කාන්තාවන්ගේ බලවත් ම ක්‍රීඩාවේ ඉදිරි දෙවසරේ මහා පුටුව වික්ටෝරියා ලක්ෂ්මිට | සිළුමිණ

කාන්තාවන්ගේ බලවත් ම ක්‍රීඩාවේ ඉදිරි දෙවසරේ මහා පුටුව වික්ටෝරියා ලක්ෂ්මිට

මෙවර සභාපති ධුරයට තරග කිරීමේ සටනට තමා නොබියව මුහුණ දුන්නේ හිටපු සභාපතිනියක් වශයෙන් දැල්පන්දු ක්ෂේත්‍රයට කළ සේවය වෙනුවෙන් දිස්ත්‍රික් සංගම් විසින් තමාට කෘතගුණ දක්වනු ඇතැයි යන අචල විශ්වාසයෙන් බව මෙවර ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපති ධුරයට පත් වික්ටෝරියා ලක්ෂ්මි ක්‍රීඩා වෙත පැවසුවා ය.

පසුගියදා (මැයි 31) පැවැති නිලවරණයේදී සභාපතිධුරය සඳහා අපේක්ෂිකාවන් 04 දෙනෙක් තරග වැදුණු ඉතා උණුසුම් නිලවරණයේදී වැඩි ජන්ද 10ක් ලබාගනිමින් ලක්ෂ්මි ඉදිරියෙන් සිටියා ය. මේ නිලවරණය වෙනුවෙන් මෙරට මුලතිව්,මඩකලපුව හා ත්‍රිකුණාමලය හැර දිස්ත්‍රික් දැල්පන්දු සංගම් 32ක් නියෝජනය වී තිබුණි.

අත්දැකීම් එක්ක ආවේ

වැඩිදුරටත් අදහස් දක්වමින් වික්ටෝරියා ලක්ෂ්මි මෙසේද පැවැසුවා ය. කොහොමත් ජය පැරදුම දෙකෙන් ලැබෙන එකක් බාර ගැනීමේ අධිෂ්ඨානයෙන් තමයි මම මේ තරගයට මුහුණ දුන්නේ. ප්‍රතිවාදී පිලේ කැරිල් ටෝස් පවා ක්‍රීඩාවට කැමැති මෙන්ම දක්ෂ කෙනෙක්. ඇය සභාපති ලෙස තේරී පත් වුණා නම් ඇයටත් මේ කාර්යය කිරීමේ හැකියාව ඇතැයි මට විශ්වාසයි. කලින් වතාවේ මා සභාපති ධුරයට පත්වෙන විට මේ ක්ෂේත්‍ර‍‍ෙය් අත්දැකීම් තිබුණේ නැහැ. නමුත් මෙවර මට අත්දැකීම් රැසක් තියෙනවා.පසුගිය වතාවේ ශ්‍රී ලංකා දැල්පන්දු සංචිතය ආසියානු ශුරතාවට පැමිණීමට සූදානම් කිරීම එසේම ලෝක කුසලානයට යැවීමට විදේශ පුහුණුකාරිනියක් මෙරටට රැගෙන විත් පුහුණු කටයුතු ආරම්භ කිරීම මගේ ප්‍රධානත්වයෙන් සිදු කළා. එපමණක්ද නොව විනිසුරුකරුවන් ජාත්‍යන්තර පුහුණුවට යැවීම නිසා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලට අපේ විනිසුරුකරුවන් ලක් වුණා. ඒ වෙනුවෙන් වයස අවුරුදු 30ට අඩු දැල්පන්දු විනිසුරුවරු 30 දෙනෙකුට පුහුණුව දුන්නා. ඒ අතර උපදේශන සේවා සැපයුවා. අද ක්ෂේත්‍රයේ සිටින ප්‍රධාන විනිසුරුවරුන් මගේ කාලයේ පුහුණුව ලැබූ අයයි. ආධුනික විනිසුරුවරුන්ගේ විභාග මෙන්ම ආධුනික පුහුණුකරුවන්ගේ විභාග කලට වෙලාවට පැවැත්වීමට එදා මා කටයුතු කළා. මේ නිසා අද වනවිට ආධුනික විනිසුරුවරු ප්‍රධාන විනිසුරුවන් ලෙසත් ආධුනික පුහුණුකරුවන් ජාතික පුහුණුකරුවන් ලෙසත් පත්වීම් ලබා සිටිනවා.

