අපරාධ පරීක්ෂණ නීතියත්, ක්‍රිකට් නීතියත් යනු වෙන් වෙන් ව යන මාතෘකා දෙකකි. මේ දෙකේ ම නිපුණයෙක් වේ නම් ඒ කලාතුරකින් කෙනෙක් ය. ශ්‍රී ලංකා පොලිස් සේවයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කීර්තිමත් විමර්ශන නිලධාරියෙක් වන ආර්. ආර්. විමලසිරි හෙවත් ක්‍රිකට් ලොවේ කවුරුත් දන්නා ජාත්‍යන්තර ක්‍රිකට් තරග විනිසුරු රවින්ද්‍ර විමලසිරි මේ මාතෘකා දෙකේ ම නිපුණයෙක් ලෙස අවිවාදයෙන් හඳුන්වා දිය හැකියි.
ක්‍රිකට් පිටියේත්, පොලිස් සේවයෙත් කාර්ය බහුල විමලසිරි එළැඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා මේ දිනවල සූදානමින් සිටිද්දී “ක්‍රීඩා” වෙනුවෙන් අමාරුවෙන් කාලයක් වෙන්කර ගතිමු. මේ දිග හැරෙන්නේ ඔහුගේ කතාවයි.
පන්නිපිටිය, මහල්වරාව ග්‍රාමයේ ගුරුවරු දෙපළක් වූ යකුපිටියගේ විමලසිරි සහ බොරළුගොඩ ලීලා යන දෙමාල්ලන්ගේ කුටුම්භයේ දූ දරුවෝ 8 දෙනෙකි. කෙල්ලො, කොල්ලො සම සමව බෙදී ගිය මේ පවුලේ 6 වැනියා වන්නේ අපේ කතා නායක රාජා රවින්ද්‍ර ය.
මවත්, පියාත් පන්නිපිටිය ධර්මපාලයේ ඉගැන්නුම් කළ අතර රාජාගේ ප්‍රාථමික අධ්‍යාපනය කොට්ටාව ධර්මපාලයෙන් ආරම්භ වන්නේ ය. ඒ එවකට පන්නිපිටිය ධර්මපාලයේ පංති පැවැත්වෙන්නේ 6 ශ්‍රේණියේ සිට බැවිනි.
“අපි ඔක්කෝම අධ්‍යාපනය ආරම්භ කළේ කොට්ටාව ධර්මපාලයෙන්. පවුලේ හැම දෙනා ම අධ්‍යාපනයට පැත්තට ගොඩාක් නැඹුරු වුණා. ඒකට හේතු වුනේ අම්මත් තාත්තත් ගුරුවරු වීම සහ දැඩි විනයක් මත හැම දෙයක් ම සිදු වීමයි. පුංචි කාලෙ දි මම ක්‍රිකට්වලට කැමැතියි. ඒ කැමැත්ත සහ මගේ යම් හැකියාවක් ගැන දෙමාපියන්ට වූ හැඟීම නිසා මට ක්‍රිකට් පුහුණුවීම්වලට යන්න දෙනවා. පවුලේ අය අතුරින් ක්‍රීඩාවකට සම්බන්ධ වූ එක ම කෙනා මම. අනෙක් සියලුම දෙනා අධ්‍යාපනය ම තමයි.” විමලසිරි තම අතීතය සිහිපත් කළේ ය.
කොට්ටාව ධර්මපාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය අවසන් කරන විට, විමලසිරි එහි වයස අවුරුදු 11න් පහළ කණ්ඩායමේ සාමාජිකයෙකි. පන්නිපිටිය ධර්මපාලයට යෑම ඔහුගේ එක ම සිහිනයයි. ඒ එහි දී ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබෙන බැවිනි. නමුත් පන්නිපිටිය ධර්මපාලයට යෑමට නම් පැවැත්වෙන කඩඉම් විභාගය සමත් විය යුතු ය.
