ආණ්ඩු­වක් වගේම රටක් කඩා වැටෙන්න මහ බැංකුවේ එක් තීන්දු­වක් ඇති | Page 2 | සිළුමිණ

ආණ්ඩු­වක් වගේම රටක් කඩා වැටෙන්න මහ බැංකුවේ එක් තීන්දු­වක් ඇති

 

22 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඔබ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා;

1978 වසරේදි අනුමත කරගත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විවේචනයන් තිබුණා. ඒ තිබුණ විවේචනය අතර ජනාධිපතිවරයා ඒකාධිපති ස්වරූපයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට මුවාවෙලා තමන්ගේ හිතුමනාපයට රට පාලනය කිරීමට මෙමඟින් හැකියාව ලැබෙනවා කියන කාරණාව ප්‍රමුඛ වෙනවා. මේ ක්‍රමවේදය හඳුන්වා දෙන කාලයේ ජනතාවට මෙහි ඇති බරපතළකම එතරම් තේරුමක් තිබුණේ නැහැ.

එවකට සිටි විද්වතුන් අනතුරු ඇඟවීම් කළා. ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේ ඉතා දැඩි තින්දු තීරණ ගනු ලැබුවා. එසේම ඔහුගේ කාලයේ ඉතාමත් මර්දනකාරි ක්‍රියාමාර්ග ගනු ලැබුවා. එම කාලයේදී ජනතාවට ඔහුගේ ඒකාධිපති බලය පාවිච්චි කිරීමක් සිදුවුණා. ඉන්පසුව වඩා එම තත්ත්වය බරපතළ වුණේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේදී. ඔහු ඉන් ඔබ්බටත් ගොස් වඩා ඒකාධිපති පාලනයක් ගෙන ගියා. ඒ තත්ත්වය නිසා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට 62% ජනතාව ඡන්දය ලබාදී බලයට පත් කරගනු ලැබුවා.

විධායක බලය සංශෝධන කිරීමට එතුමිය උත්සාහයක් දැරුවත් එවකට පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රිවරුන්ගේ සහය ලැබුණේ නැහැ. එය 18 වැනි සංශෝධනය මඟින් නැවත කනපිට හැරවීමක් සිදුවුණා. එනම් බලතලත් වැඩි කිරිමකටද ලක් කළා. යහපාලනයට ලැබුණ ජනවරම නිසා 19 වැනි සංශෝධනය ගෙන ආවා. 2020 නැවත වරක් 2/3 බලය ලැබීමේ ප්‍රතිඵලය වුණේ 19වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරමින් 20 ගෙන ඒමයි. තනි පුද්ගලයෙකු ගන්නා තීරණ මිනිසුන්ට හරි විදිහට දැනුණේ මෙවරයි.

මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා ප්‍රතිපාදන ගෙන ආයුතු වන්නේ‍ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්මයි. ජනාධිපතිවරයාගේ විධායක බලතල විශාල ලෙස පාවිචිචි කරන ලද පුද්ගලයන් නිසා අද ලංකාව මේ තත්ත්වයට පත්වි තියෙන්නේ. බිලියන 8.6 තිබුණ සංචිතය වසරක් ගතවන විට බිංදුවට අඩු කර ගැනීම සිදු වුණා. මෙවැනි තනි තීන්දු ගන්න නොදී අධිකරණයට රජයේ ඉහළ නිලතලවලට පත්කිරීමේදි බලතල ඇති ව්‍යවස්ථාදායක සභාවක් ගොඩනැඟිමට අපි කටයුතු කරනවා.

