රනිල් රාජා­සන කතාව කරද්දී ඉම්ති­යා­ස් දිනේෂ්ට යවපු චිට් එකක් තිබුණේ මොනවාද? | Page 2 | සිළුමිණ

රනිල් රාජා­සන කතාව කරද්දී ඉම්ති­යා­ස් දිනේෂ්ට යවපු චිට් එකක් තිබුණේ මොනවාද?

මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ වැඩියෙන්ම කතාබහට ලක්වෙන මාතෘකාව “සර්ව පාක්ෂික ආණ්ඩුවයි.”

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පසුගිය 03 වැනිදා 9 වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය විවෘත කරමින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශයේදී සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වන ලෙසට පාර්ලිමේන්තුවේ සියලුම ‍දේශපාලන පක්ෂවලට ආරාධනා කළේය.

 

රනිල් එපා කියන්නේ තුන්දෙනක් පමණයි

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ආණ්ඩු සහ විරුද්ධ පක්ෂයෙන් ඉහළ ප්‍රතිචාර හිමිවී ඇති අතර එය විවේචනය කරනු ලබන්නේ පාර්ලිමේන්තුවේ තිදෙනෙකි. ඒ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනා කියා සිටින්නේ මේ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහයන්ගේ සර්ව පාක්ෂික ආණ්ඩුවට කිසිදු සහයෝගයක් ලබා නොදෙන බවයි.

සජබයෙන් 15 ක්

මේ අතර සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකුම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කතාකොට කීවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා තමන් උපරිම සහයෝගය ලබාදෙන බවයි. සමඟි ජනබලවේගයේ 15 දෙනෙකු පමණ සර්ව පාක්ෂික ආණ්ඩුවේ වගකීම් බාරගෙනම කටයුතු කිරීමේ සූදානමක් පවතින බවටද වාර්තා වේ. මේ අතර සමඟි බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර තවත් කළකිරීමකට හේතු වී තිබෙන්නේ සජිත් ප්‍රේමදාස සහ සරත් ෆොන්සේකා අතර ගැටුමයි.

 

සජිත් - ෆොනී ගැටුම උත්සන්න වේ

සමඟි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හා සරත් ෆොන්සේකා අතර ඇති වී ඇති ගැටුම දැන් ප්‍රසිද්ධ රහසකි. සජිත්ට හොරෙන් ගිහින් ගෝඨා සමඟ අගමැති තනතුර වෙනුවෙන් සාකච්ජා කිරීමත් ජනාධිපතිවරණයට සජිත් ඉදිරිපත් නොවන්නේ නම් තමන් ඉදිරිපත් වන බවට පැවසීමත් යන කාරණා හරහා මතු වූ ආරෝව ෆොන්සේකා අගෝස්තු 9 තීරණාත්මක සටනකට ජනතාවට කොළඹ එන්න කියා කළ කතාවත් සමඟ උච්ච ස්ථානයට පැමිණි ඇති බව වාර්තා වේ. සජිත් දිගටම ඡන්දයක් ඉල්ලමින් සිටින විට ෆොනී ඒකට විරුද්ධ වීමත් මෙම ගිනි කන්ද පුපුරා යාමට තවත් හේතුවක් වී තිබේ. “ෆොනී ඉන්නේ ඉක්මනින් බලය ගන්න ෂෝට් කට් එකක් ‍හොයමින්” යනුවෙන් සජිත් පාර්ශ්වය ෆොන්සේකාට චෝදනා කරයි.

 

සහන්ගේ ගැටලුවට ප්‍රසන්න මැදිහත් වෙයි

පාර්ලිමේන්තුවේ නව සභාවාරය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල වාහන නතර කිරීමට ද වෙනත් විශේෂ ස්ථානයක් වෙන්කොට තිබුණි. පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී වීමට පැමිණි සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයා වෙනදා මෙන් සුපුරුදු ස්ථානයේම සිය රථය නතර කළේය.

" සර් මෙතන වාහන පාක්කරන්න දෙන්නෙ නෑ"

ආරක්ෂක නිලධාරියකු මන්ත්‍රීවරයාට කීවේය.

