ජාතික මංචි වොලිබෝල් ශූරතාවලිය 2022 මෙවර කිරුළු කාටද ? | Page 2 | සිළුමිණ

ජාතික මංචි වොලිබෝල් ශූරතාවලිය 2022 මෙවර කිරුළු කාටද ?

මෙරට ප්‍රබල වොලිබෝල් කණ්ඩායම් 12ක් සහභාගිත්වයෙන් ගාල්ල, දඩල්ල වොලිබෝල් පියසේ දී පැවැත්වූ ‘ජාතික මංචි කුසලාන වොලිබෝල් ‘ මූලික තරගාවලියේ දී අවසන් මහා තරගයට පිරිමි අංශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම හා ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩල කණ්ඩායමත් කාන්තා අංශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම හා ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමත් සුදුසුකම් ලබා තිබේ.

සුපර් ලීග් ක්‍රමයට පැවැති මේ තරගාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 7ක් හා කාන්තා කණ්ඩායම් 5ක් තරග වැදුණි. රටේ වාතාවරණය මත තෙවතාවක්ම කල් දමා තිබූ මෙම තරගාවලිය සිලෝන් මංචි බිස්කට් සමාගම අනුග්‍රහයෙන් පසුගියදා පැවැත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කළේය.

අවසන් මහා තරගාවලිය වෙනුවෙන් පිරිමි හා කාන්තා වොලිබෝල් කණ්ඩායම් දෙකම නියෝජනය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් වූ අතර එය ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් වසර 10කට පසු ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක් ද වේ.

ලබන මස (ජූලි 03) පැවැත්වීමට නියමව ඇති අවසන් මහා තරගය හදිසි වාතාවරණය මත කිසියම් වෙනසක් සිදු කිරීමට හැකියාව තිබෙන බව සඳහන් කළ සංවිධායක මණ්ඩලය මංචි ශුරතාව වෙනුවෙන් රු. 150000ක්ද අනුශුරතාව වෙනුවෙන් රු.100000ක්ද තෙවන ස්ථානය වෙනුවෙන් රු. 50 000ක මුදලක්ද ලබාදීමට කටයුතු කර යොදා ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදා වොලිබෝල් කණ්ඩායමේ නායක මොහොමඩ් රිස්කි මාස 5කට පමණ පෙර අපි පුහුණුවීම් ආරම්භ කළා. ඒ කාලයේ බීච් ට්‍රේනින් තමයි ගොඩක්ම කළේ. ගුවන් හමුදා කොමදොරුවරුන් වන චාමර හා තිලකසිංහ ,කළමනාකරු රාජපක්ෂ, ප්‍රනාන්දු සර් ඒ වගේම පුහුණුකරු සමන් සිරි සෙනවිරත්න, සචී,සමීර හා දේශප්‍රිය යන අය කණ්ඩායමට විශාල සහයෝගයක් ලබා දුන්නා. මගේ කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් මා සමඟ එකාමෙන්ම ඉතා දක්ෂව ක්‍රීඩා කරලයි අපි අවසන් මහ තරගයට තේරී පත් වුණේ. දිනපතාම (පෝය දිනවල පවා) උදේ හවස

පුහුණුවීම් වල ප්‍රථිඵලය තමයි අපි අද භුක්ති විඳින්නේ. 2012දී මම කණ්ඩායමේ උප නායක එදා අපි වරායත් එක්ක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා. මේ ජයග්‍රහණය

අවුරුදු 10කට පසුවයි. අනිවාර්යයෙන්ම මෙවර අපි මංචි ජාතික ශුරතාව ලබා ගන්නවා.මහේලගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්

දෙදෙනෙක් වන අසංක හා ප්‍රමේශ්ගෙන් කණ්ඩායමට සුවිශේෂී සහයෝගයක් ලැබෙනවා. කණ්ඩායමේ පිටින් සිට මලීෂ,කවීන් හා සන්දීප යන අය කණ්ඩායමට විශාල සහයෝගයක් ලබා දුන්නා.

විදුලි බල මණ්ඩලයේ වොලිබෝල් කණ්ඩායමේ නායක දීප්ති රොමේෂ් ,මේ දිනවල අපි පුහුණුවීම් කරන්නේ මීරිගම. පසුගිය වර අපි ශූරතාව දිනා ගත්තා. මෙවරත් ශූරතාව දිනා ගන්න තමයි අපි දැඩි වෙහෙසවී කටයුතු කරන්නේ. අනිවාර්යයෙන්ම අපි ශූරතාව ගන්නවා. ඒක ස්ථිරයි. අපේ එකම බලාපොරොත්තුව ජාතික ශුරතාව හිමිකර ගැනීම. මම ඇතුළු අපේ කණ්ඩායමේ 07 දෙනෙක්ම ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරනවා. ඒ අයනම් ලක්මාල්,නිශාන්ත,අයේෂ් ,විදුර ප්‍රභාත්,කසුන් චතුරංග,රුචිර ප්‍රභාත්. මේ තරගාවලිය වසරකට පමණ පෙරයි පවත්වන්න තිබුණේ. කොහොම හරි තුන් පාරක් කල් ගියා. කොහොම හරි දින නියමයන් කල් ගියාට අපි පුහුණුවීම් අත හැරියේ නැහැ. අපේ පුහුණුකරු චමින්ද ජයරත්න,සහකාර පුහුණුකරු සදුන් විමලසේන, ලහිරු, ඉරේෂ් චානක.