“ඒ වෙද්දි මගේ ජීවිතය ම වෙලා තිබුණෙ ක්‍රිකට්. පාඩම් වැඩ අතපසු වෙන වාර අනන්තයි. මේ නිසා ගෙදරින් වැඩි පුර ම බැනුම් අහන කෙනා මම වුණා. ක්‍රිකට් ගහන්න පන්නිපිටියට යන්න ඕන නම් විභාගෙ සමත් වෙන්න කියල අම්මත් තාත්තත් කිවුවා. නැත්නම් යන්න වෙන්නේ වෙනත් පාසලකට. ඒ බය නිසා ම මම හොඳින් විභාගයට මුහුණ දීලා, ඉහළින් ම පාස් වෙලා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට එනවා.”
රවින්ද්‍ර විමලසිරිගේ ක්‍රිකට් දිවිය නියමාකාරයෙන් ම ඇරඹෙන්නේ එතැන් සිට ය. ඔහු ධර්මපාලයේ වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ 19 පහළ යන පාසල් කණ්ඩායම් නියෝජනය කරන අතර ඒ සෑම වයස් කණ්ඩායමකම නායකත්වය ද දැරුවේය.
ඔහුගේ පාසල් ක්‍රිකට් දිවියේ ස්වර්ණමය මතකය වෙන්නේ කොකාකෝලා කුසලානය වෙනුවෙන් පැවැති අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ 1986 වසරේ ශූරතාව දිනා ගැනීමයි. එම තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙසින් සම්මාන දිනා ගන්නා විමලසිරි අවසන් මහා තරගයේ වීරයා ලෙසින් ද සම්මාන ලබා ගන්නේය.
“පාසල් යන කාලයේ ම මම ඕල් පාලියන්ස් ක්‍රීඩා සමාජයට සෙල්ලම් කළා. ඒකෙ ක්‍රීඩා කරද්දී මට තේ බෙදාහැරීම් සමාගමකට ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබුණා. ඒ වෙද්දි ඒකෙ ශ්‍රී ලංකාවේ නම ගිය ක්‍රිකට් ක්‍රීඩකයෝ සෙල්ලම් කළා. නමුත් අධ්‍යාපනය අවසන් වන තුරු මට ගෙදරින් යන්න ඉඩක් ලැබුණෙ නැහැ.”
අධ්‍යාපනය අවසන් කළ වහා ම එම ක්‍රීඩා සමාජය සඳහා ක්‍රීඩා කිරීමට විමලසිරි එක් වූව ද එහි වැඩි කාලයක් රැදී සිටින්නේ නැත. හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු ගාමිණි සිල්වා ගේ ආරාධනාවක් අනුව විමලසිරි පොලිස් සේවයට එක් වෙන්නේ ය.
“ඒ දවස්වල ජීවිතය වෙලා තිබුණෙ ක්‍රිකට්. පොලිසියට එක් වුණෙත් ක්‍රිකට් ගහන්නම තමයි. ධර්මපාලෙ ගොඩක් දෙනෙක් ක්‍රීඩා කළේ පොලිස් ක්‍රීඩා සමාජයට. මමත් දෙපාරක් නොහිතාම රස්සාවෙන් අස්වෙලා පොලිසියට ආවා. ඒ ආපු ගමන වැරදුණේ නැහැ.” විමලසිරි පොලිස් සේවය හා එක් වීම සම්බන්ධයෙන් ආඩම්බරයෙන් යුතුව පවසන්නේ ය.
විමලසිරි මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී දේපල විමර්ශන කොට්ඨාශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ලෙසින් කටයුතු කරන්නේ ය. ඔහුගේ සේවා කාලය තුළ මෙරට ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයකම විමර්ශන කටයුතු සිදු කිරීමට ද සමත් වෙන්නේ ය.
කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට එල්ල වූ එල්.ටී.ටී.ඊ. ප්‍රහාරය, පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය, සේයා සඳමිණි ළදැරියගේ ඝාතනය සහ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට එල්ල වූ පාස්කු ප්‍රහාරය මෙන් ම දේශපාලන ලෝකයේ විවාදාත්මක විමර්ශන කිහිපයක් ද ඔහුගේ දායකත්වයෙන් සිදු වී ඇත.
