ශ්‍රී ලංකා ක්‍රිකට් ස්වාධීනයි කාගෙවත් පදවලට නටන්නවත් බලපෑම්වලට යටවෙලා වැඩ කරන්නවත් ලෑස්ති නැහැ | සිළුමිණ

ශ්‍රී ලංකා ක්‍රිකට් ස්වාධීනයි කාගෙවත් පදවලට නටන්නවත් බලපෑම්වලට යටවෙලා වැඩ කරන්නවත් ලෑස්ති නැහැ

 

හය වසරකට පසු ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් නුදුරේදී මෙරට සංචාරය කිරිමට නියමිතව ඇත. මෙම තරගාවලිය පිළිබඳ අද වන විට දෙස් විදේස් මාධ්‍යය ද විවිධ මත ප්‍රකාශ කරමින් සිටීයි. මෙරට පවතින ආර්ථික හා ඉන්ධන අර්බුදය ගෙන හැර පාමින් සිදුකරන මෙම අදහස් දැක්වීම් පිළිබඳ ඇත්ත කුමක්දැයි දැන ගැනීම උදෙසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා ව හමුවීමට අපි තිරණය කළෙමු. මේ පෙළ ගැසෙන්නේ මොහාන් ද සිල්වා සමඟ කළ පිළිසඳරයි.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරනවා මෙරට පුරවැසියන්ගේ සෞඛ්‍ය නඟා සිටු වන්න ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක් පරිත්‍යාග කරන්න, හදිස්සියේ ඇයි මෙවැනි කටයුත්තකට මුල පිරුවේ?

 

අපි ස්වාධීන ආයතනයක් ලෙස තිරණය කළා අද වන විට මේ රටේ තිබෙන තත්ත්වයේ හැටියට අපේ රටේ පුරවැසියන්ගේ ජන ජීවිතය නඟා සිටුවීමට යම් කිසි දායකත්වයක් සැපැයිය යුතුයි කියා. ඒ අනුව විවිධ යෝජනා ගණනාවක් අපේ කණ්ඩායම තුළින් ඉදිරිපත් වුණා. ඒ යෝජනා ක්‍රියාත්මක කිරීමට යෑමේදී එක් කොටසකට පමණක් ප්‍රතිලාභ ලැබෙන යෝජනා බහුලව ඉදිරිපත් වුණේ. අපි විධායක සභාව එකතුව මේ ගැන සාකච්ඡා කරමින් සිටින විට තමයි අපිට මාධ්‍ය තුලින් අසන්නට ලැබුණේ ඖෂධ හිඟය ගැන. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා යෝජනා කළා සෞඛ්‍ය උදෙසා මුදල් පරිත්‍යාගයක් කිරීම වඩාත් සුදුසුයි කියා. අපි ඒ අනුව ඒකමතික තීරණයකට ආවා සෞඛ්‍ය ක්ෂේත්‍රයට දායකත්වයක් ලබා දිය යුතුයි කියා.

අපි මුලින්ම තිරණය කළේ රුපියල් කොටි පහක් ප්‍රදානය කිරීමටයි. පසුව එම මුදල වර්තමාන ක්‍රියාන්විතයේදී ප්‍රමාණවත් නොවන බව හැගී ගියා. අපි පුද්ගලිකව ම සොයා බැලුවා ඉක්මනින් පිහිට වෙන්න සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කුමන කාණ්ඩයට ද කියා ඒ අනුව තමයි අපි තීරණය කළේ රිජ්වේ ආර්යා ළමා රෝහලට හා මහරගම අපේක්ෂා රෝහලට ක්ෂනික ඖෂධ අවශ්‍යතාවයක් ඇති බව, ඒ අනුව තීරණයකට ආවා. එක් රෝහලකට ඇමෙරිකානු ඩොලර් මිලියනය ගානේ ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක් රෝහල් දෙකට පරිත්‍යාග කරන්න.

