ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ක්‍රිකට් තරගාවලිය ගැම්මකින් ශ්‍රී ලංකාව සැරසෙයි | සිළුමිණ

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ක්‍රිකට් තරගාවලිය ගැම්මකින් ශ්‍රී ලංකාව සැරසෙයි

 

සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සම්පූර්ණ තරග සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටියි. ඊට ටෙස්ට්, එක්දින සහ විස්සයි20 තරග අයත් ය. මීට සමගාමීව ඔස්ට්‍රේලියානු ඒ සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම් අතරත් එක්දින සහ පළමු පෙළ තරග කිහිපයක් පැවැත්වීමට නියමිතය.

 

කැන්ගරුවන්ගේ සිංහ සංචාරය මේ මස 07 වන දින සිට ජූලි මස 12 දක්වා සිදු කිරීමට නියමිතය. මීට පෙර අවසන් වරට ඔස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූයේ 2016 වසරේදීය.

ෙමකී තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග දෙකකින් යුත් බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය නිමා කරන්නේ 1-0ක් ලෙසින් ජයග්‍රහණය කරමින් ය.

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී බංග්ලාදේශ ක්‍රීඩකයෝ පළමු ඉනිමේ දී කළ තරවටු කිරීම් ඉදිරියේ අපේ ක්‍රීඩකයෝ මඳක් තුෂ්ණිම්භුත වුහ. එහි ප්‍රතිඵලය වූයේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීම ය. දෙවැනි තරගයේ දී අපේ ක්‍රීඩකයෝ කඩුලු 10ක ජයග්‍රහණයක් වාර්තා කරමින් තරගාවලියේ ජයග්‍රහණය තමන් සතු කර ගන්නේ ඔස්ට්‍රේලියානුවන්ට ගැම්මකින් මුහුණදීමේ අටියෙන් ය.

මේ නිමාවත් සමඟින් මෙතෙක් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර බංග්ලාදේශයේ දී ටෙස්ට් තරගාවලි 5ක් පවත්වා ඇති අතර එහි අපරාජිත බව රැක ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

 

විස්සයි 20 තරග

 

තරග 03 කින් සමන්විත මෙම තරග මාලාව ජූනි 07 දා ඇරැඹීමට නියමිතය. මෙම තරගමාලාව දෙරටටම වැදගත්ය. ඔස්ට්‍රේලියාව සහභාගි වන්නේ වත්මන් ලෝක ශූරයෝ ලෙසටයි. එමෙන්ම මෙම වසර අගදී ලෝක කුසලාන තරගාවලිය එරටේ දී පැවැත්වීමට නියමිතය.

මෙම වසර මුලදී ශ්‍රී ලංකා කණ්ඩායම කැන්ගරු දේශයේ දී තරග මාලාවකට සහභාගි විය. එය පරාජයට පත් විය. එසේ වූවත් තරගමාලාව පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායම දස්කම් දැක්වීය. එමෙන්ම තරගයක ජයක් අහිමි වූයේ රොඩ් ටකර් විනිසුරුවරයා විසින් වයිඩ් පන්දුවක් ලබා නොදීම හේතුවෙනි. එම තීරණය පිළිබඳ රූපවාහිනී විචාරයේ නිරත වූ මෑතකදී මිය ගිය සුපිරි පා දඟ පන්දු යවන්නා වූ ෂේන් වෝන් දැඩි විවේචනයක නිරත විය.

දෙරට අතර 20 - 20 ජාත්‍යන්තර තරග පැවැත්වෙන්නේ 2007 වසරේ සිටය. පැවැත්වූ මුළු තරග ගණන 22 කි. ඔස්ට්‍රේලියාවට ජයග්‍රහණ 12 කි. ශ්‍රී ලංකාවට ජයග්‍රහණ 05 කි. තරගයක් ලකුණු සම වීමෙන් නිමාවට පත් විය. එහිදී සුපිරි ඕවරයේ ජය ඔස්ටේ්‍රලියාවටයි. ටකර් විනිසුරුවරයා වයිඩ් පන්දුව ලබා නොදුන්නේ එම තරගයේදීය.

 

තරග සටහන

 

පළමු තරගය - ජූනි 07

දෙවන තරගය - ජූනි 08

මෙම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

තෙවන තරගය - ජූනි 11

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය - මහනුවර

 

 

ඔස්ට්‍රේලියානු කණ්ඩායම

 

ඇරොන් ෆින්ච් (නායක), ෂෝන් ඇබොට්, ඇෂ්ටන් ඒගාර්, ජොෂ් හේෂල්වුඩ්, ජොෂ් ඉන්ග්ලිෂ්, මිචෙල් මාර්ෂ්, ග්ලේන් මැක්ස්වෙල්, ජායි රිචඩ්සන්, කේන් රිචඩ්සන්, ස්ටීව් ස්මිත්, මිචෙල් ස්ටාර්ක්, මාර්කස් ස්ටොයිනස්, මිචෙල් ස්වෙප්සන්, ඩේවිඩ් වෝනර්, මැතිව් වේඩ්.