“පොලිස් සේවයත් ක්‍රිකට් ක්‍රීඩාවත් දෙක පටලවා නොගෙන කටයුතු කරන්න මට හැකි වෙන්නේ මා වටා සිටින පිරිස නිසා. පොලිසියෙන් ලැබූ ශික්ෂණය මගේ වැඩවලට ගොඩක් වැදගත් වුණා. දෙපාර්තමේන්තු මට්ටමින් සියලුම සහයෝගයන් ලබා දෙනවා. විමර්ශන කටයුතු කරන අතර තුරම තරග කටයුතු වෙනුවෙන් සහභාගී වෙන්න අවශ්‍ය නිවාඩු පවා ලබා දෙනවා. පොලිස් සේවයේත්, ක්‍රිකට් ක්ෂේත්‍රයේත් යන මේ දෙකේ ම මම ඉතා තෘප්තිමත්ව කටයුතු කරගෙන යනවා.”
දකුණත් පිතිකරුවෙක් සහ දකුණතින් පා දඟපන්දු යැවූ විමලසිරි දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. 1989 වසරේ දී ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායමට එක් වෙන රවින්ද්‍ර විමලසිරි 1991 වසරේ දී වයස අවුරුදු 23න් පහළ පොලිස් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ද ,1994 වසරේ සිට වසර කිහිපයක් ම පොලිස් ජ්‍යෙෂ්ඨ කණ්ඩායමේ නායකත්වය ද උසුලන්නේය. ඒ අතුරින් නායකත්වයට පත් 1994 වසරේ දී පොලිස් ක්‍රිකට් කණ්ඩායම එතෙක් ක්‍රීඩා කළ දෙවැනි පෙළ කාණ්ඩයෙන් පළමු පෙළ කාණ්ඩයට ගෙන ඒමට ද විමලසිරි සමත් වන්නේය. ඊට අමතර ව මෙරට පවත්වන පළමු අන්තර් පළාත් තරගාවලියේ දී ගාල්ල කණ්ඩායම නියෝජනය කිරීමට ද විමලසිරිට අවස්ථාව හිමි වෙන්නේ ය.
“පළමු පෙළ අවුරුදු කිහිපයක් සෙල්ලම් කරද්දී ක්‍රිකට් විනිසුරුවරයෙක් වෙන්න ඕන කියන හැඟීම ආවා. තරගයක් පාලනය කරන ආකාරය, එහි දී නීතිය ගැන දැනුවත් වීම, ඒ අනුව කටයුතු කිරීම වැනි දේවල් ගැන සොයන්න උනන්දුවක් ඇති වුණා. ක්‍රිකට් ගහන ගමන්ම පොත්පත් පරිශීලනය කරමින් ඒ දේවල් ඉගෙන ගත්තා. 2000 වසරේ දී මම ක්‍රිකට් විනිසුරු විභාගයෙන් සමත් වුණා.”
එම වසරේ දී ක්‍රිකට් විනිසුරුවරයෙක් ලෙසින් සුදුසුකම් ලබා ගත්ත ද ඔහු 2006 වසර දක්වාම පළමු පෙළ ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කරන්නේය. ඒ අතර ලැබෙන විවේකයේ දී විනිසුරුවරයෙක් ලෙසින් ද කටයුතු කිරීමට ඔහු උනන්දු විය. අනතුරුව ඔහු පොලිස් සේවයට අමතරව 2007 වසරේ සිට පූර්ණ කාලීනව ක්‍රිකට් විනිසුරුවෙක් ලෙසින් කටයුතු කිරීමට යොමු වෙන්නේය.
“ක්‍රිකට් ක්‍රීඩාවට තිබුණ ඇල්මත් එක්ක මට මේක ගොඩක් හිතට ඇල්ලුවා. ටිකෙන් ටික ඉදිරියට එන්න ලැබුණා. ජාත්‍යන්තර මට්ටමට එන්න ඕන කියන අදහසත් එක්කයි මම වැඩ කළේ. මම මහන්සි වුණා. කැප වුණා. ඒ වගේ ම ක්‍රිකට් පිටියේලත් අත්දැකීම් එක්ක ඉදිරියට එන්න මට හැකි වුණා.”
ඒ අනුව පැමිණි රවින්ද්‍ර විමලසිරි 2013 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් තරග විනිසුරුවරයෙක් ලෙසින් වර්ගීකරණයට ලක් වෙන්නේය. ඒ මෙරට ජාත්‍යන්තර විනිසුරු කබාය පැලඳි 24 වැනියා ලෙසිනි. තරගය වූයේ මෙරට සංචාරයක යෙදුණ දකුණු අප්‍රිකාව සහ සත්කාරක ශ්‍රී ලංකාව සමඟ කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ දිවා රාත්‍රි එක්දින තරගයයි.