මහජන මුදල් හොරකමට දුෂණයට ලක්වන්නේ ක්‍රසම්පාදනය ක්‍රියාවලියේදියි. මහ බැංකුවේ එක් තීන්දුවක් ඇති ආණ්ඩුවක් වගේම රටක් කඩා වැටීමට එදා අපි හදපු ක්‍රසම්පාදනය අහෝසි කළා. විගණන සේවා කොමිසම අපි 22 වැනි සංශෝධනයන තුළින් ගෙන එනවා. ස්වාධීන කොමිෂන් දේශපාලනික ගැති භාවයෙන් ඉවත් කිරිමයි අපේ අරමුණ. වෘත්තිකයන් ඒ සඳහා පත් කිරීමයි. ජනාධිපතිවරයා තනියම ගත් තීන්දු පාර්ලිමේන්තුවත් සමඟ සමූහිකව ගැනීම එනම් ව්‍යවස්ථාදායක මණ්ඩලය සමඟ එකතු වෙලා තීන්දු තීරණ ගැනීමට මෙමඟින් අවකාශය හිමිවෙනවා.

මේ ව්‍යවස්ථා කෙටුම්පතින් සිදුවන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත බලාත්මක කිරීමක්ද? එනම් 22 ලෙස ඔබ කෙටුම්පත් කළේ 19 මද?

19වැනි ව්‍යවස්ථාව පදනමයි. 19වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට ගිහිල්ලා එහි හොඳම ප්‍රජාතන්ත්‍රිය ලක්ෂණ මෙහි ඇතුළත් ‍ෙව‍ලා තියෙනවා. 20වැනි සංශෝධනයේ හොඳ ගුණාංග කිහිපයක් තියෙනවා. ඒවාත් එහි ඇතුළත් වෙනවා. මෙය ධනාත්මක ද ඍණාත්මක ද කියන්න බැහැ. ජනාධිපතිවරයා අමාත්‍යවරයකු ලෙස දරන බලතල 19 ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවකින් විතරයි එය අභියෝගයට ලක්කරන්න හැකිවෙන්නේ. නමුත් 20 සංශෝධනයේදී අභියාචනාධිකරණයේ රිට් නඩුවකින් එයට හැකියාව තියෙනවා. එය හොඳ ලක්ෂණයක්. එසේම 20 වැනි සංශෝධනයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන්ගේ සංඛ්‍යාව වැඩි කළා. එවැනි සාධනීය දේ අපි ඇතුළත් කර තියෙනවා

22 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත 19වැනි ව්‍යවස්ථා සංශෝධනයට වඩා ප්‍රජාතන්ත්‍රීය ලක්ෂණ ඇති බව; ඔබ සඳහන් කරනවා; මෙහි ඇතුළත් සුවිශේෂි ප්‍රජාතන්ත්‍රීය ලක්ෂණ මොනවාද?

අමාත්‍යවරයකුගේ නිලය දැරීම නතර වන විට අමාත්‍යංශ ලේකම්ගේ නිලයත් නතර වෙනවා. එහිදී අපි අලුත් සංශෝධනය අනුව අමාත්‍යංශ ලේකම්වරයා අමාත්‍යංශය ලේකම් තනතුරෙන් ඛණඩනයක් නොවී කටයුතු කරගෙන යෑමේ හැකියාවක් තියෙනවා. ඒවගේ 19වැනි සංශෝධනය අනුව ආරක්ෂක අමාත්‍යංශ ඇතුළු අමාත්‍යංශ 3ක් ජනාධිපතිවරයාට සීමා කරලා තිබුණා. අපි එය එසේ නොකිරිමට කටයුතු කළා. එසේ වූයේ නම් ඊළඟ ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යංශය ජනාධිපතිවරයාට හිමි නොවෙයි. එසේම ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍යංශ ධූරයක් දරන්න බැහැ. මෙහිදී අනිවාර්යෙන් 22වැනි සංශෝධනය අනුව ආරක්ෂක අමාත්‍යංශය ජනාධිපතිවරයාට ලැබිය යුතු බව අවධාරණය කර තියෙනවා. මේ ව්‍යවස්ථාවේ පදනම තියෙන්නේත් විධායක ජනාධිපති ක්‍රමයටයි. ඔහුට ඒ අමාත්‍යංශය කාටවත් දෙන්න බැහැ. ජනාධිපතිවරයාගේ බලයට අධිකරණයටවත් අත තියන්න බැහැ.