එහෙත් මන්ත්‍රීවරයා එය පිළිගත්තේ නැත.

" මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. වෙනදත් මම වාහනය පාර්ක් කරන්නේ මෙතන"

" සර්.. අද ජනාධිපතිතුමා එන නිසා සිකියුරිටි සිස්ටම් වෙනස් කරලා. අද මෙතන වාහන නවත්වන්න බැහැ "

ආරක්ෂක නිලධාරියා නැවත කීවේය.

එහෙත් එය නොපිළිගත් සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයා ආරක්ෂක නිලධාරින් සමඟ වාදයකට පැටලුණේය.

මේ අතරදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග ද පාර්ලිමේන්තුවට පැමිණෙමින් සිටියේය.

සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයා ආරක්ෂක නිලධාරින් සමඟ තරමක දැඩි ස්වරයෙන් කතා කරනු දැක ඇමති ප්‍රසන්න සිය රථය නවතා ඉන් බැස්සේය.

" මන්ත්‍රීතුමා මොකක්ද ප්‍රශ්නය" ඇමති ප්‍රසන්න විමසීය.

" බලන්න ඇමතිතුමා අද මෙතැන වාහනය පාක් කරන්න දෙන්නෙ නෑ.. අපි වෙනදත් පාක් කරන්නේ මෙතැන "

මන්ත්‍රීවරයා සිය පැමිණිල්ල ඉදිරිපත් කළේය.

එහිදී ආරක්ෂක නිළධාරියා අමාත්‍යවරයාට කරුණු පැහැදිලි කළේය.

" අද පාර්ලිමේන්තුවේ විශේෂ දවසක්. දන්නවනේ රටේ තත්ත්වේ. අනික මේ වගේ දවස්වලට පවතින තත්ත්වය තේරුම්ගෙන අපි වැඩකරන්න ඕන."

ඇමති ප්‍රසන්න රණතුංග මන්ත්‍රී සහන් ප්‍රදීප්ට කරුණු පැහැදිලි කළේය.

එහෙත් මන්ත්‍රීවරයා තම මතයේම දිගටම එල්බගෙන සිටියේය.

එහිදී ඇමති ප්‍රසන්න රණතුංග සඳහන් කළේ " අපි යමු මන්ත්‍රීතුමා... මේව මෙතන කතාකරන දේවල් නෙමෙයි... ප්‍රශ්නයක් තියේනම් අපි කතානායකතුමා එක්ක කතා කරල විසඳුමක් හොයමු " යැයි කීවේ සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයාගේ පිටටද තට්ටුවක් දමමිනි.

 

තේ පැන් සංග්‍රහයේ වියදමත් රනිල්ගෙන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ වෙහෙස වූවේ රාජාසන කතාව නිම කිරීම වෙනුවෙනි. ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා හා මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක වැනි නිලධාරීන් ගෙන්වමින් ඔහු රාජාසන කතාව වෙනුවෙන් වෙහෙස විය. උත්සව කටයුතු සංවිධානයේදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයාට විශේෂයෙන්ම දැනුම් දුන්නේ මෙම උත්සවය චාම්ව පවත්වන ලෙසය.

“මට අවශ්‍ය රටට මගේ වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න පමණයි. ඒ නිසා ලොකු උත්සව අවශ්‍ය නෑ. සාම්ප්‍රදායික දේ විතරක් කරන්න.“ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට උපදෙස් දුන් ජනාධිපතිවරයා සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහයට වැය වන මුදල තමන් පෞද්ගලිකව දරන බව ද සිහිපත් කළේය.

 

රනිල්ගේ කතාව අස්සේ විපක්ෂයෙන් ආණ්ඩුවට චිට් එකක්

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශයට සවන්දීම සඳහා බොහෝ දෙනා තුළ තිබුණේ දැඩි අවධානයකි.

පාර්ලිමේන්තුවේ ආරාධිත අමුත්තන්ගේ මෙන්ම මහජන ගැලරිය පිරීගොස් තිබුණේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට සවන්දීමට පැමිණි සිටි ආරාධිතයන්ගෙනි. මේ අතර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන අවස්ථාවේදී විරුද්ධ පක්ෂයේ ඉදිරිපෙළ ආසනයක සිටි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් විසින් චිට් කැබැල්ලක් පාර්ලිමේන්තු සේවකයෙකු අතර ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළ අසුන්ගෙන සිටි දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා වෙත යැවීය.