නමුත් නොසිතූ දෙයකි, සිදු වන්නේ. “මම සූදානම් වෙලා හිටියේ ජූලි මාසේ 31 වැනිදා දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේ විනිසුරු වෙන්න. ඊට කලින් තරගයේ දී මම අතිරේක විනිසුරු විදිහට කටයුතු කළා. එදා තරගය කරන්න හිටියේ රුචිර පල්ලියගුරු සහ ඔස්ට්‍රේලියානු ජාතික රොඩ් ටකර්. ඔවුන් දෙදෙනා විනිසුරු කාමරේ සිටිද්දි මම ක්‍රීඩා පිටිය නිරීක්ෂණය කරන්න ගියා. වැස්ස නිසා තරගයේ පන්දුවාර කිහිපයක් අඩු කරල තිබුණේ. ඒ අතර වාරයේ මට තරග තීරක සිම්බාබ්වේ ජාතික ඇන්ඩි පයික්‍රෆ්ට් පණිවුඩයක් එව්වා විනිසුරු කාමරයට එන්න කියලා.”
ඒ කැඳවීම, ඊට සතියකට පමණ පසු එක්දින ජාත්‍යන්තර විනිසුරු වරම් හිමිකර දීමට සිටි රවින්ද්‍ර විමලසිරිට හදිසියේම විනිසුරු වරම් හිමිකර දීමට වූ කැඳවීමක් විය. ඒ පිටියේ විනිසුරු ලෙසින් කටයුතු කිරීමට සිටි රොඩ් ටකර් හදිසියේම අසනීප වීම නිසා ය.
“ක්‍රිකට් විනිසුරු දිවියේ ගොඩක් අසීරු අවස්ථා පසුකරලා තියෙනවා. ඒක ඕනම ක්‍රිකට් විනිසුරුවරයෙක්ට පොදු දෙයක්. හැම ක්‍රිකට් විනිසුරුවරයෙක්ම උත්සාහ කරන්නේ තරගයක් හොඳින් කරන්න. හොඳින් පාලනය කරන්න. නමුත් තරගයක් නිසා යම් යම් අවස්ථාවල දී ක්‍රීඩකයන් ඔවුන්ගේ කණ්ඩායම්වලට වාසිදායක විදිහට අපිට පීඩනය එල්ල කරනවා. ඒක ක්‍රීඩාවේ ගතිය.” විමලසිරි පවසන්නේ ය.
2019 වසරේ ICC විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ද එම වසරේම දකුණු අප්‍රිකාවේ දී පැවැති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ද විනිසුරුවරයෙක් ලෙසින් කටයුතු කිරීමට ද විමලසිරි සමත් විය. ඊට අමතරව ආසියානු තරගමාලා කිහිපයක දී ම විනිසුරු කබාය පැලඳීමට ඔහු සමත් වෙන්නේය.
“එදාට වඩා දැන් තරග නීති රීති දැඩිව ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා බොහෝ දෙනෙක් ඒ නීති රීති අනුව කටයුතු කරනවා. ක්‍රීඩකයන්, ක්‍රිකට් විනිසුරුවන් සමග වෙනදාට වඩා සුහදව කටයුතු කරනවා. මම විශ්වාස කරනවා ක්‍රීඩාවේ තිබෙන ජීව ගුණය රඳවා ගැනීමට මේ නීති රීති අවශ්‍යයි කියලා. එය ක්‍රීඩකයන්ට වගේ ම අපිටත් පොදුයි. ක්‍රිකට් විනිසුරුවරයෙක් ලෙසින් අපි නිතරම ක්‍රිකට් නීති පරිශීලනය කරන්න ඕන. දැනුවත්ව සිටින්න ඕන. කුමාර් ධර්මසේන සහ පීටර් මැනුවෙල් මහත්වරුන් මේ දැනුවත් වීම සඳහා ඉන්න මගේ ළඟම හිතවතුන්.”