19 වැනි ව්‍යස්ථා සංශෝධනය නැවත බලාත්මක කළයුතු බව; ඇතැම් පාර්ශ්වයන්ගේ අදහසයි ඒ පිළිබඳ ඔබේ අදහස?

අපි ඉදිරිපත්කර තියෙන්නේ ඉන් ඔබ්බටත් ගිය වඩා ප්‍රජාතන්ත්‍රිය ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක්. විපක්ෂය 21වැනි සංශෝධනය ගෙන ආ යුතු බව පවසනවා. පාර්ලිමේන්තුවේ ලොකු හඬකුත් නැඟුවා. ඒ ව්‍යවස්ථා කෙටුම්පතේ වගන්ති හැට ගණනම ජනමත විචාරණයකට යොමු කළ යුතුයි. අපි ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධනය හදලා තියෙන්නේ ජනමත විචාරණයක් නැතුව කරන්න පුළුවන් ආකාරයටයි. යම් වගන්තියක් හෝ ජනමත විචාරණයකට යායුතුයි කියලා අධිකරණය කිව්වොත් ඒ අනුව අපි කටයුතු කරනවා. කරපු සියලු ව්‍යායාම පුස්සක් වෙන්න අපි කටයුතු කරන්නෙ නැහැ.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව සමඟි ජනබලවේගයේ මහලේකම්වරයා විසින් 21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් ඉදිරිපත් කර තියෙනවා; ඒ සංශෝධනයට මොකද වුණේ?.

එය ස්වභාවික මරණයට පත්වුණා. ජනතාවගේ වුවත් මේ ගැන විශ්වාසයක් උනන්දුවක් තිබුණේ නැහැ මේ වෙලාවේ. පළාත් සභා ඡන්දය තියාගන්න බැරිව ඉන්න වෙලාවක්. මෙවැනි ජනමත විචාරණ පැවැත්වීම ප්‍රායෝගිකද යන්න ගැටලුවක් මතු වෙනවා.

විශේෂයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු දෙමින් බලයට පත් කිසිදු ආණ්ඩුවක් මේ දක්වා ඒ සඳහා කටයුතු කර නැහැ නේද?

එය ඡන්දය කාලයේදී ජනප්‍රිය ස්ලෝගන් එකක් විතරයි. එය කවුරුත් කළේ නැහැ. විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අඩු කරන්න චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිවරිය 2000 වසරේ ව්‍යවස්ථාවක් ගෙන ආවා. පාර්මේන්තුවේ 2/3 සහය මෙවැනි දේවල්වලට අවශ්‍යයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර මේ බලතල ඇමැති මණ්ඩලයට ලබා දුන්නත් එහි ප්‍රධානියා අගමැති. එසේවුවත් මේ චෝදනාව ඒ ආකාරයටම අගමැතිටත් තිබුණා. 1970 සිට 1977 දක්වා කාලය තුළ සිරිමාවෝ මැතිනිය අගමැති ලෙස ඒකාධිපති ස්වරූපයෙන් කටයුතු කරන බවට චෝදනා තිබුණා. 5/6 ජේආර් ජයවර්ධනට හිමිවුණේ ඒ නිසයි. එසේ නම් එතැනත් අසාර්ථකමක් තියෙනවා. වෙස්ට් මිනිස්ටර් ක්‍රමයේ අගමැතිවරයෙක් යටතේ පාලනය කරලා එයත් අසාර්ථක වෙලා තියෙනවා. ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය අසාර්ථකයි. මේ ක්‍රමය 1979 ඇමරිකාව හඳුන්වා දුන්නා. ඒ හදපු ව්‍යවස්ථාව අනුව අද මුළු ලෝකයේම බලවතා වුණේ ඇමරිකාව. අපේ ව්‍යවස්ථාව හැදුවේ ප්‍රංශයට හදපු ව්‍යවස්ථාව පදනම කරගෙනයි . ප්‍රංශයටත් අද වැරදීමක් වෙලා නැහැ.