අවුරුදු 20න් පහළ සංචිත

වයස අවුරුදු 20ට අඩු ක්‍රීඩිකාවන්ගේ සංචිතයක් හැදුවා. ඒ අයට අපි කියන්නේ සංවර්ධන ක්‍රීඩිකාවන් කියලා. රටේ පැවැති කොවිඩ් තත්ත්වය හමුවේ ඒවා පවත්වාගෙන යෑම අපහසු වෙලා තියෙනවා. මේ නිසා නැවත ඒවා සංචිත ගත කිරීම මෙන්ම කනිෂ්ඨ සංචිතයක් කඩිනමින් ඇති කිරීමට කටයුතු කරනවා. එසේම කනිෂ්ඨ පුහුණුකරුවෙකුත් පත්කරන්න ඕන. මේ වන විට සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනෙක් තෝරාගෙන සිටිනවා. ඊට අමතරව සංචිතය වෙනුවෙන් වෛද්‍යවරයෙක්, පුහුණුකරුවෙක්, සහාය පුහුණුකරුවෙක් සහ කළමනාකාරිනියක් ඉන්නවා. ඒ අය සමඟ අදාල පුහුණුවීම් කරගෙන යනවා.

දැල්පන්දුව රටේ සම්පතක්

අගෝස්තු මස පවත්වන ආසියානු ශුරතාව වෙනුවෙන් පුහුණුකරු සමඟ සාකච්ඡා කර ආසියානු ශුරතාව ජයග්‍රහණය කරවීමේ අදිටනින් අඩුපාඩු සකසා දීමට මා කඩිනමින් කටයුතු කරනවා. ඊට අමතරව විශේෂයෙන් පුහුණුකරුත් සමඟ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙනුවෙන් හිටපු නිලධාරී මණ්ඩලයටත් උදව් කරන්න කියලා මා ඉල්ලීමක් කරනවා. මේක මගේවත් වෙන කෙනෙක්ගෙවත් පෞද්ගලික දේපලක් නොව මේක රටේ සම්පතක් ඒ නිසා දැල්පන්දුව දියුණු කරන්න හිටපු නිලධාරී මණ්ඩලයෙත් සහාය අපට අත්‍යවශයි. ඒ වෙනුවෙන් අපිව දැනුවත් කරලා අදාළ කාර්යයට එක්වෙන ලෙස මා ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිනවා.බලයට පත්වූ අය දැන ගන්න ඕන නිහතමානීව සියලු දෙනාගේ උදව් මේ වෙලාවේ ලබා ගන්න.ඒ නිසා අපේ කණ්ඩායමට මා කියන්නේ අපේ රටේ දැල්පන්දුවේ දියුණුව වෙනුවෙන් මෙන්ම රටේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන්න මේ වෙලාවේ ඉදිරිපත් වන එක ඉතා යෝග්‍ය බවයි.