ගුවන් හමුදා වොලිබෝල් කණ්ඩායම් නායිකා අෂානි චමෝදිකා ජයතුංග ,අපේ ටීම් එක ඉතාම ශක්තිමත්. ශ්‍රී ලංකා කණ්ඩායමේ 14 දෙනෙක් අප කණ්ඩාමේ සිටිනවා. මේ නිසා අප කණ්ඩායම ප්‍රබල කණ්ඩායමක්. මේ දිනවල පුහුණුවීම් කරගෙන යනවා. අපි අවුරුදු 5ක් එක දිගටම ශුරතාව හිමිකර ගත්තා. නමුත් පසුගිය වසරේ යුද හමුදා කණ්ඩායමට පරාජය වී අනුශුරතාව ලැබුවා. මෙවර ශුරතාව හිමිකර ගැනීම තමයි මා ඇතුළු මගේ කණ්ඩායමේ එකම අධිෂ්ඨානය. තරගාවලියට මාසයක් පමණ පෙර සිට කටුනායක ගෘහස්ත ක්‍රීඩාගාරයේ ක්‍රීඩා කරනවා. මම 2019 ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායමේ උප නායිකාව වී හිටියා. එම වසරේ දකුණු ආසියානු වොලිබෝල් තරගාවලියේ ලෝකඩ පදක්කම අපි හිමිකර ගත්තා.

නිලධාරින්ගෙන් පටන් ගත්තාම ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ දක්වාම ගුවන් හමුදා නිලධාරීන් අපිට සහයෝගය ලබා දෙනවා. මේ අනුව ලේකම් එයාර් කමාන්ඩෝ නිශාන්ත සුමණසිංහ, ගෘප් කැප්ටන් ක්‍රිෂාන්ත ප්‍රනාන්ද, එයාර් කමාන්ඩෝ පද්මන් ද කොස්තා, කටුනායක අණදෙන නිලධාරී එයාර් කමාන්ඩෝ ලසිත සුමණවීර යන නිලධාරීන්ගේ සුවිශේෂී සහයෝගයක් ලැබෙනවා. පුහුණුකරු සමන්සිරි සෙනවිරත්න, සහය පුහුණුකරු තාරක අබේකෝන්, ක්‍රීඩා අභ්‍යාසක නිලංග සංජය, අපේ කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ලොකු කැපවීමක් කරනවා.

ශ්‍රී ලංකා යුද හමුදා වොලිබෝල් කණ්ඩායමේ නායිකා තිලිණි වාසනා පෙරේරා ,පසුගිය අවුරුද්දේ ජාතික කණ්ඩායමේ ශුරතාව හිමිකර ගත්තේ අපියි. ඊට පෙර වසර තුනක්ම අපි අවසන් මහා තරගයට තේරුණා. මෙවරත් අපි ඒ බලාපොරොත්තුවෙන් තමයි කටයුතු කරන්නේ. අපි පසුගිය මාස 5ක් 6 ක් පමණ පුහුණුවීම් ආරම්භ කළා.

ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සංචිතවල සිට ආවට පසුයි අපි සංචිතයක් විදියට පුහුණුවීම් කළේ. වොලිබෝල් ජාතික සංචිතයේ ක්‍රීඩිකාවන් 26ක් අපට සිටිනවා. නමුත් තරගාවලියට ක්‍රීඩා කරන්නේ 14 දෙනයි. ඉතුරු අයත් සියලු දෙනා හා අතිරේක ක්‍රීඩිකාවන් එකතු වෙලයි අවසන් මහා තරගය දක්වා ආවේ. මෙවර අවසන් මහා තරගය දක්වා ආවේ ගුවන් හමුදා කණ්ඩායම, නාවික හමුදා කණ්ඩායම, සමඟ තරග කරලයි. මේ නිසා අපි මෙවරත් ලොකු බලාපොරොත්තුවකින් තමයි ඉන්නේ. අපේ වර්තමාන පුහුණුකරුවෝ වෙනස් වෙලා. ප්‍රධාන පුහුණුකරු අනුරාධ දයාරත්න පුහුණුකරු කෝසල සේනාරත්න, සහකාර පුහුණුකරු ලසන්ත අබේරත්න,බ්‍රිගේඩියර් මංජුල කාරියවසම්, තෙනුක මලින්ද යන අයගෙන් කණ්ඩායමට සහාය ලැබෙනවා. විශේෂයෙන් මතක් කළ යුතු යි යුද හමුදා කමාන්ඩ එතුමා අපිව ක්‍රීඩා වෙනුවෙන්ම නිදහස් කරලා තියෙනවා.ක්‍රීඩා අධ්‍යක්ෂ මණ්ඩලය, යුද හමුදා පරිපාලන අංශය, ක්‍රීඩා අධ්‍යක්ෂ, මේ වෙලාවේ සිහිපත් කරනවා.

Comments