අපි මේ පිළිබඳ සැලැසුම් සකස් කර නෑ. මේ මුදල රිජ්වේ ළමා රෝහල හා මහරගම අපේක්ෂා රෝහල ඉලක්ක කරගෙන කෙලින්ම සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි තවම මුදල් ලදුපත් ලියා අවසන් කර නෑ. අපි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කළා පමණයි.

 

 මෙවැනි විශාල මුදලක් පරිත්‍යාග කිරීමට පළමුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සවිමත්ද? ලෝකයේ ක්‍රිකට් ආයතනත් එක්ක සසඳන විට අපේ ක්‍රිකට් ආයතනය අද සිටින්නේ සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයටත් පසුපසින් නේද?

 

අපි ඉතාමත් සවිමත්. අපි 2016දී විධායක සභාවට පත්වෙනකොට විශාල මුදල් අපහසුතාවයක තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තිබුණේ. නමුත් එවකට සභාපති වු තිලංග සුමතිපාල මහතාගේ වැඩ පිළිවෙල මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පුලුවන්කම ලැබුණා මුල්‍යම පැත්තෙන් ස්ථාවරත්වයක් ගොඩ නඟා ගන්න. ෂම්මි සිල්වා මහතාත් විශාල වැඩකටයුතු රාශියක් ක්‍රියාත්මක කළා. මුල්‍ය තත්ත්වය හොඳ මට්ටමක රැගෙන ඒමට අපිට හොඳ භාණ්ඩාගාරික කෙනෙක් සිටිනවා ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුල්‍ය විනයක් ඇතුව හොඳ කළමණාකාරිත්වයකින් පවත්වාගෙන යනවා.

සමාජ මාධ්‍ය හා වෙබ් මාධ්‍ය කරන ප්‍රකාශ පදනම් විරහිතයි. අපි ඉතා හොඳ මුල්‍ය පදනමක සිටිනවා. නැති නම් අපිට මෙවැනි පරිත්‍යාග කළ නොහැකියි. පසුගිය කොවිඩ් වසංගතය හමුවේ දී ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල් වල ක්‍රිකට් ආයතන ක්‍රීඩකයන්ගේ මෙන්ම සේවකයන්ගේද වැටුප් කප්පාදු කළා. සේවකයන්ගේ සේවා නිමා කළා. ලෝකයේ අනෙකුත් ක්‍රිකට් පාලක මණ්ඩලවලත් එවැනි දැ සිදුවුණා. නමුත් අපි කිසිඳු සේවකයෙකුගේ සේවය නිමා කළේ නෑ. ඔවුන්ගේ වැටුප් වැඩි කළා. ඒ වගේම කිසිඳු සේවකයෙකුගේ වැටුප් කප්පාදු කළේ නෑ. ඒ අපි මුල්‍ය කළමණාකරනයේ හොඳ ස්ථාවරයක සිටින නිසායි.

අද පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය කරන සේවකයන්ට දිමනාවක්ද ගෙවීමට කටයුතු කළා. රුපියල් ලක්ෂයට වඩා වැඩි පඩි ගන්න සේවකයන්ට රුපියල් 80,000කට යටත්ව දිමනාවක්ද 100,000 වඩා අඩු වැටුප් ලබන සේවකයන්ට රුපියල් 20,000ක දිමනාවක්ද ලබා දිමට කටයුතු කළා. එහෙම කරන්න අපිට හැකි වුණේ විනය ගරුක මූල්‍ය කළමණාකරන නිසයි.

 

 ඔස්ට්‍රේලියාව පූර්ණ තරගාවලියකට 7 වැනි දා මෙරට පිටියට පැමිණෙනවා. මේ වන විට එම තරගාවලියට අවශ්‍ය කරන වට පිටාව සැකසී තිබෙනවාද?