දිනේෂ් සිනාසෙන ගමන් ඉම්තියාස් දෙස බැලූ අතර ඊට ප්‍රතිචාර දැක්වූයේද සිනහසෙමිනි.

ඔබතුමා අග්‍රාමාත්‍යධුරයට පත්වීම ගැන මගේ උණුසුම් සුබ පැතුම් පෞද්ගලිකවම පිරිනමනවා.” යනුවෙන් ඉමිට්තියාස් බාකීර් මාකර්, දිනේෂ් ගුණවර්ධනට යවපු චිට් එකේ සඳහන් වී තිබුණි.

පාර්ලිමේන්තු අමුත්තන්ගේ භෝජනාගාරයේ පැවැති තේ පැන් සංග්‍රහයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හර්ෂ ද සිල්වා, පාඨලී චම්පික, මනෝ ගනේෂන්, ගයන්ත කරුණාතිලක ආදී සජබ මන්ත්‍රීවරු රැසක් පැමිණ ජනාධිපතිවරයා ගේ කතාව අගය කළහ.

“ඔන්න මම සර්ව පාක්ෂික ආණ්ඩුවකට ආරාධනා කළා. දැන් ඔයාලගේ අවස්ථාව තමයි තියෙන්නේ. රට වෙනුවෙන් එකතු වෙනවාද නැති ද කියලා ඔයාලා තීන්දු කරන්න.“ ජනාධිපතිවරයා තමන් අසලට පැමිණ සැමට කීවේ සිනාසෙමිනි.

 

විරෝධතාකරුවන්ට මහින්දගෙන් ටියුෂන්

තේ පැන් සංග්‍රහයට පැමිණි අමුත්තන් කිහිප දෙනකු සමඟ කතාවට එකතු වූ හර්ෂණ රාජකරුණා ද තමන්ගේ මතය ඔවුන් හා කීවේය. “මචං අපිත් ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලට කැමැතියි. අපි එතුමා ළඟට එන්නේ කොහොමද? දැන් එයා ඉන්නේ පොහොට්ටුවේ අයත් එක්කනේ.“ හර්ෂණ කියද්දී අමුත්තන් කීවේ “ඕවා අමතක කරන්න.“ යනුවෙනි.

පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ වම් අත අල්ලාගෙන රනිල් කීවේ ”ඔයා හොඳ දක්ෂයෙක්. අනිවාර්යෙන්ම සර්ව පාක්ෂික ආණ්ඩුවට එක්විය යුතු බවයි.”

පිවිතුරු හෙළ උරු‍මයේ නායක උදය ගම්මන්පිල සමඟද ජනපති රනිල් කතාබස් කළේය.

ඊට අමතරව ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් පක්ෂ නායකයින් රැසක්ම සමඟ කතාබස් කිරීමට රනිල් අමතක නොකළේය.

මේ අතර තේ පැන් සංග්‍රහයට පැමිණ සිටි මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා ළඟටම පැමිණ අතට අතදී සුහදව කතාකිරීමට ද සැලකිය යුතු දෙනෙක් පැමිණියහ.

මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා නව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට සවන්දීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ සිටින විට පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකු සමඟ කතාබස් කරමින් සිටියහ.

මෙම අවස්ථාවට විශ්ව විද්‍යාලවල කථීකාචාර්යවරුන් දෙතුන් දෙනෙකුද පැමිණ සිටි අතර ඔවුන් පාර්ලිමේන්තු සංකීර්ණය පැමිණ සිටියේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට සවන්දීමටය.

“සර් දැන් මේ විරෝධතාකරුවන් ලෙස කටයුතු කරන සමහර කැම්පස් ළමයින්ට අරගලයක් ජයග්‍රහණය කරවන්න තේරෙන්නේ නැහැ.”යනුවෙන් එක් කථීකාචාර්යවරයකු පැවසීය.

“ඇයි එහෙම කියන්නේ” යනුවෙන් විමසුවේ මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයාය.

