පාපන්දු ලෝක කුසලාන අවසාන තරගයට පස්සේ ලෝකේ වැඩිම පිරිසක් බලන ඉසව්ව තමයි ඔලිම්පික් මීටර් 100 අවසාන මහා තරගය. ඇයි මේ තරම් පිරිසක් මේකට අවධානය යොමු කරන්නේ ? මොකක්ද මේකේ තියන විශේෂත්වය ? දුවන එක එච්චර අමාරුද ? අපෝ තත්පර භාගයක් ද ? ඒ පොඩ්ඩ දුවන්න බැරි ද ? මේ වගේ ප්‍රශ්න ගොඩකට උත්තරත් එක්ක ත්‍රාසජනකත්වය වැඩි කරගෙන මේ ඉසව්ව එක බලන්න පුලුවන් වෙන විදිහේ කතාවක් කියන්නම්.
මේ දවස්වල ගොඩ දෙනෙක් මට සුබ පතන නිසාත් ලංකාවේ මලල ක්‍රීඩාව ගැන ගොඩදෙනෙක් උනන්දු වෙන නිසා මේකට සුදුසු මේ වෙලාව කියලා මං හිතුවා.
මුලින්ම ස්තූති කරනවා හැමදාම මාව දිරිමත් කරන ෆෑන්බේස් එකට. මං ඒක ගොඩක් අගය කරනවා. ඒ අගය කරන හේතුව මං ක්‍රීඩාවෙන් සමුගන්න දවසට කියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මොකද ඒක ඒ තරම් විශේෂ නිසා අපිට පේන හැමදේම ඇතුළේ පේනවට වඩා දෙයක් තියෙනවා. ඒ දේ ගැන හරියට අවබෝධ කරගත්තම තමයි ඒක ගැන පොඩි හෝ අදහස් ගන්න පුලුවන්. ඉතින් ඒ අවබෝධය තුළින් යන්න පුලුවන් දුර බොහොමයි.
මුලින්ම කියන්න ඕනි නිකන් දුවනවා වගේ පෙනුනට මේක ඇතුළේ සාමාන්‍ය කෙනෙක්ට හිතාගන්න බැරි දේවල් ගොඩක් තියනවා. මං උපරිම සරලව අදහසක් ගන්න දේවල් ටිකක් කියන්නම් කෙටියෙන්. මලල ක්‍රීඩාවෙන් අවම ජාතික මට්ටමට ආව කෙනෙක්ට මේ ගැන අදහසක් තිබුනත් ගොඩක් අයට මේ දේ ගැන අදහසක් නෑ(ලංකාවේ සමහර බලධාරීන් ඇතුලුව ) ඒ නිසා මේ ක්‍රීඩාවට ආදරේ කරන අයට වගේම බලධාරීන්ට මේ ගැන ප්‍රයෝගිකව අදහසක් ගන්න මං මේ කියන දේ කරන්න පුලුවන් තැනක නම් ඉන්නේ උත්සාහ කරන්න.
මේ තරගයේ දුර මීටර් 100. මේ දුර තත්පර 10 කින් දුවලා ඉවර කරනවා. ළඟ තියන ඔරලෝසුවේ තත්පර 10 ක් ගණන් කරන්න. ඒ එක්කම හිතන්න මීටර් 100ක දුරත්.
ඒ කියන්නේ අපි තත්පරකට මීටර් 10 ක දුරක් දුවනවා. දැන් තමන් ඉන්න තැන මිටර් 10 ක් ලකුණු කරගෙන ඒ ලක්ෂ දෙක අතර තත්පරක් ඇතුලත දුවන විදිහ ගැන කල්පනා කරන්න. ඕනි නම් උත්සාහ කරලා බලන්නත් පුලුවන්
දැන් ඊලග කාරණයෙ, තරගයේ ආරම්භයේ ඉඳලා හැම මීටර් 10 ම තත්පරයකින් දුවන්න බෑ. උපරිම වේගයක් ගන්න යම්කිසි දුරක් යනවා. (උදා - වාහනයක්, ප්ලේන් එකක්)
ප්‍රශ්නය - එහෙනම් කොහොමද තත්පර 10 කින් මීටර් 100 ක් දුවන්නේ ?