වෙස්ට් මිනිස්ටර් ක්‍රමය සහ ජනාධිපති ක්‍රමය යන ක්‍රමවේදයන් දෙකම අපේ රටට වැරදුණේ ඇයි?

අපිට වැරදුණේ හේතු දෙකක් නිසා. එකක් ජනතාවගේ වැරද්දයි. ජනතාව විධායක ජනාධිපතිවරුන් පත් කරන්නේ පටු පරමාර්ථ ඇතිවයි. තමන්ගේ පෞද්ගලික දේවල් ඉටු කරගන්න; එසේම තමන් රුචිකත්වය දරණ නියෝජනය කරන පක්ෂයේ බලය පෙන්වීමටයි. ඒ වෙනුවෙන් ජනතාව ඡන්දය ලබා දෙනවා; එසේම ඇතැම් තනතුරුවලට පත් වන තැනැත්තන් තමන්ගේ බලය පාවිච්චි කරන්න තරම් දේශාපාලනිකව පරිණත නැහැ. 1972 දි මූලික අයිතිවාසිකම් පිළිබඳ අධිකරණයට බලයක් දීලා තිබුණේ නැහැ. ඉන් අනතුරුව ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ කාලයේ ජනතාවට මේ විධායක ක්‍රමය සහමුලින්ම එපා වුණා. නැවත චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ කාලයේ මේ ක්‍රමය පිළිබඳ ජනතාවට එතරම් අපැහැදීමක් තිබුණේ නැහැ. ඉන්පසු දැවැන්ත යුද්ධයක් සමඟ හැප්පෙන වෙලාවේ මහින්ද රාජපක්ෂ යුගයේ එය බැලන්ස් කරගෙන යන්න පුළුවන් වුණා. වෙස්ට් මිනිස්ටර් ක්‍රමය හොඳද, ජනාධිපති ක්‍රමය හොඳද කියන එක ගැන අර්ථ නිරුපණයක් දෙනවා නම් මේ දෙකම හොඳයි; තෝරාගැනීම්වලදී සුදුසු පුද්ගලයන් තෝරා ගැනීම සිදු කළ යුතුයි. ජනතාව මීට වඩා බුද්ධිමත් විය යුතුයි. තමන් රට වෙනුවෙන් ගන්නා තීරණය අනාගතයට බලපාන්නේ කොහොමද කියන කාරණාව‍ ජනතාව සිතිය යුතුයි.

විධායක ක්‍රමය අහෝසි කිරීම හැම ආණ්ඩුවක් බලයට පත්වීමට පෙර පොදු ස්ලෝගන් එකක් බව ඔබ කියනවා. නමුත් නව ව්‍යවස්ථාවක් පිළිබඳ හිටපු ජනාධිපති ගෝඨාභය කතා කළා. මැදිහත් පාර්ශ්වයක් ලෙස නව ව්‍යස්ථාවක් ගෙන ඒම සම්බන්ධයෙන් ඔබේ අදහස?

ඒ ආණ්ඩුව බලයට පත්වීමට පෙරත් එය කිව්වා. ඒ නව ව්‍යවස්ථාවේ වගකිම් ගන්න පැවරි තිබුණේ මටයි. ඇමැති මණ්ඩල යටපත් වූ දවසට පසුවැනිදා 22 වැනි සංශෝධනය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා. ඉන්පසුව අරගල කණ්ඩායම් සමඟ සාකච්ඡා කළා. උගතුන්ට වියතුන්ට තරුණයන්ට පාලන තන්ත්‍රයට යෑමට තියෙන බාධාව වෙනස් කිරීමට කටයුතු කිරීමට අපි අපේක්ෂා කරනවා. ඒ සඳහා කාරක සභාවක් පිහිටුවා කැබිනට් මණ්ඩලය දැනුම්වත් කරලා තියෙන්නේ. මේ ගැටලු නිරාකරණය වූ වහාම නැවත මැතිවරණයකට යායුතු යි.