“නෑ. සර් මේගොල්ලන්ට හොඳ නායකත්වයක් නැහැ. අරමුණක් නැහැ. ඉවසීමක් නැහැ. දැන් බලන්න සර් එදා ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට ‍එරෙහිව කතරගම පාද යාත්‍රා ගියා. ජන ඝෝෂා, මිනිස් දම්වැල වා‍ගේ විරෝධතා පවත්වලා ජනමතය වෙනස් කරලා. 1994 දී 17 වසරක එක්සත් ජාතික පක්ෂ පාලනය අවසන් කළා. දැන් කට්ටිය කරන්නේ මන්දිර අල්ලන එක, ගෙවල් ගිනි තියන එක, ප්‍රචණ්ඩකාරී වෙන එක. නමුත් ජනමතය වෙනස් කරන හැටි මේගොල්ලන් සර්ගෙනුයි ටියුෂන් ගන්න ඕන” යනුවෙන් තවත් කථීකාචාර්යවරයෙක් විසින් පෙන්වා දෙන ලදී.

“ඉස්සර විතරක් නෙවෙයි.පසුගිය යහපාලන ආණ්ඩුව වෙලාවේදී අපි ලක්ෂ ගණනක් කොළඹට ගෙන්නුවත් එක ගල් කැටයක්වත් අපේ කට්ටිය අතට ගත්තේ නැහැ. සාමකාමී විරෝධතාවයෙන් තමයි ජනමතය දිනාගන්න පුළුවන් වෙන්නේ. ” යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 

සර්ව පාක්ෂික නැතිනම් බහුපාක්ෂික

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධූරයට පත්වීමෙන් පසුව ඉකුත් සති අන්තයේ මහනුවර බලා පිටත්වූවේ චරිත්‍රානුකූල කටයුත්තක් ඉටු කිරීමටය. ඔහු දළදා මාලිගාවට ගොස් දළදා සමිදුන් වැඳ පුදා ගැනීමෙන් පසු මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දුටුවේය.

මහනුවර අස්ගිරි විහාරස්ථානයට ගිය ජනාධිපති රනිල් එහි උපෝසතාගාරයේදී මහනාහිමියෝ ප්‍රමුඛ මහසංඝරත්නය බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය. අනතුරුව උන්වහන්සේලා ආර්ථික තත්ත්වය හා දේශපාලන තත්ත්වය ගැන මෙන්ම ජනාධිපතිවරයාගේ ඉදිරි සැලසුම් ගැන විමසා සිටියහ. ජනපති රනිල් ද සිය ඉදිරි සැලසුම් ගැන උන්වහන්සේලා දැනුම්වත් කළේය.

එහිදි අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආනමඩුවේ ධම්මදස්සී නාහිමියන් ජනාධිපතිගෙන් පැනයක් විමසා සිටියහ. “සර්ව පාක්ෂික ආණ්ඩුවක් දැන් හදනවා කියනවා. කොහොමද ඒක කරන්නේ.“ උන්වහන්සේ විමසා සිටියහ.

“නායක හාමුදුරුවනේ මම සර්ව පාක්ෂික රජයට එකතු වෙන්න කියලා හැම මන්ත්‍රීවරයකුටම ලිපියක් මගින් ආරාධනා කළා. දැන් එයාලගේ ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් ඉන්නේ. මේ සතියේ මම ඒ අයව මුණ ගැහිලා සාකච්ඡා කරනවා.“ ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේය.

“බොහොම හොඳයි. හැබැයි ඉතින් සර්ව පාක්ෂික කියනවාට වඩා බහු පාක්ෂික කියලා නම දාගෙන ඔය වැඩ ටික ඉක්මනට කර ගන්න.“ අනුනාහිමියෝ කීහ.

එය අනුමත කළ ජනාධිපතිවරයා ඉදිරියට එලෙස කටයුතු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය. අස්ගිරි විහාරස්ථානයෙන් පිටත්වූ ජනාධිපතිවරයා මල්වතු මහා විහාරයට ගියේ මහනාහිමියෝ බැහැ දැකීමටය. මල්වතු විහාරස්ථානයේ දි ජනාධිපති රනිල් එහි වැඩම කොට සිටි සියලුම අනුනාහිමිවරු ප්‍රමුඛ මහාසංඝරත්නය වෙත ග්‍රන්ථ පූජාවක් පැවැත්වීය.