 

අපි මුලින්ම මෙම තරගාවලිය ගැන ක්‍රීඩා අමාත්‍යාංශය මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශ හා පාලන අධිකාරිය දැනුවත් කරා. ඒ හැමෝගෙන්ම අපිට ඉතාමත් හොඳ ප්‍රතිචාර හිමි වුණා. ඒ නිසා තමයි අපි මෙම තරගාවලියට සුදානම් වුණේ. අපි හිතනවා අපිට සාර්ථක තරගාවලියක් පවත්වන්නට හැකි වෙයි කියා. ඇත්තෙන්ම මෙම තරගාවලියේ අරමුණ මුදල් ම නෙමෙයි. මුලික ම අරමුණ වෙලා තියෙන්නේ මෙරට ප්‍රතිරුපය නැවත ගොඩනැඟිමේ අරමුණයි. හුදෙක්ම ඒ අරමුණ පෙරදැරිවයි මෙම තරගාවලිය සංවිධානය කරන්නේ. ලෝකය හමුවේ අපව තල්ලුකර ඇති අපකීර්තියෙන් මුදවා ගැනීමේ අවංක චේතනාව මෙම තරගාවලිය සංවිධානයේ එක් මූලික අරමුණක්.

මෙම තරගාවලිය ලෝකය පුරා රුපවාහිනිය මගින් විකාශනයේදී ලෝකයට පණිවිඩයක් රැගෙන යනවා අපි ආරක්ෂාව අතින් මේ වන විට හොඳ තත්ත්වයක සිටිනවා කියා. එමෙන්ම මෙරට සිටින පුරවැසියන්ගේ මානසික පීඩනයටද උත්තේජනයක් සැපැයිමට මෙම තරගාවලිය ඉවහල් වෙයි කියා මා විශ්වාස කරනවා.

ශ්‍රී ලංකා ආර්ථිකයටත් මෙම තරගාවලියෙන් විශාල පිටිවහලක් වෙනවා. ඩොලර් මිලියන දෙක තුනක් මෙරටට ලැබෙනවා. ඒ වගේම හෝටල් කර්මාන්තයට, ගමනා ගමන කර්මාන්තයට වගේ ම අපේ රටේ වත්මන් ආර්ථිකයට උත්තේජනයක් වේවි.

ඒ වගේම මෙරට අනුග්‍රහකයන්ගෙන් රුපියල් මිලියන 100කට අධික මුදලක් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙනවා. ලොව පුරා අපගේ සංචාරක කර්මාන්තයට නොමිලේ ප්‍රචාරය ලැබෙනවා.

 

 ශ්‍රී ලංකාවට පැමිණෙන ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරක්ෂාව ගැන ඔවුන් තෘප්තිමත් ද ?

 

ශ්‍රී ලංකා රජය ආරක්ෂාව පිලිබඳ සහතික වී තිබෙනවා. අපි මේ පිළිබඳ ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය දැනුවත් කළා.

ඔවුන් අපි ගැන විශ්වාසය තියලා කියා සිටියේ අපේ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සපයනවා නම් ඔවුන්ට කිසිදු බාධාවක් නැති බව. ඒ වගේම ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැන විශ්වාසය තබා තිබෙනවා. ඒ වගේම මෙරට පැවැති ඉතාමත් පීඩාකාරී අවස්ථාව ක්‍රම ක්‍රමයෙන් පහව ගොස් තිබෙනවා.

 

තරගාවලියේ තරග කාල සටහන යම් වෙනසකට භාජනය කිරීමේ යෝජනාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය වෙත යොමු කළා නේද? එයට මොකද වුණේ?

