
- කප්පම් ගත් මුදලින් සුකේෂ් ජැකලින්ට කෝටි දහයක තෑගි දුන් බවට චෝදනා
- මුලින්ම ඇන්දුවේ ජයලලිතාගේ බෑනාගේ නමින්
- මිනි කූපර් කාර් එකක් දියමන්ති කරාබු හා බ්‍රේස්ලටයක් තෑගි
- ජැකලින්ගේ සොයුරියට සුකේෂ් ඩොලර් එක්ලක්ෂ හැත්තෑ තුන් දහසක ණයකුත් දීලා
ඉන්දීය රුපියල් කෝටි 215ක කප්පම් නඩුවේ පැටලුණු ජැකලින් ෆර්ඩිනැන්ඩස් ගැන මේ වන විට ඉන්දියාවේ පමණක් නොව ශ්‍රී ලංකාවේද වැඩි කතාබහට ලක් වෙමින් තිබේ. දැනට බන්ධනාගාරගතව සිටින ඉන්දියාවේ කූප්‍රකට වංචාකරුවකු වන සුකේෂ් චන්ද්‍රසේකර්ගේ කප්පම් නඩුවේ ඇය විත්තිකාරිනියක කරමින් එරට මූල්‍ය බුද්ධි අංශය විසින් විශේෂ අධිකරණයක චෝදනා පත්‍රය ගොනු කරනු ලැබුවේ ඊයේ පෙරේදාය. එය බොලිවුඩ් සිනමාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් බවට ද පත්වී තිබේ.
ඉන්දීය මාධ්‍ය සහ වෙබ් අඩවි ජැකලින් ගැන පුවත් මවන්නට පටන් ගෙනය. එරට නම් දැරූ පුවත්පත් රැසක් මේ සිදුවීම පිළිබඳ ගවේෂණාත්මක පුවත් පළ කරමින් සිටින අතර, ඕපාදූපවලට ප්‍රමුඛත්වය දෙන වෙඩි අඩවි ඇගේ පැටිකිරිය සොයන්නට පටන්ගෙනය.
ජැකලින් ෆර්ඩිනැන්ඩස් උපන්නේ බහරේනයේ මැනමා නුවරය. ඇය ශ්‍රී ලාංකිකයකු බව කවුරුත් දන්නේ ඇය 2006 වසරේදී ශ්‍රී ලංකා විශ්ව රූ රැජන ලෙස අභිෂේක ලැබීමෙන් පසුවය. ඒ වසරේදීම අමෙරිකාවේ ලොස් ඇන්ජල්ස් නුවර පැවැති විශ්ව රූ රැජන තරගයට සහභාගි වීමෙන් පසු ඇය ශ්‍රී ලංකාවේ රැඳී සිටියේ තවත් වසර කිහිපයක් පමණි. ඒ කාලය ඇතුළත ඇය ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන උපාධිය සම්පූර්ණ කර ජාත්‍යන්තර රූපවාහිනි නාළිකාවක නිවේදිකාවක සහ නිෂ්පාදකවරියක ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කර තිබිණි. මෙරට ගිත ඇල්බම් කිහිපයක ද පෙනී සිටි අතර, භාතිය සංතුෂ්ගේ සංගීතයට උමාරා සිංහවංශ ගැයූ ගීතයකට ද රංගනයෙන් දායක වී සිටියාය.
ජැකලින් ෆර්ඩිනැන්ඩස් බොලිවුඩ් සිනමා නිළියක වූයේ අහම්බයෙනි. යොවුන් වියේ සිටම හොලිවුඩ් සිනමා තරුවක් වීමට සිහින මැවූ ජැකලින් ෆර්ඩිනැන්ඩස් 2009 වසරේදී ඉන්දියාවට ගියේ මෝස්තර නිරූපණ කටයුත්තකටය. ඒ වෙද්දී ඇය ශ්‍රී ලංකා විශ්ව රූ රැජන ලෙස අභිෂේක ලබා වසර තුනකි.