රනිල්ගේ පොත් විනාශ වීම ගැන සංඝරත්නයේ සංවේගය

එහි සිටි හිමිනමක් ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ ඔහුගේ නි‍ෙවසේ තිබුණු පොත් කඩාකප්පල්කාරීන් විසින් ගිනි තබා විනාශ කිරීම ගැනය.

“ලොකු පාඩුවක් වුණේ නායක හාමුදුරුවනේ. ලන්දේසි යුගයේ හිටපු පියතුමෙක් ගැන ලියපු ඓතිහාසික ග්‍රන්ථයක් තිබුණා. ඒවා දැන් හොයා ගන්න නෑ. ඒ වගේම පෞරාණික චිත්‍ර එහෙමත් තිබුණා.“ ජනාධිපතිවරයාගේ පිළිතුර උන්වහන්සේලා සංවේගයෙන් යුතුව අසා සිටියහ.

 

රනිල්ට බාහු මතක් වෙයි

ජනාධිපතිවරයා ඊට පසු දින ආණ්ඩු පක්ෂයේ නුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් ද මුණ ගැසුණි. ඉකුත් ඉරුදින පැවැති එම හමුවට ප්‍රථම එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පැමිණ ජනාධිපතිවරයා මුණගැසුණේ අපූරු වීඩියෝවක් පෙන්වා සිටීමට ය.

මහනුවර පැමිණි රංගේ බණ්ඩාරට ආරංචි වූවේ පැරණි සටන් සගයකු වූ වික්‍රමබාහු කරුණාරත්න නුවරට පැමිණ විවේක සුවයෙන් කල් ගත කරන බවය. නුවර පදිංචිකරුවකු වන වික්‍රමබාහු අසනීප තත්ත්වය හේතුවෙන් නුවර නි‍ෙවසේ කාලය ගත කරමින් සිටින්නේය. එහි ගිය මහලේකම්වරයාට රටේ තත්ත්වය ගැන ප්‍රකාශයක් කළ වික්‍රමබාහු කරුණාරත්න එය ජනාධිපතිවරයාට පෙන්වා සිටින ලෙස ඉල්ලීමක් ද කළේය.

නව වාමාංශික පෙරමුණේ නායකයාගේ ඉල්ලීම ඒ ආකාරයෙන්ම ඉටු කිරීමෙන් පසු ජනාධිපතිවරයා කීවේ වහාම වික්‍රමබාහුට දුරකතන ඇමතුමක් ගන්නා ලෙසය. “කොහොමද බාහු සහෝදරයා.“ යනුවෙන් ජනාධිපතිවරයා කතාව ආරම්භ කළ අතර වික්‍රමබාහු කරුණාරත්න කතාව අවසන් කළේ “අරගලයට ප්‍රතිඅරගලයෙන් “ පිළිතුරු දීම ගැන ජනාධිපතිවරයාට පැහැදිලි කරමිනි.

කොළඹ පැමිණි පසු තමාව මුණ ගැසෙන ලෙස වික්‍රමබාහු කරුණාරත්නට දැනුම් දීමට ද ජනාධිපතිවරයා අමතක නොකළේය.

 

ජොනීගෙන් සහතිකයක්

සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් පැවැත්වෙන සාකච්ඡා මාලාවේ පළමු සාකච්ඡාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදි ඉකුත් අඟහරුවාදා පැවැත්විණි. එහි මහලේකම් සාගර කාරියවසම් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා මුණ ගැසීමට පැමිණ සිටි අතර පක්ෂයේ සහාය ජනාධිපතිවරයා නිර්මාණය කරන සර්ව පාක්ෂික රජයට හිමිවන බව සඳහන් කළේය.

මෙම අවස්ථාවට අගමැති දිනේෂ් ගුණවර්ධන මෙන්ම ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි ආදී මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වී සිටියහ. රැස්වීම අවසානයේ ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන් සමඟ සුහද සාකච්ඡාවකට ද එක් වූවේය.

