලේ ප්‍රමාණය සුළු නිසා ලේ පිළිබඳව කරනු ලබන පරීක්ෂණවලදී එය නිගමනය කළ නොහැකි බවත් ඒ මහතා කීය. පී.ටී. දරණ ඇඳ ඇතිරිල්ලේ ලේ නොතිබුණු අතර එහි සෙරෙප්පු අඩියක සලකුණක් තිබු බවත් එය ලා දුඹුරු පැහැයට පෙනෙන අතර එය වටා රතු ඉරක් ඇන්දේ තමා බවත් කීය.

උසාවියේදී තමාට පෙන්වන ලද සෙරෙප්පු වලින් පී 9 වශයෙන් ලකුණු කළ සෙරෙප්පු ජෝඩුවේ එක් සෙරෙප්පුවකින් එම ඇඳ ඇතිරිල්ලේ සලකුණු සිදුවිය හැකි බවත් එය වම් සෙරෙප්පු සලකුණද දකුණු සෙරෙප්පු සලකුණ දැයි නිශ්චය වශයෙන් කිව නොහැකි බවත් ඔහු පැවසීය. ඩයස්ගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වු පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහු නිව්මෝනියාවෙන් පෙළෙන බවක් සොයා ගැනීමට නොහැකිවු බවත්, එහෙත් ඔහු හෘදයාබාධයකින් පෙළෙමින් සිටි බවට සොයා ගැනීමට හැකි වු බවත් දොස්තර ජේ.ජී.ගුණසෙල්වම් කීය. ඩයස් නඩුව සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ සාක්ෂි දුන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ජයවීර මෙසේ පැවසීය.

"චන්ද්‍රසේකර මහතා මරාදමා තිබු කාමරයට යාම සඳහා මම ලී පඩිපෙළක් දිගේ ඉහළට නැගගෙන ගියා.

අපරාධය සිදුවු කාමරයට මා ඇතුළුවන විට එහි බාල්කයක සිට පහළට ඇඳ ඇතිරිල්ලක් එල්ලෙමින් තිබුණා. එම කාමරයෙහි පරීක්ෂණ පවත්වාගෙන යන අවස්ථාවේ ඇඳක් මත එල්ලා තිබු තවත් ඇඳ ඇතිරිල්ලක් පරීක්ෂා කිරීමේදී ඒ මත ළා දුඹුරු පැහැති සටහනක ලාංඡනයක් දැක ගැනීමට ලැබුණා. එය සෙරෙප්පු අඩියක ස්වරූපය ගත් හෙයින් මා ඒ ගැන පරීක්ෂණ කළා. මාගේ නිරීක්ෂණ කටයුතු කරගෙන යද්දී කාමරයේ ඇඳ අසළ බිම සෙරෙප්පු ජෝඩුවක්ද තිබුණා.

සාක්කිකරුට සෙරෙප්පු දෙකක් පෙන්වන ලදුව ඇඳ ළඟ තිබු සෙරෙප්පු කුට්ටම ඊට සමාන බවට සාක්කිකරු පිළිගත්තේය. ඇඳ ඇතිරිල්ලේ තිබු සෙරෙප්පු අඩියේ සටහන එම සෙරෙප්පු අඩියකින් සිදු විය හැකි බවද ඔහු පිළිගත්තේය.

තමාට හමුවු සෙරෙප්පු දෙක කොස්තාපල් අධිකාරම්ට භාර දුන් බවත් බාල්කයේ තිබු පටියද ගලවන ලෙස අධිකාරම්ට කියු බවත් පැවසීය. පටිය බාල්කය වටේ දමා තිබු ආකාරය සාක්කිකරු විසින් උසාවියට පෙන්වනු ලැබීය. එහි ගාංචුව පහතට තිබූ අතර ඇඳ ඇතිරිල්ල දමා තිබුණේ පටිය අතරින් එම සටහන සොයා ගැනීමට බවද කීය. මිය ගිය අයගේ දකුණු අතේ සායම් වගයක් තිබෙනවාද යන්න කළුබෝවිල රෝහලට ගොස් පරීක්ෂා කළත් එය සොයා ගැනීමට නොහැකි වුයේ සායම් තිබුණානම් තිබෙන්නට ඇත්තේ ඉතා කුඩා ප්‍රමාණයකින් බවත් මළසිරුර සේදීමේදී එම සායම් සේදී යන්නට ඇති බවත් කීය. එහෙත් ඇඳ ඇතිරිල්ල මත තිබුණු සරමේ පිහිටි පැල්ලම් මිනිස් රුධිරය බව පරීක්ෂණයේදී අනාවරණය වූ බව රජයේ සහකාර රස පරීක්ෂක ප්‍රේමතිලක පීරිස් කීය.