අපි දන්නවා හොඳම ව්‍යවස්ථාවක් හැදුවත් ජනතාව එකවර පිළිගන්නේ නැහැ. ජනාතාව සමඟ සංවාදයකට යායුතුයි.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇති චෝදනාවක් තමයි; පවුල් හෝ පුද්ගලයන් ආරක්ෂා කිරීමේ අරමුණින් සම්මත කරගත් ව්‍යවස්ථාවක් බව; 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එවැනි ඉඩක් ලැබී නැහැ නේද?

අපි එය පිළිගන්නවා. 22වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එවැනි ඉඩක් ලැබිලා නැහැ. සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රිය ලක්ෂණ එහි ඇතුළත් වී තියෙනවා. පවුල් දේශපාලනය හෝ පක්ෂ දේශපාලනයවත් ආරක්ෂා කිරීමක් එහි නැහැ.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිමේ අවශ්‍යතාව ප්‍රබල ලෙස මතු කළ ඇමැතිවරයෙක් ලෙස ඔබ හඳුන්වන්න පුළුවන්. සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසියම් නෛතික තත්ත්වක් තිබෙනවාද?

මම සර්ව පාක්ෂික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන එනවිට කවුරුත් පාරට බැහැලා තිබුණේ නැහැ. එදා අපි එය ගෙනාවට පස්සේ සියලු පක්ෂ ප්‍රතික්ෂේප කළා. ඉන් පසුව අරගලය ඉවර වෙනකොට නැවත සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කළා. ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ මේ සඳහා ප්‍රතිපාදන නැහැ කියලා ඒ අයගේ තර්කයක් තියෙනවා. ඒ ඒ අයගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගැන තියන දැනුමේ තරමයි ඒ. අපේ ව්‍යවස්ථාව අනුව සර්ව පාක්ෂි ආණ්ඩු හදන්න එක අකුරක්වත් ව්‍යවස්ථාවේ වෙනස් කරන්න අවශ්‍ය නැහැ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 74වැනි ව්‍යවස්ථාවෙන් එය කරන්න පුළුවන්. එදා ඒ ඉල්ලීම කළාම මට ලැබුණ පිළිතුර සර්ව පාක්ෂික ආණ්ඩුවකට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නැති බවයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා විසින් දේශපාලන පක්ෂ සමඟ කෙරෙන සාකච්ඡාවල ප්‍රගතිය කෙබඳුද?

මේවනවිට සර්ව පාක්ෂිකම ආණ්ඩුවක් හදන මට්ටමක ඇතැම් පක්ෂ නැහැ. ඇතැම් පක්ෂ ආණ්ඩුවට එකතු නොවුණත් පොදු වැඩපිළිවෙළකට එකඟ වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. විධායකය සම්බන්ධයෙන් ගනු ලබන තීන්දු සම්බන්ධයෙන් මැදිහත් වීමට අපි ආංශික කාරක සභා හරහා පාර්ලිමේන්තුවට බලයක් දෙනවා; ඒ ක්‍රමයට හෝ දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුව තුළ දායකත්වය දෙනවා නම් එය විශාල ජයග්‍රහණයක් ලෙස හිතන්න පුළුවන්.

සියලු දේශපාලන පක්ෂ සර්ව පාක්ෂික රජයක් සඳහා සහාය ලබාදුන්නොත් ප්‍රජාතන්ත්‍රවාදී රටක වඩා ප්‍රජතන්ත්‍රීය ලක්ෂණයක් වන ප්‍රබල විපක්ෂයක් නොමැති වීම දේශපාලනික වශයෙන් විශාල ලෙස බලපානු ලබන කරුණක් නේද?

