අම්බලන්තොටදී ඇල්ලූ තරුණයාගෙන් හෙළි වුණු දහතුන් කෝටියේ හෙරොයින් ජාවාරම | සිළුමිණ

අම්බලන්තොටදී ඇල්ලූ තරුණයාගෙන් හෙළි වුණු දහතුන් කෝටියේ හෙරොයින් ජාවාරම

 

හෙරොයින් මත්කුඩු මේ වන විට බහුල වශයෙන් නිෂ්පාදනය කරනු ලබන රට ලෙස සැලකෙන්නේ පාකිස්තානයයි. ජාවාරම්කරුවන් විසින් ඒ සඳහා වන භූගත රසායනාගාරද එරට ඉදිකර තිබේ. හෙරොයින් තුර්කිය හරහා යූරෝපීය රටවලටත් ඉන් පසු අනෙකුත් රටවලටත් බෙදාහැරීමට ජාවාරම්කරුවෝ කටයුතු කරති.

කෙසේ නමුත් එලෙස නිෂ්පාදනය කර ජාත්‍යන්තරව ඉතා සූක්ෂමව බෙදා හරිනු ලබන හෙරොයින් මත්ද්‍රව්‍ය අද වන විට මෙරට ද ආක්‍රමණය කර ඇත්තේ ඇතැම් ඉහළ පෙළේ ලොකු ලොක්කන්ගේද සහාය ඇතිවය. කොළඹ ආශ්‍රිතව පමණක් මෙතෙක් ව්‍යාප්තව පැවති හෙරොයින් මත්කුඩු ජාවාරම අද වන විට ගම්දනව් සියල්ල ආක්‍රමණය කර තිබේ. ගම් මට්ටමේ වයස අවුරුදු 15ත් 30ත් අතරේ තරුණ තරුණියන් බොහොමයක් අද වන විට මේ සඳහා ඇබ්බැහි වෙමින් සිටිති. එය මේ වන විට මහා සමාජ ව්‍යසනයක් බවටද පත් පත්ව තිබේ. මේ සඳහා වන සාක්ෂි ඕනෑ තරම් සමාජයෙන් අපට දැකිය හැකිය. එහි ආසන්නතම සිදුවිමක් පසුගිය 08 වන දින දකුණු පළාතේ සූරියවැව ප්‍රදේශයෙන් වාර්තා විය. ඒ 17 හැවිරිදි පාසල් සිසුවෙකු හෙරොයින් මත්කුඩු සඳහා ඇබ්බැහි වීම නිසා ඊට අවශ්‍ය මුදල් සපයා ගැනීමට නොහැකි වීමෙන් කෝපයට පත්ව ගෙල වැළලාගෙන මිය යාමයි.

හොරොයින් මත්කුඩු දිනෙන් දින මෙලෙස කොතරම් සමාජ ව්‍යසනයක් බවට පත්ව තිබුණත් තවමත් එහි ව්‍යාප්තියේද කිසිම අඩුවක් මේ මොහොත වන විටත් දක්නට නොමැතිය. හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදාහරින්නන් පිළිබඳ තොරතුරු අනාවරණ කිරීම සහ ආරක්ෂ අංශ වෙත එම තොරතුරු ලබාදීම ද මරණයට අත වැනීමක් බවට පත්ව තිබේ. ඒ තරමටම ජාවාරම්කරුවන් ශක්තිමත් වී තිබේ. හෙරොයින් මත්කුඩු සඳහා නීති පොතේද නීතිය තදින් ඇති නමුත් තවමත් හෙරොයින් මත්කුඩු ව්‍යාප්තියේ නම් කිසිම අඩුවක් නොමැතිය. ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශද විවිධ උපක්‍රම භාවිත කරමින් ඇතත් ජාවාරම්කරුවන් තවමත් ඉතා ශක්තිමත්ව සිය ජාලය මෙහෙයවමින් තිබේ.

තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් ඉකුත් 06 වන දින පෙරවරුවේ අම්බලන්තොට නගරයේ පිහිටි පාලම අසලදී සැක කටයුතු 19 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කළ අතර එහිදී ඔහු ඇඳ සිටි කලිසම් සාක්කුවේ සඟවාගෙන සිටි හෙරොයින් මත්කුඩු ග්රෑම් 40ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට එම ඒකකයේ නිලධාරින්ට හැකි විය. ඒ අනුව මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් එම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කෙළේය. අත්අඩංගුවට ගැනුණු තරුණයා පොලිසියට පවසා ඇත්තේ තමන්ගේ 'මාමා' කෙනෙකු සමඟ කැස්බෑව ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන මාස 07ක් තිස්සේ එහි හෙරොයින් ජාවාරම සිදු කරගෙන යන බවයි. එලෙස අත්අඩංගුවට ගැනුණු තරුණයාගෙන් ලද තොරතුරුවලට අනුව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් මේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා සැලසුම් සකස් කෙළේ දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේද උපදෙස් අනුවය.