ක්‍රිකට් විනිසුරු දිවියට පිවිසි රවින්ද්‍ර විමලසිරි ඩයලොග් ක්‍රිකට් සම්මාන උළෙලේ දී වසරේ දේශීය ක්‍රිකට් විනිසුරු ලෙසින් 2013 වසරේ දී ප්‍රථම වරට සම්මාන ලැබූ අතර ඊට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සංගමය 2016 වසරේ දී සංවිධානය කළ සම්මාන උළෙලේ සාමාජිකයන්ගේ තෝරා ගැනීම අනුව වසරේ හොඳම ක්‍රිකට් විනිසුරු ලෙසින් ද සම්මානයෙන් පුද ලැබීමට සමත් වූයේ ය.
තමන් පැමිණි ගමනේ දී මවත්, පියාත් දැක් වූ දායකත්වය මහමෙරක් තරම් යැයි විමලසිරි පවසයි. මව මීට වසර කිහිපයකට පෙර ජීවිතය හැර ගිය ද පියා තවමත් එදා මෙන් ම තමන්ගේත් තම පවුලේත් කටයුතු වෙනුවෙන් මැදිහත් වෙන බැව් ද පැවැසුවේ ය.
බිරිඳ, ආයුර්වේද වෛද්‍ය අයේෂා විජේසේකර කෙතරම් කාර්ය බහුල වූව ද විමලසිරිගේ ක්‍රිකට් ජීවිතයේ සපත්තුවේ සිට අවශ්‍ය දෑ සකසා දෙන්නී ඇය ය. විමලසිරිගේ පොලිස් විමර්ශන කටයුතු වෙනුවෙන් අවශ්‍ය නිදහස ලබා දෙන්නී ය.
52 හැවිරිදි වියේ පසුවෙන විමලසිරි දෙදරු පියෙකි. වැඩිමලා, 19 හැවිරිදි ඉනුර දිනාල් ය. පන්නිපිටියට ධර්මපාලයෙන් මූලික අධ්‍යාපනය ලබා උසස් පෙළ වෙනුවෙන් කොළඹ රාජකීය විද්‍යාලයට පිවිසි ඔහු මේ වෙද්දී එහි ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් පසු වේ. දියණිය, 16 වියැති දසුනි දිනාලි ය. පන්නිපිටිය ධර්මාපාල විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර එළැඹෙන වසරේ සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන්නීය.
“ඔවුන් මගේ කටයුතු වෙනුවෙන් විශාල සහයෝගයක් දක්වනවා. ගත කරන කාර්ය බහුලත්වය මග හැරෙන්නේ ඔවුන්ගේ සහයෝගය නිසා.” විමලසිරිගේ කෘතවේදීත්වය එලෙස ය.
තමන්ගේ ගමනේ දී තම සහෝදර සහෝදරියන් දක්වන දායකත්වය ගැන ද විමලසිරි සිහිපත් කළේ ය. එමෙන් ම පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ගැන ද සුවිශේෂී සිහිපත් කිරීමක් විය. අම්මා තාත්තා පමණක් නොව මේ වෙද්දී ඔහුගේ සහෝදරියන් තිදෙනෙක් ද ධර්මපාලයේ ගුරුවරුන් ය. ධර්මපාලය ගැන විමලසිරි පවුලේ බැදීම ඒ ආකාරය ය.
විශ්‍රාමික සුවයෙන් පසු වෙන සහෝදරයන් අතර තවමත් සේවයේ නියුතු දිවයින පුවත්පතේ කාටූන් ශිල්පී උදය විමලසිරි, අපේ කතා නායක විමලසිරිගේ පවුලේ බඩ පිස්සා ය.
අනාගතයේ දී ක්‍රිකට් විනිසුරු දිවියේ මෙන් ම පොලිස් දිවියේ ද ඉහළටම යෑම තම අරමුණ කරගෙන සිටින විමලසිරි, අපක්ෂපාතී පරීක්ෂණ මගින් පොලිස් දෙපාර්තමේන්තුවට කීර්තියක් ලබා දීමට ද අපේක්ෂාවෙන් සිටී. ඔහුගේ එම සියලු පැතුම් ඉටු වේවා යැයි “ක්‍රීඩා” වෙතින් සුබ පැතුම්.