 

 

ටෙස්ට් තරග

 

ටෙස්ට් තරග 02 ක් මීට අයත්ය. මෙම තරගමාලාව පැවැත්වෙන්නේ වෝන්-මුරලි කුසලානය වෙනුවෙනි. මෙම තරග පැවැත්වෙන්නේ 2021-2023 අයි.සී.සී. ටෙස්ට් ශූරතාවලිය වෙනුවෙනි.

එම ශූරතාවලියේ මුල් ස්ථානය මේ වන විට ඔස්ට්‍රේලියාවට හිමිය. දෙවන ස්ථානය දකුණු අප්‍රිකාවටය. තෙවැනි ස්ථානය ඉන්දියාවටයි. ශ්‍රී ලංකාවට සිවුවැනි ස්ථානය හිමි වේ. ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගි වූ ටෙස්ට් තරගමාලාව බංග්ලාදේශය හමුවේ ජය ගත්තේ මීට දින කිහිපයකට පෙරය.

දෙරට අතර ටෙස්ට් තරග පැවැත්වෙන්නේ 1983 වසරේ සිටය. අවසන් වරට ටෙස්ට් තරගයක් පැවැත්වූයේ 2018-19 තරගවාරයේදීය. පැවැති මුළු තරග ගණන 31 කි. ඔස්ට්‍රේලියාවට ජයග්‍රහණ 19 කි. ශ්‍රී ලංකාවට ජය 04 කි. ජය පැරදුමක් නැති තරග 08 කි.

 

තරග සටහන

 

පළමු තරගය (ජූනි 29 - ජූලි 03)

දෙවන තරගය (ජූලි 08 - ජූලි 12)

 

මෙම තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

 

ඔස්ට්‍රේලියානු කණ්ඩායම

 

පැට් කමින්ස් (නායක), ස්ටීව් ස්මිත් (උපනායක), ඇෂ්ටන් ඒගාර්, ස්කොට් බෝලන්ඩ්, ඇලෙක්ස් කේරි, කැමරන් ග්‍රීන්, ජොෂ් හේෂල්වුඩ්, ට්‍රාවිස් හෙඩ්, උස්මන් කවාජා, මාර්නස් ලබුෂේන්, නේදන් ලයන්, මිචෙල් මාර්ෂ්, මිචෙල් ස්ටාර්ක්, මිචෙල් ස්වෙප්සන්, ඩේවිඩ් වෝනර්.

 

එක්දින ජාත්‍යන්තර තරග

 

මෙම තරගමාලාවට තරග 05 ක් අයත්ය. මේ සියළුම තරග දිවා - රාත්‍රී ලෙසට පැවැත්වීමට තීරණය කර තිබේ. පළමු තරග 02 පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත. ඉතිරි තරග පැවැත්වීමට නියමිතව තිබෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දීය.

 

දෙරට අතර එක්දින ජාත්‍යන්තර තරගයක් පැවැත්වෙන්නේ තෙවසරකට පමණ පසුවයි. මුල් වරට දෙරට එක්දින ජගත් තරගයක දී හමුවූයේ 1975 වසරේදීය. දෙරට අතර මේ වන විට පවත්වා තිබෙන මුළු තරග ගණන 97 කි. එහිදී ඔස්ටේ්‍රලියාවට ජයග්‍රහණ 61 කි. ශ්‍රී ලංකාවට ජයග්‍රහණ 32 කි. තීරණයක් නැති තරග 04 කි.

 

ඔස්ට්‍රේලියානු කණ්ඩායම

 

ඇරොන් ෆින්ච් (නායක), ඇෂ්ටන් ඒගාර්, ඇලෙක්ස් කේරි, පැට් කමින්ස්, කැමරන් ග්‍රීන්, ජොෂ් හේෂල්වුඩ්, ට්‍රාවිස් හෙඩ්, ජොෂ් ඉන්ග්ලිෂ්, මාර්නස් ලබුෂේන්, මිචෙල් මාර්ෂ්, ග්ලේන් මැක්ස්වෙල්, ස්ටීව් ස්මිත්, මාර්කස් ස්ටොයිනස්, මිචෙල් ස්වෙප්සන්, ඩේවිඩ් වෝනර්, මිචෙල් ස්ටාර්ක්.

 

 

තරග සටහන

 

පළමු තරගය - ජූනි 14

දෙවන තරගය - ජූනි 16

තෙවන තරගය - ජූනි 19

සිව්වන තරගය - ජූනි 21

පස්වන තරගය - ජූනි 24

 

 

 

Comments