A - උපරිම වේගය ලබාගන්න ගමන් ඒ වේගය තුළ අපි හැම මීටර් 10 ක් ම තත්පරයකට අඩුවෙන් දුවනවා. ඒ කියන්නේ මීටර් 10 ක් තත්පර 0.87 / 0.88 / 0.90 / 0.91 වගේ. දැනට ලෝකයේ තරගාවලියක වාර්තා වෙලා තියන අඩුම කාලයේ වාර්තාව තියෙන්නේ යුසේන් බෝල්ට් ට. ඒ මීටර් 10 තත්පර 0.81 ක් තුල අවසන් කරලා.
දැන් බලමු වාර්තා ටික
ලෝක වාර්තාව - තත් 9.58 -
යුසේන් බෝල්ට් 2009
යුරෝපා වාර්තාව - තත් 9.80 -
මාර්ෂෙල් ජේකොබ්ස් 2021
අප්‍රිකානු වාර්තාව - තත්. 9.77 -
ෆර්ඩිනන්ඩ් ඔමුයුර්වා 2021
ඇමරිකානු කලාපීය වාර්තාව - තත් 9.69 - ටයිසන් ගේ 2009
ආසියානු වාර්තාව - තත් 9.83 -
සූ බින්ග්ටියාන් 2021
දකුණු ආසියානු වාර්තාව - තත් 10.06 -
යුපුන් අබේකෝන් 2022
පොඩි අදහසක් ගන්න පුලුවන්ද දැන් මේක ගැන. මේක ලේසි නෑ. මං එහෙම කියන්නේ මම යුසේන් බෝල්ට්ගේ වාර්තාවට ඉතා ළගයි කියලා ගොඩක් අය කතා කරන නිසා. ඔව් තත්පර බිංදුවයි දශම හතරයි අටක් (0.48 දශම ) තමයි. ඒක ලේසි දෙයක් නෙමෙයි කියලා දැන් අවබෝධ වෙනවා ඇති. අනිත් කාරණය, යුසේන් බෝල්ට් සහ ටයිසන් ගේ හැර අනිත් හැමෝම මේ වෙලේ මං එක්ක තරග කරනවා. ඉතින් ඒ අයත් එක්ක එක රේස් එකක හිටගන්නවා කියන්නෙත් ජීවිතේ ලබන ලොකු ජයග්‍රහණයක්. කැපවීමෙන් ලබාගත්ත ජයග්‍රහණයක්.
මේ දේ එක පාර අවුරුද්දකින් කරන්න බෑ. මේක ක්‍රියාවලියක්, කැපවීමෙන් අත් නොහැර අවුරුදු ගණනාවක මහන්සියෙන් ලබාගන්න ඕනි දෙයක්.
මම අවුරුද්දක් ඇතුළත වාර්තා කරපු හොඳම කාලයන් එක්ක සසදලා බලන්න පුළුවන්.
2015 - තත් 10.58
2016 - තත් 10.52
2017 - තත් 10.49
2018 - තත් 10.31
2019 - තත් 10.44
2020 - තත් 10.16
2021 - තත් 10.15
2022 - මේ දක්වා තත් 10.06
මේ දේ තව කොච්චර අමාරුද කියලා තව විදිහකට කියන්නම්.
එදා මෙදා තුළ මේ ලෝකයේ දැනට මීටර් 100 ක් තත්පර 9.60 ට වඩා අඩුවෙන් දුවලා තියෙන්නේ එක්කෙනයි. 9.70 ට වඩා අඩුවෙන් දුවලා තියෙන්නේ දෙන්නයි. ආසියාවේ තත්පර 9.90 ට වඩා අඩුවෙන් දුවලා තියෙන්නේ එක්කෙනෙයි. දකුණු ආසියාවේ තත්පර 10.20 ට වඩා අඩුවෙන් දුවලා තියෙන්නේ එක්කෙනයි.