සැකකාර 19 හැවිරිදි තරුණයා සමඟ තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් ඉකුත් 6 වැනිදා අධිවේගී මාර්ගය ඔස්සේ අදාළ ජාවාරම සිදුකළ කැස්බෑව සිද්ධමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක් වටලන්නේ ඉන් අනතුරුවය. වැටලීම සිදුකරන අවස්ථාවේ එම නිවසේ සිටි සැකකරුවන් දෙදෙනෙකු පලා ගිය අතර වැටලීම සිදුකරන අවස්ථාව වන විට ජාවාරම්කරුවන් හෙරොයින් මත් කුඩු මේසයක් මත තබා කුඩා කොළ කැබලිවල ඔතමින් සිට ඇත.

කැස්බෑව සිද්ධමුල්ල ප්‍රදේශයේ පිහිටි මෙම නිවසේ ඇළුමිනියම් වැඩ කරන මුවාවෙන් මාසිකව රුපියල් 30,000ක මුදලකට කුලියට ගෙන ඇත්තේ අම්බලන්තොටදී අත්අඩංගුවට පත් 19 හැවිරිදි තරුණයාගේ මාමා කෙනෙකු විසිනි. ඔහු මෙම ජාවාරම මෙහෙයවූ ප්‍රධාන ජාවාරම්කරු බවට හඳුනාගෙන ඇති අතර ඔහු බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ජාවාරම්කරු සමඟ එම නිවසේ සිට පලා ගිය අනෙක් පුද්ගලයා ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු ප්‍රධාන ජාවාරම්කරුගේ සහායට සිටි පුද්ගලයාය. අම්බලන්තොට නගරයේදී අත්අඩංගුවට පත් 19 හැවිරිදි තරුණයාද මාස දෙකක පමණ කාලයක් මෙම නිවසේ නැවතී සිට හෙරොයින් මත්කුඩු පැකට් කිරීම සිදුකර පසුව හෙරොයින් ග්රෑම් 40ක්ද රැගෙන අම්බලන්තොටට පැමිණි අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

අත්අඩංගුවට ගැනුණු හෙරොයින් මත්කුඩු මේ වන විට විදෙස් රටක සැඟව සිටින මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු බව කියන රත්මලානේ අංජු සහ ධර්මසිරි නමැත්තන්ට අයත් ඒවා බවට පොලිසිය සැකකරයි.

කැස්බෑවේ පිහිටි අදාළ නිවස පරීක්ෂා කිරීමේදි එම නිවෙසේ අල්මාරියක් තුළ තිබූ කළු පැහැති ගමන් බෑගයක තිබී හෙරොයින් මත් කුඩු කිලෝ 06යි ග්රෑම් 176ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය. එමෙන්ම එම නිවසේ තිබී මිලි මිටර් 09 වර්ගයේ ජීව උණ්ඩ 19ක්, හෙරොයින් මත්කුඩු පැකට් කිරීමට රැගෙනවිත් තිබූ අඟල ප්‍රමාණයේ කොළ කිලෝ 15ක්, කුඩා ප්‍රමාණයේ පොලිතින් කවර 100ක්, ව්‍යාජ අංක තහඩු දෙකක්, ජාවාරම්කරුවන්ගේ තොරතුරු ඇතුළත් පොත් දෙකක්, ප්‍රධාන ජාවාරම්කරුගේ විදෙස් ගමන් බලපත්‍රය, පොලිතින් සීලරයක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගැනුණු හෙරොයින්වල වටිනාකම රුපියල් කෝටි 13ක් පමණ වන බවට සැක කැරේ.

සිද්ධමුල්ලේ නිවෙසේ ඇළුමිනියම් වැඩ කරන මුවාවෙන් මත්කුඩු ජාවාරම් කළ බවට අනාවරණය වීමත් සමඟ අවට නිවැසියන්ද පැවසුවේ ප්‍රධාන සැකකරු ඔහුට අයත් කේ.ඩී.එච්.වර්ගයේ වෑන් රථයෙන් නිතර ඇළුමිනියම් පටවාගෙන මෙම නිවසට පැමිණෙනු දැක ඇති බවයි. ජාවාරම්කරු ඇළුමිනියම් සමඟ සඟවා හෙරොයින් විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කර ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. පළා ගිය ජාවාරම්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ මේ වන විට ආරම්භ කර තිබේ. අම්බලන්තොටදී අත්අඩංගුවට පත් සැකකාර තරුණයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්බලන්තොට පොලිස් ස්ථානයට බාර දීමෙන් පසුගිය 7 වැනිදා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි. එහිදි හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා නියෝග කෙළේ චූදිතයා දින 14ක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටය. කැස්බෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු හෙරොයින් සහ අනෙකුත් උපකරණ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කැස්බෑව පොලිසියට බාර දී තිබේ.

දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, මාතර සහ හම්බන්තොට දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර පෙත්තතන්ත්‍රි යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චින්තක, උප පොලිස් පරීක්ෂක ජයවීර, සැරයන් (40453)හෙට්ටිආරච්චි, කොස්තාපල්වරුන් වන (71452) ඉන්දික, (72939)සංජය, (84229) සමන් සහ (80445) ප්‍රියංග ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකර තිබේ.

 

 

Comments