සත් පුද්ගල ජූරි සභාවක් ඉදිරියේ මෙම නඩුව විභාගවු අතර එයට මෙන්ම නඩු තීන්දුව ඇසීමටත් විශාල පිරිසක් ඒකරාශිව සිටියහ. මාස දෙකකට වැඩි කලක් තිස්සේ මූලික සාක්ෂි විභාගය පහළ උසාවියේ පැවැත්වීමෙන් පසු මහාධිකරණ නඩු විභාගයේදී සාක්ෂිකරුවන් 46 කැඳවනු ලැබිණි. විත්තිකරුවන් දෙදෙනාට විරුද්ධව ඉදිරිපත් කර තිබුණු චෝදනාවලට ඔවුන් නිවැරදිකරුවන් බව ජුරි සභාව ඒකමතිකව තීන්දු කිරීමෙන් පසුව මහාධිකරණ විනිසුරු රොබට් සිල්වා විත්තිකරුවන් දෙදෙනා නිදහස් කරන ලදි.

ඒ අනුව ජොන්නාහැන්නදිගේ චන්ද්‍රසේකර ඩයස් (58) මහතාව 1979 අගෝස්තු 30 දින නිවස තුළදීම මරා දැමුවේයැයි මිනීමැරීම් චෝදනා ලැබු ඔහුගේ බිරිය වන මෙරිඤ්ඤගේ චන්ද්‍රා රෝහිණී ඩයස් (51) සහ හේවා ෆොන්සේකාගේ නිමල් ෆොන්සේකා නිදහස් කෙරුණි. වසර තුනක් පුරා මුළු රටම ආන්දෝලනයකට පත් කළ මෙම මිනීමැරුම් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර ජුරි සභාව පැයක් පමණ කාලයක් සාකච්ඡා කළහ. මෙහි විත්තිය වෙනුවෙන් සාක්ෂි දුන්නේ මහාචාර්ය චන්ද්‍රා අමරසේකර පමණි. නිදහස් වීමෙන් පසු චන්ද්‍රා ඩයස් මහත්මිය පවසා ඇත්තේ සැබෑ මිනීමරුවන් නීතිය ඉදිරියට ගෙන එන බවත්, තමන් නිවැරදි බව මුල සිටම කියුබවත්ය. අමිර්තගිරි නිවසේ පදිංචියට නොයා රයිගම උයන් වත්තේ පදිංචියට යන බවත්ය.

නිමල් ෆොන්සේකා කියා ඇත්තේ තම මීළඟ පියවර ගැන පසුව කල්පනා කරන බවයි. තමා උසාවියෙන් පිටවු විගස පානදුරේ පිහිටි කතරගම දේවාලය කරාගොස් පුද පුජා කරන බව ද රෝහිණී ඩයස් මාධ්‍යයට පවසා තිබුණි. විත්තිකරුවන් දෙදෙනා ඔටෝරික්ෂෝ දෙකක නැගී උසාවියෙන් පිටව ගියේ රැස්ව සිටි විශාල පිරිසට අත් ඔසවා ආචාර කරමිනි. චාම් ලුංගියකින් සැරසී සිටි රෝහිණී ඩයස් සිය ඥාතීන්ට පැවසුවේ "බණ්ඩාරගම උයන්වත්ත මගේ ගෙදරට යනවා" යනුවෙනි. සුදු කලිසමක් සහ කමීසයක් හැඳ සිටි නිමල් උසාවියෙන් පිටත්ව ගියේ නඩු තීන්දුව ඇසීමට පැමිණි තම ගැබිණි බිරිය සමගිනි.

Comments