තමන්ටම සකස්කරගත හැකි ගෙදරට කිරි උතුරන බලගතු සුවඳ ධූපයක් | Page 2 | සිළුමිණ

තමන්ටම සකස්කරගත හැකි ගෙදරට කිරි උතුරන බලගතු සුවඳ ධූපයක්

දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වීමේදී ප්‍රධාන සහ වැදගත්ම කරුණ වන්නේ බුද්ධ, ධම්ම,සංඝ යන ත්‍රිවිධ රත්නය මුල්කොට ගෙන එම පුද පූජා පැවැත්වීමයි. එහිදී සිත, කය ,වචනය සංවර කරගෙන තම අභ්‍යන්තර පාරිශුද්ධ භාවය ඇතිකර ගැනීම අත්‍යවශ්‍යම කාරණයකි. බාහිර පාරිශුද්ධ බව පිළිබඳ අවධානය යොමු කළ යුත්තේ ඉන් පසුවයි.

මෙහිදී බාහිර පාරිශුද්ධ බව යනු පූජාවන් සඳහා පේ වීමයි. මෙහිදී මුව කට සෝදා හෝ ස්නානය කර පිරිසුදු වීම, සුදු පිරුවටයකින් හෝ විනීත ගැළපෙන පිරිසුදු ඇඳුමකින් සැරසීම, කහ දියර ඉසීම, සුවඳ දුම් දීම වැනි දේ වලින් මෙම බාහිර පාරිශුද්ධ භාවය ඇතිකර ගත හැකිය.

දෙවියන් පහදවාගෙන පුද පූජා පැවැත්වීමේදී සැලකිල්ලට ගතයුතු කරුණු කිහිපයක් පිළිබඳ සහ දේවාකර්ශණය ලබමින් සෞභාග්‍යය උදාකර ගතහැකි ද්වදශාංක සුවඳ ධූපය තම නිවසේදී ක්‍රමවත්ව සකස් කර ගන්නා ආකාරය පිළිබඳ මෙවර ඉදිරිපත් කරන්නෙමු.

ද්වදශාංග සුවඳ ධූපය භාවිත කිරීමේ ප්‍රබල සහ යහපත් ප්‍රතිඵල පිළිබඳ අත්දැකීම් බොහෝය. මේ සුවඳ ධූපය භාවිතයෙන් පරම්පරාගත ඥාති,ප්‍රේත ,භූත,මළ යක්ෂ ආදී පහත් පෙළේ බලවේග සහ බහිරව දෝෂ අණවින බන්ධන දෝෂ ආදී සර්ව දෝෂ දුරු වී දෙවිවරුන්ගේ අනන්ත ආකර්ෂණය, ඇල්ම බැල්ම ආරක්ෂාව ලැබී පුදුමාකාර සැනසිල්ලක්, සෞභාග්‍යයක් උදා කරගත හැකිය.

මෙම සුවඳ ධූපය සකස් කර ගැනීම සඳහා අගිල්, ගුගුල්, සුවඳ කොට්ටන්, විෂ්ණුක්‍රාන්ති, නාමල් රේණු, නෙළුම් රේණු, සුදු හඳුන්,සාම්බ්‍රාණි, වියළි මදුරු තලා කොළ සහ කවඩි සාම්බ්‍රාණි යන ඖෂධ වර්ග දහය සපයා ගත යුතු වනවා. මේ සියලුම ඖෂධ සිංහල බෙහෙත් කඩවලින් මිලදී ගත හැකි අතර ඉන් බොහෝ ඖෂධ කුඩු වර්ග වශයෙන් ලබාගත හැකිය. වඩාත් පහසුවෙන් මෙම සුවඳ ධූපය සකස් කර ගැනීම සඳහා මෙම ඖෂධ කුඩු වශයෙන්ම ලබා ගැනීමට උත්සාහ කරන්න.