මෝස්තර නිරූපණයට ඉන්දියාවට ගිය ඇයට බොලිවුඩ් සිනමාවේ දොරටු විවර වූයේ එතරම් ප්‍රකට නොවූ අධ්‍යක්ෂවරයකු වන සුජෝයි ගොෂ්ගේ ‘ඇලඩින්‘ ප්‍රහසනාත්මක චිත්‍රපටයෙනි. බොලිවුඩ් සිනමාවේ මහා නළු අමිතාබ් බච්චන් සහ සංජේ දත් සමඟ බොලිවුඩ් සිනමාවේ සම්ප්‍රාප්තිය සටහන් කළ ඇයට බොලිවුඩය ජය ගැනීමට වැඩි කාලයක් ගත වූයේ නැත.
ආරම්භයේදී ඊට වසරකට පසු බොලිවුඩ් සිනමාවේ ගවේෂණාත්මක නිර්මාණ පිපාසයෙන් පෙළුණු අධ්‍යක්ෂවරයකු වන මිලාප් සවෙරිගේ ජානේ කහාන් සේ ආයි හයි රෝමාන්තික චිත්‍රපටයේ රංගනයට එක් වූ ජැකලින් බොලිවුඩය ජයගැනීමට අඩිතාලම වැටුණේ මහේෂ් භාට්ගේ ‘මර්ඩර් 2‘ ත්‍රාසජනක චිත්‍රපටයෙනි. බොලිවුඩ් සිනමා විචාරකයන් එය හැඳින්වූයේ ඇගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍යය ලෙසටය. අනතුරුව ඇය ‘හවුස්ෆුල් 2‘ චිත්‍රපටයේ අක්ෂේ කුමාර්, ජෝන් ඒබ්‍රාහම් සහ අසින් සමඟ ප්‍රධාන භූමිකාවකට පණ පෙව්වාය. එය එම වසරේදී සමස්ත ඉන්දියාවේ වැඩිම ආදායම ලැබූ චිත්‍රපටය ද විය. ඊළඟ වසරේ පැවැති 14 වැනි ‘අයිෆා‘ සිනමා සම්මාන උලෙළේදී හොඳම සහාය නිළිය ලෙස නිර්දේශ වීමට සමත් වූ ඇය බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය තාරකාවක් බවට පත් වූයේ සයිෆ් අලි ඛාන්, ජෝන් ඒබ්‍රහම් සහ දීපිකා පඩුකොන් සමඟ එක්ව රඟපෑ ‘රේස් 2‘ චිත්‍රපටයෙනි. ඊළඟ වසරේදී ඇය බොලිවුඩ් සිනමාවේ නොම්මර එකේ නළුවා ලෙස වැජඹුණු සල්මාන් ඛාන් සමඟ ‘කික්‘ චිත්‍රපටයට රංගනයෙන් දායක වූවාය. එය වූකලී බොලිවුඩ් සිනමාවේ වැඩිම ආදායම් ලැබූ සිවුවැනි චිත්‍රපටය බවට පත් වෙද්දී ජැකලින් ෆර්ඩිනැන්ඩස් ජනප්‍රිය නිළියන්ගේ ගොන්නට සේන්දු වූවාය. අනතුරුව බොක්ස් ඔෆීස් වාර්තා තැබූ තවත් චිත්‍රපට රැසකම ප්‍රධාන චරිතයට පණ පෙවූ ඇය බොලිවුඩ් සිනමාවේ වැඩිම මුදලක් අය කරන ඉහළම මට්ටමේ නිළියක මෙන්ම කාර්ය බහුල නිළියක බවට ද පත්වූවාය.
ඒ වන විට ශ්‍රී ලාංකික හින්දි චිත්‍රපට ප්‍රේක්ෂකයන් අතරද ජැකලින්ගේ ජනප්‍රියත්වය තිබුණේ ඉහළම තැනකය. බොලිවුඩයේ සෙසු නිළියන් මෙන්ම පුවත් මවන ප්‍රතිරූපයකට හිමිකම් කී මේ සුරූපිනිය 2017 වසරේදී චන්ද්‍රරත්නම්ගේ ‘අකෝඩිං ටු මැතිව්‘ චිත්‍රපටයෙන් ශ්‍රී ලාංකේය සිනමාවට ද පා තැබුවාය.
ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද බොලිවුඩ් සිනමාවට නිළියක දායාද කළ ඇගේ මාපියන් ගැන දන්නේ අතළොස්සක් පමණි. ඇගේ පියා එල්රොයි ෆර්ඩිනැන්ඩස් ශ්‍රී ලාංකික බර්ගර් ජාතිකයකු වන අතර, මව කිම් කැනඩා සම්භවයක් සහිත මැලේසියා ජාතික කාන්තාවකි. එල්රෝයි එකල මෙරට සංගීත ශිල්පියකු ලෙස කටයුතු කර ඇතැයි වාර්තා වූවද වැඩිදුර තොරතුරු වාර්තා වී නැත. ඔහු අසූ තුනේ කළු ජුලියෙන් පසු බහරේනයට සංක්‍රමණය වී ඇති අතර, ඒ වන විට ගුවන් සේවිකාවක ලෙස රැකියාවේ නිරතව සිටි බිරිය කිම් මුණ ගැසී ඇත්තේ බහරේනයේදීය. දරුවන් සිවුදෙනකුගෙන් යුතු ෆර්ඩිනැන්ඩස් පවුලේ බඩපිස්සිය ජැකලින්ය. ඇයට වැඩිමල් සොහොයුරියක සහ සොහොයුරන් දෙදෙනෙකි.
පෞද්ගලික ජිවිතයේ තොරතුරු හාරා ඇවිස්සීමේදී ඇය උපන් බහරේනයේ රජපවුලක කුමරුවකු සමඟ පෙමින් වෙළී සිටි බව සොයා ගත හැකි විය.එරට රජ පවුලේ සාමාජිකයකු වන හසන් බින් රෂිඩ් අල් කලීෆා සමඟ පෙම් සබඳතාවක ආරම්භ වී ඇත්තේ ඇය බොලිවුඩ් සිනමාවට පිවිසීමට වසරකට පෙරය. එහෙත් වසර තුනකට පසු දෙදෙනා වෙන් වූ බව ද කියැවේ.
පසුකාලිනව ඇය බොලිවුඩ් සිනමාවේ අධ්‍යක්ෂවරයකු වන සජීඩ් ඛාන් සමඟ පෙම් පළහිලව්වක පැටලී සිටි බව ඉන්දීය පුවත්පත් වාර්තා කර තිබිණි. එය විවාහය දක්වා දුරදිග යන ප්‍රේමයක් බවටත් අනාවැකි පළවී තිබිණි. එහෙත් 2013 වසරේදී එය බිඳ වැටුණේ දෙවසරක් පුරා ඉන්දීය මාධ්‍ය අතර වැඩිපුර කතාබහට ලක්වීමෙන් පසුවය. ඊළඟට ඇගේ නම ඈඳුණේ බොලිවුඩයේ සුපිරි නළු සල්මාන් ඛාන් සමඟය. සිනමාවේ මෙන්ම සැබෑ ජීවිතයේදිත් නොම්මර එකේ අනංගයකු වන සල්මාන්ගේ ප්‍රේමයට එතරම් ආයුෂ නොතිබුණු බවත් පසුව වාර්තා වී තිබිණි.
ව්‍යාපාර සඳහා මුදල් ආයෝජනය කිරීමෙන් ජැකලින් සිය ව්‍යාපාරික දැනුම පුළුල් කරගත් අතර, එවැනි මුදල් ආයෝජන අවස්ථා කිහිපයක් වාර්තා වී තිබිණි. 2014 වසරේදී ඇය සූපවේදි දර්ශන් මුනිදාස සමඟ එක්ව ‘කෑම සූත්‍ර‘ නමින් කොළඹ අවන්හලක් ආරම්භ කළ අතර, ඊට වසර තුනකට පසු ඉන්දියාවේ බීම සමාගමකට ඉන්දීය රුපියල් මිලියන 35ක් ආයෝජනය කළාය.