දිස්ත්‍රික්ක මට්ටමින් වැඩ කරනවා

පුහුණුකරුවන් හා විනිසුරුවරුන් දිස්ත්‍රික් මට්ටමින් ශ්‍රේණිගත කිරීම් නොකඩවා සිදු කිරීමේ කාර්යය කරන්න මා කටයුතු කරනවා. කලින් දිස්ත්‍රික්කවලින් විභාග වලට කොළඹට පැමිණෙනවා. මා යෝජනා කරනවා අපේ නිලධාරින් දිස්ත්‍රික්කවලට යවලා දිස්ත්‍රික් සංගම් ශක්තිමත් කරන්න. එම තරගාවලි තුලින් දිස්ත්‍රික්කයේ දක්ෂ ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ පහසුව සැලසෙනවා. අපේ ක්‍රීඩිකාවන් රට නියෝජනය කරන තානාපතිවරියන් ලෙස කීවත් එය නිවැරදියි. ඔවුන් අපේ රටේ සම්පත්. තිලකා ජාතික පුහුණුකරු කාලයේ මේ සම්පත් යොදා ගෙන අපි ලේ දන්දීමේ ව්‍යාපාරයක් දියත් කළා. ඒක අති සාර්ථක වුණා. මේ වෙලාවෙත් අපේ සංචිතය හරහා ගෙවතු වගා කිරීමේ කටයුත්තකට යොමු කර රටේ පාසල්වල, ක්‍රීඩාංගණ අයිනේ මෙන්ම ගෙවතුවල ආහාර භෝග සිටුවීමේ ක්‍රමවේදයක් ගෙන ඒමට සැලසුම් කරනවා. එම ඵලදාව කවුරු භුක්ති වින්දත් අපිට ප්‍රශ්නයක් නැහැ. රටේ හැම බිමකම ගොවිතැන් කරවීමේ අරමුණෙන් තමයි ඒ අදහස මා ක්‍රියාත්මක කරන්න යන්නේ. පසුගිය කොවිඩ් කාලය තුලත් ෂූම් තාක්ෂණය ඔස්සේ හා මුහුණු පොත ආශ්‍රයෙන් දැල්පන්දු ක්‍රීඩාව පුහුණු කළා.

විවේචනයක් නැහැ

ඒවගේ ම රටේ පවතින ආර්ථිකය හමුවේ අපේ තරගාවලි හා උත්සව ඉතා සරලව පැවැත්වීම මගේ තවත් අදහසක්. ඒ නිසා අපේ කටයුතු වෙනුවෙන් කැමැත්තෙන් හා ස්වෙච්ඡාවෙන් කරන්න පැමිණෙන අයව මා ඉතා ආදරයෙන් බාර ගන්නවා. හිටපු සංගමය සම්බන්ධයෙන් මගේ කිසිඳු විවේචනයක් මම කරන්නේ නැහැ. ඒ අය මෙතනට ගෙනත් තියන නිසයි අපිට මේක ඉදිරියට පවත්වාගෙන යා හැකි වන්නේ. සියලු දෙනා අපේ සැලසුම් වලට සහාය දෙයි කියලා මා විශ්වාස කරනවා. මේකට නවකයෝ එනවට මා හුගක් කැමතියි. ඒ අයට අපි අවස්ථාව දෙනවා.

දැල්පන්දුවේ දියුණුවයි වටින්නේ

දැල්පන්දුවේ දියුණුව වගේම හැමෝගේ ම සතුට සාමය රැකෙන්න ඕන කියලා මා යෝජනා කරනවා. එහෙම වුණොත් අපි හැමෝට ම හොඳට වැඩ කරන්න පුළුවන්. ආසියානු දැල්පන්දු සම්මේලනයත් එහෙම සම්මේලනයක්.ඒ නිසා එතන අපිට සතුටින් වැඩ කරන්න පුළුවන්. මම වසර කිහිපයකට පෙර එම සම්මේලනයේ සභාපතිධූරය දැරුවා. මෙවර සභාපති ලෙස තායිලන්ත කාන්තාවක් තේරී පත්වී ඇති අතර උප සභාපති කෙනෙක් ලෙස මාව පත්කර ගෙන තියෙනවා.

මෙම නිලවරණයේදී ලේකම් ලෙස වින්ද්‍යා දයාරත්න, උප ලේකම් නිතර්ෂනා පුලේන්ද්‍රන්,භාණ්ඩාගාරික පත්මිනී හොරණගේ , උප භාණ්ඩාගාරික දයානි රේනුකා කුරුප්පු, යන අය තේරී පත්විය. උප සභාපති ධූරය වෙනුවෙන් පාසල් දැල්පන්දු සම්මේලනයේ නියෝජිතයෙක් නිතරගයෙන් පත්වීමට නියමිතය. මේ සදහා මෙරට ඇති දැල්පන්දු සංගම් 35න් 32ක්ම නියෝජනය වුණු අතර මුලතිව්, මඩකලපුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල අදාල ලියකියවිලි නියමිත දිනට යොමු නොකිරීම නිසා එම සංගම් වල ඡන්ද බලය අහිමි වී තිබුණි.


Comments