බුදු පහන තබන ස්ථානයේ හෝ දෙවියන්ට පහන තබන ස්ථානයේ නිවෙසේ ඇති මේසයක්, ස්ටූල් එකක් වැනි දෙයක් හොඳින් සෝදා ඉන් අනතුරුව කහ දියර ඉස පිරිසුදු කර ගන්න.කෙසෙල් කොළයක් කපාගෙන එය ද සෝදා කහ දියර ඉස පිරිසුදු කර ගන්න. ඒ ආකාරයටම පිරිසුදු කරගත් බුලත් කොළ 21ක් රවුමට පිළිවෙළට එම කෙසෙල් කොළය මත තබන්න.සමන් පිච්ච මල් ඇතුළු සුවඳැති මල් වර්ග පහක් ඒ බුලත් කොළ මත අතුරන්න. මෙසේ සකස් කරගත් ආසනයේ හරි මැද ශ්‍රී විෂ්ණු දෙවියන් වෙනුවෙන් දැල්වීම සඳහා පිරිසුදු තැඹිලි තෙල් යෙදූ පහනක් තබන්න.(තැඹිලි තෙල් තමන් විසින්ම තම නිවෙසේම සකස් කර ගත හැකි නම් වඩාත් හොඳයි)

ආසනයේ සතර කොන සතරවරම් දෙවිවරුන් උදෙසා දැල්වීමට තැඹිලි තෙල් පහන් හතරක් තැම්පත් කර ගන්න. කපුරු, පිණිදිය, හඳුන් කූරු, සුවඳ දුම් ආදී පූජා ද්‍රව්‍ය ද සූදානම් කරගන්න.

ගම්බාර ශ්‍රී සිද්ධ සූනියම් දේවතාවා වෙනුවෙන් නිවෙසෙන් පිටත පහන් දල්වන තැනක් නැතිනම් නිවෙසට පහන් එළිය නොවැටෙන ස්ථානයක මල් පැළක් සකස් කර ගන්න. එම මල් පැළ ද කහ දිය ඉස කෙසෙල් කොළයක් අතුරා ඒ මත සමන් පිච්ච මල් තැම්පත් කරන්න.දැන් වෙනදා පුරුදු ආකාරයටම බුදු පහන තබන ස්ථානයේ පහන් දල්වා, මල්පහන් සුවඳ දුම් ආදී බුද්ධ පූජා පවත්වා තෙරුවන් වන්දනාකොට දේවාරාධනය කිරීමෙන් පසු කරණීය මෙත්ත සූත්‍රය එක් වරක් හෝ සජ්ඣායනා කර ශ්‍රී විෂ්ණු, කතරගම පත්තිනි, ගණ සරස්වතී, ලක්ෂ්මී, ගම්බාර ශ්‍රී සිද්ධ සූනියම් දෙවියන් ඇතුළු සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කර තම ගුරු මවුපියන් ගෞරවයෙන් සිහිපත් කර මෙම සුවඳ ධූපය සකස් කර ගැනීම සඳහා සපයා ගත් දස ඖෂධයන්ට ආශිර්වාද බල පිහිටුවා දෙත්වායි අධිෂ්ඨාන කොට සකස් කර ගත් ආසනයේ තැම්පත් කර ඇති පහන්වලින් පළමුව ශ්‍රී මහා විෂ්ණු දෙවියන්ගේ පහන දල්වන්න.

ඉන් අනතුරුව සතරවරම් දෙවියන් උදෙසා වූ පහන් හතර දල්වන්න. නිවෙසින් පිටත ගම්බාර ශ්‍රී සිද්ධ සූනියම් දෙවියන් වෙනුවෙන් සකස් කරගත් පහන් පැළේ ද තැඹිලි තෙල් පහනක්ම දල්වන්න.

දැන් ඉතා ගෞරවයෙන් යුතුව සපයාගෙන ඇති දස ඹෟෂධයන් අඩංගු භාජනය තැම්පත් කරමින් එම ඖෂධ බල පිහිටවේවා යැයි අධිෂ්ඨාන කර ගන්න.