 

අපි ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලිමක් කළා එකඟව ඇති කාල සටහන මඳ වෙනසකට භාජනය කරන්න. ඒ කියන්නේ අවසානයට ඇති ටෙස්ට් තරග දෙක මුලින් තරග කොට පසුවට විස්සයි20 තරග දෙක සහ එක් දින තරග 4 තරග කරන්න. ඒ අපි ක්‍රිකට් ආයතනය ලෙස සාකච්ඡා කරලා ගත්ත තීරණයක්. ඒ මේ වන විට රටේ පවතින ඉන්ධන අර්බුදය හා විදුලි කප්පාදුව නිසා මෙරට ජනතාවගෙන් කුමන ප්‍රතිචාරයක් හිමි වෙයිද කියා සැක සහිතවයි. ඒ අනුව අපි උපාය මාර්ගිකව යෝජනා කළා කාල සටහනේ යම් වෙනසකට නමුත් ඔවුන් කැමැති වුණේ නෑ.

ඒ වගේම තමයි ඔවුන් ටෙස්ට් කණ්ඩායම නම් කර නැති නිසාත් ඔවුන්ට අපගේ ඉල්ලීමට එකග වන්න බැරි බව පවසා සිටියා. ඒ නිසා තරග කාල සටහනේ වෙනසට ඔවුන් කැමැත්ත පළ කළේ නෑ.

 

 විනය විරෝධී හැසිරීම් වලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලෙස ඔබලා දැඩි දඬුවම් පමුණුවනවා නමුත් ඉතා කෙටි කාලයයි. දඬුවම් ලැබූ අය නැවත පිටියට පිවිසෙනවා. බංග්ලාදේශය සංචාරයේදී විනය විරෝධී හැසිරිම නිසා මෙරට ගෙන්වු කමිල් මිෂාරටත් සිදු වන්නේ එයම ද?

 

කොහෙත් ම නෑ. කමිල් මිෂාරට තවම දඬුවම් පැමිණ වුයේ නෑ. ඒ වගේ නෙමෙයි මැතකදී විනය විරෝධි හැසිරිමට ලක්ව තහනමට ලක් වු තිදෙනා. දක්ෂ ක්‍රීඩකයන් තිදෙනෙක්. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවෙන් හොඳ අනාගතයක් ගොඩනඟා ගත හැකි තිදෙනෙක්. මේ තිදෙනාටම වසර දෙකක තහනමක් සමඟ මුදලින් රුපියල් මිලියන 10 ක දඩයකට ලක් කළා. මිලියන 10ක් කියන මුදල විශාල මුදලක්. වසර දෙකක කාලයට වඩා මිලියන 10 ඔවුන්ට දැරිය නොහැකි මුදලක්. ඔවුන් ඒ මිලියන 10 ක දඩ මුදල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙව්වා. දඩ මුදල ගෙවීමත් සමඟ ඔවුන් වසර දෙකක දඬුවම පිළිබඳ අභියාචනාවක්ද ඉදිරිපත් කළා. පසුව අපි කෙටි කලක් දඬුවමට ලක් කිරීමෙන් පසු ඔවුන්ගේ අභියාචනාව සැලකිල්ලට ගෙන ඔවුන්ගේ ක්‍රීඩා අනාගතය ගැන ද සැලකිල්ලට ගෙන ඔවුන්ව නවලෝක රෝහලේ මනෝ වෛද්‍යවරයෙකු යටතේ සායනයකට යොමු කර මානසික යෝග්‍යතාව සහතික කිරිමෙන් පසු ප්‍රගුණතාව නගා සිටුවීමට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට තරග කිරිමේ අවස්ථාව ලබා දුන්නා. ඔවුන් එම තරගාවලියට හොඳින් මුහුණ දුන්නා. පසුව අපි එම ක්‍රීඩකයන්ගේ අනාගත අභිවෘද්ධිය සලකා බලා දැඩි නීති රීති පමුණුවා ලබා දී තිබු වසර දෙකක දඬුවම ලිහිල් කළා. නමුත් ඔවුන් තවම පරිවාස කාලය ගත කරමින් සිටින්නේ. පරිවාස කාලයේදී විනය විරෝධී හැසිරිමක් සිදු වුහොත් කිසිම සමාවක් නෑ.