මුලු ආසියාවේ ම මේ දක්වා තත්පර 10 ට වඩා අඩුවෙන් දුවලා තියෙන්නේ 9 දෙනෙක් විතරයි.
බිලියන කීයක් මේ මොහොතේ ජීවත් වෙනවද ? බිලියන කීයක් මේ වෙද්දී මැරිලා තියනවද ? දුවන එක මෙච්චර ලේසී නම් එහෙනම් ඇයි මේ එක්කෙනෙක් දෙන්නෙක් විතරයි මේ සීමාවන් පසු කරලා තියෙන්නේ ? ඒක ඒ තරම් අමාරුයි. මේවා ව්‍යාපෘති. ඒ ඒ රටවල් තමන්ගේ මලල ක්‍රීඩකයන්ව අවුරුදු ගානක් තිස්සේ ට්‍රේනින් කරවන්නේ එහෙම ව්‍යාපෘති වලින් පදක්කම් ගන්න, ඉලක්ක සාක්ෂාත් කර ගන්න ම තමයි. ලංකාවෙන් ලැබෙන සහයෝගය කියන්න ගියොත් මේ කතාවේ වටිනාකම නැතුව යනවා. ඒ නිසා ඒක අනාගතයට මලල ක්‍රීඩාවේ මැජික් නම්බර්ස් කියලා ජාතියක් තියනවා. මං ටිකක් කියන්නම් ඒවගෙන්. මේවා ක්‍රීඩකයන්ගේ හීන. මේවා ඉලක්ක සාක්ෂාත් කර ගන්න කරන අයට තමයි අපේ භාෂාවෙන් කිවුවොත් සුපිරි ඩයල් කියලා කියන්නේ. ඒ කියන්නේ කරන්න ගොඩක්ම අමාරු හැබැයි කරන්න පුලුවන් පිරිසකුත් ඉන්නවා. අනිත් දක්ෂතා කුණු කූඩෙට නෙමෙයි. නමුත් මේවා ඒ තරම්ම අමාරුයි.
පිරිමි
මීටර් 100 - තත් 9.99
මීටර් 200 - තත් 19.99
මීටර් 400 - තත් 43.99
දුර පැනීම - මීටර් 8.50 වැඩි
තුන් පිම්ම - මීටර් 18 වැඩි
හොයලා බලන්න මේ ඉලක්ක සාක්ෂාත් කරගෙන තියෙන්නේ කවුද ? කී දෙනෙක් ද කියලා. බොහොම සුලු පිරිසක් කියලා ඔයාලට පෙනෙයි.
ශක්තිමත් ජාන සහ උත්පත්ති හැකියාවන් තියන ක්‍රීඩකයින් ගොඩක් අතරින් බොහොම ටික දෙනෙක් ඒ ඒ ඉසව් වලින් මායිම් රේඛා සමත් වෙලා තියනවා කියලා පෙනෙයි. මේ ඉසව්වේ අපි විනාඩි ගැන කතා කරන්නේ නෑ. තත්පර ගැන අදාළත් නෑ. තරගය තියෙන්නේ තත්පරයෙනුත් කොටස් එක්ක. මෝටර් රේස් බලලා තියනවා නම් දන්නවා ඇති කාලයන් පෙන්නන්නේ දශමස්ථාන 3 කට. ඒ කියන්නේ තත්පරේ කොටස් 3 කට කඩලා. (0.000 දශම ) ඒ ඇයි ? හේතුව තමයි ඒක ගොඩක් වේගවත් නිසා. අපේ තරගවලත් ප්‍රතිපල දෙන්නේ ඒ විදිහට. මොකද තරගය ගොඩක් වේගවත්. තත්පර දශම බින්දුවයි බින්දුවයි එකත් තරගයේ ජයග්‍රහණයට වටින්නේ ඒ නිසා.
අනිත් කාරණය.