දැන් පූජාසනයට සහ ශ්‍රී සිද්ධ සූනියම් දෙවියන් වෙනුවෙන් පහන් දල්වන පහන් පැළ යන ස්ථාන දෙකටම පිණිදිය ඉස, කපුරු හඳුන්කූරු දල්වන්න. අනතුරුව පූජාසනය මත තැම්පත් කර ඇති ද්වදශාංග සුවඳ ධූපය අඩංගු බඳුන දෙස බලාගෙන පහත සඳහන් ශ්‍රී විෂ්ණු දැහැන මහත් ගෞරවයෙන් යුතුව තුන් වතාවක් කියන්න.

ද්වදශාංග සුවඳ ධූපය බල ගැන්වීම සඳහා වූ මහා බලගතු ශ්‍රී මහා විෂ්ණු දැහැන

ඕම් විෂ්ණු කුර්ම අවතාර වෛකුණ්ඩ දේව බුබුරාම් ඉසුර සම විෂ්ණු රාමසර ගෝර මාර්ග සංකාර සංහාර නීල ජල හේම ජල පද්ම කුමාර නරහාරී සීතාපති නාම් කොණ්ඩුවා නවශිව ශක්‍රාම් ආඝෝර ශක්‍රාම් විෂ්ණු ශක්‍රාම් රීම් රීං හිම් හිම් හම් හම් අසුර සංහාර ඝෝර මාරජ්ව සකල සත්ව සම්මෝහනාය භූලෝක සුරේන්ද්‍ර විෂ්ණු කුමාරයාය නමාමි අනතුරුව පහත සඳහන් මහානුභාව මන්ත්‍රයෙන් 1,108 වාරයක් ජීවම් කර ගන්න.

මන්ත්‍රය

ඕම් මහා විෂ්ණු නාරායන සත පත්‍ර නේත්‍රධාරී ශ්‍රීමත් ශ්‍රී කුමාරි අම්මා හාමිනා ද්වදශාංග ඖෂධ බල පිහිටුවා වෛකුණ්ඩ නාරායනේ ජය ජය සිද්ධි සිද්ධි ඒස්වාහ:

මෙසේ 1108 වර මෙම මන්ත්‍රයෙන් ජීවම් කිරීමෙන් අනතුරුව බුදු පහන තබන ස්ථානයේ ඉතා ගෞරවයෙන් තැම්පත් කර ශ්‍රී විෂ්ණු ,ගම්බාර දෙවියන් ඇතුළු සමස්ත දේව සමූහයාට පින් අනුමෝදන් කර පූජාව හමාර කරන්න. මෙම සුවඳ ධූපය සකස් කර ගත යුත්තේ පුර පක්ෂයේ බදාදා දිනයක බුධ හෝරාවෙනි. සෑම පුර පසළොස්වක පුන් පොහෝ දිනකම හිමිදිරි පාන්දර 5.30 ට හෝ සවස 6.30 ට මෙම සුවඳ ධූපයෙන්ම දුම් අල්ලමින් තුන් වතාව බැගින් ශ්‍රී මහා විෂ්ණු දැහැන සහ මන්ත්‍රය සජ්ඣායනා කිරීමෙන් මෙම සුවඳ ධූපයේ බලය තව තවත් වර්ධනය කරගත හැකිය. මස් මාංශ අලෙවි කරන ස්ථානවල මෙම සුවඳ ධූපය භාවිත නොකරන්න. මෙසේ ජීවම් කරගත් සුවඳ ධූපයට සාම්බ්‍රාණි වැඩි ප්‍රමාණයක් මිශ්‍ර කර ගැනීමෙන් බොහෝ කලක් මෙම සුවඳ ධුපය භාවිත කළ හැකිය.

සකස් කළේ, සුනිල් පොරමඬල

වාරියපොල කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී, 
ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන ස්වාමීන් වහන්සේ 
(කොළඹගම පොඩි හාමුදුරුවෝ)

Comments