සුකේෂ් චන්ද්‍රසේකර්ගේ ඉන්දීය රුපියල් කෝටි 215ක කප්පම් මුදල් සිදුවීමට ජැකලින්ගේ නම ඈඳුණේ පසුගිය වසරේ දෙසැම්බරයේ සිටය. කර්ණාටක ප්‍රාන්තයේ බෙංගලෝරු පළාතේ පදිංචිකරුවකු වන මේ තරුණයා අවුරුදු තිස් ගණන්වල අගභාගයේ පසුවන්නෙකි. හෙතෙම සුඛෝපභෝගී ජීවන රටාවක් ඉලක්ක කරමින් මිනිසුන් රැවටීමට පටන් ගෙන ඇත්තේ 17 හැවිරිදි වියේ සිට බව පොලීසියට තොරතුරු අනාවරණය වී තිබේ. පසුකාලීනව චෙන්නායි නුවර පදිංචියට ගොස් ඇති සුකේෂ්ගේ රැවටිලි බස්වලට අසුවුණු පුද්ගලයන්ට අවසානයේ ඉතිරිවී ඇත්තේ ඇඳිවත පමණක් බව වාර්තාවේ.
ජැකලින්ගේ නම සම්බන්ධ නඩුවට අමතරව තවත් නඩු 15ක් සුකේෂ්ට එරෙහිව ඇතැයි ද දිල්ලි පොලිසිය ප්‍රකාශ කර තිබේ. චෙන්නායි නුවර මුහුදුබඩ පළාතක බංගලාවක්. ඉන්දීය රුපියල් ලක්ෂ 82කට අධික මුදලක් සහ සුඛෝපභෝගී මෝටර් රථ දුසිමකට අධික සංඛ්‍යාවක් මේ වනවිට පොලිසිය බාරයට ගෙන තිබේ. රැකියා දෙන බවට පොරොන්දු වී ඔහු පුද්ගලයන් 100කට වැඩි පිරිසක් රවටා රුපියල් කෝටි 75කට අධික මුදලක් වංචා කර ඇති අතර, එය සිදු කර ඇත්තේ දේශපාලඥයකුගේ ඥාතියකු ලෙස පෙනී සිටිමිනි. වසර 2011 දී ඔහු සහ ඔහුගේ බිරිය ලීනා මරියා පෝල් චෙන්නායි නුවර පිහිටි බැංකුවකින් මුදල් වංචාවක් සිදු කිරීමේ චෝදනාවට අත්අඩංගුවට පත්වී ඇති අතර, දෙදෙනාම මුදා හැර ඇත්තේ ඇප පිටය.
සුකේෂ් චන්ද්‍රසේකර රුපියල් කෝටි 215 වංචාව සිදු කර ඇත්තේ සිරගතව සිටින ඉන්දියාවේ සුප්‍රකට ෆෝටීස් හෙල්ත්කෙයාර් ඖෂධ සමාගමේ හිටපු ප්‍රවර්ධකයකු වන ෂිවින්දර් මොහාන් සිං නිදහස් කර දෙන බවට ඔහුගේ බිරියට පොරොන්දු වෙමිනි. ඒ සඳහා ඔහුගේ බිරිය වසරක් පුරා සුකේෂ්ට රුපියල් කෝටි 215ක මුදලක් වරින් වර ලබා දී තිබූ බව වාර්තා විය.
මුලදී සුකේෂ් සමඟ සම්බන්ධයක් ඇති බව ජැකලින් ප්‍රතික්ෂේප කර ඇති අතර, පසුව දෙදෙනා එකට සිටින ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යජාලා අතර සංසරණය වීමෙන් පසු කට උත්තර නැතිවූ බව පොලිසිය සඳහන් කර තිබේ. එම ඡායාරූපවල සටහන්ව ඇත්තේ ජැකලින් ඔහුට හාදු දෙන ආකාරයයි. එම ජායාරූප සුකේෂ් ඇප මත නිදහස්ව සිටියදී මේ වසරේ අප්‍රේල් සහ ජූනි මාස අතර ලබාගත් ඒවා බව පැවැසේ.
ජැකලින් මූල්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්ට දුන් ප්‍රකාශයට අනුව සුකේෂ් ඇයට ඔහු හඳුන්වා දී ඇත්තේ සන් රූපවාහිනි සමාගමේ හිමිකරු සහ ජයලලිතාගේ බෑණනුවන් ලෙසට බව එන්ඩීටීවී පුවත් සේවය වාර්තා කළේය. ඔහු සිය නම සඳහන් කර ඇත්තේ ශේකර් රත්න වේලා ලෙසිනි. කෙසේ වෙතත් මූල්‍ය බුද්ධි අංශයේ නිලධාරින්ට අනුව සුකේෂ් සහ ජැකලින් දෙදෙනාම දුන් ප්‍රකාශ පරස්පර විරෝධී බව එන්ඩීටීවී පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර තිබිණි.