නමුත් කමිල් මිෂාර තවමත් ලාබාල වියේ පසුවන ක්‍රීඩකයෙක්. ඔහු පාසල් දිවියට සමුදුන්නේ ඉතාමත් මැතකදී. එම නිසා ඔහු ගැන මිට වඩා සැලකිලිමත් විය යුතුව තිබෙනවා. අනාගතයේදී ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවිශ්ඨ වීමට සිටින ක්‍රීඩකයන්ට ආදර්ශයක් දීම අපේ යුතුකමක්. එම නිසා දැඩි දඬුවමක් ඔහුට අනිවාර්යයෙන් නිර්දේශ විය යුතුයි කියා මම සිතනවා.

 

 ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය මේ වසරේදී සංවිධානය කිරීමට කටයුතු සංවිධානය වෙමින් පවතිනවාද?

 

ලංකා ප්‍රීමියර් ලිග් තරගාවලිය සුපුරුදු ලෙස පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සංවිධාන වෙමින් පවතිනවා. ඒ වගේම තරගාවලියට නවතාවයක් එක් කරමින් සාර්ථක තරගාවලියක් පැවැත්වීමේ ක්‍රියාවලිය අපි ගොඩ නඟමින් සිටිනවා. එල්.පී.එල්. තරගාවලියේ තුන්වන අදියර පැවැත්විමේ යටිතල පහසුකම් මේ වන විට කරමින් සිටිනවා.

රවී වික්‍රමරත්න තමයි සමස්ත තරගාවලියම පූර්ණ වශයෙන් බලන්නේ. නමුත් නවකයෙකු ලෙස සමන්ත දොඩන්වලට අවස්ථාව ලබා දි තිබෙනවා. තරගාවලියේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කිරිමට. සමන්ත දොඩන්වල දක්ෂ තරුණ ක්‍රියාකාරී නායකත්වයට සුදුසු තරුණයෙක්. ඔහු සිංහල ක්‍රීඩා සමාජයේ ක්‍රියාකාරී පුද්ගලයෙක්. දක්ෂයෙක් එම නිසා අපි ඔහුට මෙම අවස්ථාව ලබා දුන්නා.

 

 ඔස්ට්‍රේලියානු සංචාරයෙන් පසුව පාකිස්තාන් කණ්ඩායමේ පැමිණිම ස්ථිරද?

 

ඔව්. එම තරගාවලියත් අපිට තහවුරු කර තමයි තියෙන්නේ. අපි එම තරගාවලිය පෙළ ගස්වා ඇති ආකාරයට පාකිස්තානයත් සමඟ තරගාවලිය පැවැත්වීමේ කටයුතු මේ වන විට සංවිධානය කරමින් සිටිනවා. අපි සිතනවා රටේ වාතාවරණය හොඳ මට්ටමින් පවතී කියා. පාකිස්තාන් ජාතික කණ්ඩායම ඒ යොදාගත් කාලයේදී මෙරට සංචාරය කිරීමට නියමිතයි.

ආසියානු තරගාවලියට සුදානම් විමට තමයි ඉන් පසු තියෙන්නේ. ආසියානු කුසලාන තරගාවලියෙන් පසු ඔක්තෝබර් මාසයේ ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම සුදානම් කිරීමට තිබෙනවා.

 

 එංගලන්තයෙන් පන්නපු ක්‍රිස් සිල්වර්වුඩ් අපිට සුදුසු වුණේ කොහොම ද?