තනතුරු වෙනුවෙන් ආණ්ඩුවට සහයෝගය දීම පමණක් කළහොත් ඒ තත්ත්වය ඇති වෙනවා. නමුත් ප්‍රතිපත්ති රාමුවක් තුළ විපක්ෂය එය කළහොත් එය සිදු වෙන්නේ නැහැ.

පසුගිය දිනවල ජනතා අරගලයකින් අනතුරුව හිටපු ජනාධිපතිවරයා ඉල්ලා අස්වුණා. ඇතැමුන් එහිදී කිව්වා ජනතාවගේ බලය ප්‍රබලයි. ඒ නිසා මේ ව්‍යවස්ථාව දේව වාක්‍යයක් නොවෙයි කියලා. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

ව්‍යවස්ථාවට ගරු නොකිරීම තුළ තියෙන්නේ ප්‍රචණ්ඩත්වය, බල අරගලය හා සාපරාධි චේතනාවක්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව දේව වාක්‍යයක් නොවෙයි. නමුත් දේශපාලනයේදි දේව වාක්‍යයට වඩා එහා ගිය දෙයක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. එය හදලා තියෙන්නේ ජනතා පරමාධිපත්‍ය බලය පාවිච්චි කරලයි. මේ කියන දේවල් වලින් වෙන්නේ රට සම්පූර්ණයෙන්ම අරාජික විමයි. ලේ වැඟිරිම් වලට ලක්වි ආරක්ෂාවක් නැතිවිමය‍

එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කමිටුවේ ශ්‍රී ලංකාව පිළිබඳ සාකච්ඡා කෙරෙන සැසිවාරය 12වැනිදා පැවැත්වෙනවා? ඒ සඳහා ඔබ සහභාගි වීමට නියමිතයි. ජාතික සමඟිය ගොඩනැඟීම සම්බන්ධයෙන් යම් කරුණු ඉදිරිපත් කිරීමක් එහිදි ඔබ විසින් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවාද?

ඔව්. ජාතිය සමඟිය ඇති කරලීමට අපි එහිදි කරුණු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා; ජාතික සමඟිය ඇති කරලීම සම්බන්ධයෙන් අදාළ කණ්ඩායම් සමඟත් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනවා. අපි ඒ අය සමඟ දිඟටම සාකච්ඡා කරමින් ඒ අයට අලුත් බලාපොරොත්තුවක් ඇති කරලා තියෙනවා. සාකච්ඡා සම්මුතීන් පවත්වාගෙන යනවා. ව්‍යවස්ථා සම්පාදනයේහිදී අපි ජාතික සමඟිය තහවුරු කළ යුතුයි. ලංකාවට විරුද්ධව බලවේගයක් මෙහෙය වන්නේ දෙමළ ඩයස්පොරවයි. මේ සියලු දෙනා ශ්‍රි ලාංකේයන් ලෙස එක් අරමුණකින් කටයුතු කළ යුතුයි. මේ හැමදේකටම මුල තියෙන්නේ අවිශ්වාසයයි. මේ අවිශ්වාසය බිඳලා ජාතීන් අතර සමඟිය ඇති කිරීමේ ප්‍රායෝගික වැඩපිළිවෙළක් අපි අනුගමනය කරමින් යනවා. දේශපාලනය පිළිබඳ සහ දේශපාලනඥයන් පිළිබඳ අපේ රටේ දූෂණය සම්බන්ධයෙන් නොයෙක් දෙනාට චෝදනා තියෙනවා. ඒනිසා ඒ සම්බන්ධයෙන් දුෂණ විරෝධි පනතක් සකස් කරමින් ලබන සතිය වෙන විට අවසන් කරලා ව්‍යවස්ථාවේ 22 සංශෝධනය මෙන්ම එයත් සම්මත කර ගැනීමට කටයුතු කරනවා.

 

Comments