සුකේෂ්ට අමතරව තවත් පුද්ගලයන් අටදෙනකු මේ සිදුවීමට සම්බන්ධව අත්අඩංගුවට ගත් බව මූල්‍ය බුද්ධි අංශය ප්‍රකාශ කර තිබේ. ඔහුගේ බිරිය ලීනා, ඔහු සහ ජැකලින් අතර සම්බන්ධතාවට සහාය දුන් පින්කි ඉරානි ද ඒ අතර වෙති.
සුකේෂ් සමග සම්බන්ධතා පැවැති කාල සීමාව ඇතුළත ඔහු තමාට ත්‍යාග රැසක් පිරිනැමූ බව ජැකලින් මූල්‍ය බුද්ධි අංශයේ නිලධාරින් හමුවේ පිළිගෙන ඇත. ලෝක ප්‍රකට වෙළෙඳ සන්නාම සහිත අත් බෑග් 4ක්, තවත් ප්‍රකට වෙළෙඳ සන්නාම සහිත සපත්තු කුට්ටම් තුනක්, මිල අධික ඇඳුම් පැලඳුම්, සුවඳ විලවුන්, පර්සියානු බළලුන්, මිනි කූපර් මෝටර් රථයක්, දියමන්ති කරාබු යුගලයක්, දියමන්ති අත් පලඳනාවක් ද ඒ අතර ඇතැයි ජැකලින් ප්‍රකාශ කර තිබේ. මීට අමතරව ඔහු ජැකලින්ගේ සොහොයුරියට ඩොලර් එක්ලක්ෂ හැත්තෑතුන්දහසක මුදලක් ණයට දී ඇතැයි ද, ඇගේ සොහොයුරකුට බීඑම්ඩබ්ලිව් මෝටර් රථයක් සහ රොලෙක්ස් අත් ඔරලෝසුවක් ද තෑගි කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
මේ අතර ඉන්දීය රුපියල් කෝටි 215ක කප්පම් නඩුවේ ගොදුරක් බවට පත්වී ඇතැයි ඉන්දීය මූල්‍ය බුද්ධි අංශය ඇයට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කිරීමෙන් පසු ජැකලින්ගේ නීතිඥ ප්‍රශාන්ට් පටිල් ‘ඉන්ඩියා ටුඩේ‘ සඟරාවට ප්‍රකාශ කර ඇත. එම නඩුවේ වත්මන් ස්වභාවය එහෙම පිටින්ම අවාසනාවන්ත තත්ත්වයකට පත්ව ඇතැයි ද ඔහු සඳහන් කර තිබේ.
ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ විත්තිකාර තරුණයා ඇය රටවා මේ පළහිලව්වට සම්බන්ධ කරගෙන ඇති බවය.
‘ඇය සෑමවිටම විමර්ශන නිලධාරීන් සමඟ ඉතා සහයෝගයෙන් කටයුතු කර ඇති අතර, මේ දක්වා නිකුත් කර ඇති සියලුම සිතාසිවලට පෙනී සිටියා. ඇයට අත් වූ සැබෑ ඉරණම පිළිගැනීමට විමර්ශන නිලධාරීන් අපොහොසත් වීම කනගාටුදායක කරුණක්. ඇය තමා සතු සියලුම තොරතුරු විමර්ශකයන්ට උපරිම අයුරින් බාර දී තිබෙනවා.‘ ඔහු ඉන්ඩියා ටුඩේ සඟරාවට එසේ ප්‍රකාශ කර තිබේ.
ජැකලින් මේ නඩුවේ විත්තිකාරිය ලෙස නම් කිරීමට පෙර අවස්ථා පහකදී පමණ විමර්ශකයන්ගේ ප්‍රශ්න කිරීමට ලක්වුණා. පවතින සාක්ෂි මත පදනම්ව, ජැකලින් එම මූල්‍ය අපරාධයේ ආදායමෙන් ප්‍රතිලාභයක් ලබා ඇති බව පෙනෙනවා. එම කප්පම් මුදලින් ජැකලින් සුකේෂ් චන්ද්‍රශේකර්ගෙන් රුපියල් කෝටි 10ක තෑගි ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා..එම චෝදනා පත්‍රය භාර ගැනීම අගෝස්තු 31 වැනිදා අධිකරණය විසින් තීරණය කරාවි.