 

අපිට ඇයදුම් පත් ගණනාවක් ලැබුණා. ඒ අතරින් සමහරක් අය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති රීති රෙගුලාසි අනුව කටයුතු කිරීමේ යම්කිසි පසුගාමිත්වයක් පෑවා. සමහරක් අය අපි බලාපොරොත්තු වුණු මට්ටමේ අය නෙවෙයි. අපි පවත්වපු සම්මුඛ සාකච්ඡාවේදී අපි තෝරාගත් කිහිපදෙනා අතරින් ක්‍රිස් සිල්වර්වුඩ් ඉදිරියෙන් සිටියා. හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධනගේ රෙකමදාරුවත් සිල්වර්වුඩ් කෙරෙහි ලැබුණු නිසා අපි සිල්වර්වුඩ් නවක පුහුණුකරු තනතුරේ පිහිටුවා ගත්තා. අපි හැම විටම උත්සාහ ගත්තේ අපේ කෙනෙකුට එම අවස්ථාව ලබා දෙන්න. උපදේශක සභාවෙත් උවමනාව දේශිය පුහුණු කරුවෙකු යටතට ජාතික කණ්ඩායම යොමු කිරීමට නමුත් දැනට සිටින කිසිම පුහුණු කරුවෙකු අන්තර් ජාතික මට්ටමට පැමිණ නෑ. ඒ නිසා නවිඩ් නවාස් උප තනතුරේ තබාගෙන ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රිස් සිල්වර්වුඩ්ට ප්‍රධාන පුහුණුකරු තනතුර ලබා දුන්නා.

 

 ක්‍රිස් සිල්වර්වුඩ්ට ලබා දුන් ඉලක්ක ?

 

ජාතික කණ්ඩායමේ වගකීම ක්‍රිස් බාර ගෙන වැඩ කරගෙන යනවා.තවම කිසිම ක්‍රිඩකයෙකුගෙන් ක්‍රිස්ට විරුද්ධව චෝදනා අපි වෙත ලැබී නෑ. ක්‍රිස් සුහදශීලී පුද්ගලයෙක්. ඔහු ඒ වගකීම වගවීමක් සහිතව මේ ටික කාලයේ ඉටු කරමින් සිටිනවා. ක්‍රිස්ට විතරක් ම සියලු වගකීම් දරන්න බෑ. තේරිම් කමිටුවටත් වගකීම් පැවැරෙනවා. ඔවුනුත් ඔවුන්ගේ වගකීම නිසියාකාරව ඉටුකල යුතු වනවා.

 

 අභිනවයෙන් ක්‍රීඩා ඇමැතිවරයෙකු පත්ව සිටිනවා. නව ක්‍රීඩා ඇමැති තුමා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් හමුවුණේ නැද්ද?

 

කෙටි කාලයක් ක්‍රීඩා ඇමැතිකමේ සිටි ක්‍රීඩා ඇමැතිතුමා පත්විම බරගත් දිනයේ පවසා සිටියා රග්බී සම්මේලනයේ වගේම ක්‍රිකට් ආයතනයේත් යම් යම් අක්‍රමිකතා තියෙනවා ඒවා ගැන සොයා බැලිමට තවම කාලය නොවන බව නමුත් එතුමාට ඇමැති කමේ සිටිමට හැකිවුයේ මසක පමණ කාලයක්.

අපේ ආයතනයට බලපෑම් කරන්න කාටවත් බෑ. අපි ස්වාධින ආයතනයක්. අපි කටයුතු කරන්නේ අපේ විධායක සභාව ගන්නා තීන්දු තීරණ සමගයි. රග්බි සම්මේලනයේ තීරණ වලට ඇමැතිතුමාට මැදිහත් විමට පුලුවන් වුණාට අපගේ ආයතනයේ වැඩ කටයුතු වලට මැදිහත් විමට කාටවත් බෑ. ඒ එක එක පුද්ගලයන් අපේ ඉදිරි වැඩ කටයුතු ගැන බලා ගෙන ඉන්න බැරි අය ගහන පෙත්සම් වලට ඇමැතිතුමා දක්වන ප්‍රතිචාර පමණයි. හැමදාමත් එක කණ්ඩායමක් අපිට පෙත්සම් ගහනවා. නමුත් අපි හරි මඟ යනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණු කිරීමේ වගකීම අපේ කියලා අපි දන්නවා.

 

ඡායාරූප - නිරෝෂ් බටේපොළ

 

Comments