දුවන දුවන හැම තරගයක් එක්කම පුද්ගලික හොඳම කාලය වාර්තා කරන්න බෑ. අපි රොබෝලා වගේ වැඩ කරන මැෂින් නෙමෙයි. එහෙම කරන්න පුලුවන් නම් 2009 තියපු වාර්තාව යුසේන් බොල්ට් ට 2017 වෙනකම් අලුත් කරන්න බැරි වෙන්න විදිහක් නෑ.
ඒ වගේම ඒ දවසේ ක්‍රීඩකයෙක් වාර්තා කරන කාලයට බලපෑමක් කරන්න පුලුවන් කාරනා ගොඩක් තියනවා.
සුළඟ
සුළඟ ගණනය කරන්නේ තත්පරකට මීටර් වලින්. තරගය තියන දිශාවට සුළඟ විසින් එල්ල කරන බලපෑම ධනාත්මක සුළඟ සහ සෘණාත්මක සුළඟ විදිහට සලකනවා. ධනාත්මක සුළඟ මඟින් අපිට ධාවනයට උදව් කරනවා වගේම ඒක +2.0 MS-1 ට වඩා වැඩි වුණොත් එය වාර්තාවක් විදිහට ගණනය කරන්නේ නෑ. සෘණාත්මක සුළං වලින් ධාවනයට බාධා කරනවා. එය (- සුළං ) විදිහට පෙන්නවනවා. ඒක වැඩි වන තරමට දුවන්න තියන බාධාව වැඩි කරවනවා.
ධාවන පථය
l ලෝකයේ විවිධ ධාවන පථ තියනවා. තද / මෘදු / අඩු ඉපිලීමක් සහිත/ ඉහළ ඉපිලීමක් සහිත / ඉහළ ප්‍රතික්‍රියාශීලී / අඩු ප්‍රතික්‍රියාශීලී / චිප් ධාවන පථ / මොන්ඩෝ ධාවන පථ / අලුත් ධාවන පථ / පැරැණි ධාවන පථ විදිහට ධාවන පථ වර්ග සහ ඒ ඒ ධාවන පථවලට අනුරූප ලක්ෂණ තියෙනවා. ඒක ගැන හොඳ අවබෝධයකින් තරග කරන්න සිද්ධ වෙනවා.
l දේශගුණය සහ කාලගුණය (සීත / උණුසුම් / වාතයේ ආද්‍රත / වාතයේ ඝණත්වය )
l ධාවන පථය මුහුදු මට්ටමේ සිට පිහිටන උස
l තරග කරන ප්‍රතිවාදීන්
l ශරීරයේ මාංශ පේශී වල නිරෝගිමත්භාවය
l මානසික සෞඛ්‍යය මට්ටම
l තරගයට කලින් තියන මානසික තත්ත්වය
l කරපු පුහුණුවීම් වල ඇති ධාරිතාව
l ලබපු පුහුණුවීම් ගැන තියන ධනාත්මක අදහස් සහ අත්දැකීම්
l තරගවලින් ලැබූ ඇත්දැකීම්
l වාසනාව (මම වාසනාවට වඩා පුහුණුවීම් විශ්වාස කරන කෙනෙක්. ඒත් දවසේ වාසනාව කියන දේ බලපාන වෙලාවල් තියනවා)
මේ වගේ ගොඩක් දේවල් තියනවා. මේ පොඩි කාරණා ටිකක් විතරයි. මේ වෙනස් කරන්න පුලුවන් සහ වෙනස් කල නොහැකි දේවල්. මේ වගේ දේවල් ගොඩක් මැද තමයි ක්‍රීඩකයක්ගේ කාලය මීටර්100 ක් අවසානයට සටහන් වෙන්නේ. ඉතින් මේ මූලික කරුණු කිහිපයක් විතරයි. මං හිතනවා මේ කරුණු ප්‍රමාණවත්. ඇයි මීටර් 100 මේ තරම් ජනප්‍රිය ඒ වගේම අමාරු කියලා.