තර්ක විතර්ක අනුව නඩු පැවරීමට හැකියාව තිබුණත් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ හෝ වෙනත් නීතිමය කරුණු පදනම් කරගෙන ඇයට එරෙහිව කිසිදු නඩුවක් පැවැරිය නොහැකියි. මෙය විකෘති නඩුවක්. ඒ නිසා මගේ සේවාදායිකාවට නීතිය යටතේ අවශ්‍ය පරිදි සිය ගෞරවය හා නිදහස ආරක්ෂා කිරීමට පියවර ගත යුතුයි.‘ ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
උසාවි ගාණේ රස්තියාදුවීම හෝ සිරබත් කෑම බොලිවුඩ් නළුනිලියන්ට එතරම් දෙයක් නොවන බව පෙනෙන්නේ ඉතිහාසය පුරා එවැනි සිදුවීම් ඇති බැවිනි. ඒ අතරින් කැපී පෙනෙන්නේ 1993 වසරේදී මුම්බායි නුවරට (එවකට බොම්බේ) බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමේ සිදුවීම සම්බන්ධවය. ඔහුට චෝදනා එල්ල වූයේ පුද්ගලයන් 257කට මරු කැඳවූ එම ප්‍රහාරයට සම්බන්ධ අවිආයුධ ළඟ තබා ගත් බවටය. එය වසර 5ක් බන්ධනාගාරයේ තැපීමට ඔහුට ප්‍රමාණවත් විය.
දඩමස් කෑමට උපන් දොළදුකක් නිසා 1998දී චිත්‍රපටයක රූ ගත කිරීමක් අතරතුර දඩයමේ ගිය සුපිරි නළු සල්මාන් ඛාන්ට වසර පහක සිරදඬුවමක් නියම වූයේ කළුගෝන්නු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ වරදටය. ඉතා දුර්ලභ වර්ගයේ එම කළුගෝන්නු සංරක්ෂිත සත්ත්ව විශේෂයකි. වාසනාවට අභියාචනාවක් ඉදිරිපත් කරමින් නඩු තීන්දුව වෙනස් කරගැනීමට ඔහු සමත් වුවත් ඒ වන විටත් වාර දෙකකදී දින 18ක්ම රක්ෂිත බන්ධනාගාර ගතවීමට ඔහුට සිදු විය. තවත් සුප්‍රකට නළුවකු වන ජෝන් ඒබ්‍රහම් දින 15ක් සිරබත් කෑ බව දන්නේ අතළොස්සක් පමණි. ඔහුට මේ ඉරණම අත්වූයේ 2006 වසරේදී ඔහු අධික වේගයෙන් පදවාගෙන ගිය යතුරුපැදියේ ගැටී පුද්ගලයන් දෙදෙනකු තුවාල ලැබීමෙනි. මීට අමතරව මුම්බායි ටාජ් හෝටලයේදී ව්‍යාපාරිකයකුට පහරදී තුවාල සිදු කිරීමේ වරදට සයිෆ් අලි ඛාන්ද, මත්ද්‍රව්‍ය සැපයීමේ වරදට ෆර්ඩීන් ඛාන් ද පොලිස් කූඩුවේ ලැග තිබිණි.
කෙසේ වෙතත් ජැකලින් ෆර්ඩිනැන්ඩස්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා පත්‍රය පිළිබඳ සහ ඇයට එල්ලවී ඇති චෝදනාව පිළිබඳ අනාවැකි පළ කිරිම එතරම් උචිත නොවන්නේ පිළිගත හැකි සාක්ෂි මත පදනම්ව ඉන්දීය මූල්‍ය බුද්ධි අංශය ගොනු කර ඇති නඩුව මෙතෙක් විභාගයට ගෙන නැති බැවිනි. එය ඉදිරියේදී සිදු වනු ඇත.