“සර්ගේ ඉදිරි අවුරුදු දෙකහමාරක කාලයට අපි අනිවාර්යෙන්ම උදව් කරනවා. මේ ආණ්ඩුව වට්ටන්නවත් සර්ගේ ගමනට බාධා කරන්නවත් අපට ඕන නෑ. රට හදන්න. එච්චරයි අපිට ඕනේ.“ ජොන්ස්ටන් ප්‍රනාන්දු කියද්දී ජනාධිපතිවරයා සිනා සී හිස සැලීය.

 

ස්වාධීන මන්ත්‍රීවරු දිනේෂ් සොයාගෙන එති

පසුගිය සති අන්තයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිටියේ මහනුවරය. පසුව අගමැතිවරයා පැමිණියේ මහනුවර ජනාධිපති මන්දිරයටය. ඔහු එහි එන විටත් මහනුවර මැති ඇමතිවරු රැසක් එහි පැමිණ සිටියහ. කොළඹ සිට පැමිණි සිසිර ජයකොඩි හිටපු රාජ්‍ය අමාත්‍යවරයාද ඔවුන්ට එක්විය. විශේෂත්වය වූයේ, පාර්ලිමේන්තුවේ ස්වාධින වී සිටින පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමේ මහනුවර මන්ත්‍රීවරුන් දෙදෙනා වන වසන්ත යාපා බණ්ඩාර සහ උදයන කිරිඳිගොඩද එහි සිටීමය.

පසුව අගමැති දිනේෂ් සහ මෙම මන්ත්‍රිවරු වෙනම විශේෂ සාකච්ඡාවක නිරත වු අතර ඊට වෙනත් කිසිවකු සම්බන්ධ කරගත්තේ නැත.

පසුව අගමැතිවරයා, පස්වරුවේ මල්වතු මහා විහාරයට පැමිණ, මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන් සහ අස්ගිරි මහා විහාරයට පැමිණ, අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමිපාණන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. එම අවස්ථාවන්ට අනු නායක හිමිවරුද වැඩම කර සිටියහ. අනතුරුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැමිණියේ ගැටඹේ රාජෝපවනාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නා හිමි ඇතුළු මහා සංඝරත්නය බැහැ දැක ආශිවාද ලබාගැනීමටය. මේ සෑම අවස්ථාවකට ම හිටපු අමාත්‍ය දිලුම් අමුණුගම සහ පා.ම. යදාමිණි ගුණවර්ධන ද එක්වූහ.

" ... ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා එනවද ලංකාවට..." ආශිර්වාද කිරීමෙන් අනතුරුව සිරිනිමල නා හිමියෝ විමසුහ.

"..තවම දිනයක් නැ, එතුමාට පැමිණිය හැකියි..." අගමැතිවරයා පිළිතුරු දුන්නේය.

 

යෞවන ක්‍රීඩකයන්ගේ බොඳ නොවූ සිහිනය

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක වෙත ලැබුණු නිර්නාමික වට්ස්ඇප් පණිවුඩයකින් කියවුණේ ලෝක කනිෂ්ඨ මලල ක්‍රිඩා උළෙලට සහභාගීවීමට නියමිත දරුවන් පිරිසකට එම අවස්ථාව මඟහැරී යාමේ අවදානමක් ගැනය.

ඔහු වහාම එම වට්ඇප් අංකයට ඇමතුමක් දුන්නේ එහි සත්‍ය අසත්‍යතාව නිරවුල් කර ගැනීමටය. ඇමතුම ගත් තැනැත්තා පැවසූවේ කොළොම්බියා හි පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මළල ක්‍රීඩා උෙලළට යාමට සිටි දරුවන්ට එහි යාමට මුදල් නොමැතිකම මත දින කිහිපයක් තිස්සේ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දිවා රාත්‍රිය ගත කරනා බවය.

ගුවන් ටිකට්පත් සඳහා මුදල් ගෙවීමට නොහැකි බවට දැනුම් දීම නිසා එම දරුවන් දින කිහිපයක් ක්‍රීඩා අමාත්‍යාංශයේ බිම නිදාගනිමින් රැය පහන් කර තිබුණි. එය ඇසු ධනුෂ්ක රාමනායක ක්ෂණයෙන් ක්‍රියාත්මක වී ක්‍රිඩා ඇමතිවරයාගෙන් ගැටලුව කුමක් දැයි විමසා සිටි අතර ඔහු දැනුම් දී තිබුණේ මුදල් සොයා ගැනීමට කමිටුවක් පත් කර ඇති බවය.

මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා එම කටයුත්තේ නිරතවද්දී ඔහුට ජනාධිපතිවරයාගෙන් දුරකතන ඇමතුමක් ලැබුණේ වෙනත් කාරණයකටය. එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් දරුවන් පත්ව සිටින අසරණ තත්ත්වය ගැන ජනාධිපතිවරයාට සන්නිවේදනය කිරීමට ධනුෂ්ක වගබලා ගත්තේය.

“මේ දරුවන්ගේ අනාගතය විනාශ කරන්න දෙන්න එපා ධනුෂ්ක. සල්ලි නැත්නම් ජනාධිපති අරමුදලෙන් හරි අරගෙන දෙන්න. මොන පවු වැඩක්ද මේක. මේ දරුවෝ රටට ජයග්‍රහණයක් ගේන්න යන්නේ එයාලගේ ආත්ම විශ්වාසය වැටෙන්න දෙන්න එපා. කොහොම හරි ඒ ළමයි ටික කොලොම්බියා යවන්න.“ ජනාධිපතිවරයාගේ පිළිතුර එය විය.

ජනපති උපදෙස් අනුව ධනුෂ්ක රාමනායක වහාම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේට කතා කොට ගුවන් ටිකට්පත් ප්‍රශ්නය ගැන විමසූ අවස්ථාවේ ඔහු කියා තිබුණේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය කොළොම්බියාව වෙත නොයන බවය. ඔහු කියා තිබුණේ හොඳ ගුවන් ටිකට්පත් ආයතනයක් සොයාගත හොත් ගැටලුවට විසඳුමක් ගත හැකි බවකි.

ඒ අනුව ඔහු බී.ඕ.සි ගුවන් ටිකට්පත් ආයතනයට කතා කොට ගැටලුවට විසදුම් සොයද්දී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ද මේ ප්‍රශ්නය ගැන දැනුම්වත් වී ඔහුගේ මැදිහත්වීමෙන් අවශ්‍ය මුදල් පහසුකම සපයා ගැනීමට හැකිවීමය. ඉන් අනතුරුව ෂෙනගන් වීසා අවශ්‍ය වූවේ යුරෝපා රටකට ගොස් කොළොම්බියා බලා පිටත්වීමට ගුවන් ගමන යෙදී තිබුණු බැවිණි. එය ද සාගල රත්නායකගේ මැදිහත්වීමෙන් අවසන් වූවේ දරුවන්ගේ නෙතට සතුටු කඳුළක් එක් කරමිනි.

 

වජිර තවමත් නිදිවරයි

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ගෙනැවිත් ජනාධිපතිධුරය සඳහා පත්කරගැනීමට තිරය පිටුපස සුවිශේෂී කාර්යය භාරයක් ඉටුකළ එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මේ දිනවලත් ඉතා කාර්යය බහුලවීම නිසා ඇතැම් දිනවල නිදි වර්ජිතවම වැඩකටයුතු කරන බව වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යධුරයට පත්වීමේ සිට ජනාධිපතිධුරයට පත්වීම සඳහා පාර්ලිමේන්තුවේ සහයෝගය ලබාගැනීමට අදාළව විශාල කාර්යයභාරයක් කළ වජිර ඇතැම් ජනතා නියෝජිතයින් සමඟ කොළඹ රැජිණ මාවතේ පිහිටි තම නිල නි‍ෙවසේ මැදියම් රැය වනතුරුත් සාකච්ජාවල නිරත වූයේය.

එසේ සහයෝගය ලබාදුන් ජනතා නියෝජිතයන් සර්ව පාක්ෂික ආණ්ඩුවට එක්කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව මේ දිනවල නිදිවරාගෙන වජිර ඔවුන් සමඟ සාකච්ජා පවත්වමින් සිටින බවද වාර්තා වේ.

 

Comments