සර්ප දෂ්ට කිරීම් වළක්වන බලසම්පන්න කඳ පිරිත | Page 3 | සිළුමිණ

සර්ප දෂ්ට කිරීම් වළක්වන බලසම්පන්න කඳ පිරිත

නිවෙසට සහ ගෙවත්තට පැමිණෙන සර්පයන් මරා දමා  අකුසල් පුරවා ගන්නේ නැතිව එම සතුන්ගෙන්  සිදුවන අනතුරු වළක්වා ගැනීමට මේ පිරිත උපකාරී වෙනවා

සර්පයන්ගෙන් සිදු වන  උවදුරු මෙන්ම යක්ෂ ප්‍රේතදෝෂ ද මේ බලගතු පිරිත භාවිතයෙන්  වළක්වා ගත හැකිය

වාරියපොල කොළඹගම  ශ්‍රී මියුගුණාරාම රාජමහා  විහාරාධිකාරි ආචාර්ය  පූජ්‍යපාද ගල්ලැහැපිටියේ  පේමරතන ස්වාමීන්වහන්සේ  (කොළඹගම පොඩි හාමුදුරුවෝ)

අප සැවොම මේ ගෙවමින් සිටින්නේ දුෂ්කර කාලයක් බව රහසක් නොවේ. මහානුභාව සම්පන්න කඳ පිරිත භාවිතයෙන් අපමණ පිහිට ලබා ගන්නා ආකාරය පිළිබඳවයි මෙවර දැනුම්වත් කිරීම.

 

"අතීත ආත්මයක අප මහ බෝසතාණන් වහන්සේ බමුණු කුලයක ඉපදිලා යහපත් ජීවිතයක් ගත කරලා මහලු වයසට පැමිණි පසු පැවිදි වෙලා පංචාභිඥා අෂ්ට සමාපත්ති උපදවාගෙන මහා වනයක වාසය කළා. එහිදී තම අතවැසි තවුසන්ට සර්පාදී විසකුරු සතුන්ගෙන් නිතර නිතර සිදුවන උවදුරු දැකලා මේ කන්ද පිරිත දේශනා කළා. එතැන් පටන් තමන්ට සහ අතවැසි තවුසන්ට සර්පයන් ඇතුළු වෙනත් විසකුරු සතුන්ගෙන් නිතර නිතර උවදුරු පැමිණීම නැවතුණා. පසුව මේ මහා භද්‍රකල්පයෙහි ගෞතම බුදුරජාණන්වහන්සේ හැටියට බුද්ධත්වයට පත්වෙලා ජේතවනාරාමයෙහි වැඩ සිටි සමයේ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් නයකු විසින් දෂ්ට කිරීම නිසා අපවත් වුණා.සෙසු භික්ෂූන් වහන්සේලා මේ බව බුදු පියාණන් වහන්සේට දැනුම් දුන්නා. මෙසේ අපවත් වූ භික්ෂූන් වහන්සේ සතර සර්ප රාජයන්ට මෙත් සිතින් මෛත්‍රිය වැඩුවා නම්, මෙසේ සර්පයෙක් දෂ්ට කර මරණයට පත් නොවන බව පැවසූ බුදු රජාණන් වහන්සේ ඒ අවස්ථාවේ එම කරුණු අරමුණු කරගනිමින් මේ කඳ පිරිත දේශනා කොට වදාළ සේක.

ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් ජනතාව විෂඝෝර සර්පයන්ගෙන් නිතර පීඩාවට පත් වෙනවා. නිවෙස් ඇතුළට සහ නිවෙසින් පිටතට පැමිණෙන සර්පයන් දෂ්ට කිරීම නිසා ජීවිතක්ෂයට පත්වෙන පුවත් නිතර අසන්නට ලැබෙනවා. සර්පයන් මරා දැමීමෙන් අකුසල් පුරවා ගන්නේ නැතිව එම සතුන්ගෙන් සිදුවන අනතුරු වළක්වා ගෙන ජීවත් වීම සඳහා ඔබටත් ⁣මහානුභාව සම්පන්න කඳ පිරිත පහත සඳහන් ආකාරයට භාවිත කර පිහිට ලැබිය හැකිය.

නොපෑඟුණු වැලි සහ පෙරා ගත් පිරිසිදු පැන් මෛත්‍රියෙන් යුතුව කඳ පිරිතෙන් පිරිත් කර නිවෙස ඇතුළත සහ පිටතත් නිතර කුඩා දරුවන් ගැවසෙන මිදුලේ සහ ගෙවත්තේත් ඉසීමෙන් සර්පයන්ගේ පැමිණීම සහ ඔවුන්ගෙන් සිදු වන හානි වළක්වා ගත හැකිය. විරූපක්ඛ සර්ප රාජ, ඒරාපථ සර්ප රාජ, ඡබ්‍යාපුත්ත සර්ප රාජ සහ කණ්හාගෝතමක සර්ප රාජ කුලය යනුවෙන් බුදු රජාණන් වහන්සේ දේශනා කළ සර්ප රාජ කුල හතරින් සිදු වන උවදුරු මෙන්ම යක්ෂ ප්‍රේත ආදී දෝෂයන්ද මේ මහානුභාව සම්පන්න කඳ පිරිත භාවිතයෙන් වළක්වා ගත හැකිය. එබැවින් කඳ පිරිත භාවිතයෙන් ඔබටත් ඔබේ පවුලේ සැමටත් එකී සියලු උවදුරු වළක්වාගෙන බියෙන් සැකෙන් තොරව දිවි ගෙවිය හැකිය.

සකස් කළේ, සුනිල් පොරමඬල

Comments